Saturday, 7 February 2009

දැක්කොත් දැක්කා විතරයි...

මාලුංක්‍යපුත්ත තෙරුන් වයසට ගිහින් පැවිදි වුන තෙරනමක්. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මාලුංක්‍යපුත්ත තෙරුන් " බුදුරජාණන් වහන්ස, බොහොම කෙටියෙන් බණ ටිකක් කියන්න මම විස්තර වශයෙන් වටහා ගන්නම්" කියලා කිව්වා.
එතකොට බුදු රජාණන් වහන්සේ ඇසුවේ "මාලුංක්‍යපුත්ත මම ඔබට කෙටියෙන් බණ කිව්වොත් තරුණයන්ට මොනවද කියන්නේ "කියලා .

එතකොට මාලුංක්‍යපුත්ත තෙරුන් කියනවා, මටත් පුළුවන් තරුණයෙක් වගේම සිතන්න මට කියා දෙන්න කියලා
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කලා,

"මාලුංක්‍යපුත්ත ඔබ දැක්කොත් දැක්කා විතරයි, ඔබට ඇහුනොත් ඇහුනා විතරයි, ඔබට නාහෙට ගඳ සුවඳක් දැනුනොත් දැනුනා විතරයි.ඔබට දිවට රස දැනුනොත් දැනුනා විතරයි, කයට පහස දැනුනොත් දැනුනා විතරයි, ඔබට හිතුනොත් සිතුවිල්ලක් එතනින් එච්චරයි. එතකොට ඔබ, ඔබ තුල නෑ, ඔබ තුල ඔබ නැත්නම් ඔබ වෙන තැනකත් නෑ, ඔබ ඔබ තුලත් නැත්නම් වෙන තැනකත් නැත්නම් ඔබ නිදහස් "
~කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ දහම් දේශනාවකින් ශ්‍රවනය කළෙමි.
_______________________________________________________

මේ කතාව මට මෙහි ලියන්න සිතුනේ, අපි කීප දෙනෙක් අතරේ ඇතිවුන කතා බහක් නිසා. සිත් කිපීම් , වෛර වැපිරීම් සහ වැරදි ලෙස වටහා ගැනීම් නිසා අප අතර බොහෝ දෙනෙක් සිටියේ අමනාපයෙන්, දුකෙන්. අනුන්ගේ දොස් දැක්කත් ඒවා අමතක කරලා ඔවුන්ගේ හොඳ ටික විතරක් දකින්න උත්සහ කරන අතරේ, දොස් පොදි ගසාගෙන ඒවා තවමත් කරපින්නාගෙන සිටින අය. ඒවගේම, එයාලට අදාල නැති දේවල් , අනුන්ගේ කුණු කන්දල් අවුසමින් ඒවා රස බලන අය අප අවට ඕනෑ තරම්.
ඒත් හිතේ තියෙන දොස් වචන වලින් එළියට දාලා තමන්ගේ හිත් සතුටු කරගත්තට ඔවුන් කිසි දිනක සිතන්නේ නෑ, ඔවුන් කරන දේ හරිද කියලා. එවැන්නවුන් නිසා අපහසුතාවයට පත්වෙන පිරිස් බොහෝමයි. ඒත් නිසි අධ්‍යාත්මික චින්තනයක් නොමැතිව , ලෞකිකමය දෑ පසු පස දුවන්නන් හට එවැනි දේ තුලින් තම සිත් සතන් සතුටු කරගන්නට හැකියාව ඇති බවයි අපට සිතුනේ.

එනිසා සිත් තැවුලෙන් සිටින සබැඳියන් හට වටහා දුන්නේ, කවුරු කොහොම මොනවා කීවත් ඔබව දන්නා කෙනා, ඒවායෙන් නොමග යන්නේ නැති බවයි . ඒවගේමකියන්නා කෙසේ කීවත් අසන්නා සිහි නුවණින් ඇසිය යුතුයිනේ. ඉතින් එක එක මානසික මට්ටම් වල සිටින පුද්ගලයින් අපිට දොස් කිව්වත් කෙනෙහිලිකම් කුහකකම් කලත් මම නම් හිතන්නේ නෑ. හරි පැවැත්මක ඉන්න කෙනෙක්ට ඉන් අබමල් රේණුවක හානියක් සිදුවෙනවා කියලා.

අනික අද වෙනකොට සමාජයේ හැමෝම පිළිගත් මතයක් තමයි, ගල් ගහන්නේ ඵල ඇති රුකටයි කියලා, ඒ කියන්නේ හොඳට සාරවත්ව හැදිලා ඵල බර වෙලා තියෙන ගහට තමයි හැමෝම ගල් ගහන්නේ, එනිසා එහෙම සාර්ථක පුද්ගලයින්ට චෝදනා එල්ල කලත් හැමෝම හැරිලා බලන්නේ මෙහෙම චෝදනා එල්ල කරපු කෙනා කවුද, එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මොකද මම අහලා තියෙනවා වතුර අඩු කලයේ තමයි වතුර හෙලවෙන්නේ කියලා. ඉතින් තමන්ගේ හිතේ තියෙන අසහනය තරහ වචන වලින් පිට කරලා කාගෙ හරි ඔලුවක් මත අත හරින එක එහෙම අයගේ සිරිත . ඒවට උත්තර දෙන්න තරම් කාලයක් ඇත්තටම නැති නිසා ඔන්නොහේ එයාලා වපුරන බිජුවට එයාලටම නෙලාගන්න වෙන හැටි බලාගෙන ඉඳීම තමයි වටින්නේ. ඉතින් මටනම් මොකක් දැක්කත්, දැක්කා විතරයි... එතනින් එහාට එය සිත තුල තැන්පත් කරගෙන උලුප්ප උලුප්පා දැක්වීම, සිතීම නොකර, එතනින් එපමණයි. මම දන්නේ නෑ ඔබට ඉහත ධර්ම දේශනා කොටස කෙසේ වටහුනාද කියලා. කිසිම දේකට ඇලීම් ගැලීම් නොමැතිව වෙසීම යෙහෙකැයි මට සිතේ.

පාළුය හැම අත හිරු නො එන මග තොට
නොදකිමි සුභ ඵල සුව දෙවන සිතකට
අනුන්ගේ දොස් දැක, හුවා දක්වන සඳ
මහත්‍ යැයි පෙන්වන තමන්ගේ ගුණ කඳ

සිතුවිලි දෝස් මුර නැග එයි මහ හඬින
කරට ගත් කුණු පොදි එල්ලාගෙන සිටින
අනුන් රෙදි සෝදමින් මඩේ ලා වේලන
තරම් නොම වේ මිනිස් සිත් මඩින

බෝ

13 comments:

කැඩපත said...

තමන්ගේ කොච්චර වැරදි තිබුණත් එවා නිවරදි කරගැන්මට උත්සාහ නොකරන අය අනිත් අයගේ වැරදි, අඩු පාඩු ගැන විවේචනය කරනවා.කාර්යාලයේ රාජකාරියක් ඉටුකරදෙන්න අල්ලස් ගන්න පුද්ගලයා ඇමතිතුමා මහ පරිමාණයෙන් අල්ලස් ගැනිම විවේචනය කරනවා.
කවුරුහරි අපේ වැරැද්දක් ගැන විවේචනය කරනවානම් කරන්න ඔනේ හොදම දේ තමයි වැරැද්ද නිවරදි කරගන්න එක.
එහෙම නැතිව ද්වේශයෙන් අපිට චෝදනා කරනවානම් මම හිතන විධියට හොදම දේ තමයි එ අය සමග සාමාකාමිව කතාකරන එක.එකෙන් ඵලක් නොමැතිනම් ඒ ගැන අපේ ලගින්ම ඉන්න හිතවතුන්ට ඇත්ත තේරුම්කරලා දිලා අර අසත්පුරුශයන්ගෙන් ඇත් වෙලා ඉන්න එක.
"ටිකක්වත් තම අතේ ගාගන්නේ නැතිව, වෙන කෙනෙකුට මඩ ගැසිමට ඔබට නුපුලුවන"
ඇබ්ගේට් වැන් බියුරන්

සු෴ said...

අනුන් රෙදි සෝදමින් මඩේ ලා වේලන..
ඇත්ත..මේක තමා හැමතැනම පේන්න තියෙන්නේ..

සරත් ගුණතුංග said...

සිත් දියුණු නොකරපු අපේ කාගෙත් තියෙන මතයක් තමයි, "මම" කියල කෙනෙක් ඉන්න බව. ඒ 'මම' හැමතිස්සෙම අපේ මනස තුල හොල්මන් කරනව. කවුරු හරි මොනව හරි කිව්වොත් රිදෙන්නෙත් 'මට'. අපේ ඔක්කොම දුක්, වේදනා ඇති වෙන්නෙ ඔය 'මම' කියන ප්‍රතිරූපය නිසා. අපි දන්නව 'මම' කියන්නෙ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියල. නමුත් අවබෝධයක් නැහැ. මම හිතන්නෙ අපේ ඔක්කොම ප්‍රශ්න, මේ ලෝකෙ අපි ඇති කරගන්න අවුල් ඔක්කොටම මුල තමයි "මම".

AgRa said...

මාරයි, ඒ වචන ටිකෙන්ම ලොකු අර්ථයක් එකතු කලා, මාලුක්‍යපුත්ත සූත්‍රය හොයාගෙන කියවන්න හිතාගත්තා.
සුජන ඇසුර ලබන්න හරිම අමාරුයි. ඒත් උත්සහ කරන්න පුලුවන් හැකි තරම් ධාර්මිකව වෙසෙන අය හඳුනාගන්න. තෑන්ක්ස් අක්කා.

Gaveen said...

මේ ලියමන දැක්කම මට පසුගිය කාලයක වුනු දෙයක් මතකයට ආවා.

ඉතින් ඒ සිදුවීම මෙතැන ලියාගෙන යද්දී ටිකක් දිග වැඩිවුනු බව හා තරමකට මාතෘකාවෙන් පිට බව තේරුනු නිසා, මගේ බ්ලොග් අඩවියකට ඒ සටහන ගෙනිහිල්ලා මෙහෙම Link (:හිතේ තියන දෙය කීම) එකක් තියනවා.

කාරණය මට සංවේදී එකක් නිසා, මීට වඩා යමක් කියන්න යන්නේ නෑ. කැමතිනම් කියවා බලන්න ඇරයුම් කරනවා.

Bo said...

කැඩපත - ඔව්මයි, හිතේ වැරදි චේතනාවෙන්, අන් කෙනෙක්ගේ යමක් ලියලා, මඩ ගහන්න උත්සහ ගන්න අය ගැන අනිත් අය වැඩිපුර හිතන බව ඒ අයට වැටහෙන්නේ නෑ. ඒකයි බොහෝ අය එයාලා තුල තියෙන ඒ නරක ගති වටහා ගන්නෙවත් නැත්තේ

සූ අක්කා - ඒකනේ, ඒත් ඒවත් ඉතින් "දැක්කොත් දැක්කා විතරයි..." ඒත් ඔවුන් තුල තිබෙන ද්වේෂ සහගත සිතුවිලි නැති වී. සැම සිත් තුල මෛත්‍රී සිතුවිලි පහළ වේවා කියලත් සිතන්න ඕනා.

Bo said...

සරත් මාමා- ඔබ කියන දේ ඇත්ත, "මම" අපි හඳුන ගත යුතුයි. ආත්මාර්ථකාමීකම නිසා තමයි බොහෝ අය නොදැනුවත්ව තම කොටස වැඩි කරගන්න ගිහින් අන් අයට හිරිහැරයක් වෙන්නේ

අග්‍ර - ස්තූතියි.සුදන මිනිසුන් අතර වෙසෙන්න ලැබීම මටත් සතුටක්

ගවීන් - ඒක ඇත්ත ගවීන්, අපි බොහෝ අය ගැන හිතා ඉන්න දේ ඇත්ත නෙමෙයි. බොහෝ අය අන් අයව දකින්නේ වෙන අයගේ උපැස් වලින්, ඒකයි ගොඩක්ම අවුල. ඔයාගේ යහළුවා ගැන කථාව කියෙව්වම මේක මතක් වුනා. අපි මිනිස්සු තේරුම් ගන්නේ පරක්කු වෙලා, එතකොට සමහර විට ඒ අය සදහටම අපෙන් ඈත්වෙලා ඉන්නත් පුළුවනි. පස්සෙ කාලෙක කල්පනා කරලා බැලුවම දුක් වෙන්න වෙනවා I always wanted to know him, to love him , to be with him, but yesterday he died.

SRIshanu said...

මිනිස්සු කොහොමත් හිතන්නෙ තනි තනිව. වැඩිම උනොත් තමුන්ගෙ ළමයි/අම්මා/තාත්ත. එතනින් එහාට හිතන්නෙ අතලොස්සයි. ඒක එක අතකට මනුස්ස ගතිය. වෙන අය ගැන හිතනවනම් ඒකත් බොහෝ වෙලාවට අනෙකාගෙ වැරැද්දක් හොයන්න.

හැමෝම හැමෝගැනම සුභවාදීව හිතනවනං මේ සමාජය මේ වගේ නෑ තමයි. ඒත් යථාර්තය එහෙම නෙමෙයි. ඒක හිතළුවක් විතරයි. ඒ ගැන දැනගෙන උපේක්ෂා සහගතව හැමසේම දකින්න උත්සාහ කරන එක තමයි හොඳම දේ.

malee_msg said...

අපේ සමාජේ ලේසිම ක්‍රමය විදියට තියෙන්නේ ඒක තමයි.. අපි සුදනෝ.. අනිත් සේරම වැරදියි..අපි කරන දේ විතරයි හරි.. අනිත් අය වැරදියි... එයා මට මෙහෙම කලා අරම කිව්වා.. එදා එහෙමයි.. අද වෙනස් වෙන්න බෑ.. අදත් හෙටත් එහෙම තමයි..

ඔහොම තමයි අපි හිතන්නේ.. වැරදුනු කෙනෙකුට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙන්න අපි සූදානම් නෑ.. ඒකයි බොහෝ ගැටළුවලට මුලත් කියලයි මම නම් හිතන්නේ.

Priyankara Perera said...

" ඉටුකොට කල යුතු යුතුකම්
ලෑබුනත් ලොකින් ගෑරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුබයී මගේ පුතා උතුම්..."

එස්. මහින්ද හිම්යන් කියන මේ විදිහට ඉන්න නම් හරිම අමාරුයී , එත් මනස දියුනු කරගත්තනම් එ තත්වයට ලගවෙන්න හෑකිවේවි. අපි උත්සහා කරලා බලමු...

මලි...
එකනම් ඈත්ත... අද ගොඩක් දෙනා හිතාගෙන ඉන්නනේ තමුන් තමයී " පොර " , " මම හරි , අනිත් අය වෑරදියී " කියලා. අද ඉන්න කියෙන් කි දෙනාද තමුන්ගේ වෑරෑද්ද්ක් පිලිගන්නේ...
මෙහම ලියන මමත් , මගේ වෑරෑද්දක් පිලිගන්නේ නෑහෑනේ. එ ඈයී , මම දකින විදිහට , අනික් අය වෑරදි පිලිනොගෙන ඉද්දි මම මගේ වෑරෑද්ද පිලිගන්න ගියොත් මම ලොකු අමාරුවක වෑටෙනවා . එකයී.

H said...

මේ දේවල් වෙන්නෙ බොරු මමංකාරයකින් ඔළුව පුරවන් ඉන්න හින්දයි. අනික තමන් අතිශය සාර්ථක perfect කෙනෙක් කියල හිතද්දිත් මේ පුරස්නෙ එනවා. එහෙම අයට හැදෙන්න බෑ. මොකද වෙනත් අය කියන ඒව අහන්න සූදානම් නැති නිසා. මටත් මේ අත්දැකීම විඳින්න වුණා. ඒ අනුව මට ඈත පලාතක රස්සාව කරන්න වෙලා තියෙන හේතුව තමයි මම මුල් පතිවීමේ ලියුම තනි අතෙන් භාරගත්තු එක. කවුද දන්නේ... දන්නවනම් අත් දෙක්න්ම බාරගන්නවනේ. ;)

Loku said...

ආවේ අහම්බෙන් උනත්, බෝධිගේ සටහනක් කියවන්න ලැබීම හිතට ගෙනාවේ සතුටක්.

සමහර වෙලාවල මම මං දිහාම බලා ඉන්නවා. ඒක මහ පුදුම දෙයක්. මේ මොහොතෙ මගේ ඇඟිලි යතුරු පුවරුව උඩ සෙල්ලං කරනවා වගේම, හිතට හිතුවිලි ගලා එනවාත් මට දැනෙනවා, පෙනෙනවා.

හිතට තරහ ඇවිත් කලබල වෙන වෙලාවලත්, මෝ‍ඩයෙක් වගේ කටට උනන වචන ඔහේ ගලා හැලෙන්න දෙන වෙලාවලත්, මොහොතකට දෙකකට උනත් මේ විදිහෙන් මගේ හිතෙන් ඈත් වෙලා බැළුවාම පේනවා කරන දේ වල හිස් බව...

මේ ලියවිල්ලත් හිස්ද...?

-ලොකු

යකා said...

ඇත්ත තිත්තයි...
අපේ ලංකාවෙ වැඩියම ඉන්න සත්තු කොට්ටාශය කවුද දන්නවද?
දෙපා චාරී මිනිස්සු නොහොත් දෙපත් නයි.උඩින් සුන්දරයි, යටින් ගින්දරයි.
අපේ උපාසක අම්මලත් එහෙමයි.පැල් බැඳගෙන බණ අහනව.පන්සිල් පද පහම කියනව.ඒ වුනාට ක්‍රියා කරණකොට ජීවිතේට පන්සලකට ගොඩවෙලාද හිතා ගන්ඩ බෑ.
උපාසක අම්මල විතරක් නෙමී.අපේ හාමුදුරු ගොල්ලොත් දැන් එහෙමයි.
සතර අපායෙන් එගොඩ වෙන්ඩ බණ කිව්වට බණ ලිව්වට වැඩක් වෙන්නෙ නෑ.
බණ ලියන කවුරුත් කියවන කවුරුත් ලියන විදිහට කියන විදිහට ක්‍රියා කිරීමයි වැදගත් වෙන්නෙ.

බොරුව පේන්ඩම බැරි එකෙක්