Monday, 21 August 2017

සයිබර් සල්ලාපය සහ බුක් ලූනටික්ස්

බුක් ලූනටික්ස්, මේ වචනයම මට ගෙන ආවේ කුතුහලයක්. 
කතුවරු දහ දෙනෙක් ? මට ඒක තවත් පුදුමයක්. ඒ පුදුමය දැක බලාගන්න මම  13 ඉරිදා, මහවැලි කේන්ද්‍රයට ගියෙමි.
මුහුණු පොතේ දැක පුරුදු බුක් ලූනටික් සංසදයේ සොයුරු සොයුරියන්, සිනාමුසු මුහුණින් සිටි අතර, අන්තර්ජාලයේ පොත් සාප්පුව, ග්‍රන්ථ grantha.lk හි, මා අවුරුදු 10 කට කළින් හඳුනාගත් බ්ලොග් සහෘද, දසුන් සමීර වීරසිංහ, තනෝජා නංගී, නවීන් ශ්‍රීමාල් මල්ලි සහ බොහෝ දෙනෙකගේ හිනා මුහුණු මග හැර ඇතුලට යා ගත නොහැකි විය. 
ඇතුල් වෙන විටම ලැබුනේ, පොත් රැඳි ත්‍යාගයකි. එයද grantha.lk මගිනි.

කාලවේලාව ගැන ගැටළුවක් පැවති මට සවස දෙකෙන්  පසු සමුගෙන යන්නට සිදු වූ නිසා සවන් දෙන්නට හැකි වුනේ, පූජ්‍ය බටූවන්ගල හිමියන්, කත්‍යානා අමරසිංහ මහත්මිය, වෛද්‍ය සුසීත රුවන් මහත්මයා සහ සහන් කසීර වික්‍රමසිංහ මහත්මයා යන ලේඛක ලේඛිකාවන්ගේ හරවත් දෙසුම් වලට පමණි.

පොතක් කියවන්න වෙහෙසෙන්න ඕනෙම ද ?

මෙහිදී ඇන්ටි නවල් යන ශානරය යටතේ ලියැවෙන වෛද්‍ය සුසීත රුවන් ගේ නවකතා ගැන අපූරුම දෙසුමක් අසන්නට ලැබුනා. ඇත්තම කීවොත්, ඔහුගේ මාරායණය පොත, මම ද කියවන්නට රැගෙන, අතර මැද දෙතුන් විට අත් හැර දැමූවෙමි. ඒ එය ලියැවී ඇති ක්‍රමය නිසා ය. එහිදී ඔහු කීවේ කියවන්නට යම් කිසි වෙහෙසක් දරා කියවිය යුතු, හිතනන්ට සහ ගලපාගනන්ට වෙහෙසිය යුතු මේ ලියන ක්‍රමය ලෝකයේ ප්‍රචලිත බවත්, ඒ ගැන පරීක්ෂණ කරමින් ලියූ බවත් ය. මේ ක්‍රමය කොයි තරම් හොඳින් ඔබ ග්‍රහණය කරගෙන තිබෙනවා ද කියතොත්, අප රෝහලේ පුස්තකාලයට පොත් ගන්නට යන කණ්ඩායමට මම ද ඇතුලත් වෙමි. ගිය වර පොත් ගන්නා විට, මාරායණය ගනිද්දී එතැන කෙනෙක් පැවසුවේ, " ඒ ඩොක්ටර්ගේ කළින් පොත බැලුවම මේකනම් හරි නෑ " කියලයි. ඇයි ඇහුවම කීවේත්, හරි පැටලිලි විදිහට ලියලා තියෙන්නේ, කියලයි.  මගේ පුද්ගලික හැඟීම නම්, කියවන්නා වෙහෙසට පත් නොකළ යුතුයි කියලයි. ඒත් පර් යේෂන සඳහා එවැනි ක්‍රමයක් අත් හදා බැලීම නරකම නැත. anti- novel  හී ලක්ෂනයක් ලෙස රේඛිය ආකාරයේ කතාව ගලායාමක් නැතිව, සිදුවීම් දාමයක එක එක අවස්ථා සංසිද්ධිඑක පෙළට නොව විටින් විට ලියා තැබෙන බව පැවසේ. එය වැටහෙන්නේ දැන් ය. ඒ ඔබේ කතාවට සවන් දීමෙන් පසු, ඔබේ මාරායණය නවකතාව යළි සිහිගන්වාගැනීමෙනි.

ඒත් පවතින ක්‍රමයෙන් පිට පනින්නට නොහැකියාව නිසා මම නම් කැමති රේඛීය (linear)  ආකාරයෙන් ගලා යන කතන්දර වලටමයි.  

බස් වල දෙකයි පණහට විකිණෙන ළමා සාහිත්‍යය 
කත්‍යානා මහත්මිය විවිධ වූ අංශ රැසකින්ම විවිධ තේමා රැගත් පොත් ලියූ දක්ෂ ලේඛිකාවකි. නිලි වැස්ස තුලින් අප හිත් තුල නොමැකෙන ආකාරයේ කතා පුවතක් සම්පින්ඩනය කළ, වණ්ණ දාසී තුලින් සමාජයේ නොපෙනෙන කටුක යථාර්තයක් විග්‍රහ කරමින් අප සසල කළ අයුරු මට මතක් වේ.
එනමුත් කතාබහේදී වඩා වැඩියෙන් කතා වුනේ ළමා සාහිත්‍යකරනය ගැන ය.

ළමා පොත් ගැන අදහස් දැක්වූ ප්‍රවීන ලේඛිකා කත්‍යානා අමරසිංහ මහත්මිය, අද පවතින, ළමා කතා රැල්ල, සහ එයින් දරුවන්ට සිදු විය හැකි හානිය ගැන පැවසූවා. මෙහිදී ලලිතා ජයවර්ධන මහත්මිය, බස් රථ වල නගින වෙළෙන්දෝ, අඳෝනා නගමින් ඔවුන්ගේ දුක කියා පොත් පහක් පමණ සුළු මුදලකට විකුණනවා යැයි ද, ඒවා ඇයද මිලදී ගෙන අසරණ පවුල් වල දරුවන්ට ලබා දෙන බව ද එය කොයි තරම් හානි දායක ද කියා විස්තර කළා. ඇත්තෙන්ම ඒවායේ ප්‍රමිතියේ බාලකම සහ ගුණාත්මක යමක් නොමැති බව මම ද එක පාරක් එවැනිම පොත් පහක් අනුකම්පාවට මිලදී ගත් පසු අත් විඳ ඇත්තෙමි. මෙහිදී වගකිව යුතු පිරිසක් විසින් සමාජයේ මේ ගැන කතිකාවක් ඇති කර, දරුවන්ගේ මනසට මෙවැනි හානි දායක කතා වලින් සිදු විය හැකි අගතිය කොයි තරම් දැයි පෙන්වා දී , ළමා සාහිත්‍ය පොත පත මුද්‍රණයේදී කුමක් හෝ ප්‍රමිතියක් අනුගමනය කිරීමට යම් කිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මට සිතේ.

කාටුන් බැලීම හොඳ නෑ ! 
මම දැඩිව විමතියට පත් වුන කරුණක් ඇහෙන්නේ ඔය අතර තුරේ දී. සභාව මෙහෙයවූ නිවේදකයා තමන්ගේ මතය වැඩි විස්තර සහිතව ඉදිරිපත් කළ අතර,  ඔහු එක විටම, කාටූන් බැලිම හොඳයි වගේ මතයක් කියන්නට වුනා. 
එතැන කතා බහ පොත් ගැන නිසාත්, විවාද කිරීම නුවමනා නිසාත් මා ඒ ගැන එතැන කියන්නට නොගියේ කතාබහේ තිබූ අරමුණු වලින් පිට යෑම ඔස්සේ ඒ වනවිටත් කාලය වේලා ගතවෙමින් තිබුණු නිසා ය. 
ළමයින්ට ටීවී, ෆෝන්, අයි පෑඩ් වැනි දේ නොදිය යුතුයි යන්න දැන් පිළිගත් මතයයි.
ළමා පරපුර තමයි මතු දාක වැඩිහිටියන් ලෙස සමාජය බාර ගන්න ඉන්නේ. ඔවුන් පොත් පත් ආභාෂයෙන් ඈත් වෙලා සෞන්දර්‍යාත්මක චින්තනයන්ගෙන් ඈත්වෙලා ස්ක්‍රීන් එකක් ඉස්සරහ ගාල නොවිය යුතුයි කියලා මම හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මක හේතුත් සමග.

නිර්මාණකරනයේ යෙදෙන්න පරිකල්පන ශක්තිය (Imagination) කියන දේ අවශ්‍යයි. අන්න ඒ පරිකල්පන ශක්තිය කෙනෙක් තුල ඇතිවෙන්නේ , කුඩා කළ සිටම තියුණු වූ, හැඩගැස්වීමට ලක් වූ නොයෙක් සෞන්දර් යාත්මක දෙයින් පෝෂණය වූ මනසක් තුලින්.
අද බටහිර රටවල විද්‍යාඥයින් පර් යේෂන මගින් ඔප්පු කර පෙන්වා තිබෙනවා, තිර ඉදිරියේ ගාල් වන දරුවන්ගේ මානසික වර්ධනය අඩාල වෙනවා කියන එක. 
බටහිර රටවල වෛද්‍යවරු උපදෙස් දෙනවා. screen time එක අඩු කරන්න ය කියලා. බහ තෝරන වියේ දරුවන්ට මෙන්ම , කුඩා දරුවන්ට, කාටූන් සහ වීඩියෝ ගේම් වැනි දෑ නොදෙන්න කියලා. 
ඇත්තටම ඒක හරි , මොකද, දරුවෙක්ට පොතක් කියවීම තුලින්, කතන්දරයක් කීම තුලින්, ලැබෙන විඳීම සහ සංවේදනා , තිරයක් මත කාටූන් එකකින් හෝ චිත්‍රපටයකින් ලැබෙන්නේ නැතිව යනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ කියන්නේ බොහොම සංකීර්ණ දෙයක්. නිරන්තරයෙන් ඉගෙනීමට සහ මතක තබා ගැනීමට ලක්වෙනවා. සමාජයේ අසන දකින දේවල් වලින් පෝෂණය වෙනවා.  පොතක් කියෙව්වම, ඒ අකුරු ඔස්සේ දරුවා හිතේ කතාව හදා ගන්නවා, දරුවෙක්ගේ හිතේ චිත්ත රූප මැවෙනවා, ඒ අකුරු ඔස්සේ මොළය තුල රූප මවාගෙන කතාව කියවනවා. 
ස්ක්‍රීන් එකක් ඉස්සරහ ඉඳගෙන කවුරු හරි රූප මවලා දෙන කතාවක් බලද්දී ඒ දේ සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් පරිකල්පන ශක්තියට කිසිම හොඳක් ඒකෙන් වෙන්නෙ නෑ. 
අපි පොඩි කාලේ උනත්, අපි උත්සහ කළේම මිදුලේ කැලේ දුව පැන සෙල්ලම් කරන්න නමුත් අද දරුවන් ගෙවල් තුල ගාල් වෙනවා. තිරයක් ඉදිරියේ ඉඳගෙන කිසිඳු හැල හොලමන් නැතිව පසු වෙනවා. මෙයින් ඇත්තටම ළමා මනසේ දියුණුවට යමක් සිදුවෙන්නේ නෑ. කායික වර්ධනයටත් එය බාධාවක්. 

එනිසා බුක් ලූනටික් සංසදයේ ඉන්නා පිරිස වගේ, පොත් කියවන්නට අපේ මතු පරපුරට අපි හුරු පුරුදු කළ යුතුයි. පරිකල්පන ශක්තිය දියුණුවෙනවා මෙන්ම, බොහොම හර්දයාංගම සොඳුරු මිනිසුන් එවිට අප සමාජයට බිහි වෙනු ඇත. අනෙකා ගැන සංවේදී වෙන, මිනිස් හැඟීම් පෝෂණය කරන්නට පොත් වලට මහා ලොකු දෙයක් කරන්න පුළුවනි. අද විවිද වූ ක්ෂේත්‍රවල රැකියාව කළත්, සාහිත්‍යයට කලාවට බොහෝ සෙයින් ආදරය කරන මෙවැනි පිරිසක් එකතු වෙන්නේත්, අපට කුඩා කළ සිට ලැබුනු ඒ දායාද නිසා කියලයි මට සිතෙන්නේ.

කොළමකින් කරන්න පුළුවන් මොනවා ද ?

ආච්චිගේ කොළම නමින් , ලියූ ෆේස් බුක් ලියැවීම්, පොත් වෙද්දි, මා සහන් කසීර නම් රචකයා හඳුනා ගත් අතර, ඔහු සුලභව දකින්නේ, ඔහුගේම හිතවතුන්ට පමණක් වචනයෙන් දමාගසනා උත්ප්‍රාස උපහාස වලිනි. නමුත් ෆේස් බුක් ලියැවීම් වලින් ඔබ්බට ගොස් මා දකින්නේ, අවුරුදු ගණනාවක් පුරා අප වෙත, විවිද වූ විශේෂාංග රැගත් පුවත් පත් ලිපි, ලියන  සහන් කසීර වික්‍රමසිංහ නම්, දක්ෂ පුවත්පත් රචකයා ය. 
ඔහු එදින කළ කතා බහ ගැන මට ඇත්තේ විස්මය දනවන සතුටක්.  විටෙක ප්‍රහසනය උත්ප්‍රාසය කැටි කර රචනයේ යෙදෙන සහන් ඒ ලියැවීම් ඔස්සේ සමාජයේ නොයෙකුත් ප්‍රශ්න සහ ගැටලු සහිත තැන් ලියන්නේ කොහොමදැයි කීවේ, තීරු ලිපි ලිවීම අපි හිතන තරම්  සරල නොවන බව ය.  

අන්තර්ජාලය නොමැති අප හැදී වැඩුණු ඒ කාලයේ, අප බොහෝ දෙනෙක් පරිශීලනය කළ, මනහර , නවයුගය, සමුදුර වැනි පුවත් පත් සඟරා ගැන අප මතකය අවධි කරමින්, මා අසලම හිඳගෙන සිටිය ද, මට ද හඳුනාගත නොහැකි වූ, ප්‍රවීණ මාධ්‍යවේදී, කුමාර සිරිවර්ධන , නමින් පමණක් දැන සිටි ඒ මහතා එහි සිටින බව දැනගත්තේද එවිට ය. 
වචන 400 යන මැයෙන්, සත්හඬ පුවත් පතේ පළවන තීරු ලිපි ආශ්‍රයෙන් නිදසුන් විදහා පාමින්, එය කෙතරම් වාග් සංයමයකින් හසුරුවාගත යුතු මාධ්‍යයක් දැයි, ඔහු පැහැදිලි කළේය. එය, සාරවත් මාධ්‍යකරණය යනු කුමක් දැයි වඩා හොඳින් අපට මතක් කර දුන් කතාවක් විය. 

කලින් ගිය නිසා මග හැරුණු මතක 

එදින වඩා සාරවත් දේශන රැසක් පැවතිය ද, කාලය සමග වෙහෙසකර ගමනක යෙදෙන කවදාවත් නිවාඩුවක් නැතිව වැඩ කරන ඉස්පිරිතාල සේවයේ යෙදෙන අප වැන්නවුන්ට රැඳී සිටීම අපහසු විය. 
කතා බහ අතර තුර ලද විරාමයේ දී, මා සිත් ගත් ලේඛක දිලීප ජයකොඩි මහතා හමුවීම ද, කත්‍යානා අමරතුංග මහත්මිය හා මා ලියූ පොතේ ගුණ දොස් කතා බස් කිරීමද මා ලද භාග්‍යයක් සේ සලකමි.
මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර, යන දක්ෂයින් දෙපෙළ විසින් ඉදිරිපත් කරන ලද ඒ නාට්‍ය අංගය ඇත්තෙන්ම විශිෂ්ට ය !  සාහිත්‍යය ගිලගෙන ඇති ප්‍රකාශන අධිකාරිය ගැන අඳුරු තැන් ප්‍රහසනය කැටි කොට අප වෙත දමා ගැසූ අයුරු කදිමය. දැසින් කඳුළු පනින තුරු සිනහ වූ අතර , එහි කටුක යථාර්තය පසක් වී අපේ රටේ පොත් කර්මාන්තයේ ඉදිරිය ගැන දුකක් ද ජනිත විය. 

වෛද්‍ය අධ්‍යාපනය ලබන කාලයේම  ක්ෂණික නූඩල්ස් වැනි කෑම වල අතුරු ආබාධ , දරුණු කම ගැන දැනගත් නිසා, ඒවාට තිත තැබුවෙමි. අද වන විට, ක්‍රිකට් විරුවන් යොදාගෙන පවා ඒවා ප්‍රචාරනය කිරීමක් ද, කුඩා දරුවන්ට පවා ගිල්ලවන්නට හැදීමක් ද දකින්න ට ලැබේ. මට ගෝචර නොවූ සයිබර් සල්ලාපයේ මා දුටු එකම එක අවුල එය විය. මට ගෝචර නොවන නිසා ලියා තබමි. ප්ලාස්ටික් ඉවත දමන වතුර බෝතල්  ද නොදුන්නේ නම් හොඳයි. මා නම් ගෙදරින් වතුර ගෙන යමි. එදිනද බෝතලයක් රැගෙන ආවෙමි. සමාජය වනසන ව්‍යසන බොහෝ ය. ඉන් ටික ටික වත් බේරී සිටීම පහසු මග ය. මේ ලියන්නේ පණ්ඩිතකමකට නොවේ. සමාජය මදක් හෝ වෙනස් කරනන්ට ය. 

සමස්ථයක් ලෙස ගත් කළ, මා අත් විඳි දුටු දෑ බොහෝ සොඳුරු ය. හිතවත් ලේඛක ලේඛිකා හමුව බොහෝ සුන්දර මතක ඉතිරි කර ඇත. මා ලියූ පශ්චාත් යුධ සමයේ වන්නියේ දෙවැනි මෙහෙයුමේ කතා පොතද කවි පොතද ගෙනැවිත් මගේ සමරු අත්සන ගත් සහෘදයන් ස්තූති පූර්වකව සිහිපත් කරමි. නැවත බුක් ලූනටික් හමුවක දී , මීට වඩා කල් වේලා වෙන්කරගෙන රැඳෙන්නට අදිටන් කර ගනිමි. 
මේ හමුව සංවිධානය කළ සියල්ලන්ටම බොහෝ ස්තූතිය පිරිනමමි. ! 


No comments: