Saturday, 9 April 2016

විජය ධජය - කවි සලකුණ

මොන්ටිසෝරි යන වයසේ දරුවෙක්, දහම් පාසලේදී, කවියක් ගායනා කන්නට කියූ විට "පෙම් වන්තියේ මාගේ ප්‍රේම කතාවේ" යැයි ගායනා කරනවා, ළමා කවි අහේනියකින් පෙළෙනවා, සේකරයන්ගේ ජායාරුපයක් මුහුණු පොතෙහි පල කර විට ඒ මගේ තාත්තාදැයි ඇතැමුන් අසනවා, විරිත් , එලි සමය හෝ කවියක අර්ථ මාදුර්යය, ශබ්ද මාදුර්යය ගැන කිසිත් නොදන්නා පරපුරක් නිදහස් කවි නිසදැස් කවි ලියමින් කවිකමෙහි යෙදෙනවා, කවි ඉඩෝරයට වට මහා වැස්සක් සේ සඳස කවි පිටුව තුලින් අපට කාව්‍යකරණයේ හරි මං පෙත් පෙන්වා දෙමින්, වියත් කවි කිවිඳියන් පරපුරක් හමුවෙනවා. පරිගණක ජංගම දුරකථන ඔස්සේ මානව සම්බන්දතා ගොඩ නැගෙන මේ යුගයේ හද බස වුනු කවි කම නිසා මට මුණගැහුණ විජය මාපලාන මහතාගේ විජය ධජය කවි පොත කල එළි බසින දිනෙ මට ඒ ගැන කතාකරන්නට ලැබීම මා ලද ගෞරවයක් !

අපට ආවේනික වූ කලා මාධ්‍යයන් තුල කවියට ලැබෙන්නේ විශේෂ තැනක්. පාළුව කාන්සිය මග හැර ගැනීමටත් රසාස්වාදය සඳහාත් එදා පැල් රකිද්දී ගොයම් නෙලද්දී සාමුහිකව කියූ කවි තුල තිබුනේ ජන සමාජයේ අව්‍යාජ සංකල්පනාය. අද වන විට ඒ තත්වය වෙනස් වෙමින් මානව සම්බන්දතා පවත්වාගෙන යන සමාජගත වන අන්තර්ජාලය තුලට මේ කවි බස තිබෙන්නේ නිතැතින්මයි.

අප වියත් කවියාණන්ගේ කවි කම් විවේචනයට හෝ විචාරයට මා තරම් නොවේ යයි මට හැගෙනවා එනමුත් අන්තර්ජාලය තුල වසර 10ක පමණ කාලයක් වෙබ අඩවි, ෆොරුම,බ්ලොග් සහ මුහුණු පොත ඔස්සේ කවි ලියු මට හමුවුන මානව හිතවාදී සොඳුරු කවියාණන්ගේ මග පෙන්වීම් දිරිගැන්වීම් උපදෙස් හමුවේ ඔපමට්ටම් වූ කවි කම ගැන කියන්නට කතා මට බොහොමයි.

කවියේ අරමුණ ජිවිතවබෝදය බවත් එය ලබන තැනැත්තා යහපතට පෙළඹෙන බවත් සර් ෆිලිප් සිඩ්නිගේ අපොලොජි ෆෝ පොයෙට්‍රි නම් පොතේ සඳහන් වෙනවා. එනිසාම කවියෙක් යනු පවතින යථාර්තය හොඳ අතට හරවන්නෙක් බව ඔහු සඳහන් කරනවා. විජය මාපලාන සොඳුරු කවියා තුලින් මම මේ ලක්ෂණය දකිනවා. ඔහුගේ කවි තුලින් කියවන්නාගේ සිත සහ ගතිගුණ ශෝදනය කරමින් මානව හිතවාදී සමාජ සත්කාරයක් සිදු කරනවා.



පෙදෙන් බුදු සිරිත අනුව යමින් තෙරුවනට මුල් තැන දෙමින් රචනා වෙන කවි පද අතරේ, එක දිගට කියවාගෙන යා හැකි පද බැඳීම් බොහොමයි.

නිසඳැස් කවි ලියන්නට ඕනෑ කෙනෙකුට පුළුවන්, නමුත් හපන්කම වෙන්නේ සඳස් කවි පබැඳුම බව මා කවි ලියන්නට පටන් ගත කල අප්පච්චි කියා දෙනවා. එලි සමය රැක කවි ලිවිම දුෂ්කරයි. දොස් නැතිව කාව්‍ය රීතියට, රිද්මයට කවියක් ලිවිම දුෂ්කරයි. නමුත් විජය මාපලාන කවියා ඒ දුෂ්කරතාවය ජය ගනිමින්, සඳස් කවි පද බදිනයුරු අප නිරන්තරයෙන් දකිනවා. නැවත නැවත කියවන්නට හිත පොළබවන දෑ හිත කාමී කවි, පෙම්කවි සංවාද කවි, උපදේශ කවි, ළමා කවි වලින් සැදුම් ලත් මේ පොත ඊට සාක්ෂි දරනවා.

2015 පෙබරවාරි මස ඔහු මට ත්‍යාගයක් එවනවා, ඒ මව් සෙනෙහස කැටිවුණු දරු නැළවිලි කවි පෙළක්. දරුවන් සඳහා ලියවුනු නව නිර්මාණ කව ගී වල අඩුවක් පවතින මෙවන් යුගයක ඔහු දරුවන් වෙනුවෙන් ළමා කවි රාශියක් රචනා කරනවා, සොඳුරු නිර්මාණකරුවන්ගේ උදව්වෙන් ඒවාට රූප ඔබ්බවා කැටයම් කොට අන්තර්ජාලය ඔස්සේ සමාජය වෙත තිලිණ කරනවා.

දුව ආවා මගේ තුරුලට , පුතු වැඩියා අපේ දෝතට , දුවේ , ආදරේ , ගෙනත් දෙනවදෝ කිරි පැණි, සමනලයෝ හෙටත් වරෙන් වනේ දරු සෙනෙහස රැඳී කවි රාශියක් ඔහු අප වෙත තිලින කරනවා

සිගිරි ලඳකගේ මල් පැස නැලවී රෝසමලේ පෙති සිප කඩුපුල් මල් යායක සිට මවගේ පියාගේ දෝතට පැමිණෙන බව කියවෙන මෙවන් කවි, සොබා දහමේ සුන්දර බව, අප මව් බිමේ ඉතිහාසය , වීරත්වය ශුරත්වය කැටි කොටගත් කවි දුලබ මෙවන් යුගයක ඔබ ලියු ඒ කවි ගායනා කරමින් දුව නැලවූ අයුරු මට මතක් වෙන්නේ නිතැතින්. ළමා කවි ඉඩෝරයට වට මහා වැස්සක් වන වූ මේ කවි, පොතට සිමා නොකර මතු දිනෙක ගීත මාධ්‍යයෙන් අප දුවා දරුවන් වෙත ලබාදිය හැකිවේවායි මා ප්‍රර්ථනා කරනවා.


කවි සංවාද , කවි මඩු හිටිවන කවි පබැඳුම් මේ දේවල් අද කාර්ය බහුලත්වයත් සමගම කවි සමාජයෙන් ඈත්වෙලා. එනමුත් මුහුණු පොතේ කවි සමුහ තුල මේ ආකෘති අපට හමුවෙනවා.

ඔහුගේ පොතටත් ඇතුල් කර ඇති මේ සංවාද කියවද්දී, හාස්‍ය රසය මෙන්ම උපදේශ ද අප වෙත ලබා දෙනවා. එහෙත් මේ පොතට ඇතුලත් නොවුණු ඔහුගේ රසබර කවි කොතරම් තිබේද.

මුහුණු පොත තුල පලවන දෑ සඳහා ඔහු ඇසිල්ලකින් කවි නිර්මාණය කරනවා මා දැක තිබෙනවා. කවි සංවාද , පිළිතුරු කවි පබඳින අතරේ ඔහුගේ කවියක් අපි කියවන්නේ එහි රැඳුනු හාස්‍ය රසය ඉක්මවූ කවි රසය නිසාමයි. අවුරුදු දිනයේ අවුරුදු කෑම මේසය වෙතම දෑස් දල්වාගෙන සිටින මගේ කුඩා දියණියගේ පින්තුරයකට ඔහු ලියු මේ කවිය අපට මහත් වින්දනයක් ගෙන දුන්නා .

මටත් ඇහෙනවා කොවුලගෙ නාදය හරි මිහිරියි මගෙ හිත............නැම්මේ

නැකැත් තියෙනවා නොවැ අවුරුද්දට ඇයි මං ඉඳුලෙහි නොම.......දැම්මේ

කටත් ඇරෙනවා කිරිබත් සුවඳට කැවුමුත් මේසෙට විත්.................පිම්මේ

හෙටත් ඉන්න වේවි ද මට මෙහෙමම අවුරුදු ගෙවිලා යයි...............අම්මේ

බෝ සමරතුංග

No comments: