Wednesday, 6 April 2016

කඳවුරු මතක සටහන්...


බාලදක්ෂ මතක සටහන් කිහිපයක් අල්ලා ලිපියක් ලියන්නට හිතුනේ, එකට පාසැල් බාලදක්ෂිකා කණ්ඩායමේ සිටි මගේ මිතුරියක් සහ මම අද අපේ පැරණි මතක ගැන දොඩමළු උන නිසා.
මට මතක විදිහට මම බාලදක්ෂ සංගමයට එකතු උනේ, 3 වසරෙදි ඒ , කුඩා මිතුරියෝ කියන කොටසට. ඒකට මාව යොමු කරේ අම්මා තමයි. ඉතින් අපිට කරන්න තියෙන කණ්ඩායම් ව්‍යාපෘති වලට උදව් වුනෙත් අම්මා. මුලින්ම තිබ්බා පොල් ගෙඩියක් සුද්ද කරලා බිඳලා ගාන්න. 3 වසරේදී පොල් ගෙඩියක් සුද්ද කරනවා තියා මන්නේ අල්ලන්නෙත් බයෙන් බයෙන්, ඒත් ඉතින් ගෙදර පොල් බිඳින හැම සැරේකම අම්මා මට ඒක පංගනාතු කරනවා ඉගෙන ගන්නය කියලා, පොල් ගෙඩිය බින්දම පොල් වතුර වැක්කෙරනවා ඇඟ පුරාම, ඒ මදිවට අතට වඩා ලොකුයි පොල් ගෙඩිය, 3 වසර කියන්නේ බොහොම පොඩි වයසක්නේ. ඒත් ඉතින් අමාරුවෙන්, වතුර සින්ක් එක ළඟ බංකුවක් තියලා ඒක උඩ නැගලා පොල් ගෙඩිය බිඳින්න පුරුදු වුනා. ඒත් බංකුව හෙළවිලා වැටුන අවස්ථාත් නැත්තෙම නෑ.
කොහොම කොහොම හරි පොල් ගාන්න ගත්තයින්, අම්මා උයද්දී අනිවාරයෙන් පොල් ගෙඩිය ගාලා දෙන කර්තව්‍ය මටම බාර උනා. ඒත් හිරමනේ ඉස්සරහ ඉඳ ගෙන පොල් ගානකොට හිරමනේ බංකුව පිටිපස්සෙන් උඩ යනවා. ඒකට පිළියමක් හැටියට මල්ලී ඇවිත් සහයට වාඩි වෙලා ඉන්නවා පිටිපස්සෙන්. ඔහොම තමයි ඉතින් ඩබල් දාලා පොල් ගෑවේ. හොඳට පුරුදු උනාට පස්සේ අපි සේරම හිරමණ අරගෙන ඇවිත් ඉස්කෝලේ දවසක් පොල් ගෑවා ඒ ක්‍රියාකාරකම ඉවර කරන්න. ඒ ටෙස්ට් එකත් පාස් උනාය කියමු. සතියට හැමදාම කාට හරි උදව් වෙලා, හොඳ වැඩ කරලා ඒවා ලියලා රූප වශයෙන් ඇඳලා පොත ගෙනියන්න ඕනේ සංගම් එකමුතුවට. ඒක මොනතරම් හොඳ ව්‍යායාමයක්ද පොඩි එවුන්ට. ඒත් අද කාලේ ඔය වගේ සංගම් වලට බැඳිලා ක්‍රියාකාරී වෙන්න පොඩි අයට වෙලාවක් නෑනේ, ඇයි ශිෂ්‍යත්ව පංතියි, ටියුෂන් පංතියි සතියේ හැම දාම පිරිලානේ. camping යන එක තමයි ඒ කාලේ අපට තිබුන ලොකුම සතුට. කුඩා මිතුරියෝ සංගමයේදී ඉතින් කෑම්ප් කලේ දවස් 2, 3 විතර, ඒත් අපිටම උයා ගන්න තරම් දැනුමක් තිබ්බේ නෑ. අනික කූඩාරම් වල නිදාගන්න ලැබුනෙත් නෑ.

 ඉස්කෝලෙම ශාලාවක තමයි හිටියේ. නමුත් දවස පුරා නොයෙකුත් ක්‍රියාකාරකම් පිරි ඒ දවස් කිහිපය අපේ චරිත සාධනයට ඉතා වැදගත් වුනාය කියලයි මට හිතෙන්නේ. 5 වසරෙදි පදක්කම් ලබාගන්න තිබුනු නොයෙකුත් ක්‍රියාකාරී විභාග හැම එකක්ම වගේ ජීවිතයට අලුත් පාඩමක් කියා දුන්නා. මට මතකයි cooker's බැජ් එක ගන්න දර ලිපක් බැඳලා අල හොද්දක් උයන්න තිබුනා, අන්නාසී ස්ටූ එකක් හදන්නත් තිබ්බා. ඒක කරද්දී, ගඩොල් ගල් තුනකින් ලිපක් හදන හැටිත්, දර කෝටු අසුරලා හොඳ ගින්දර සැපයීමක් ලබා ගන්න හැටිත් අපට පුහුණු කලා. ආයෙ ගොවිතැන් බැජ් එකට ගෙවත්තේ කුඩා කොටසක වගා බිමක් සකසා එය සරුසාර ලෙස වගා කරන්නත් වුනා. ඒක බලන්න කොමසාරිස්තුමිය ගෙදරට ආවා. ඔහොම ක්‍රියාකාරකම් අවසානයේ ලැබෙන බැජ් (ලාංජන) සුදු නිළ ඇඳුමේ අත් දෙක පුරා එල්ල ගන්න ඒ කාලේ අපට තිබ්බේ ලොකූ ආශාවක්. බ්‍රහස්පතින්දා දවසට පාසැල් එන්නේ බාලදක්ශ නිල ඇඳුමෙන් නිසා, පංතියේ අනෙක් අය අතර කැපී පේනවා.

කුඩා මිතුරී සංගමයෙන් පසු අප එකතු වෙන්නේ බාල දක්ෂිකා සංගමයට ඒ 7 වසරේදී. එහිදී වඩා බාර දූර කාර්‍යයන් වලට මුහුණ දෙන්න සිදු වුනා. ලණු , කෝටු කැබලි එකතු කරගෙන අවශ්‍ය උපකරණ සියල්ල නිර්මාණය කරන හැටි මෙන්ම, ජීවිතයේ ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ආකාරයේ චිත්ත ඒකාග්‍රතාවයක් ඒ පුහුණුව තුලින් වර්ධනය වුනා. ගෙදරින් පිට දවස් ගණන් කඳවුරු වලට සහභාගී වෙන්න ලැබීම තමයි ඒ කාලයේ අපට තිබුනු ලොකුම සතුටු දායක අවස්ථාව. මා සහභාගි වූනු විශාලම කඳවුර බාලදක්ෂිකාවන් දහසකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වුනු හික්කඩුවේ ශ්‍රී සුමංගල විදුහල් භූමියේදී පැවති 7 දින කඳවුරයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්මෙ ළමුන් සහභාගි වුන මෙයට, කොළඹින් 90 දෙනෙක් සහභාගී වුනා. බස් රථ 3 හික්කඩුවට යද්දී කොළඹ විවිධ පාසැල් රැසකින් පැමිණ සිටි අපි හැමෝම හොඳ යාළුවෝ වෙලා හමාරයි.
විශාල පිට්ටනිය වටේට කූඩාරම් සවි කොට, අපේ අඩුම කුඩුම එහි පිළිවෙලට තබා, අවට තිබුන අරලියා ගස් අතර අප කුස්සිය සාදා ගත්තා, ඒ තනිකරම , කොහු ලණු සහ ලී දඬු ආදාරයෙන්. හැමෝගෙම පිඟන් එකතු කර පිළිවෙලට තැබීමට සෑදූ පිඟන් රාක්කය, මේස, බඩු රඳවන වගේම දත් බුරුසු පවා තැබීමට කොහු ලණු වලින් බුරුසු රඳවනයක් පවා අප අතින් නිමැවුන බව මතක් වෙනවා. ලණු තෙමලා ගැට ගසන්න ඉගෙන ගත්තෙත් , විවිද අවස්ථාවලදී යෙදිය යුතු ලණුවෙන් ගැට ගැසිය හැකි ක්‍රම ඉගෙන ගත්තෙත් බාලදක්ෂ පුහුණුවේදී. ලණු තෙමලා ගැට ගැසුවහම, ඒ ලණු වේලෙනකොට ගැට තවත් තද වෙනවා එම කෙඳි හැකිලෙන නිසා. බාලදක්ෂ ක්‍රියාකාරකම් වලදී විනය, සහ හික්මීම වඩාත් පරීක්ශාවට ලක් වෙනවා. ඒ වගේම ගතවුන හැම දිනකම හවස් වරුවේ සියල්ලන් ගිනි මැළය වටා එකතු වී සංස්කෘතික අංගයන් එළි දැක්වීම සහ ගීත ගායනා කිරීම තවත් විශේෂත්වයක්. බාලදක්ෂිකා කඳවුරු ගීත අදටත් මතකයේ රැව් දෙන්නේ ඒ සොඳුරු අතීතය සිහිපත් කරමින්.

දැඩි නියඟයක් දිවයින පුරා පැවති ඒ කාලයේ හික්කඩුව කෑම්ප් එකේ අපිත් වතුර නැතිව ගොඩක් දුක් වින්දත් ඒ සියලු බාධක , සිනාමුසුව විඳීමට අපි පුරුදු වුනා. ජීවිතේට ලිඳකින් වතුර ඇදලා නා නැති දැරියන් , ප්‍රදේශයේ පිහිටි කුඩා ලිං වලින් පනිට්ටු ලණු වල ගැටගසා වතුර ඇද නා වයසින් කුඩා සොයුරියන්වද නෑව්වා. විවිධ දිස්ත්‍රික්ක වලින් පැමිණියෝ කොළඹ අප හා මුලදී කථා කිරීමට අදි මදි කළද අවසන අප සියලු දෙන ඉතා හොඳ මිතුරියන් වුනා . කුඩා කණ්ඩායම් වලට බෙදා එක් එක් කණ්ඩායමට දින වෙන් කර, ඉවීම, කෑම පිළිගැන්වීම සහ අස් පස් කිරීම වැනි දෑ කාලසටහනකට අනුව කරන්න තිබුනා. සමහර වෙලාවට ලුණු වැඩිවෙනවා, එක්කෝ මිරිස් වැඩිවෙනවා, විශාල ගණනකට කෑම හදන්න පුරුද්දක් තිබුන අය නෙමෙයිනේ අපි, මට මතක විදිහට අපි බොහෝ දෙනෙක් 10 වසරේ සිටියදී මේ කඳවුරට සහභාගි වුනේ. රාත්‍රියට පවා දැඩි රස්නයක් පැවති එකළ කූඩාරම තුල නිදාගැනීමට අපොහොසත්ව, අපි සියලු දෙන ඉන් පිටත, මෙට්ට එළා පැදුරු එළා නිදා ගත්තෙ. තරු දිලෙන අහස පෙනි පෙනී එළිමහනේ නිදාගත් පළමු සහ අවසන් වතාවත් එච්චරයි. නින්ද යන තෙක් හොල්මන් කථා කී හැටිත්, එකට එකතුවී නොයෙකුත් නාට්‍ය සංදර්ශන සඳහා පුරුදු වූ සැටිත්, නොයෙක් ක්‍රියාකාරකම් වල යෙදුන හැටිත් මතකයට නැගෙද්දී ගතවූ ඒ කාලය කොතරම් සොඳුරුදැයි හිතුනා. පාසැලේ පැවති සිව් දින කඳවුරේදී මහ රෑ වැසි වැටී ගංවතුර ගලද්දී කූඩාරම් හකුලා ශාලාවකට ඒමට සිදුවීමත්, රෑ තිස්සේ, හොල්මන් සිටිනවා යැයි ප්‍රසිද්ධ එම බිල්ඩිමේ සද්ද වලට කන් යොමාගෙන ඉන්න අතරේ ඇහුනු සද්ද නිසා කෑ කෝ ගසා සියල්ලෝම අවදි කර බැනුම් ඇසීමත් කඳවුරු ජීවිතයේ ලබපු රසවත් අත්දැකීම් වලින් සමහරක්.

ඊළඟට කොළඹ නගරයේ පාසැල් අතර පැවති බාලදක්ෂ, බාල දක්ෂිකා උත්සව වලදී නිරන්තරයෙන් එකිනෙකා හමුවීමට මග පෑදුනා. ප්‍රථමාදාර ගැන වෙනම ඉගෙනීමක් ලැබීමට අපිට සිදුවුනා. ශාන්ත ජෝන්ස් වැනි ආයතන හරහා නියමිත පුහුණු පාඨමාලා හදාරා ඒ ගැන හොඳ වැටහීමක් ලැබුනා. හදිසි අවස්ථාවකදී ක්‍රියාකලයුතු ආකාරය මැනැවින් පුහුණු කළා. සමාජයේ විවිද තලයන්හි මිනිසුන් හා ගැටෙමින්, ඔවුනට උදව් කරමින් අප කෙරූ සාමුහික ක්‍රියාකාරකම් තුලින් වඩා හොඳ පෞරුෂයක් ගොඩ නැගෙනවා කියලයි මට හිතෙන්නේ. වැඩිහිටි නිවාස, ළමා නිවාස වැනි තැන් වලට ගොස් අස් පස් කිරීම, කෑම ඉවීම, සහ ඔවුන් සමග කාලය ගත කිරීම, බොහෝ වෙලාවට සිදු වුනා. ඒ වගේම තනියම පාරවල් හොයාගෙන කොළඹ ප්‍රදේශයේ තැනින් තැනට යන්නත් සමහර විභාග ක්‍රියාකාරකම් වලදී (Path finder) සිද්ධ වුනා. එනිසා අදටත් ඉක්මනින් පාරවල් මතක හිටිනවා වගේම, ඕනේ දේශදීපංකරයක හොයාගෙන කරගෙන හරි තැනට යන්නත් බයක් නම් හිතෙන්නේ නෑ.
උසස් පෙළ කරද්දී අධ්‍යාපනය ගැන වඩා වැඩි අවධානයක් යොමු කිරීමට බාල දක්ෂිකා ව්‍යාපාරයෙන් සමුගැන්මට සිදුවුවද, ඒ ගතවූ කාලයේ ජීවිතයට ලැබුනු පන්නරය බොහෝමයි කියලා හිතෙන්නේ ජීවිතේ දුශ්කරම අවස්ථා වලට මුහුණ දෙද්දී. "Be prepared" බාල දක්ෂිකා සංගමයේ ආදර්ශ පාඨය වේ. ජීවිතයේ ලැබෙන ඕනෙම දේකින් සෑහීමට පත් වීමටත්, පෙර සූදානමකින් දැක්මකින් ජීවිතයට මුහුණ දීමටත් ඉන් බොහෝ සෙයින් හැකි වුනා කියන එක තමයි අපි බොහෝමයකගේ හැඟීම. බාලදක්ෂිකා ක්‍රියාකාරකම් වලට අපිව කුඩා කාලයේ පටන් යොමු කළ එගොඩාක් පින්, ගොඩාක් ස්තූතියි.
බ්ලොග් ලියන බාලදක්ෂයෝ , බාලදක්ෂිකාවෝ තව ඉන්නවද?

11 comments:

සු෴ said...

බාලදක්ෂ හීනයක් තිබුණ කෙනෙක් නම් ඉන්නවා :(

Bo said...

අනේ.... .

චමිල said...

මමත් බාලදක්ෂ වෙලා හිටියා පොඩි කාලේ. membership badge එක ගත්තෙත් අවුරුද්දක් විතර ඉඳලා. හැබැයි Scout Award එක මාසෙන් සම්පූර්ණ කලා. කැම්පරී, කැම්ප්, හයික් හැම එකකටම ගියා. ඒත් පස්සේ සාමාන්‍ය පෙළට ආවට පස්සේ වැඩේ නැවතුනා.

෴බින්කු෴ said...

හ්ම්...මාත් ගියා එක වසරේදී. ඒත් මට දිගටම යන්න බැරි වුනා මොකද පස්සේ අපි බාලදක්ෂ කණ්ඩායමේ ගුරුවරයෙක් මට අස් වෙන්න කිව්වා, මගේ අඩුපාඩුවක් නිසා. ඉතිං එක තමා මගේ බාලදක්ෂ ඉතිහාසය, ඒත් ඒ පොඩ්ඩ කාලයත් මතකයි මට, ඒ සින්දුත් තාම කටපාඩම් වගේ.

Constantin Demiris said...

I went up to district commisioner's award with 61st Colombo troop (DS) but all hopes of future involvement was dashed with O/L and A/L. Managed to get all the badges involved with swimming/diving/life saving thanks to my swimming coach those days who was a Navy officer (PPR sir). Was organising the venturer badge but time needed didnt allow me to concentrate on exams, so sadly gave up.

malee_msg said...

මේ මාත් ඉන්නවා.. මමත් පටන් ගත්තේ කුඩා මිතුරියක් විදියට 4 වසරෙදි. අපේ අම්මා තමයි මාව යොමු කලේ. සිස්ටර් සෙලීන් කියලා සිස්ටර් කෙනෙක් තමයි අපිව භාරව කටයුතු කලේ.. මුද්දර කුරුළු පිහාටු එකතු කරන එක පුරුදු වුනේ ඒ නිසයි.ගෙදරදි උයලා ඒ ගැන ලිපියක් ගේන්න කිව්වම මට ඇත්තටම ඒ දේ කරන්න උනා. අම්මාගේ කකුළ මොනාද වුනු හින්දා.ඉතිං ලිව්ම අරන් ගියේ හරිම ආසාවෙන්. පදක්කමක් ගන්න ඕනි කමට ඒ දවස් වල මට ලොකු මුද්දර එකතුවක් තිබ්බා. 5 වසරෙදි අපිව ටීචර් කෙනෙකුගෙ ගෙදර එක්ක ගියා කදවුරු අත්දැකීම ලබා දෙන්න. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට යන්න බැරි වුනා. ඒ නිසා‍ අදාල බැජ් එකත් මට නැති වුනා. හැබැයි දවසක් පාරේ තිබිලා මම ඒ බැජ් එක ඇහින්දා. අපේ පාසැල් කණ්ඩායමේ එකක් නෙවෙයි කියලා පහුවදා හොයා ගත්තා. ඒත් ඉතිං ඒක හැමදාම ගෙදර තිබ්බා. මට පළදින්න බැහැනේ. 6 වසරෙදි පාසලේදි අල කිරි හොද්දක් හැදුවා.. තව බිත්තර ඔම්ලට්.. සැන්විචස් හැදුවා.. තේත් හැදුවා.එළිමහනේ ඒ වැඩ කරද්දි හරිම ආසයි. අන්තිමේ අශ්ව ලාඩමේ හැ‍‍ඩේට ඉදගෙන කන බොන එක තවත් ජොලි. ගිණිකූරකින් කඩදාසියක් නිවෙන්න නැතිව පත්තු කරන විදිය මම ඉගන ගත්තේ අල හොද්ද හදන්න දර ලිප පත්තු කරන්න ගිහින්.
හැබැයි ඉතිං 9 වසරෙදි විතර අපේ මුලු පාසලේම බාලදකෂ ව්‍යාපාරය නතර වුනා. එවකට හිටිය විදුහල්පතිනිය කිසිම විෂය භාහිර වැඩකට දිරි දීමක් නොවුන නිසාත් සිස්ටර් සෙලීන් ට මාරුවක් ලැබුන නිසාත්. :(

ecH said...

ෂා.. මාර සුන්දර අත්දැකීම් ටිකක්. ඇත්තටම කියන්න මම නම් කිසිම විධියක බාල දක්ෂයෙක් වුණේ නෑ. මට එහෙම වෙන්න කිසිම ඕනකමක් තිබුණෙත් නෑ. නමුත් 6-7 පන්ති වලට වෙනකල් බාලදක්ෂයෝ වුණ අපේ යාළුවො හිටිය අපේ පන්තියේ. ඊට පස්සෙ නම් මොනා වුණාද මතක නෑ. හැබැයි එකක්! අපේ ඉස්කෝලෙ බාලදක්ෂයින්ට වඩා අපි ඉස්කෝලෙ බාහිර වැඩ නම් කලා. :)

ආගන්තුකයා said...

අපේ තාත්තට ඔය බාලදක්ෂ කතාව කිව්වාම අකමැති වුනා... මම පෝතක බාලදක්ෂ කලේ නම් නෑ... මගෙත් උසස්පෙල නිසාවෙන් සහ තාත්තට අසුවීම නිස ප්‍රධාන කොමසාරිස් ප්‍රදානයට පස්සේ බාලදක්ෂ කටයුතුවලට සම්බන්ධ වුනේ නෑ... මට මේකෙන් ආයි ඒ යටගියාව මතක් වුනා..

Priyankara Perera said...

අපරාදේ මටත් තිබුනේ අපේ ඉස්කොලේ බාලදක්ශ සංගමයට බෑදෙන්න , කොහෙද මේ විභාග අස්සේ ඔවා කරන්න වෙලාවක් නෑහෑ කියලා හිතුවට , අන්තිමට විභාගෙත් අනාගත්තා. එ අතින් ඔයා එ ඔක්කොම සමබරව ඉටුකරගෙන. අන්තිමට ආපස්ස හෑරිලා බලපුවම සතුටු වෙන්න පුලුවන් අතිතයක් , කොච්චර හොදද... සතුටුයී.

මම නම් කියන්නේ මේ අධ්යාපන ක්‍රමයේ කොහේ හරි ලොකු වෑරෑද්දක් තියනවා . මේ විදිහට ගියොත් අනාගත ලමා පරපුර කිසිම හෑගිමක් දෑනිමක් නෑති යන්ත්‍ර සුත්‍ර ආකාරයට පත්වෙනවා. හොදම උදාහරනය මේදාපාර අපේ උසස් පෙල සමත්වෙලා විශ්ව විද්යාලයට තේරුනේ ගුරුවරුන්වත් බලා පොරොත්තු නොවිච්ච අය , එ කියන්නේ හෑමදාම ඉස්කොලේ ඈවිල්ලා , හිනාවෙලා , සින්දු කියලා , සතුටින් , සෑහෑල්ලුවෙන් හිටපු අය. පොත් ගුල්ලෝයී , ටියුශන් කාරයොයී , ඔන්න දෙවනි වතාවට ලෑහෑස්ති වෙනවා.

තව දෙයක් , පොල් ගානවා කියද්දි මතක් වුනේ , අපේ පෑත්තේ ඉන්න සමහර ගෑහෑනු ලමයීන්ට නම් පොල් ගෙඩියක් බිදගන්න තියා ගාගන්නවත් තාම බෑහෑ.ඉතින් තව මොන කතාද , මම මේ කතාකරන්නේ අවුරුදු 15 , 16 ගතවෙච්ච අය පිලිබදව. බලන්නකෝ එකෙත් හෑටි.

Bo said...

සමහර දේවල් දිහා ආයෙමත් හැරිලා බැලුවම පසු තැවිල්ලක් ඇතිවෙන අවස්ථාත් ගොඩක් තියෙනවා මල්ලී, පාඩම් වැඩ අතපසු වේයැයි සිතා ක්‍රීඩා වලට යොමු නොවුන එක මම දකින ලොකුම අතපසු වීම. බාස්කට්බෝල් නෙට්බෝල් වැනි යමක් කරානම් කොයිතරම් හොඳද, ඒත් එල්ලේ සහ ක්‍රිකට්නම් ගැහුවා. ඒත් නිකම් ඉඳලා හිටලා, පාසැලේදී. අනික තමයි ඒකාලේ හැම දෙයක් ගැනම ගොඩක් කරදර වුනා. දැන්නම් ඊට වඩා සැහැල්ලුවෙන් කල් ගතකරනවා.

ආගන්තුකයා said...

මම උසස් පෙල පල්මු අවුරුද්ද අනාගත්තේ ක්‍රීඩා කරලා... මට ක්‍රීඩා 2කින් වර්ණ තියනවා... ලොකුකමට කියනවා නෙමෙයි... බාහිර වැඩ අධ්‍යාපනයට නම් කොහෙත්ම බාධාවක් නෙමෙයි කියලා තමා මම නම් හිතන්නේ... අනික අපේ මලයා කියනවා වගේ ක්‍රීඩාවට අධ්‍යාපනය නිසා නවතින්නේ නෑ... ටිකක් මගහැරෙනවා තමා... ඒත් ආසාවට ඒ ඔක්කම කරනවා... කොහොමහරි අන්තිමට හීනය බොඳ වුනා... ".008" කින් මට වෛද්‍ය විද්‍යාලේ අහිමි වුනා ... ඒකත් හරි මම අන්තිම වසරේ ක්‍රීඩාව කලා නම්... ඒ අතින් "බෝ" වාසනාවන්තයි අන්තිමට චරිත සහතිකයයි... සාතික ටිකයි විතරයි..