Saturday, 21 February 2009

වියොව සහ ඉන්පසු

වියොව සහ ඉන් පසු....

ආදරෙන් බලා ඇවිදින් හාද වී සැනෙන්
කාලයත් පෙමත් හැඟුමන් වේදනා අරන්
පාරමී පිරූ සෙනෙහස් නෑ තවත් හිතින්
පානෙ තෙල් සිඳී නිවිලා කළුවරයි ඉතින්

කෝපවී අනුන් බහකින් වෙන් වෙලා ගිහින්
වාදවී සැරෙන් දෙතැනක තැවනවා දුකින්
චාරයක් නොමැති කුණු කිළි දෝස හැම දෙසින්
වාරයක් ලැබෙන තුරු සිත සීරුවෙන් ඉඳින්

ආවොතින් දුකයි බැමි තව තිර වෙවී සැදෙයි
නාවොතින් හොඳයි තුන් සිත ක්ලේශයෙන් මිදෙයි
සසර මග දකිම් දුර කෙටි කර ගනිම් සිතෙයි
අතර මග ඇවිත් මර බල පවට සිත ඇදෙයි

බෝ

අවට සිදුවන ජීවිත අත්දැකීම් අලලා මේ කවි ත්‍රිත්වය ලියැවිනි. කාගේ හරි ජීවිතයක් ලියැවිලා තියෙනවා කියලා හිතිලා, මා එක්ක කෝප ගන්න එපා, මම බලන බලන අත පෙනෙන්නේ වියෝවීම් ය. එක්කෝ පෙම්වතා පෙම්වතීගෙන් වෙන්වෙලා, නැත්නම් සැමියා බිරිඳගෙන් වෙන්වෙලා, දරුවන් දෙමාපියන්ගෙන් වෙන්වෙලා, හැම තැනම හිත් රිදීම් තැලීම් දුක්වීම් නො අඩුව.
මේකට හේතුව මොකක්ද? මම නම් දකින ආකාරයට, හරියට ජීවිතයේ අරමුණ තේරුම් නොගැනීම මෙවාට හේතුව. අනෙකාගේ සිතුම් පැතුම් තේරුම් නොගැනීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. ගොඩක් විවාහ අවුල් වෙන්න නම් හේතුව වෙනත් පාර්ශවයන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම්.
නිමාවක් නැතිව ඇලීම් ගැලීම් බැඳීම් වැඩි කරගෙන , තිර කරගන්නමයි හදන්නේ. අනිත් කෙනා ඉන්න ඕනේ අපට ඕනෑ විදිහටයි කියලා හිතන මහා ආත්මාර්ථ හැඟීම මේ සියල්ලටම හේතු විය හැකියි. අනෙකාගේ සිතුම් පැතුම් වලට ඉඩ දෙන්න මදකටවත් නොහැකි කම මේවැනි අවුල් වියවුල් තව වැඩි කරනවා.
බොහෝ අය ජීවත් වෙන්නේ සදාකාලික ජීවිතයක් කියලා හිතාගෙන, පොඩ්ඩක් ඉදිරියට කල්පනා කරලා බැලුවොත් තේරෙනවා, ඉස්සරහට ජීවිතේ ගෙවිලා ඉවර වෙලා, වෙලාව ආවහම යන්න වෙද්දි, ගෙනියන්න වෙන්නේ රැස් කරගත්තු පව් පින් පොදිය විතරයි නේද කියලා. ඉතින් එහෙම එකේ ඊළඟට යන තැන සුභ සිද්ධියට වැඩක් කරගන්නවා මිසක ජීවිත අවුල් කරමින් දුක් දෙන එකෙන් වෙන්නේ තවත් පව් එක් වෙන එකයි නේද ? මේ දකින විඳින පුද්ගලයින් ආයෙ ඉතින් මේ ආත්ම භවයේ විතරයි, ඊට පස්සෙ අපි ආයෙ නන්නාඳුනන තත්වෙට පත්වෙනවා නේද කියලා පොඩි කාලෙ වැටහුන දවස් වල, ගොඩක් දුක හිතුනා, අම්මා අප්පච්චී, සහෝදර සහෝදරියන්, යාළුවන් , මේ බැඳීම් සියල්ල, මේ භවයෙන් හමාරයිනේද ? පසුව මේ සසරේ නියම ස්වභාවය කියලා වටහා ගන්න උත්සහ ගත්තා. තාමත් උත්සහ ගනිමින් ඉන්නවා. ඇස් පනාපිට රෝගීන් මිය යද්දී, කඳුළු වැටුනත් මරණය දිහා වඩා තේරුම් ඇතුව උපේක්ශා සහගතව බලන්න හිත හුරු කරගනිමින් ඉන්නවා. අවුරුදු විසිපහකටත් වඩා අපි කරේ සමාජයේ ජීවත් වෙන්න ක්‍රමයක් හොයපු එකනේ, ඒකෙන් පස්සේ කරන්නේ, ඉතින් පැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන එක. නමුත් මේ සියල්ල අවසානය, ශූන්‍යයි නේද. ඔක්කොම අත ඇරලා යන්න වෙනවා. එනිසා අධ්‍යාත්මික දියුණුවක් දැකීම වැදගත් කියලා හිතෙනවා.

8 comments:

සු෴ said...

බැඳීමු දුක් ගේනවා කියන්නේ ඇත්ත තමයි.. අම්මා වයසට ගිහින් ඉන්නවා දකින කොට ඉවසාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.. ජීවිතේ ඉවර වෙනවාට හරි බයයි..වෙනත් බැඳීම් වුනත් වෙනසක් නැහැ..වෙලාවකට හිතෙනවා හැම බැඳීමක්ම අතහැරලා දමන්නත්.. එතකොට දුකක් නැහැනෙ කියලා හිතෙනවා..ඒ එක්කම හිතෙනවා එහෙම හිතෙන එකත් හරි ආත්මාර්ථකාමියි නේද කියලා..මගේ හිත රිදෙනවට බය නිසා මං අනිත් අයව ඈත් කරන්න හදනවා.. ‍‍ඇලීම් බැඳීම් ජීවිතේට බලාපොරොත්තු එක් කළත් සතුටක් ගෙනාවත්..යන්තම් ඒවා හෙළවෙද්දි හරි .. ලෝක ස්වභාවයත් එක්ක වෙනස්කම් අහිමිවීම්වලට මූණ දෙද්දි හරි හරිම වේදනාවක් තමා දැනෙන්නෙ..
හිත බිඳෙන සැණින් හදාගන්න එක තමා හරි..ජීවිතෙන් පැනලා යන එක නෙවි කියලා මට හිතෙනවා ගොඩක් වෙලාවට..

෴ßÎŋЌυ෴ said...

අක්ක කියන දේට මම එකඟ වෙනවා. සමහරක් වෙලාවට සම්බන්ධතා බිද වටෙන්නේ බොරුව තුළින් ආදර කිරිමත් සැබෑ තත්වය හෙළි වු විටදිය. සු අක්කා කියන දේටත් මම එකඟ වෙනවා අක්කේ. මට මීට වඩා දෙයක් කියන්නට වචන කැටි කරන්න තේරෙන්නේ නෑ වගේ.

සරත් ගුණතුංග said...

කිසිම කෙනෙකුගෙ දෛවය වෙනස් කරන්න බැහැ. කර්මානුරූප ඉපදුනු පසු තමන්ගේ කර්මය අනුව තමන්ගේ ජීවිතය ගෙවිල යනව. මිනිස් ජීවිතයක් ලබාගන්නෙ ඉතාම කලාතුරකින් බව බුදුහිමි පවසල තියෙනව. ඒ ලබා ගත්ත මිනිස් ජීවිතය හැඟීම් වයට යට වෙලා නිකම් ඔහේ ගෙවිල යන්න ඇරියම දුක මිසක් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද? මෙලොව සදා පවතින දුක නම් වූ ස්වභාවය පිලිබඳව දහම් දෙසූ බුදුහිමි ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ පටන් මහා පරිනිර්වාන සූත්‍රය දක්වා දේශනා කලා. මේ බෞද්ධ මතය...

මහාචාර්ය බ්‍රයන් වයිස් කියන්නේ කෙනෙක් මේ ලොව නැවත උපදින්නේ යම් කිසි දෙයක් පෙරභවයක ඉගෙන නොගත් නිසා එය ඉගෙන ගන්නා තෙක් උපදින බවයි. ඒ කෙසේ නමුත් මට නම් පෙනෙන්නේ ආත්මාර්ථකාමිත්වය නිසා පවුල් කඩාකප්පල් වන බවයි. විවාහක සැමියා/බිරිඳ වෙනෙකෙකු සමග යෑම දැන් සාමාන්‍ය සිද්ධියක්. මේ ක්‍රියාවල විපාක බුදු දහමේ පෙන්වා තිබියදීත් යමෙක් එයම කරයි නම් මොනවා කරන්නද?

SRIshanu said...

ලෝකය කියන්නෙ බැඳීම්. බැඳීම් නිසා තමයි ලෝකය පවතින්නෙ. ඒ ලෝකය තුළම, සතුට වගේම දුක ගෙනත්දෙන්නෙත් මේ බැඳීම් ම තමයි. සියළු බැඳීම් වලින් නිදහස් වෙන විදිහක් අපට බුදු බණේ කියලදීල තියනව. ඒත් මේ ජීවත් වෙන විදිහට ඒ ගැන හිතන්නවත් පුළුවන් කියල මං හිතන්නෙ නෑ.

බොහෝ විට සතුට කියන දේ අප සමග ඉන්නෙ ටික මොහොතයි. අනෙක් හැම වෙලාවෙම දුක අප සොයා එනව. හැබැයි එහෙමයි කියල ඒ ගැන තැවි තැවී ඉන්න එක අමනෝඥකමක් කියලයි බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ.

ජීවිතේ දුක හඳුනගෙන සුභවාදීව බලන්න අපට ඉගෙනගන්න පුළුවන්නම් කළාතුරකින් ලැබුණු මේ මිනිස් ජීවිතය නියමාකාරයෙන් ගෙවන්නත්, යන තැනකට සෙතක් කරගන්නත් පුළුවන්.

"අද අද එයි මරු පිං කරගන්නෙ..." කියල ලොවැඩ සඟරාවෙ තියෙන්නෙ ඕකනේ...

SRIshanu said...

@සරත් ගුණතුංග මහත්මයා:
"කිසිම කෙනෙකුගෙ දෛවය වෙනස් කරන්න බැහැ. කර්මානුරූප ඉපදුනු පසු තමන්ගේ කර්මය අනුව තමන්ගේ ජීවිතය ගෙවිල යනව" කියන කාරණේට මං එකඟ නෑ. මං දන්න තරමින් බුදු දහමෙ එහෙම කියල නෑ. උදාහරණයක් හැටිය‍ට කෙනෙකුට මරණය අත්වන ආකාර පහක් ගැන බුදු හාමුදුරුවො දේශනා කරල තියනව නේද? ඉන් කර්මය නිසා මිය යෑම එකක් පමණයි.

මනුස්සයෙක්ගෙ කර්මය කියන්නෙ උපදිනකොට ගේන දේ විතරක් නෙමෙයි, උපන්දා ඉඳන් කරපු දේවලුත් ඒ ගිණුමටම බැරවෙනව කියලයි මට හිතෙන්නෙ. ('දිට්ඨ දම්ම වේදනීය කර්ම') එතකොට උපදිනකොට ගේන කර්මය එහෙම්මම පල නොදී මේ ආත්මයෙ කරන කියන දෑ එක්ක වෙනස් වෙනව. 'අහෝසි කම්ම' කියන්නෙ එවැනි වෙනස් වෙන්න පුළුවන් කර්ම ගණයක් නේද?

මං කියපු දේ වැරදි නම් කරුණාකර නිවැරදි කරන්න.

මේ ගැන තියන සෙන් කතාවක් මතක්වුණු නිසා කෙටියෙන් කියන්නම්.

එක පන්සලක සිටි සාමණේර භික්ෂුවකගේ කර්මය අනුව ජීවිත කාලය තව ඇත්තෙ දින කීපයක් බව නායක හාමුදුරුවන්ට පෙනිලා, සාමණේර භික්ෂුවට ඒ ගැන නොකියා තමුන්ගෙ දෙමාපියන් බලන්න යන්න කියා පිටත් කර හැරියා. අතරමගදි වතුර වලකට වැටුනු කූඹි ගොටුවක් නිසා කූඹින් මැරෙන බව දුටු සාමණේරනම කොල අත්තකින් වතුරේ ගිලෙමින් සිටි කූඹින් බේරාගන්නට ක්‍රියා කලා. ඒ කුසල කර්මය පල දීමෙන් ඒ සාමණේර හිමිගේ පෙර කර්මය අනුව තිබූ ජීවිත කාලය දීර්‍ඝවී දිගුකාලයක් ජීවත්වුනේලු.

AKKPdesign said...

......

malee_msg said...

අක්කා වාක්‍ය වලින් කිව්ව දේට වඩා කවියෙන් කිව්ව දේට මම කැමතියි! බැදීම් දුකයි තමයි.. බැදිම් වලින් වෙන් වීමත් දුකක්.. දුක නැත්තේ කොතනද ? කොහේ කොහොම කොතැනට ගියත් හිත රිදවන යමක් ඇතුලත් ව නැද්ද? තියනවා නේද? ඉක්මනින් සියල්ලෙන්ම ගැලවීලා මිසක් විසදුමක් නෑ නේද?

H said...

ඕන කෙනෙක් යමක් කමක් තේරෙන්න ගත්තු දා පටන් ජීවත් වෙන්න නිවැරදි ක්‍රමයක් හොයනව. ඒක සනාථ වුණාම එයා හිතන්නේ මම හරි කියල. ඉතිං ජීවිත කාලෙම ළඟින් ඉන්නම් කියල තෝරගන්න කෙනාත් තමාගෙ ඒ සිස්ටම් එකට අනුගත කරගන්නයි හැමෝම උත්සාහ කරන්නේ. ඒකෙදි හැමෝම හිතන්නේ මම තමයි පොර කියල. ඒ නිසා අනිත් කෙනාගෙ සිතිවිලි සහ උවමනා එපා කම් ගැන අවධානය යෙදෙන්නෙ නෑ. මම කියන්නෙ හැම වෙ‍ලේම එහෙම වෙනව කියල නෙවෙයි. ඒ වුණාට මේ කියන්නෙ ඒ නිසා වුණ දෙයක්නෙ නේද?.

කර්මය නම් මම ගණන් ගන්නෙ නෑ. මගේ පාලනයෙන් තොර දෙයක් මගේ ජීවිතේ තියෙන්න බෑ. ගොඩක් දන්න කෙනෙක් කියයි 'මම' කියන කෙනත් නෑ නේද කියල. මම ඒක දන්නව. ඒ වුණාට ජීවත් වෙන්නෙ මම. මම නොදන්න අතීතයක් හෝ අනාගතයක් ගැන මම තැවෙන්නෙ නෑ. ඉන්න ටිකේ හොඳින් ඉන්න බලනව. අනිත් අයටත් ඇහුම්කන් දෙනව.

මගේ පෙම්වතියගේ රුචිකත්වය මට වඩා ටිකක් වෙනස්. එයා ආස මම පොඩ්ඩක්වත් ආස නැති දේවල් තියෙනව. අනිත් පැත්තටත් එහෙමයි. එහෙම කියල අපි‍ට වෙන් වෙන්න ඕන නෑ. අපි ආස කරන නොකරන දේවල් වලට වඩා අභ්‍යන්තරයෙන් අපි එකිනෙකාට වෙලිල. ඒ හැම වෙලේම අකොට ඇහුම්කන් දීම නිසා. නැතුව පොර වීම නිසා නෙවෙයි. :)

ලස්සන කවියක් අක්කා. කවි ත්‍රිත්වය තුල සංවාදයට සෑහෙන්න දේවල් තියෙනව. :)