Friday, 23 December 2016

“දිය බිඳක් වූ ඒ වලා රොද” - අනෝමා මිහිඳුකුලසූරිය


වෙලාවකට මට හිතෙන්නේ කවිය කියන්නේ ඇගේ ආත්මය ගෙන හැර පාන ගෙත්තමක් කියල. අවුරුදු ගණනාවක් පුරා ඉවසීමෙන් බොහෝ සීරුවට ගෙතුනු කවි පද බොහෝ ගණනක් නිරන්තරයෙන් මුහුණු පොත ඔස්සේ මමත් කියවා රස විඳලා තියෙනවා . ඒ ඇය මිතුරියක් වීමට කලින් ඉඳන්. අද ඇගේ කවි හීනය සැබෑ වෙලා තියෙනවා. ඇගේ කවි බස නිරවුල් , සරල ඒත් ගැඹුරු ආත්මකථනයක් ලෙස මම දකිනවා . අනෝමා මිහිඳුකුලසූරිය මහත්මියගේ කවි ගැන,  ප්‍රේක්ෂිකාවක ලෙස ද.. කවියේ හැඩතල සොයා යන්නෙක් ලෙස ද මාගේ අදහස් මෙසේ ගොනු කෙරේ.

“දිය බිඳක් වූ ඒ වලා රොද” ඔස්සේ කවිය කියවන්න; කවියා කියවන්න මේ මොහොතට මට ආරාධනා කිරීම ගැන අනෝමා මිහිඳුකුලසූරිය මහත්මියට ස්තූතියි...

කවියක ප්‍රධාන ලක්ෂණය ලෙස මම දකින්නේ විඳීමයි... ඒ විඳීම දුක සතුට සැනසීම හෝ විඳවීම වෙන්න පුළුවන්.
හැබැයි.. හැම කවියෙක්ටම තමන්ගේ කවි තුලින් ඊට වඩා යමක් කළ හැකි බව මීට අවුරුදු 73 කට පෙර ටී. එස් එලියට් ගේ social function of poetry යන දේශනයේදී පැහැදිලි කරනවා. මෙහිදී ඔහු මා පැවසූ වින්දනීය කාර්යය ගැන මෙන්ම ඊට එහා ගිය කාර් යයක් පැහැදිලි කරනවා. එකිනෙකා අතර සංනිවේදනය කිරීමේ ක්‍රියාව මෙන්ම, ස්වකීය භාෂාවට එකතු කරන්නාවූ සරු බව සහ සමාජ සාධනීය බව පිළිබඳ ඔහු විස්තර  කරනවා.

මිනිත්තුවට කවි සිය ගණනින් අන්තර්ජාලයට මුදා හැරෙන... තම සිත් වලින් දෝරේ ගලන සිතුවිලි එලෙසින්ම ලියා දන්වන, සයිබර් යුගයක, අනෝමා මහත්මියගේ කවිත් අපට විඳින්න ලැබෙන්නේ අන්තර්ජාලයෙන්. නමුත් මා දන්නා පරිදි ඈ දශක ගණනාවක සිට පුවත් පත් සඟරා මගින් ඇගේ කාව්‍ය රචනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා බොහොම සංයමයෙන් හෙමින් ලියැවුණු ඒවා ය.

කාව්‍යකරණය කියන්නේ ද ප්‍රබන්ධයක් ! තමන්ගේ සිතේ හටගන්නා සිතුවිලි වල භාවාත්මක ප්‍රකාශනයක්. කවියා තමා මුහුණ දෙන, දකින විඳින අසන කුමන හෝ සංසිද්ධියක් එහෙමත් නැත්නම් වචන වලින් කියා ගන්න බැරි ඇතැම් දේත්, කවියෙන් කවි බසින් සහ රිද්මයෙන් කියා පානවා.


කවිය ගැන කතා කරන මේ මොහොතේ, පරාක්‍රම කොඩිතුවක්කු කවියාණන්ගේ "ආලෝක සහ මිනිසා" පොතේ. ( පිටු අංක 99/100)... එක කවියක් මට මතක් වෙනවා...


වා සුළියක් සමග
අගනුවරින්
දුරකථනයකින් ආ
ඇමතුමකි දයාබර

“කවියාණනි සුහද
දෙවියන්ගේ අඩවියේ
කඳු වළල්ල පැලී
වියරු වී කළු ගං කොමලිය
නාය ගොස් ජන පද දිවි පොඩි
ගැලූ දුක් කඳ ගැන
ඔබට කවි සිතුවිලි පුදුම
පහළ වනු ඇති නේද ?

කියනු මැන
කවදාද ඒ කවි
අප ඇසට ලැබෙන්නේ ?

- නැත එහෙම කවි සිතිවිලි
- ‍නැත එහෙම කවි ලියන්නේ

(“නැහැ අද නොවේ
මතු කලෙක සෙමින්
ඒවා ලියැවේවි නොවෙද ?” )

- නැත කිසි කලෙක නැත
එවැනි කවි ලියන්නේ

එහා ගෙදරක
පිය පුතු දෙදෙනෙකු
ගෙට ගැලූ මඩ කඳ අදින විට
එතැනට යා යුතුයි දැන්
මඩ අදින්නට
කුටියකට වී
උන් ගැන ලියන කවි
කවි නොවේ නයි මිසක !

කවියාගෙන් අහනවා කෙනෙක් කළු ගඟ පිටාර ගලා මුළු පලාතක් යට කරලා.. නැද්ද කවි ලියවෙන්නේ ඒ ඛේදවාචකය ගැන කියලා...කවියා මෙහෙම පිළිතුරු දෙනවා... අච්චර ඛේදවාචකයක් වුනා තමයි.. හැබැයි මගෙන් ලියවෙන්නෙ නෑ එහෙම කවි... මම යා යුතුයි අසල්වැසි ගෙදරක පිය පුතු දෙදෙනෙක් ගෙදර පිරුණු මඩ අයින් කරනවා ඒකට උදව් වෙන්න... මිනිසුන් දුක් විඳිද්දී මම කුටියකට වී ලියන කවි .. කවි නොවේ නයි මිසක කියලා.

නමුත් අද වෙද්දී අපි කවියන් නොවී විඳින්නන් බවට පත් වෙලා... දකින් දේ එලෙසින්ම අරගෙන ලියනවා . ඒ ලියන්නාවූ සමාජයට යහපතක් නොවෙන දේ තුළින් වෛරය, කෝපය සහ බොහෝ අහිතවත් දෑ වපුරමින් ලියන කවි වලින් එකතු වෙන විස, නයි නෙමේ පොළොං විසටත් වඩා අන්තයි කියා මට හිතෙන්නේ. කවියෙක් තුල දකින්න ලැබෙන සංයමය , ඉවසීම, දරාගැනීම සහ උපේක්ෂාව අද අපේ කවි කිවිඳියන් තුල දකින්න ලැබෙන්නේ නෑ.
පොඩ්ඩ බැරි වුනොත් අන්තර්ජාලය තුල වුවත් නොපිට කැපෙන වචන කියමින් බැණ අඬගාන තත්වයකට පත් වෙලා. පරිකල්පනයට වඩා ක්ෂණික හැඟීම් සහ ආවේග වලට ඉඩ දෙමින් සිදු කරන එවැනි නිර්මාණ වුණත් සාර්ථක නැති බවක් මට හැඟෙන්නේ.


“කවියෙන් අප කළේ පීඩිතයන්ගේ හඬ සමාජයට ඇසන්නට සැලැස්වීමයි’ කියා නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ට් කවියා පසු ගිය දා පුවත්පතකට කියා තිබුණා. කවියෙක්ගෙන් අප බලාපොරොත්තු විය යුතු සමාජ ඇහැරවීම එයයි කියා මට සිතෙනවා.
කවියෙක් කවියක් තුලින් වචන හරඹයක යෙදෙනවා... සිතුවිලි ඇහැරවන සුළු වදන් සහ රිද්මයන් තුළින් පොදු සංවේදනා වලට පුද්ගල හැඳින්වීමක් දෙනවා. මෙන්න මේ කවිය බලන්න ...

කවි අංක 13 පිටු අංක 26

අවන් හලේ උපන් ලියක්
දෙපා සලා නටත් මැ එක්
මතින් ගතත් සිතත් වෙළූ
අනංගයෙක් කියත් නුරා
මරංගනන්ට සිත් මැ වූ
සුරම්‍ය ගීතයක්

පස් පියුම් මදාර ගන්ද
ලෝ පුරා හමා යතේය
රත් සුරා රැගත් යුගත්
එකත් එකත් ගැටී සැලෙන්
වස්ත්‍රයක් නැතත් රැඳීම
හිස් බවක් දැනේ.

උදේනි පුර
සැණකෙලි.....

මේ වචන හරඹයම කිවිඳියගේ ව්‍යක්ථ භාෂා හැසිරවීම පෙන්නුම් කරනවා. ඒ වගේම නිදහස් කවියේ හැඩය අපූරුවට පෙන්නුම් කරනවා. උදේනි පුර ගැන පැවසූවත් එය තුන්කලම නියෝජනය වෙන කවියක් ලෙස මම දකිනවා... රිද්මයත් බසත් එකට කැටි කොට අපූරුම වචන අඩු ප්‍රමාණයකින් පවසන මේ දේ අපි අදත් සැණකෙළි හෝ උත්සව අවස්ථාවකදී අත් විඳිනවා නොවෙ ද ? මත් පැනින් සන්තර්පනය වන මිනිසුන් ඒ මතින් අනඟ රැඟුම් පාද්දී ඇසෙන ගීත මරඟනන්ට සිත් වෙන බවද පවසයි. අවසන ඒ සියල්ලෙහි ඇති ශූන්‍ය බව හිස් බව අපිට පැහැදිලි කරයි... ජීවිතයේ යථාව පැහැදිලි වන්නාවු කවියකි මෙය. එයින් ප්‍රකාශ වන්නාවූ වටාපිටාවට, ගැලපෙන අයුරින් වදන් සහ රිද්මය එකට කැටි කොට අවසන අපට සියල්ලෙහි ඇති නිශ්ඵල බව කියා පාන මේ කවිය මසිත් ගත්තේ එහෙයිනි. 

කවි අංක 02 පිටු අංක 14


නොම දැන සිටියෙමි
මෙතෙක් කලක් මම
ගිලන් බව මෙතෙක්
සොඳුරුවූ බවක්

බලා සිටිත හැක
දෙනෙත පියා ගෙන
පහන් සිතින් මුළු
රෑ තිස් පැයේම

සියල්ල මා හැර
ඈතට යන සඳ
නො හැරම සිටීවි
ම'වෙත ගිලන් බව


යහනත අතුරා
රිදුම් දෙවයි ගත
සුපහන් හැඟුමින්
පිරී ගලයි සිත

මෙතෙක් අත් නො විඳි
මහරු ගිලන් බව
කිසි ලෙසකින් මා
දමා නො යන් හැර.

මේ කවිය විශේෂයෙන් මම තෝරගන්නේ එහි වස්තු බීජය මට නිතර හමුවෙන දකින දෙයක් නිසා. ගිලන් බව.. ලෙඩෙක් වෙන්න කිසි කෙනෙක් කැමති නෑ නමුත් මෙතන කවියා කියනවා හැම දේම නැති වෙලා ගිලන් බව විතරක්ම ඉතිරි වී ඇති නිසා එය තමා හැර නොගියාට කමක් නෑ කියලා. බොහෝම ගැඹුරු අදහසක් වචන කිහිපයකින් කියලා තියෙනවා.


මට මතක් වෙනවා අපේ වෛද්‍ය වාට්ටු වල ඉන්න නිත්‍ය සාමාජිකයන්... මම මෙහෙම කියන්නේ ඒ අයට වාට්ටුව අපිට වඩා කිට්ටු නිසා. එහෙම කීප දෙනෙක් ඉන්නවා...මුලින් ඇවිත් එයාලා නිතර ඉන්නා හුරු පුරුදු ඇඳන් අසලට ඇවිත් බලනවා ඒ ඇඳන් හිස්ද කියලා. නෙට් එකක් පවා අරගෙන ඇවිත් දින කිහිපයක් ඇඩ්මිට් වෙනවා. අපි යන්නැයි කියා ඒ අයව යවනකම්ම ... ඒ කෙනෙක්ගෙන් මම ඇහුවා ඇයි මෙහෙම කරන්නේ කියලා.. දරුවෝ දීග තල ගිහින්.. බිරිඳ මිය ගිහින්.. ඔහුට ආශ්වාදයක් ගෙන එන්නේ ගෙදර වගේ දැනෙන්නේ...ඉස්පිරිතාලේ බව ඔහු නොකියා කීවා. ඉතින් ඔවුන් කැමතී ලෙඩ වෙනවාට .. ලෙඩ ඔවුන් එක්ක ඉන්නවාට.

කිසිවක් හෝ කිසිවෙක් අහිමි කල ඔවුන්ට ඇති එකම වෙනස ඇති කරන.. රෝගී බවට ඔවුන් ඇලුම් කරනවා එය අපේ කිවිඳියගේ කවි පද වලින් මට සිලිටුව එළි දකිනවා. සුව කළ නොහැකි ජානගත රෝගයකින් පීඩා විඳින දරුවන් අතරින් එක් දරුවෙක් මට කියනවා.. "ඩොක්ටර් මේ රෝගය සමග පොරබදලා මම එකතු කරගත් ජීවිතාවබෝදය කොයිතරම් ද කියනවනම් .. මේක නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් තිබුණත් දැන්නම් මට ඒක ඕනෙ නෑ කියලා”  මේ කවි තුලින් අපට බොහෝ දුර සිතන්නට හැකි කරුණු ගෙන හැර පානවා.‍‍‍ අන්න ඒකයි මේ කවි අප සියුම් ව විඳිය යුත්තේ.

නිදහස් කවිය මිසක් නිසඳැස් කියා දෙයක් නොමැති බව පුවත් පත් මණ්ඩලයේ එක්තරා කතිකාවකදී මහාචාර්‍ය සුනන්ද මහේන්ද්‍රයන් පවසනවා. ඒකම .. චාමික මුණසිංහ මහතාගේ "පද්‍ය සම්ප්‍රදායේ නව්‍ය ප්‍රවණතා" කෘතියේද සඳහන් වෙනවා. කවි ලියන්න යම්කිසි ශික්ෂණයක් සහ අවබෝධයක් ලැබිය යුතුය යනුවෙන් ප්‍රවීණ කවියන් ප්‍රකාශ කර සිටිනවා. ඒ කියන්නේ භාෂාව සහ සමාජය ගැන තිබිය යුතු අවබෝධය බව පැරණි කවියන්ගේ කාව්‍ය විශ්ලේෂණයන් සහ විචාර කියවද්දී හමුවෙනවා. විශේෂයෙන්ම අතීතයේ පළ වූ සාහිත්‍ය ලිපි තුලින් මේවා හමුවෙනවා. සර් ෆිලිප් සිඩ්නිගේ an apology for poetry… නම් ලියවිල්ලේ සඳහන් වෙනවා. කවියක් ලිවීම කියන්නේ ප්‍රති නිර්මාණයක් බවත් කවියාගේ නිර්මාණ හුදු මනංකල්පිත ඒවා නොවන බවත් ඔහු අහසේ මාලිගා තනන්නෙක් නොවන බවත් ඔහු එහිදී පැහැදිලි කරනවා. “සිය දිව්‍යමය හුස්ම ලොව වෙත පිටකරමින් වඩා සුන්දර ලොවක් කවියා අතින් නිමවෙයි. කවියාට වඩා උතුම් ජීවියෙක් බිහි කිරීමට සොබාදහමට කිසිසේත්ම නුපුළුවන. එහෙයින් කවියා දෙවියන්ගෙන් ප්‍රභාව ලත් නිර්මාපකයකු යන විරුදාවලිය ලැබීමට සුදුසු වෙයි” යනුවෙන් ආරියවංශ රණවීරයන් සිය කවිය සහ කවියා යන කාව්‍ය ආවර්ජනා එකතුවේදී මේ ලියවිලි පරිවර්ථනය කර තිබේ.

කවියෙක් කියන්නේ මෙහෙම කෙනෙක්ට .. මේවගේ හිතකට .. කවියක් කියන්නේ මෙන්න මේ වගේ දෙයකට... දකින්න විඳින්න හදවතින් ස්පර්ෂ කරන්න හැකි දෙයකට බව කීවත් අපිට මේක මේ වගේම දැනෙනවද ?  මම නම් හිතන්නේ පුද්ගලයාගේ ඇතුලාන්තයේ පිවිතුරු සහ මානුෂීය බව ඔහුගේ හෝ ඇයගේ ලේඛන ක්‍රියාවලදීත් තිබිය යුතු බවයි.
අපි දැන් දකින කවියන් කිවිඳියන් මේ ආකාරයේ අයද ? ඔවුන්ගේ කවි වලින් සිදුවන්නේ සමාජ ශෝදනයක් ද ? ඔවුන් ලියන කියන පද බොහෝ මිහිරි මානුෂීය වුනත් ඔවුන් ඇත්තෙන්ම මානව හිතවාදී පිරිසක් ද ? මට නම් අන්තර්ජාලය තුළ සහ ඉන් පිටතදී නව්‍ය කවියන් මුහුණ දෙන දෑ ගැන ඇසූ විට සිතෙන්නේ... මේ අපි ගතකරමින් ඉන්නේ වචනෙට පමණක් ආදරය මෛත්‍රීය කරුණාව ඔබ්බන යුගයක බවයි. හිතෙන් බොහෝ කුහකකම් අදමිටු කම් කරමින්, ලෝකයාට හොඳ වෙන්නැයි දෙසා බාන යුගයක බවයි.

සැබෑ කවිය යනු ජීවිතය සහ එහි විඳීම් ගැන කවියාගේ පරිකල්පනය ඔස්සේ ගෙත්තම් වන විවරණයක්. අන්න ඒ විවරණය වෙන කෙනෙකුගේ සිතේ වෙනසක් ඇති කරන්න තරම් ප්‍රබල නම් එයින්ම කවියාගේ වෑයම සාර්ථක බව සනාථ වෙයි. විඳින්නා අමන්දානන්දයට පත් කීරීම මෙන්ම විඳින්නාගේ සිතේ සිතුවිලි වලින් සංවාදයක් ද ඇති කිරීම ද කළ යුතුය.

මේ එවැනි තවත් සිත් ගත් කවියක්....
කවි අංක 24 පිටු අංක 37

රන් කෙණ්ඩියෙන් පැන් නො දුන්නත්
                   වැව් ජලය මට සැප ගෙනා
මගුල් උයනේ සිසිල් පොකුණින්
                    ගතේ සරතැස වැඩි උනා
දූල් සළුපිලි හඳවමින් නෙක
                රාජ යහන'ත සැතපෙනා
අනේ සැප නැහැ බුදු තාත්තේ
                නුඹේ දුප්පත් පැල විනා

තිසර තුඩු වියැකුණාදෙන් ඔහෙ
          එන්න හැකිනම් නුඹෙ පැලට යලි
එසේ නො වුනොත් යන්ට හරිනෙමි
             ම'පන මේ කතරෙහිම වියළී
ඈත රටකට යනුය සැඟවී
          නැගණියන් නොම කර ඔහුට බිලි
මගේ පවු බර මම දරන්නෙමි
             සසරෙ දී හමු වෙන තුරා යළි

මේ කවිය ඇගේ සඳැස් කවි ලියන්නට ඇති දස්කම අපූරුවට ගෙන හැර පාන අතර අතීතයේ පටන් මේ දක්වා.. බල ඇත්තන්ගේ අතින් අතට යමින් විනාශ වෙන ස්ත්‍රීන්ගේ ඛේදවාචකය ඉන් පැහැදිලි කරනවා. මට සිතෙන්නේ මේ කවිය එදා රජුන්ගේ අතඃපුරයේ ජීවිත ගෙවූ ස්ත්‍රීන් ගැන මෙන්ම අදටත් බලධරයන් නිසා සිය ජීවිත වල අයිතිය පවා අහිමි වූ ඒ දුක්ඛ දායි කතා පුවත මෙසේ සඳැස් කවියක් බවට පෙරලන්නේ අපේ හිත මොහොතකට ඒ දිහාට ගෙන යමිනි. ස්ත්‍රීන් අතීතයේ වර්ථමානයේ සහ අනාගතයේද නොයෙක් පීඩනයන් සහ අරගලයන්ට මැදිවී තම දිවි ගෙවති. දියණියක, මවක, බිරිඳක මෙන්ම රැකියා ස්ථාන වලදී නොයෙක් අංශයන්ගෙන් පුරුෂයන් හා උරෙනුර ගැටෙමින් තම කාර්යය භාරය ඉටු කරති. මේ දුක් කරදර අරගල මැදින් කවි ලිවීම ම, සාහිත්‍යකරණයේ යෙදීම ම ප්‍රශංසනීය ය. ගැඹුරු අර්ථාන්විත, සුබසින් පෝෂිත, අනෝමා මිහිඳුකුළසූරිය කිවිඳියගේ මේ නැවුම් කෘතිය සිංහල කවි අහසට මහත් වූ අපූර්වත්වයක් ගෙන දෙන්නේ එහෙයිනි
.
මගේ කථාව අවසන් කරන්නට  මා සුවිශේෂී කවියක් තෝරා ගත්තා.
මහගම සේකර කවියාණන් ගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ ඇති මගෙ කවියෙන් මා නොසොයන් යන කවියයි මේ.

අඳුරු අහස් ගැබ කෙළවර
රන් වන් පැහැයෙන් පායන
පහන් තරුව දැක ගන්නට
ඒගැන දැන හෝ නොම දැන
ඔබත් මමත් අපි හැම දෙන
යමින් සිටිමු එකම අතට

ඒ ගමනේ මට හමුවන
ගල් පරුවත හෙල් ප්‍රපාත
මට වගේම ඔබ හැමටත්
යම් දවසෙක හමුවනු ඇත
මා යන මග කටු පඳුරින්
දෙපය බිඳී ගලන ලෙයින්
කටු මඟ හැර නිසි මඟදැන
ඔබේ ගමන නිම කොට ඔබ

අප සොයනා පහන් තරුව
මට පළමුව දැක ගතහොත්
ඒ වෙනුවෙන් ඔබේ පයට
ආසිරි මල් පිබිදෙනු ඇත
ඒ මල් තුල මා දකින්න...

අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ෂ සිතුවිල්ලක් එක්කරන මේ කවියම කවියා මානුෂීය බවින්, සමාජයේ අන් අයට ඉහළින් ඔසවා තබන බවයි මට සිතෙන්නේ...

අපි සිදු කළ යුත්තේද, එයයි... අනුන් අපට කලියෙන් විශිෂ්ඨත්වය සාක්ෂාත් කරගන්නේ නම් ඒ වෙනුවෙන් පැසසුම් එක් කරන්නට තරම් අප නිහතමානී විය යුතුය.
ඒ නිරපේක්ෂ ප්‍රාර්ථනාවත් සමගම, අනෝමා මිහිඳුකුලසූරිය මහත්මියට තවත් පොත් කිහිපයක් ලිවීමට දිරිය ශක්තිය මම පතමි.

බෝධිනී සමරතුංග
2016 December 22

මතක් කළ යුතුම අය : ස්තූතිය.. - වසන්තා මිහිඳුකුලසූරිය මහත්මිය ට, ... මේ ලිපියේ ඇති අක්ෂර දොස් නිදොස් කර දුන්නාට...
ස්තූතිය... -  කතා කරන්නට ප්‍රථම එය අසා එයට තව එකතු විය යුතු කරුණු ආදිය මතක් කරමින් දිරි දුන් තරු රසී අක්කා ට !