Saturday, 25 April 2009

කවිය නොකියවා කවියා කියැවීම.

ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න...

ලියන දෙයින් ලොව සනහා මෙත් මල් දම් පතුරවන්න
අසන දෙයින් මට වගේම ඔබටත් සතුටක් දැනෙන්න
රුදුරු වදන් පිට ලියලා හඬන සිතක් නොම තලන්න
මිතුරු වෙසින් එන සතුරන් හැමටම එක සේ සිටින්න

කියන කියුම් ගැන හිතලා පලක් නොවේ මැයි සිතන්න
ගහන ගහන හැම ගලක්ම මලක් වෙලා බිම වැටෙන්න
රිදෙන නිසා කෑ ගසනා අමිනිස් හිත් නොම තියෙන්න
ලියන සියල් මිනිසුන්ගේ හිත් නොතලා නුඹ ලියන්න



මහගම සේකර කවියාගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ එන මගෙ කවියෙන් මා නොසොයන් කවිය අපි නැවත මතක් කරගත යුතුයි...

අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ශ සිතුවිල්ලක් කැටි කොට ලියවුනු මේ කාව්‍යය මසිත නිරන්තර නින්නාද දේ.
මතුවටත් එසේමැයි.

කවිය නොකියවා කවියා කියැවීම බෙහෙවින් දක්නට ලැබෙන දෙයකි. කෙනෙකුගේ අනන්‍යතාවයට ගරු කරන මිනිසුන් බ්ලොග් අවකාශයේ නොසිටීම මේ සියල්ලටම හේතුවයි.
 සියල්ලන්ගේම වෛර සිතුවිලි නැතිවී, ද්වේශයෙන් පසුවන සියල්ලන්ගේම ද්වේශ සිතුවිලි නැතිවී ඔවුන් ගේ කිළිටි වූ සිත් සතන් නිවී සැනහේවා යන්න මගේ ඒකායන පැතුමයි.

Sunday, 12 April 2009

එරබදු මතක් කරන අවුරුද්ද


එරබදු මතක් කරන අවුරුද්ද ලඟ ඇවිත්
සුභ නැකැත් පිළිගන්න කැවුම් කිරිබත් ඉදෙත්
රුදු සතුරු ගිනි ඇවිල දහස් නෙත් තෙත් කරත්
සෝ සුසුම් මැද බොහෝ දනෝ අද දිවි ගෙවත්

රූ පෙට්ටි තිරය මත බෝ සිනා පිරෙන සඳ
සුභ නැකැත් මතක් කර සුභ කරයි අවුරුද්ද
හැම දෙසම හැම මුවෙම මේ සිනා නැගෙනවද
උන්ට නැති මේ සතුට අපි කොහොම සමරමුද

හතර කොණ හැම සිතක සිනහ මල් පීදිලා
නිදි වරා විඳින දුක් ගැහැට හැම නිමවෙලා
යුද ගිනි නිවී සතුරු ගැහැට හැම නැතිවෙලා
හිනැහෙයන් අවුරුද්ද මග ලකුණු සුභවෙලා

බෝ ©

උතුරට කදමලු බැඳගෙන නෑගම් යන්නට ලක ලැහැස්තිවෙන අපේ ඇත්තෝ පිරිසක් රූපවාහිනී තිරයෙන් දුටුවා. හැමදේම විවේචනය කර කර ඉන්නේ නැතුව යමක් කරන්නට පෙළඹීම ගැන ඒ අයට ගොඩාක් පිං. මොකද ඒ කොනෙත් මේ කොනෙත්, කොහිත් ඉන්නේ මිනිස්සු. අවුරුදු සැමරුම් නොමැතිව දුක් විඳින, තාමත් ත්‍රස්ත ග්‍රහණයෙ සිටින අහිංසකයන් ගැන දුකයි. ඉක්මනින් ත්‍රස්ත උවදුරු දුරුවී අපේ රට එක්සේසත් වෙන දිනය උදාවේවා කියා ප්‍රාර්ථනා කරමි.

හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා....
අපේ රටට ඉක්මනින් සාමය සතුට සෞභාග්‍යය උදාවේවා !
අලුතින් යමක් නොලියවුනත් පරණ මතක අලුත් කරමි

අලුත් අවුරුදු මතක

නෙත පිනන සනහන නිමාවන්
වත දුලන බබලන වෙලාවන්
හිත පිරෙන සනහන සිනහවන්
හද නිවන පහදන කතාවන්


මේ හැම පිරුණු සුභ අලුත් අවුරුද්දකට ආසිරි

ආයු බෝ වේ වා

(චිත්‍රය මවිසින් කුඩා කල අඳින ලද්දක්)

Thursday, 9 April 2009

සමුගන්න කාලයයි

වෛර කඳු ගොඩ ගසන් ඇයිද සිත් තලන්නේ
කෝපයෙන් වියරුවී තව පණක් නසන්නේ
මානයෙන් සිහි නුවණ විකල්වී මිනිසුනේ
පිරිහිලා වැනසිලා අගතියම දකින්නේ

දකින්නට රිසි දේම නිතර නෑ දකින්නේ
අසන්නට රිසි දේම නිතර නෑ ඇසෙන්නේ
හිඳින්නට හැමදාම මෙලොව මේ ලෙසින්නේ
කරන්නට බැරි දෙයත් ඒකමයි සිතෙන්නේ

පිරුණාම මෙත් සිහිල සිත සදා නිවෙන්නේ
කරුණාව පෙරදැරිව සෙනේහය වඩන්නේ
ඒ මගයි දැකගන්න මේ පෙරුම් පුරන්නේ
ඒ හිතයි මතුදාක නිවන් මග දකින්නේ

සුපින්වත් සිතුම් යති දැහැන්ගත වෙන සිතේ
සිතින්වත් නොකර පව් ගතකරමු ජීවිතේ
නිතින් කවි පද බැඳන් දුර ආව මාවතේ
ඉතින් දැන් සමුගන්න කාලයයි මට සිතේ

බෝ

Friday, 27 March 2009

අද..සංකල්පනා

අද !

බොහෝ කාලෙකින් ඉර නැඟෙනු දුටුවා !

අලුත් දවසක්
අලුත් එළියක්
අලුත් අරමුණු බොහෝමැයි

ඉර එළිය නුදුටු දෙනෙතක් ඒ ඉර එළිය දිහා බලාගෙන මද සිනහ නගනු දුටුවා...

සහන් එළියක්
සිහිල් සෙවනක්
හිතේ සැනසුම මෙතැනමයි !

ඇස් දෙකම පෙනෙන්නේ නැති අත්තම්මා කෙනෙක් මූණ අතගාලා හැඩරුව "බලාගත්තා" !

දුටිම් ලොව නෙත් දෙකින්
අඳව ගිය මුත් ඉතින්
පාට හැඩරුව නිතින්
දැනේ 'ඟිලි තුඩු අගින්

ඒ අතර,

මං මාත් එක්ක යුද්ධෙක
මගෙ හිතත් එක්ක යුද්ධෙක
සිත නිවා ගන්න යුද්ධෙක
ඉන් දිනාවිද මමත් දවසක..

බෝ

Sunday, 22 March 2009

කවි නෙමෙයි....

යුද ජයග්‍රහණ ගැන ඇසෙන අතරම අපේ ත්‍රිවිද හමුදාවන් වල සොයුරු සොයුරියන්, ත්‍රස්තවාදයට එරෙහි මේ යුද්ධයේ අවසනක් දකින්නට වෙහෙසෙන අයුරු දකින්නට ලැබේ. ඒ එක්කම තම දිවි පුදා බොහෝ ත්‍රස්ත ක්‍රියා වැලැක්වූ අප හමුදාවල සොහොයුරන් ගැන නිරන්තරයෙන් පුවත් පත් වලින් කියවන්න ලැබේ.
මරණයට බොහෝ අය බිය වෙති. මැරෙන්න බය නිසාවෙන් ජීවත් වෙන්න ඇති කැමැත්ත නිසාවෙන්, බොහෝ දෑ කරති. නමුත් තමන් ඊළඟ මිනිත්තුවේ මැරෙන බව දැන දැනම මව් බිම රැකීමට පෙරට යන ඔවුන්ගේ ඒ එඩිතර කම, සහ සවිය මොන තරම්ද ? සැබෑ වීරයන් ඔවුන් ය. මා ලියන්නේ යුද්ධය ගැනවත් මිනිස් ඝාතන ගැනවත් නොවේ. එහි සිට අප ආරක්ෂා කරන අපේ සොහොයුරු සොහොයුරියන් වෙනුවෙනි.

කවි නෙමෙයි කඳුළුයි දකින්නේ....

දොරින් දොර පැතුමන් නැගෙන්නේ
නුඹ ජයයි උන් හැම පතන්නේ
පුවත් ඒ දෙස සිට ඇසෙන්නේ
සෙමින් විත් හදවත සලන්නේ

මායිමෙන් පිට ගිනි බිඳින්නේ
ඒ දෙසින් වෙඩි හඬ ඇසෙන්නේ
වීරයන් ජීවිත පුදන්නේ
ඒ දුකයි කවිකර ලියන්නේ

පුතුන් තම දිවි පුද රකින්නේ
මවුන් ළය සුසුමන් නැගෙන්නේ
ඒ සුසුම් හදවත සලන්නේ
කවි නෙමෙයි කඳුළුයි ලියන්නේ

බිඳෙන් බිඳ කරුවල නැසෙන්නේ
අළුත් ඉර කවදද නැගෙන්නේ
රුපුන් ඔද විරුවන් බිඳින්නේ
හෙටක් ඒ දෙනෙතින් දකින්නේ

නසා රුදු කොටි බලය
දිනා උරුමය සවිය

දිනා උතුරද නිබඳ
නැවත එනු මැන සබඳ...

මේ කව අපේ හමුදා සොහොයුරන් , සොහොයුරියන් වෙනුවෙනි.
තම දිවි දෙවෙනි කොට මව් බිම රකින ඔවුන් හට තෙරුවන් සරණයි !

Sunday, 1 March 2009

කවි සහ කථා නෙමෙයි ජීවිතේ

ගෙතූ කවි කම් වලින් සිත් සතන් නිති නිවුනු
යථා ලොව මෙයයි කවි කම් වලින් පද බැඳුනු
මග හැරිමි තිරිසනුන් අනුන් තලනට වැඩුනු
කියෙව්වෙමි මිනිස් කම් සයිබර් පිටු මත රැඳුනු

මිනිස් අමිනිස් කරුම රෝග බිය දුක් විපත්
කවියකින් හැකි වේද නිවන්නට මේ කිසිත්
අනුන් ගැන පහන් සිත් ඇති කරන ලෝකයක්
දයා කරුණා සපිරි ලබැඳි මනුසත් කැලක්

නැගෙමි නගනට දිනෙක අප නිවන ලෝකයක්
නැගෙමි දරනට අතේ සිත් සදන පැන් පොදක්
නැගෙමි කියනට දනන් හද නිවන වචනයක්
නැගෙමි දිරිදෙන්ට මතු තනන මනුසත් ලොවක්

බෝ ~
කවි හෝ කතා බස් නෙමෙයි ජීවිතේ කියන්නේ. .
ඒක මම හොඳාකාරවම දන්න දෙයක්. කොහොමත්, මරණින් පසු, මේ සියලු දෙයෙහි වටිනාකමක් තියෙනවද, ලිව්වා කියලා බ්ලොග් හැදුවා කියලා හැම එකකින්ම මම දකින්නේ ලෞකිකමය වටිනාකමක් මිසක ලෝකෝත්තර දියුණුවක් ඉන් ලැබෙන්නේ නෑ.
"මගෙ පස්සෙන් එන්න " කියලා මම ලියන්න ගත්තු නවකථා බ්ලොග් අඩවියට තවත් කොටසක් එකතු කලා. දහසකුත් එකක් වැඩ අතර ,ලිවීම ඉක්මන් වුනේ, කියවූ සැනින් අදහස් ලියන, මට තවත් ලියන්න යැයි කියන, මලී නංගී සහ බින්කු මල්ලී නිසාමයි. ලිවීම නිසා මට ඇතිවූ යහළුවන් බෝහෝමයි. මගෙ පස්සෙන් එන්න කතාව නිසා අපූරු සිද්ධි ගණනාවකට මුහුණ දෙන්න සිදු වුනා. මගේ හිතවත්ම යහළුවෙකුගේ මඟුල් ගෙදරදී , ඔහුගේ අතගත් මනමාලියට මා හඳුන්වා දුන් විට " ආ ඔයාද සිංහලයා සයිට් එකේ මගෙ පස්සෙන් එන්න ලියන බෝ " කියලා ඇහුවේ නැද්ද. බලද්දී ඈ ඔන්ලයින් ඒ නවකතාව කියවන කෙනෙක්. ඉන්පසු සැරයක් එක්තරා ප්‍රිය සම්බාශනයකදී මුණගැසුනු කෙනෙක්, ආ ඔයානේ ලියන කෙනා, කියා ඇසුවේය. ඊටත් පසු කලෙක, මම හවස් වරුවේ කන්තෝරුවක රැකියාවක යෙදුනු කාලයේ අල්ලපු කන්තෝරුවක වැඩ කරපු නවීන් මල්ලී , මා සමග අල්ලාප සල්ලාපයේ යෙදෙද්දී පැවසුවේ ඔහු එක්තරා වෙබ් අඩවියක ලියන බවය. මමත් එහි ලියන වග පැවසූ විට, මගේ නම පැවසූ විට ඔහු පුදුමයෙන් පුදුමයට පත් විය. මන්ද ඔහු සිතාගෙන ඉඳලා තියෙන්නේ බෝ යනු, හැට පැනපු ලේඛිකාවක් කියලයි. මගේ කවි ඔහුගේ අම්මාටද යවා තිබුනේලු. මා මෙවැනි දෑ ලියුවේ ලිවීම ඔස්සේ මා වටා සිදුවූ සිදුවීම් ගැන සඳහනක් කරන්නට යි.

සමාන අදහස් ඇති අය එකතු වෙනවා. නොමැති අය එක්කෝ විවේචනය කරගන්නවා, නැත්නම් කිසි භජනයක් නැතිව සිටිනවා. කොහොම උනත් ලිවීම නිසා මෙලෙස ගොඩනැගුනු මේ සබඳතා හරි සුන්දරයි ! එනිසාම වෙන්න ඇති මේ ලියවීම් තුලින් ඇතිවන මිතුරු සබඳතා වඩා තිර වෙන්නේ

බ්ලොග් ලියන්නට අරගෙන අවුරුද්දක් වෙන්නත් ඇවිත්. මට බ්ලොග් ගැන මුලින්ම පෙන්වලා දුන්නේ සූ අක්කා, කපුටු පුතාගෙ රචනය, මැගි ආච්චිගේ හෑල්ල, වගේම මුලින්ම කියවපු බ්ලොග් තමයි, මලින්ත මල්ලීගේ සටහන, දසුන් මල්ලීගේ අලුත් ගෙදර, සුදාරක මල්ලීගේ බ්ලොග් සටහන. ඊට පස්සේ සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ සොහොයුරන්ගේ උදව්වෙන්, යුනිකේත ස්ථාපනය කරගෙන, මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා ඒ වෙනකොට තාක්ෂණික කරුණු සඳහන් බ්ලොග් වැඩිපුරම තිබුනේ, නමුත් බ්ලොග් සමූහයේ සියල්ලන්, වෙනස් කාලීන මාතෘකා සහ සාහිත්‍යමය වටිනාකමක් ඇති දෑ ගැන ලියන්නට කියා අපව ගොඩාක් ධෛර්‍යමත් කලා.මගෙ පස්සෙන් එන්න බ්ලොග් අඩවියට බැනර් එකක් සාදා දුන් මා මිත්‍ර ශ්‍රී ශානුත් මතක් කර යුතුමයි මුලින් සිංහල යුනිකේත වලින් ලියද්දී, ඒ ගැන අප්‍රසාදයෙන් කථා බස් කල ඇතැමුන් පවා දැන් බ්ලොග් ස්ථාපනය කරගෙන යුනිකේත වලින් බ්ලොග් ලියනු දැකීම ප්‍රශංසනීයයි.

සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය තුලින් දැන හඳුනාගත් සොහොයුරු සොහොයුරියන් ගැන යමක් නොලියාම බෑ. ඒ පරිගණක වලින් ඉහළටම ඉගෙන ගෙන ඒ ඔස්සේ අප රටට සේවය කරන අතරෙම සමාජයට අනූපමේය සේවයක් ඔවුන් කරන නිසා. නම් ගම් සඳහන් නොකරන්නේ ඒවාත් වැරදියට කියවා තමන්ගේ මනෝ මැශිමේ බාල තත්වය නිසා වැරදි නිගමන වලට එළඹෙන පිරිස් සිටින නිසා.
නුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, ඇතුලු ගොඩාක් තැන්වල පාසැල්, වලට යන මා දන්නා ඇතැම් තරුණ මල්ලිලා බොහොමයක්, නොමිලේ වැඩසටහන් සහ වැඩමුළු පවත්වමින්, දැයේ දුවා දරුවන්ට පරිගණක දැනුම බෙදා දෙන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. මමත් මේවා ගැන දැක්කේ ෆේස් බුක් අඩවියේ ඔවුන්ගේ පින්තූර තුලින්. හැම සති අන්තයකම තමන්ට ලැබෙන නිවාඩු කාලය, තම දැනුම නොමිලයේ බෙදා හරිමින් මෙවැනි දේ වලට යොදවන ඔවුන් වැන්නන් සමාජයට ආශිර්වාදයක්. ඒ වගේම උදව්වක් ඉල්ලන කාට උනත් උදව්වක් කරන්න ඔවුන් පසු බට වෙන්නේ නෑ. අපි දකින්නේ ඔවුන් ලියන අකුරු පමණයි, ඒවත් තාක්ශනික දෑ සම්බන්ද ලියැවීම් නිසා අපි බොහෝ දෙනෙකුට නොතේරෙන බව සැබවි. එනිසා මේ ලිපිය ඔවුන් සැමට ස්තූති කිරීමටයි. මා වැනි අඩු පරිගණක දැනුමක් සහ භාවිතයක් හිමි අයටත් ඉක්මනින් උදව්වක් ඉල්ලූ සැනින් ඉදිරිපත්වී උදව් කරන ඔබ සියලු දෙනාට ස්තූතියි.

Saturday, 21 February 2009

වියොව සහ ඉන්පසු

වියොව සහ ඉන් පසු....

ආදරෙන් බලා ඇවිදින් හාද වී සැනෙන්
කාලයත් පෙමත් හැඟුමන් වේදනා අරන්
පාරමී පිරූ සෙනෙහස් නෑ තවත් හිතින්
පානෙ තෙල් සිඳී නිවිලා කළුවරයි ඉතින්

කෝපවී අනුන් බහකින් වෙන් වෙලා ගිහින්
වාදවී සැරෙන් දෙතැනක තැවනවා දුකින්
චාරයක් නොමැති කුණු කිළි දෝස හැම දෙසින්
වාරයක් ලැබෙන තුරු සිත සීරුවෙන් ඉඳින්

ආවොතින් දුකයි බැමි තව තිර වෙවී සැදෙයි
නාවොතින් හොඳයි තුන් සිත ක්ලේශයෙන් මිදෙයි
සසර මග දකිම් දුර කෙටි කර ගනිම් සිතෙයි
අතර මග ඇවිත් මර බල පවට සිත ඇදෙයි

බෝ

අවට සිදුවන ජීවිත අත්දැකීම් අලලා මේ කවි ත්‍රිත්වය ලියැවිනි. කාගේ හරි ජීවිතයක් ලියැවිලා තියෙනවා කියලා හිතිලා, මා එක්ක කෝප ගන්න එපා, මම බලන බලන අත පෙනෙන්නේ වියෝවීම් ය. එක්කෝ පෙම්වතා පෙම්වතීගෙන් වෙන්වෙලා, නැත්නම් සැමියා බිරිඳගෙන් වෙන්වෙලා, දරුවන් දෙමාපියන්ගෙන් වෙන්වෙලා, හැම තැනම හිත් රිදීම් තැලීම් දුක්වීම් නො අඩුව.
මේකට හේතුව මොකක්ද? මම නම් දකින ආකාරයට, හරියට ජීවිතයේ අරමුණ තේරුම් නොගැනීම මෙවාට හේතුව. අනෙකාගේ සිතුම් පැතුම් තේරුම් නොගැනීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. ගොඩක් විවාහ අවුල් වෙන්න නම් හේතුව වෙනත් පාර්ශවයන්ගේ අනවශ්‍ය ඇඟිලි ගැසීම්.
නිමාවක් නැතිව ඇලීම් ගැලීම් බැඳීම් වැඩි කරගෙන , තිර කරගන්නමයි හදන්නේ. අනිත් කෙනා ඉන්න ඕනේ අපට ඕනෑ විදිහටයි කියලා හිතන මහා ආත්මාර්ථ හැඟීම මේ සියල්ලටම හේතු විය හැකියි. අනෙකාගේ සිතුම් පැතුම් වලට ඉඩ දෙන්න මදකටවත් නොහැකි කම මේවැනි අවුල් වියවුල් තව වැඩි කරනවා.
බොහෝ අය ජීවත් වෙන්නේ සදාකාලික ජීවිතයක් කියලා හිතාගෙන, පොඩ්ඩක් ඉදිරියට කල්පනා කරලා බැලුවොත් තේරෙනවා, ඉස්සරහට ජීවිතේ ගෙවිලා ඉවර වෙලා, වෙලාව ආවහම යන්න වෙද්දි, ගෙනියන්න වෙන්නේ රැස් කරගත්තු පව් පින් පොදිය විතරයි නේද කියලා. ඉතින් එහෙම එකේ ඊළඟට යන තැන සුභ සිද්ධියට වැඩක් කරගන්නවා මිසක ජීවිත අවුල් කරමින් දුක් දෙන එකෙන් වෙන්නේ තවත් පව් එක් වෙන එකයි නේද ? මේ දකින විඳින පුද්ගලයින් ආයෙ ඉතින් මේ ආත්ම භවයේ විතරයි, ඊට පස්සෙ අපි ආයෙ නන්නාඳුනන තත්වෙට පත්වෙනවා නේද කියලා පොඩි කාලෙ වැටහුන දවස් වල, ගොඩක් දුක හිතුනා, අම්මා අප්පච්චී, සහෝදර සහෝදරියන්, යාළුවන් , මේ බැඳීම් සියල්ල, මේ භවයෙන් හමාරයිනේද ? පසුව මේ සසරේ නියම ස්වභාවය කියලා වටහා ගන්න උත්සහ ගත්තා. තාමත් උත්සහ ගනිමින් ඉන්නවා. ඇස් පනාපිට රෝගීන් මිය යද්දී, කඳුළු වැටුනත් මරණය දිහා වඩා තේරුම් ඇතුව උපේක්ශා සහගතව බලන්න හිත හුරු කරගනිමින් ඉන්නවා. අවුරුදු විසිපහකටත් වඩා අපි කරේ සමාජයේ ජීවත් වෙන්න ක්‍රමයක් හොයපු එකනේ, ඒකෙන් පස්සේ කරන්නේ, ඉතින් පැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන එක. නමුත් මේ සියල්ල අවසානය, ශූන්‍යයි නේද. ඔක්කොම අත ඇරලා යන්න වෙනවා. එනිසා අධ්‍යාත්මික දියුණුවක් දැකීම වැදගත් කියලා හිතෙනවා.

Saturday, 7 February 2009

දැක්කොත් දැක්කා විතරයි...

මාලුංක්‍යපුත්ත තෙරුන් වයසට ගිහින් පැවිදි වුන තෙරනමක්. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මාලුංක්‍යපුත්ත තෙරුන් " බුදුරජාණන් වහන්ස, බොහොම කෙටියෙන් බණ ටිකක් කියන්න මම විස්තර වශයෙන් වටහා ගන්නම්" කියලා කිව්වා.
එතකොට බුදු රජාණන් වහන්සේ ඇසුවේ "මාලුංක්‍යපුත්ත මම ඔබට කෙටියෙන් බණ කිව්වොත් තරුණයන්ට මොනවද කියන්නේ "කියලා .

එතකොට මාලුංක්‍යපුත්ත තෙරුන් කියනවා, මටත් පුළුවන් තරුණයෙක් වගේම සිතන්න මට කියා දෙන්න කියලා
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කලා,

"මාලුංක්‍යපුත්ත ඔබ දැක්කොත් දැක්කා විතරයි, ඔබට ඇහුනොත් ඇහුනා විතරයි, ඔබට නාහෙට ගඳ සුවඳක් දැනුනොත් දැනුනා විතරයි.ඔබට දිවට රස දැනුනොත් දැනුනා විතරයි, කයට පහස දැනුනොත් දැනුනා විතරයි, ඔබට හිතුනොත් සිතුවිල්ලක් එතනින් එච්චරයි. එතකොට ඔබ, ඔබ තුල නෑ, ඔබ තුල ඔබ නැත්නම් ඔබ වෙන තැනකත් නෑ, ඔබ ඔබ තුලත් නැත්නම් වෙන තැනකත් නැත්නම් ඔබ නිදහස් "
~කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ දහම් දේශනාවකින් ශ්‍රවනය කළෙමි.
_______________________________________________________

මේ කතාව මට මෙහි ලියන්න සිතුනේ, අපි කීප දෙනෙක් අතරේ ඇතිවුන කතා බහක් නිසා. සිත් කිපීම් , වෛර වැපිරීම් සහ වැරදි ලෙස වටහා ගැනීම් නිසා අප අතර බොහෝ දෙනෙක් සිටියේ අමනාපයෙන්, දුකෙන්. අනුන්ගේ දොස් දැක්කත් ඒවා අමතක කරලා ඔවුන්ගේ හොඳ ටික විතරක් දකින්න උත්සහ කරන අතරේ, දොස් පොදි ගසාගෙන ඒවා තවමත් කරපින්නාගෙන සිටින අය. ඒවගේම, එයාලට අදාල නැති දේවල් , අනුන්ගේ කුණු කන්දල් අවුසමින් ඒවා රස බලන අය අප අවට ඕනෑ තරම්.
ඒත් හිතේ තියෙන දොස් වචන වලින් එළියට දාලා තමන්ගේ හිත් සතුටු කරගත්තට ඔවුන් කිසි දිනක සිතන්නේ නෑ, ඔවුන් කරන දේ හරිද කියලා. එවැන්නවුන් නිසා අපහසුතාවයට පත්වෙන පිරිස් බොහෝමයි. ඒත් නිසි අධ්‍යාත්මික චින්තනයක් නොමැතිව , ලෞකිකමය දෑ පසු පස දුවන්නන් හට එවැනි දේ තුලින් තම සිත් සතන් සතුටු කරගන්නට හැකියාව ඇති බවයි අපට සිතුනේ.

එනිසා සිත් තැවුලෙන් සිටින සබැඳියන් හට වටහා දුන්නේ, කවුරු කොහොම මොනවා කීවත් ඔබව දන්නා කෙනා, ඒවායෙන් නොමග යන්නේ නැති බවයි . ඒවගේමකියන්නා කෙසේ කීවත් අසන්නා සිහි නුවණින් ඇසිය යුතුයිනේ. ඉතින් එක එක මානසික මට්ටම් වල සිටින පුද්ගලයින් අපිට දොස් කිව්වත් කෙනෙහිලිකම් කුහකකම් කලත් මම නම් හිතන්නේ නෑ. හරි පැවැත්මක ඉන්න කෙනෙක්ට ඉන් අබමල් රේණුවක හානියක් සිදුවෙනවා කියලා.

අනික අද වෙනකොට සමාජයේ හැමෝම පිළිගත් මතයක් තමයි, ගල් ගහන්නේ ඵල ඇති රුකටයි කියලා, ඒ කියන්නේ හොඳට සාරවත්ව හැදිලා ඵල බර වෙලා තියෙන ගහට තමයි හැමෝම ගල් ගහන්නේ, එනිසා එහෙම සාර්ථක පුද්ගලයින්ට චෝදනා එල්ල කලත් හැමෝම හැරිලා බලන්නේ මෙහෙම චෝදනා එල්ල කරපු කෙනා කවුද, එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. මොකද මම අහලා තියෙනවා වතුර අඩු කලයේ තමයි වතුර හෙලවෙන්නේ කියලා. ඉතින් තමන්ගේ හිතේ තියෙන අසහනය තරහ වචන වලින් පිට කරලා කාගෙ හරි ඔලුවක් මත අත හරින එක එහෙම අයගේ සිරිත . ඒවට උත්තර දෙන්න තරම් කාලයක් ඇත්තටම නැති නිසා ඔන්නොහේ එයාලා වපුරන බිජුවට එයාලටම නෙලාගන්න වෙන හැටි බලාගෙන ඉඳීම තමයි වටින්නේ. ඉතින් මටනම් මොකක් දැක්කත්, දැක්කා විතරයි... එතනින් එහාට එය සිත තුල තැන්පත් කරගෙන උලුප්ප උලුප්පා දැක්වීම, සිතීම නොකර, එතනින් එපමණයි. මම දන්නේ නෑ ඔබට ඉහත ධර්ම දේශනා කොටස කෙසේ වටහුනාද කියලා. කිසිම දේකට ඇලීම් ගැලීම් නොමැතිව වෙසීම යෙහෙකැයි මට සිතේ.

පාළුය හැම අත හිරු නො එන මග තොට
නොදකිමි සුභ ඵල සුව දෙවන සිතකට
අනුන්ගේ දොස් දැක, හුවා දක්වන සඳ
මහත්‍ යැයි පෙන්වන තමන්ගේ ගුණ කඳ

සිතුවිලි දෝස් මුර නැග එයි මහ හඬින
කරට ගත් කුණු පොදි එල්ලාගෙන සිටින
අනුන් රෙදි සෝදමින් මඩේ ලා වේලන
තරම් නොම වේ මිනිස් සිත් මඩින

බෝ

Wednesday, 4 February 2009

නිදහස යථාර්තයක් කරනට

නිදහස් දින සැමරුම් සටහන් අතරේ කිසිත් නොලියා ඉන්න සිදුවුනේ, වැඩ අධික වීම නිසා.

”ඉපදුනු රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුනු බරක් මෙන් ලංකා පොළව පිට
පසුවන එක හරිද සිංහල පුතෙකු හට”

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ පන් හිඳෙන් ලියැවුනු ඒ කවිය නැවත මතක් කර ගැනීම වටීනවා.

අප මෙලෙස සැප පහසුව නිදන්නේද රැකියා වල නියැලෙන්නේද අපේ උතුර දකුණ රකින මුර දේවතාවුන් වන ත්රිවිද හමුදාව සහ පොලිසියේ අප විරුවන් නිසා බව මතක් කර ගත යුතුය
ඔවුන් ටොරින්ටන් චතුරස්රයේ ආචාර පෙළ පාලි පවත්වන විට, එදා නිදහස යථාර්තයක් කරනට දිරි දුන් දිවි දුන් විරු දරුවන් සැම අපි හද බැතින් සිහිපත් කරමු

ම්ලේච්ඡ ත්රස්තවාදීන්ට අප රට අත් පත් කරගෙන මේ දේශය ලේ විලක් කරන්නට ඉඩ නොදී ? දාවල් නිදි නොමැතිව අප දෙරණ රකින අපේ රණ විරුවන් සැම අපි ආදරයෙන් සහ භක්තියෙන් සිහිපත් කරමු.

අද මේ නිදහස ඔවුන් නිසාය...

බෝ
සමහරක් කියවීම්, from 2008 කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ article !

Monday, 2 February 2009

මගේ කුඩා යහළුවන්...

මට ඉන්න පොඩිම යහළුවාගේ වසය අවුරුදු 5 . මගේ ඥාතී සොහොයුරා වන ඔහු අවට දෑ පිළිබඳ මනා දැනුමෙන් මුහුකුරා ගිය අයෙකි , මම එහෙම කියන්නේ අප ඒ වයසට නොදත් බොහෝමයක් දෑ ගැන ඔහු ඉතා හොඳින් දන්නා නිසා, දකින දෑ ගැන බොහෝ දුර හිතන නිසා බොහෝ කරුණු ගැන අපෙන් අසන නිසා. අපි නම් ඒ වයසට සෙල්ලම් කරනු හැර බෝනික්කන් කාර් චොකලට්, පැණිරස දෑ මිස වෙන කිසිවක් ගැන විමසිලිමත් වෙනු මට මතකයක් නොවේ.
"ඇයි අපේ ඇඟට ලේ ඕනා" විටෙක ඔහු විමසයි. කුඩා මනසට වැටහෙන අයුරෙන් කියා දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න මට තවත් වෙලාවක් ගියා.
"දත් මැද්දෙ නැත්නම් මොකද වෙන්නෙ" දත් මදින අතර ඔහු මගෙන් අසයි.
"ඇයි අපි කන්න ඕනා" බත් කන අතරේ ඔහු අසයි.
පාපන්දු තරඟයක් නරඹන අතරේ ඔහුගේ අම්මා ඔහුව නළවා නිදිකරවන්න උත්සහ ගනිමින් සිටියදී. රූපවාහිනිය දෙස බැලූ ඔහු මෙසේ අසයි.

"ඇයි ඒ පිට්ටනියේ සුදු පාටින් ඉරි රවුම් ඇඳලා තියෙන්නේ"
"ඇයි ඒ සෙල්ලම් කරන අය පාට දෙකක ඇඳුම් ඇඳන් ඉන්නේ"

අත් දෙකෙන් අල්ලාගෙන කැරකීමට ඔහු බොහෝ කැමතියි. "ගගන ගාමීන් අහසට යද්දි මේ වගේ දැනෙන්නේ" ඔහු පවසයි. ගගන ගාමීන්, අහසට යන්න කලින් මෙහෙම වේගෙන් කැරකෙන පද්ධති තුල පුහුණුවීම් කරනවා නොවෙද , මට මතකයට නැඟේ. මම ඒ වයසෙදි ගගන ගාමීන් තියා අහස පොළව ගැනවත් විමසිලිමත් නොවූ බව මතකයට නැගේ. :


"අක්කා සීතලට මේස් දාගන්න", ඔහු තම අම්මාගේ මේස් තිබෙන ලාච්චුවෙන් මට මේස් කුට්ටමක් ගෙනැවිත් දෙයි. කථන්දර කියන්න බැරි තරමට කැස්ස ආ දිනක, මට කැස්ස මල්ලී කථා කරන්න බෑ යැයි කීවෙමි, මා අඬගසාගෙන ගොස් බෙහෙත් තබා තිබෙන උස් කබඩය පෙන්වයි. ඉන් බෙහෙත් රැගෙන බොන ලෙස පවසයි. ඒ වයසේදී මා මේ තරම් දැනුමැති කෙනෙක් නොවූ බව මට මතක් වෙයි.

දවසක් උදෑසන කෑම කන ගමන් ඔහු තම අම්මාට කියනවා. "දන්නවද අපේ ලෝකෙ වගේ තව ලෝක බොහෝමයක් තියෙනවා, ඒවායෙත් මිනිස්සු ඉන්නවා. හැබැයි එයාලා හිතන්නේ අපි තමයි විශ්වයේ ජීවත් වන මිනිස්සු කියලා, අපිත් හිතන්නේ අපි තමයි විශ්වයේ ජීවත්වෙන මිනිස්සු කියලා" , අභ්‍යාවකාශය , පිටසක්වල ජීවීන් ගැන තිබෙන රූපවාහිනී ළමා වැඩසටහන් සහ කාටුන් නිසා මගේ මේ පුංචි යහළුවා මෙවැනි කතා අහනවා වෙන්න පුළුවන්.

දවසක් ඈත පෙනෙන දුම් කුළුණු දෙකක් පෙන්වා ඔහු මගෙන් අහනවා, "අක්කා දන්නවද ඒ මොනවද කියලා, මිනිස්සු මැරුණහම පුච්චනවා එතකොට දුම් වෙලා උඩට යනවා" කනත්තක තිබෙන දුම් බටයක් ඔහු දැක තිබේ යැයි මට සිතේ.
"නෑ ඒ බඩු හදන කර්මාන්ත ශාලා ඒ වායෙන් පිටවන අහිතකර වායු ඉහල වායුගෝලයට මුදා හරිනවා"
" ආ ..." දැන් ඔහුට කල්පනා කිරීමට තවත් දෙයක් සම්බවූ සෙයකි. ඉන්පසු බොහෝ වෙලා ඔහු කල්පනා කරයි.

වැරැද්දකදී දරුවන්ට කෑ කෝ ගසා බැන අඬ ගැසීම ගැන අපි වැඩිහිටි පිරිස කථා බස් කරමින් සිටියෙමු. හැම දේටම දඬුවම් කළ යුතු නැති බවයි මගේ අදහස.
අසල අනෙක් දරුවන් හා සෙල්ලමෙන් සිටි අපෙ මේ චූටි මල්ලී, අප කථාබහ අසා එතැනට පැමිණ පැවසුවේ "ළමයින්ට ගහන එක වැරදියි" කියලා ඉතින් ඔහුගේ අම්මා ඇසුවා "ඉතින් පුතා මොකද කරන්නේ පොඩි ළමයි දඟ වැඩ කරොත් " කියලා
" ඉස්සෙල්ලා වැරැද්ද තේරුම් කරන්න ඕනා" අවුරුදු 5 වියැති චූටි මල්ලී එහෙම කිව්වම අපි ඔක්ක්කොටම පුදුමයක් දැනුනේ,
" එහෙම කරලත් ඇහුවේ නැත්නම් දඬුවම් කරන්න ඕනා " මල්ලියා පවසයි.

මගේ අනිත් පොඩි යහළුවා අපේ අල්ලපු ගෙදර පොඩි නංගී, වයස අවුරුදු 7. නමුත් දන්නා කියනා දේ එමටයි. ඇය රවටලා කවන්න පොවන්න නාවන්න ගිහින් අන්තිමට බයිට් වෙන්නේ අපියි. එක් සිද්ධියක් මෙහි ලියන්නම්, ඇය අවුරුදු 4 දී පමණ ඇගේ පියා, යෝගට් එකක් කවනු පිණිස, "පුතාට හඳ මාමා යෝගට් එවලා " යැයි කියා එක් දිනක් යෝගට් එකක් යන්තමින් කවා ගති. දෙවැනි දින, තවත් මොනවදෝ හඳ මාමා එවලා තියෙනවා කියලා කැව්වේය. තෙවැනි දින ඇගේ පියා තවත් යමක් හඳ මාමා එවූ බව කියා කවන්නට ගිය විට "තාත්තෙ හඳ මාමට කඩයක් තියෙනවද? " කියා ඇය විමසුවාය.
රූපවාහිනිය, පුවත්පත්, වැඩිහිටි කථා බස් තුලින් අද දරුවන් බොහෝ දෑ ඉගෙන ගනිති. එනිසා ඔවුන් සමාජය ගැන බොහෝ සෙයින් දැනුවත්ව සිටිති.
එක අතකට එය හොඳයි. මොකද එතකොට සමාජයේ තිබෙන අහිතකර දෑ, වැරදීම් වලින් ඔවුන්ට හරි දේ තෝරා ගන්න පුළුවන් වෙනු ඇත. නමුත් නිසි මග පෙන්වීමක් සහ ඉගැන්වීමක් නොතිබුනොත් වරදට පෙළඹිය හැකි අවස්ථාද එමටය.

Wednesday, 28 January 2009

Dreams on fire - සිහින ගිනි අරන්.

අනුන් වෙනුවෙන් ජීවත් වෙන අපගේ ජීවිත කී සැරයක් අපි ඔවුන් වෙනුවෙන් වෙනස් කෙරුවෙමුද ? ජීවිතේ නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් දරාගත නොහැකි වුන කල්හී මනස අවුල් වියවුල්ව රෝහල්ගතව දුක් විඳින තරුණ ජීවිත වලට එබී බැලීමට සිදුවීම මට බෝහෝ දුකක් ගෙන ආවා. බොහෝමයක් පෙම් සබඳතා අවුල් වුනු පසු සිහි විකල් වූ පිරිස, නමුත් ඒ අතර හමුවන කෙනෙක්, සිටියා, උසස් පෙළ අසමත් වීම නිසා මනස වියවුල් වෙච්චි, කිසි හැල හොල්මනක් නැතුව ඔහේ බලා ගත් අත බලාගෙන සිටින ඇයට අපි කොතෙක් කතා කරත් ඇගෙන ප්‍රතිචාරයක් ගන්නට බැරි වුනා. දරුවෙක් අතේ නොමැති වුනත් දරුවෙක් නළවන්නාක් ලෙස සිටි අම්මා කෙනෙක් මා ඇය අසලට ගිය විට ඇගේ දරුවා මට බලාගත හැකිදැයි ඇසුවා. ඇය post partum depression, නැමැති දරුවෙක් ලැබුනු පසු මවකට ඇතිවන මානසික ආතතිය නම් තත්වයෙන් පෙලෙන්නියක්. ඇගේ අතේ දරුවෙක් නොමැති බව ඇයට වටහා දෙන්නට උත්සහ කරද්දී ඇය හඬා වැටුනා. මේ ජීවිත දිහා බලන කොට මට මහා විශාල කලකිරීමක් ඇතිවුනේ.ඔවුන්ගේ සිත් වල මොන තරම් ලොකු බලාපොරොත්තු තිබෙන්නට ඇද්ද? අද ඒ සියල්ල බිඳ වැටී , මනස අඩපනව සිහින සාප්පුව ගිනි බත්වී ගොසිනි.
අපේ හිත මහා පුදුමයි. ඒත් පොඩි කාලෙ ඉඳන් බුදු දහම ආශ්‍රිත ඉගැන්වීම් වල යෙදෙනකොට අපට වටහා දුන්නේ, මනස සියල්ලට පෙරටුවේ කියලා. බෞද්ධ අය හැටියට අපි , හරියට බුදු දහම තේරුම් ගත්තානම්, මනස නිවැරදි ලෙස සකස් කර ගැනීම අපහසු නොවන බවයි බොහෝ දෙනාගේ මතයත්. බෙහෙත් පෙත්තක් දෙනවට වඩා ඒ රෝගීන් සමග කතාබස් කිරීමෙන් ඔවුන්ගේ මානසික ව්‍යාකූලතාවය 80% මග හැරෙන බවයි අපේ ගුරුවර මනෝවෛද්‍යතුමන්ගේ අදහස. මමත් එයට එකඟයි.

අපි සිහින වලට ගිනි තැබුවෙමු.
දෙපැත්තක ඉකිබිඳලා වැලපෙන්න නොහැකි වූ දින අවසන
අපේ අර මහා බර හීන ගොඩ එකතු කරලා ගිනි තැබුවෙමු.
මහ රැය මුළුල්ලේ බුර බුරා ඇවිලුනු ඒ ගින්නේ රශ්මියෙන් අවට ඒකාලෝක විනි.
ඒ ගිනි රස්නෙන් සීතල මකාගත් පිරිස සතුටු විනි.
ඒ රස්නයෙන් අපේ කඳුළු වියැලී හඬන්නට නොහැකි වූ කල සතුටක් දැනිනි
ඉඳින් ඉන්පසු මම, මම නොවීමි,
නුඹ නුඹද නොවීය.

Wednesday, 21 January 2009

slumdog millionaire චිත්‍රපටය ඔස්සේ මතකයන් ඇවිස්සීම


මේ යුරෝපකරයේ , නැහැ නොවැ මුඩුක්කු, කුණු කඳු වලින් වටවුන. හය හත් දෙනෙක් වර්ග මීටර 5 ක ජීවත් වෙන. එනිසා කොහොම විස්තර කරම්ද, ඒවායේ අරුමය. slum dog millionaire චිත්‍රපටය නැරඹූ මාගේ විදේශීය මිතුරන් බොහෝම දෙනෙක් පුදුම උනා, ඒ පුදුම වීම ගැන මට පුදුමයක් නෑ. අපේ රට වල උන්ත ඉහළ පැලැන්තියෙ බොහොම දෙනෙක් ඉතින් ජීවත් වෙන්නේ පොළවට අඩි කිහිපයක් උඩින්නේ, මෙතරම් ආර්ථික ප්‍රශ්න පවතින රටක තවමත් අඩුවක් නැතිව 31 night සැමරුම් දුටුවම සිය දාස් ගණනක් මිනිසුන් දුක් විඳිද්දී පැය දෙක තුනක සතුට වෙනුවෙන් කොහොම ඔය තරම් නාස්තියක් කරනවද කියලා හිතුනත්, ඒක මහා ආත්මාර්ථකාමී හැඟීමක් බව ඔබ තර්ක කරනවාට පුදුමයක් නැත. ඔබ මම ඉතා ආරක්ශිතව නින්දක් ලැබුවත්, දෙමාපිය රැකවරණය සහිතව සුරක්ෂිත අනාගතයකට උරුමකම් කියූවත් මෙලොව වැඩි හරියක් පිරිස බොහෝ සෙයින් දුක් විඳිති. මෙම චිත්‍රපටය ඔස්සේ මතකයන් රාශියක් ඇවිස්සේ, හිතට එන හැම පදයක්ම ලියන එක වටිනවා යැයි සිතෙන හෙයින් මෙසේ සටහන් කර තබමි.
චිත්‍රපටය ඇරඹෙන්නේ, එහි කතා නායක ජමාල් ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ජය ගැනීම පාදක කොට ගනිමිනි, මුඩුක්කු පරිසරය ඉපිද හරි හමන් ඉගෙනීමක් නැතිව දෙමාපියන් නැතිව හැදී වැඩුනු ඔහු එම වැඩසටහනේ සියලුම ප්‍රශ්න වලට හරි පිළිතුරු දීම, එය පවත්වන්නන්ගේ සැකයට හේතු වේ. ඒ නිසා කරන පොලිස් විමර්ශන අවසානයේ ඔහුගේ ජීවිතයේ සැබෑ තතු හෙළිවේ. මුඩුක්කු පරිසරයේදී අත හැරෙන ළමා ජීවිත සමග සෙල්ලමේ යෙදෙන පාතාල ලෝකයේ පිරිස් , එම දරුවන් නොයෙක් සමාජ දූෂණ ක්‍රියාවන්හි යොදවන සැටි මේ චිත්‍රපටයේ පෙන්වයි. ඉන් අපේ හිතට සමීප කරවන දෑ මේ මහ පොළෝ මත අදද සිදුවෙමින් පවතින ඒවාය. ඒ උනත් එහි පෙන්වන දෑ මේ මහ පොළව මත සිදුවන සත්‍ය සිදුවීම් බව තේරුම් නොගන්නා පිරිස්ද සිටිති. චිත්‍රපට වල පෙන්වන බොහෝ දෑ සත්‍ය නොවන බවද, අතිශ්‍යෝක්තියෙන් වර්ණනා කිරීම්, මවා පෙන්වීම් බහුල බව ඔබ කියූවද, ඇස් දෙකෙන් දුටු දෑ කන් වලින් ඇසූ දෑ අසත්‍ය වන්නේ කොහොමද.
ජීවක, අපි ඇවිද ගියෙමු , එක පසෙකින් කුණු ඇල ගලා බසින, අනෙක් පසින් කුණු කන්දක් ගොඩ ගැසෙන මායිම ළඟ මුඩුක්කු වල අස්සක් මුල්ලක් නෑර කරක් ගැසුවෙමු. නිස්කාරනේ විනාස වෙන්නට යන දැයේ දරුවන්ට අකුරු කරන්නට එන්නට පාර කියන්න , ගෙවල් වලින් නැගෙන දෝස්මුර පසෙකලා, මහා මාර්ග දිගේ ගොස් අතුරු පාරවල් ඔස්සේ ලෑලි ගෙවල් පුරවර වලට බැස, බොහෝ මිනිසුන් හා කතා බස් කෙරුවෙමු, තර්ක කෙරුවෙමු, දරුවන්ට අකුරක් ඉගැන්වීමේ වටිනාකම කියා දුන්නෙමු. ඒ දරුවන් එකතු කරගෙන නාට්‍ය කෙරුවෙමු, ගෙදර ඉදෙන හොද්දක් බතක් ඔවුන් වෙනුවෙන් එකතු කරගෙන ආවෙමු.බැංකු පොත්වල මුදල් බොහෝමයක් උන්ගේ පොත් පෑන් සඳහා එළියට ගතිමු. දරුවන් ඉස්කෝලෙ යවන්න යැයි, හිඟාකන මව් පියන්ට ආයාචනා කළෙමු, අම්බානෙක බැනුම්ද ඇසුවෙමු. නමුත් ඒ හැම අවසන කිසිඳු පසුතැවීමක් නොවීය. මහපාරේ හමුවන දුවා දරුවෙක්, කොහොමද අක්කා, මම දැන් උසස් පෙළ කරනවා කියනකොට දැනුන සතුට මේ එක අකුරකට ලියා පෙන්වන්න බැරි බව මම දනිමි.
”ආකල්ප, ජීවන රටාව සහ විඳීම් අතින් පරස්පර විරෝධී උනත් මේවයෙ ඉන්නෙත් මිනිස්සුමයි. නමුත් ඒ මිනිස්සුන්ට සමාජය විසින් හිමි කරල දෙන තැන, ඔවුන්ව රාමු කරල කොටු කරල තියන තැන නිසා ඔවුන් තවමත් මේ මඩ ගොහොරු වල ජීවත් වෙනවා. අම්ම කරපු රස්සාවටම දුවත් හුරු වෙනවා අප්ප කරන දේවල ඉදිරියට ගෙනියන්න පුතාට සිද්දවෙනව. තාත්ත කෙනෙක් නැතිව අවජාතක ලේබලය වැදුනු දරුවො, අම්මා අප්පා දෙන්නම නැතුව අනාථ උන දරුවො, මේ ඔක්කොමලා හරි හමන් ඉගෙනීමක් නැතුව වල්මත් වෙනවා. මොකද උන් වටේම තියෙන්නේ වැරැද්ද විතරක්ම නිසා. උන් කවදාවත් මේ මට්ටමෙන් උඩට එන්නෙ නැහැ අබා, ඇඟ විකුනලා හරි කුඩු විකුනලා හරි එදා වේල හම්බ කරගෙන කනව ඇරෙන්න මේ මිනිස්සුන්ට මහා ලොකු බලාපොරොත්තු නැහැ. උන්ට ඒව කවුරුත් කියන්නෙත් නැහැ මොකද මේ තැන් මේ විදිහට තිබීම ඉහළ ඉන්න උන්ට වාසිදායක නිසා, අපිට තිබුනා වගේ සුන්දර ලමා කාලයක් උන්ට නැහැ අබා - කනට ඇහෙන්නෙ කුනු හරුප, ඇහැට පෙන්නෙන්නෙ කා කොටා ගැනීම් රණ්ඩු සරුවල්. අම්මලා අප්පලා උනත් ආදරයෙන් කතා කරන්නෙ නැහැ එයාලට. සමහර විට මේ දරුවො, දෙමාපියන්ටත් බරක්.”~ මගෙ පස්සෙන් එන්න
උන්ගේ ජීවිත ගැන නුඹ , අපි කතා බස් කළ දෑ මම එසේ ලියා තැබුවෙමු. කිසිම දෙයක් සදාකාලික නොවන ලෝකෙක , ඒ සනාතන ධර්මය තේරුම් අරගෙන ජීවත් වෙන කිහිප දෙනා සමග උරෙනුර ගැටී වැඩකරන්න ලැබීම සතුටක්. අපි මහ දෙයක් කළේ නෑ. නමුත් ඒවා මතක් කරලා සැනසෙන්න පුළුවන් දේවල් !

"අනුන් හදන්ට කලින් තමන් මනුස්සයෙක් වෙලා හිටපන් " යැයි නැගෙන අදහස් උදහස් අවසානයේ, නුඹ මම සහ අපි බොහෝමයක්, නැව් නැග්ගෙමු. ඒ අපේ විමුක්ති ගමන අවසානයේ අනෙක් අයගේ විමුක්තිය සටහන් වී ඇති බව නුඹ අපට තේරුම් කරදුන් අයුරු යළිඳු මතකයට නැගේ. නමුත්
ඒ අතීතය යලිත් සිහිපත් කරවන යමක් නෙත ගැටුනු නිසාවෙන් ලියන්නෙමි.
දුන් දෙය සුවඳයි හැමදාම, සූ අක්කා , අපේ ඒ එක් ව්‍යායාමයක සටහන් සහ ජායාරූප අන්තර්ජාලයේ පල කරා. යමක් කරලා කියවන්න නෙමෙයි. මෙහෙම දේවල් ඔබටත් කළ හැකි බවට ඔබේ හිතට ඒත්තු ගන්වන්න.
"අපි හමෝම හිතන්නෙ අපි විඳින දුක් ගැන. අපිට තරම් දුකක් වෙන කාටවත් නැහැයි කියල. ඒක සාපේක්ෂ දැනීමක් නිසා එහෙම හිතුවත් වැරැද්දක් නැහැ, ඒත් මම පුරුදුවෙලා ඉන්නෙ ජීවිතේ විඳවන්න නෙමෙයි විඳින්න.. ” ඒ වචන ටිකත් අන්තිමේදී සටහන් කරන්න හිතුනා.

ඉර බැහැගෙන යන ගොම්මන හෙමින් විසිරුවන
අර නැගෙනා දුම් කඳු කුණු කන්ද අවුළුවන
නර වෙස් ගති අමිනිස්කම මෙදෙසින් දළුලන
මර බිය වෙති පුරවර රෑ පුරා අවදියෙන

බෝ

Saturday, 17 January 2009

Regaining Sri Lanka - වැඩිපුර එකක් , හෙට නව රටක්

රටේ වැසියන් තුල තම මව්බිම කෙරෙහි ආලය සහ ගෞරවය වැඩි කරවන අසල්වැසි ඉන්දියාවේ දැන්වීම් කිහිපයක් ගැන බ්ලොග් එකක කතාබස් කරනු දුටු විට අපේ රට ගැන කතාකරන්න ඉඩක් හොයා ගන්න හිතුනා.
අපිට අපේ රට ගැන හැරී බලන්නට කාලයක් වෙන් කරගත යුතුයැයි මට සිතේ. හැමෙකා තුලම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ආඩම්බරයක් සිත් තුල ඇතිවිය යුතු වේ.
එමෙන්ම මගේ මගේ කියන්නේ නැතුව අපේ, කියලා හිතන්න පටන් ගැන්ම තමයි වඩා වැදගත්.
මේක බලන්න.. යූ ටියුබ් නැමැති අඩවියෙන් හමුවුනේ. එය පළකර තිබුනේ ඉන්දියානුවෙක් !
(found this video from youtube website - http://www.youtube.com/watch?v=Xy4B5FSN5_I

නොයෙක් මතකයන් අතර

දිගු කලක් ලියමනෙන් බැහැර වී සිටියෙමි, යළිත් ලියන්නට හරි බරි ගැහෙන්නට නොම සිතේ. මේ කිසිම දෙයක තේරුමක් නොම දකිමි, තාවකාලික සිත් විරේකයක් පමණක්ම බව සිතේ.
නිතර නොලියන හේතුව විමසා සැරෙන් සැරේ සිත කොනිති ගහන යහළුවන්ට ස්තූතියි. ඒවගේම ලියන්නම එපා කියන අයටත් ස්තූතියි.
පසුගිය සති කිහිපය ගත කලේ ජර්මනියේ මියුනික් නගරයේ. නත්තල් දින කිහිපය තුල නගරයේ සංචාරය කලෙමි. ජර්මනිය කියූ සැනින් මතක් වෙන තව දෙයක් තමයි හිට්ලර් සහ ඔහුගේ යුදෙව් සංහාරය. ජර්මනියේ, ඩකාවු නගරයේ පිහිටි එවැනි යුදෙව් වධකාගාරයක් නැරඹීමට 1999 දී ඉඩ කඩ ලැබිනි. කුඩා අප සිනා මුහුණින් සිටියදී, ජර්මන් ජාතික මිතුරියක් පැවසුවේ. මෙතැනට පැමිණෙන කිසිවෙක් සිනාසෙන්නේ නෑ. මෙය දුක් විය යුතු ස්ථානයක් බවයි. එහිදී නැරඹූ වීඩියෝ දර්ශනයෙන් පසු, අපි සියල්ලෝම ඉකි ගසා හැඬුවෙමු. මිනිසුන්ට කෙතරම් කෲර විය හැකිද ? මට එසේ සිතුනා.

ජනවාරි දෙවෙනිදා කිලිනොච්චි නගරය වීරෝදාර රණවිරුවන් මුදාගත් පුවත ඇසූ එහි සිටි ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිස් ප්‍රීතියෙන් පසුවිය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම කළ යුතුම වේ. ලොව පුරා කී දාහක් දෙනා අන්ත අසරණ අනාථයන් වී සිටීදැයි කල්පනා කළ විට... වැඩි දුර නොගොස් අපේ රටේ අපේම උන් කොයිතරම් නම් දුක් විඳිනවාද කියා කල්පනා කර බැලූ විට ඔබට මදකට හෝ එහෙම හිතෙයි. දෙපැත්තෙම ඉන්නේ මිනිස්සු. යුද්ධය නැවැත්විය යුතුයැයි බොහෝ පිරිස් කියති.එහෙත් අවි දරා ගත් ත්‍රස්තවාදය තුරන් කළ හැක්කේ ඉන් පමණක් බව විශ්ව විද්‍යාලයේ මා සමග ඉගෙනුම ලැබූ, දමිළ ජාතික මිතුරා ගේ අදහසයි. ඔහු පිළිබඳව මීට පෙර මා සඳහන් කළෙමි.


මේ ළඟදී දවසක ඔහු යළිත් මුණ ගැසුනි. යුද්ධය මා කතා කරන්නට අකමැතිම මාතෘකාවක් බව මම ඔහුට සඳහන් කළෙමි. මන්ද, ඒ සම්බන්දයෙන් බොහෝ දෙනෙකුගේ මතය විවිදාකාර වන හෙයිනි. බොහෝ දෙනෙකුගේ හිත් රිදෙන නිසා, තරහව වෛරය ක්‍රෝදය ඉන් හිත් තුලට ඇතුලු වන නිසා. අවිහිංසාව ඇති කළ හැක්කේ ත්‍රස්තවාදය තුරන් කරලා බව කතාබහේදී හේ මා සමග පවසයි, යාපනය නුවර මාර්ගය නැවත ජනතාවගේ පරිහරනයට ලැබීම ගැන බොහෝ උද්දාමයෙන් පසුවේ. "මට ගමේ යන්න පුළුවන් නිතර". මේ සිදුවන දේ ගැන යාපනේ වැසියෙක් වන මගේ මිතුරා කතා කලේ පහන් සිතිනි. එනමුත් ලංකාවට පය ගසා නොමැති ඇතැම් පිටරට වල වෙසෙන පිරිස් තවමත් ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙති. රට දැය රකිමින් යුද බිමේ සේවය කරන මගේ ඥාතීවරු සහ සොහොයුරන් මතකයට නැගේ. රණබිමේ සිටින සියලුම වීර සොයුරු සොයුරියන් මතකයට නැගේ. අපට අහිමි වූ පිරිස් මතකයට නැගේ .

මරණය පෙනි පෙනී රට දැය රකිනු සිතා
දෑ බැති පෙමින් අවි ගත් මගෙ වීර පුතා
යනු ඉදිරියට නුඹලා වෙත ජයම පතා
වඳිනෙමි දෙව් බුදුන් නිති රැකවරණ පතා

බෝ...

Wednesday, 7 January 2009

පමා වූ පැතුම - සුභ අලුත් අවුරුද්දක් !

























2009 අවුරුද්ද වාසනාවන්ත සුභ අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.