ගෙතූ කවි කම් වලින් සිත් සතන් නිති නිවුනු
යථා ලොව මෙයයි කවි කම් වලින් පද බැඳුනු
මග හැරිමි තිරිසනුන් අනුන් තලනට වැඩුනු
කියෙව්වෙමි මිනිස් කම් සයිබර් පිටු මත රැඳුනු
මිනිස් අමිනිස් කරුම රෝග බිය දුක් විපත්
කවියකින් හැකි වේද නිවන්නට මේ කිසිත්
අනුන් ගැන පහන් සිත් ඇති කරන ලෝකයක්
දයා කරුණා සපිරි ලබැඳි මනුසත් කැලක්
නැගෙමි නගනට දිනෙක අප නිවන ලෝකයක්
නැගෙමි දරනට අතේ සිත් සදන පැන් පොදක්
නැගෙමි කියනට දනන් හද නිවන වචනයක්
නැගෙමි දිරිදෙන්ට මතු තනන මනුසත් ලොවක්
බෝ ~
කවි හෝ කතා බස් නෙමෙයි ජීවිතේ කියන්නේ. .
ඒක මම හොඳාකාරවම දන්න දෙයක්. කොහොමත්, මරණින් පසු, මේ සියලු දෙයෙහි වටිනාකමක් තියෙනවද, ලිව්වා කියලා බ්ලොග් හැදුවා කියලා හැම එකකින්ම මම දකින්නේ ලෞකිකමය වටිනාකමක් මිසක ලෝකෝත්තර දියුණුවක් ඉන් ලැබෙන්නේ නෑ.
"මගෙ පස්සෙන් එන්න " කියලා මම ලියන්න ගත්තු නවකථා බ්ලොග් අඩවියට තවත් කොටසක් එකතු කලා. දහසකුත් එකක් වැඩ අතර ,ලිවීම ඉක්මන් වුනේ, කියවූ සැනින් අදහස් ලියන, මට තවත් ලියන්න යැයි කියන, මලී නංගී සහ බින්කු මල්ලී නිසාමයි. ලිවීම නිසා මට ඇතිවූ යහළුවන් බෝහෝමයි. මගෙ පස්සෙන් එන්න කතාව නිසා අපූරු සිද්ධි ගණනාවකට මුහුණ දෙන්න සිදු වුනා. මගේ හිතවත්ම යහළුවෙකුගේ මඟුල් ගෙදරදී , ඔහුගේ අතගත් මනමාලියට මා හඳුන්වා දුන් විට " ආ ඔයාද සිංහලයා සයිට් එකේ මගෙ පස්සෙන් එන්න ලියන බෝ " කියලා ඇහුවේ නැද්ද. බලද්දී ඈ ඔන්ලයින් ඒ නවකතාව කියවන කෙනෙක්. ඉන්පසු සැරයක් එක්තරා ප්‍රිය සම්බාශනයකදී මුණගැසුනු කෙනෙක්, ආ ඔයානේ ලියන කෙනා, කියා ඇසුවේය. ඊටත් පසු කලෙක, මම හවස් වරුවේ කන්තෝරුවක රැකියාවක යෙදුනු කාලයේ අල්ලපු කන්තෝරුවක වැඩ කරපු නවීන් මල්ලී , මා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී පැවසුවේ ඔහු එක්තරා වෙබ් අඩවියක ලියන බවය. මමත් එහි ලියන වග පැවසූ විට, මගේ නම පැවසූ විට ඔහු පුදුමයෙන් පුදුමයට පත් විය. මන්ද ඔහු සිතාගෙන ඉඳලා තියෙන්නේ බෝ යනු, හැට පැනපු ලේඛිකාවක් කියලයි. මගේ කවි ඔහුගේ අම්මාටද යවා තිබුනේලු. මා මෙවැනි දෑ ලියුවේ ලිවීම ඔස්සේ මා වටා සිදුවූ සිදුවීම් ගැන සඳහනක් කරන්නට යි.
සමාන අදහස් ඇති අය එකතු වෙනවා. නොමැති අය එක්කෝ විවේචනය කරගන්නවා, නැත්නම් කිසි භජනයක් නැතිව සිටිනවා. කොහොම උනත් ලිවීම නිසා මෙලෙස ගොඩනැගුනු මේ සබඳතා හරි සුන්දරයි ! එනිසාම වෙන්න ඇති මේ ලියවීම් තුලින් ඇතිවන මිතුරු සබඳතා වඩා තිර වෙන්නේ
බ්ලොග් ලියන්නට අරගෙන අවුරුද්දක් වෙන්නත් ඇවිත්. මට බ්ලොග් ගැන මුලින්ම පෙන්වලා දුන්නේ සූ අක්කා, කපුටු පුතාගෙ රචනය, මැගි ආච්චිගේ හෑල්ල, වගේම මුලින්ම කියවපු බ්ලොග් තමයි, මලින්ත මල්ලීගේ සටහන, දසුන් මල්ලීගේ අලුත් ගෙදර, සුදාරක මල්ලීගේ බ්ලොග් සටහන. ඊට පස්සේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සොහොයුරන්ගේ උදව්වෙන්, යුනිකේත ස්ථාපනය කරගෙන, මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා ඒ වෙනකොට තාක්ෂණික කරුණු සඳහන් බ්ලොග් වැඩිපුරම තිබුනේ, නමුත් බ්ලොග් සමූහයේ සියල්ලන්, වෙනස් කාලීන මාතෘකා සහ සාහිත්‍යමය වටිනාකමක් ඇති දෑ ගැන ලියන්නට කියා අපව ගොඩාක් ධෛර්‍යමත් කලා.මගෙ පස්සෙන් එන්න බ්ලොග් අඩවියට බැනර් එකක් සාදා දුන් මා මිත්‍ර ශ්‍රී ශානුත් මතක් කර යුතුමයි මුලින් සිංහල යුනිකේත වලින් ලියද්දී, ඒ ගැන අප්‍රසාදයෙන් කථා බස් කල ඇතැමුන් පවා දැන් බ්ලොග් ස්ථාපනය කරගෙන යුනිකේත වලින් බ්ලොග් ලියනු දැකීම ප්‍රශංසනීයයි.
සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය තුලින් දැන හඳුනාගත් සොහොයුරු සොහොයුරියන් ගැන යමක් නොලියාම බෑ. ඒ පරිගණක වලින් ඉහළටම ඉගෙන ගෙන ඒ ඔස්සේ අප රටට සේවය කරන අතරෙම සමාජයට අනූපමේය සේවයක් ඔවුන් කරන නිසා. නම් ගම් සඳහන් නොකරන්නේ ඒවාත් වැරදියට කියවා තමන්ගේ මනෝ මැශිමේ බාල තත්වය නිසා වැරදි නිගමන වලට එළඹෙන පිරිස් සිටින නිසා.
නුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, ඇතුලු ගොඩාක් තැන්වල පාසැල්, වලට යන මා දන්නා ඇතැම් තරුණ මල්ලිලා බොහොමයක්, නොමිලේ වැඩසටහන් සහ වැඩමුළු පවත්වමින්, දැයේ දුවා දරුවන්ට පරිගණක දැනුම බෙදා දෙන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මමත් මේවා ගැන දැක්කේ ෆේස් බුක් අඩවියේ ඔවුන්ගේ පින්තූර තුලින්. හැම සති අන්තයකම තමන්ට ලැබෙන නිවාඩු කාලය, තම දැනුම නොමිලයේ බෙදා හරිමින් මෙවැනි දේ වලට යොදවන ඔවුන් වැන්නන් සමාජයට ආශිර්වාදයක්. ඒ වගේම උදව්වක් ඉල්ලන කාට උනත් උදව්වක් කරන්න ඔවුන් පසු බට වෙන්නේ නෑ. අපි දකින්නේ ඔවුන් ලියන අකුරු පමණයි, ඒවත් තාක්ශනික දෑ සම්බන්ද ලියැවීම් නිසා අපි බොහෝ දෙනෙකුට නොතේරෙන බව සැබවි. එනිසා මේ ලිපිය ඔවුන් සැමට ස්තූති කිරීමටයි. මා වැනි අඩු පරිගණක දැනුමක් සහ භාවිතයක් හිමි අයටත් ඉක්මනින් උදව්වක් ඉල්ලූ සැනින් ඉදිරිපත්වී උදව් කරන ඔබ සියලු දෙනාට ස්තූතියි.
8 comments:
ආ මේකේ මාත් ඉන්වා නොවෑ... හික්. මමනම් නවකතාව භායක්වත්කියවලා නෑනේ... හිමින් සැරේ ආයි කියවන්න ඕනා.
මුලින් බ්ලොග් ලිවිල්ල නිකමට වගේ පටන් ගත්තේ. ඒ කාලේ අපේ බලොග් කීදෙනාද කියෙව්වේ ඔක්කොම 50ක්වත් ඉන්න නැතුව ඇති. ඒ අතින් දැන් තත්වය ගැන ගොඩක් සතුටුයි!!
බ්ලොග් ලිවිල්ල හරහා නම් මමත් ගොඩක් අය (ඔබතුමී ඇතුළුව) අළුතෙන් අඳුනගත්ත. සමහර අය බ්ලොග් ලියන/ කියවන අය. තව සමහර අය බ්ලොග් කියවන අය. ගොඩක් අයගෙන් මම උපකාර ලබාගත්තා. සමහර අයට උදව් කළා තාක්ෂණික ගැටළු වලදී. අළුත් යාළුවො ගොඩයි චැට් ලිස්ට් එකේ!!!
ඉතිං අක්ක කියන කතාව ඇත්ත -- ලිවීම නිසා මෙලෙස ගොඩනැගුනු මේ සබඳතා හරි සුන්දරයි
සැපක් නැති පැලයට ඔබේ මෙත්තා
කහටක් නැති සිනාවට ඔබේ මුදිතා
ඉදින් නොනැවැති...
පරක් ලොවක් පුරා පතුරුවන කරුණා
ගලක් මුලක් දරා දැරිවෙන උපේක්ෂා
යන්න යන්න...
යන්න මේ පාර දිගේ යන්න නොසැබැදි
එන්න එන්න යාළුවනේ අත්වැල් බැදි
නගන්න නගන්න මේ අපේ දේශය සෑදි
ජය අපිටයි අපේ සිනාවටයි ඒ සැබැදි
ශාකු අයියාට මම එකඟයි, මේ තුලින් මට සත් පුරුෂයින් වගේම දැනුමත් ලැබුණා මේ අවකාශයට ඇවිත් මේ මාස ටිකේම. මෙතනදි මමත් මට උදව් කල ඩනිශ්ක අයියාත්, පහන් අයියාත්, ශාකු අයියාත්, ඉන්ද්‍රනාම අයියාටත් වගේම බෝ සුදු අක්කිටත් ස්තුතිය පල කරනවා, තවත් මේ නො කි අයත් සිටිනවා, ඔවුන්ටත් මගෙ තුතිය. මගේ අදහස් වලට එකඟ වෙන විරුද්ධ වෙන අයටත් ස්තුතිය.
මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ අනිත් අයගෙන් ඇත් වෙලා මගේ පාඩුවේ ඉන්න.. ඒත් එකෙන් වුනේ තවත් අළුත් පිරිසක් දැන ගන්න ලැබුනු එක.කොහොම උනත් සතුටුයි.. මේ ටික කාලෙට ඉගනගත්ත දේවල් ගැන.
අනික අක්කියෝ.. ඔයා කවදා දැම්මත් අපි කියවනවානේ..ඒක නිසා වැඩ පාඩු කරන් ලියන්න එපා.. කමක් නෑ ඉතිං අපි ඉවසන් කට ඇරන් බලන් ඉන්නම්..
අනේ මම නම් කතාව කියවන්නෙ නෑ ඕං. මම කොහොමත් ඒ තරම් ජාලයේ ඉන්න කෙනෙක් නෙවෙයි. ලැබෙන අවස්ථාවෙදි කරන්න පුළුවන් උපරිමය කරනවා මිස ඊට වඩා යන්න හිතන්නෙ නෑ මම. නමුත් ඔයා කියල තියෙන කතාව නම් සහතික ඇත්ත. නිර්මාණයක් හරහා නිර්මාණකරුවා දකින්නෙ එක විධියක අනාගතයක්. වර්තමානයේ නැති සුභවාදී හෙටක්. ඒක අද නෑ. ඒ නිසා කවි හෝ කතා නෙවෙයි ජීවිතේ.
Glad the story continues!! Keep it up!! :o)
මම මුලින්ම කියල කියවපු සිංහල බ්ලොග් එක තමයි 'කවියට පෙම් බැඳ...Poetry is a Way of Life'. මට මතක විදියට ඒ ගිය අවුරුද්දේ මුල හරිය. ඒ වෙනකොට සිංහල බ්ලොග් අවකාශය මේ තරම් විහිදී තිබුනෙ නැහැ. ඊට පෙර ඉදලා අක්ක ලියපු කවි එහෙම කියවලා තිබුනත්, බ්ලොග් සටහනත් එක්කම ඒවා වඩාත් නැවුම්ව විඳින්න හැකි උනා.
ගොඩක් වෙලාවට comment නොකලත්, මෙහි පලවූ බොහෝ දේ කියෙව්වේ කැමැත්තකින්.
ඉතිං ඒ හැමදේකටමත් ස්තූතියි.
තරමක කාලයක් බ්ලොග්කරණයේ යෙදුනත්, සිංහලෙන් බ්ලොග් ලියන්නත්, කවිකමට සයිබර් අවකාශයේ ඉඩක් දෙන්නත් මට පුරුදුකල අඩවිය තමයි මේ.
නිතර නිතර ලියන්නට වෙලාව නොලැබුනත්, ලැබෙන හැම ඉඩකම වචනයට දෙකට කරන ඔබේ දිරිමත් කිරීමෙන්, කොහොමහරි ලියන්නැයි කියා මටත් හිතෙනවා.
හිරවෙලා ඉඳලා යන්නම් නිදහසක් ලැබුනම, මේ පුරුද්දට වගේ ඇවිදින් තියපු සටහනක්.
ඔබටයි, ඔබේ කවියටයි ආයුබෝ!
Post a Comment