Wednesday, 6 April 2016

ලොකු හුස්මක් එක්ක කවියට පෙම් බැඳ නැවතත් !

බ්ලොග් එක අමතක වීමක් නොවේ... කවි කම අමතක වීමක් ය !

කාලයත් එක්ක අපිට අත් හරින්නට සිදුවන දේවල් බොහෝමයි. වෛද්‍ය ශිෂ්‍ය අවදියේ ලියූ මේ බ්ලොග් එක නැවත පටන් ගන්න කම්මැලිකමක් තිබුනේ අනිත්කොන බ්ලොග් පිටුව දිගටම ලියවුනු නිසා... අනිත්කොන සමග මනුපුර සක්මන නමින් පොත් දෙකක්ම ලියා පල කර බොහොම කාලයක් ගෙවී ගිහින්...
කවි පොත් කතා පොත් අතර සංවාද, කතිකා, රූපවාහිනි සංවාද පවා .... මුහුණු පොත එක්ක බෙදා හදා ගත්තත් කවියට පෙම්බැඳ නැවත ලියන්න කියා ආරාධනා කොතෙකුත්...
කවිය සංසාරගත පුරුද්දක් බවද මස් ලේ ඇටමිදුළු පසාරු කරමින් දුවන්නේ කවි බවද දනිමි.
එනමුදු පෙර පරිදි ලියන්නට ඇති නො හැකියාව සඟවන්නේ නැතිව ලියමි... මේ කව මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයෙනි...

නුඹ ඇවිත් මගේඅහසට

නැවතෙන්න සිතුව සිත් මුල
වියළෙන්න බැලුව නෙත් අග
හිනැහෙන්න සතුට අරගෙන
නුඹ ඇවිත් මගේ අහසට

අතරමං වෙද්දි දිවි මග
නොවක් දුක් කටුක මං පෙත
හැර යන්න බැලුව කල් බිඳ
නුඹ ඇවිත් මගේ අහසට

ළඟ ඉන්න තරම් නොමදෙන
පෙර යන්න දුරක් නොබැලුව
විඳ ගන්න කුරිරු කම් සිඳ
නුඹ ඇවිත් මගේ අහසට

හැරයන්න සිතක් නැතිවිය
මිය යන්න ඉතින් බැරි විය
හෙට ඉන්න ඇවැසිමය මම
නුඹ ඇවිත් නිසා අහසට

බෝ සමරතුංග 2014

No comments: