
කෙනෙකුගේ ඉල්ලීම මත බ්ලොග් එකේ ලියන එක්තරා මතයක්, මතකයක් ! සහ ලෞකික යමක් !
කවුළුවෙන් එපිට වැහි පොද වැටෙනකොට දැනුනු දැඩි සීතල මග හරවාගන්නත් එක්ක අපි කට්ටිය කෝපි බොන්න යන්න කතා වුනා. අපි කෝපි බොන අතරේ අපෙන් කෙනෙක්, ඔහුගේ හිතේ මේ දවස් වල ගැහැණු ළමයෙක් ගැන ඇති වී තිබෙන ආදරය ගැන විස්තර කරන්න ගත්තා.
ඒ එක්කම ඇතිවුන කතාබහ සිදුවීම් මේ සියල්ලම අහගෙන හිටිය මම ඒක පොදු අවකාශයක ලියන්නේ අපේ සමහරක් දෙනා ගැන ඇතිවුනු කළකිරීමෙන්.
ඔහුගේ සිත් ගත් ගෑණු ළමයා හට ඔහුගේ ආදරය පවසා ඇගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබුනු බවත් (he proposed to her and she said yes !) ඔවුන්ගේ ප්‍රේමය ඉතා සුන්දර බව විස්තර කරන අතරම, ඔහු ඇය හා විවාහ වීමට සිතන බව පැවසුවා. ඒ ගැන පවසද්දී අප වටා සිටි සමහරක් පිරිමි යහළුවන් පැවසුවේ. ඒ ගෑණු ළමයා මීට පෙර සම්බන්දකම් පවත්වා ඇති කෙනෙක් නිසාත් මොනවයින් මොනවා වෙලාද දන්නේ නැති නිසා, ඒක හරියන්නේ නැති බවයි. ඊට වඩා හොඳ පිරිසිඳු චරිතවත් කෙනෙක් හොයා ගත්තොත් නරකදැයි ඇසුවේ, ගැහැණු ළමයි කීප දෙනෙක් සමග සම්බන්දකම් පැවැත්වූ අයෙක්.
එතකොට මේ අපූර්ව මිනිසා පැවසුවේ
"ඇගේ අතීතයෙන් මට වැඩක් නෑ. මට වැදගත් මේ මොහොතේ ඉඳන් මා සමග ජීවිතය ගෙවන ඇය පමණයි. අතීතයේ කුමකින් කුමක් සිදුවීද, කුමක් අඩුවීද මේ කිසිවක් මට වැඩක් නෑ, මම හොයන්නෙත් නෑ. ඒගැන අහන්න , මතක් කරන්න තරම් පහත් මානසිකත්වකුත් නෑ " කියලයි
අපි කිහිප දෙනෙක් ඔහුගේ ඒ අපූර්ව චින්තනයට අත්පොළසන් දුන්නා. මිනිස්සු පටු මානසික මට්ටමකින් හිතන එක නවත්වන්නේ කවදාද කියලා හිතන අපිට අපේ සහෘදයෙකුගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුනා. එයා ඉස්සර මෙහෙමයි , අරයා ඉස්සර අරෙහෙමයි කියලා, චරිත ඝාතනය කිරීම් අඩු නැතුව සිදු වන සමාජයක, එහෙම නොහිතන පිරිස් දකින්න ලැබීම මොන තරම් වාසනාවක්ද ?
තමන්ගේ සිතේ සැනසීම තක, අනෙකාව තලා පෙලීමට අතීතය මතක් කරමින් බැන අඬ ගසන, විකාර රූපී මානසිකත්ව හෙබි පිරිස් නිසා කළකිරුනද අප අතර සැබෑ මිනිසුන් සිටින බව මතක් කර දෙන මෙවැනි සිදුවීම් හරි සුන්දරයි.
බුදු රජාණන් වහන්සේ පවා අපට පැවසුවේ තමන් සොයා ගැනීම වටිනා බවයි. එසේ නොකොට අප සොයන්නට වෙහෙසෙන්නේ අනෙකාවයි. මානුෂීය ගතිගුණ මති මතාන්තර ගැන කතාකරන , වඩා හොඳ ලෝකයක් , හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් හෙටක් ගැන සිහින දකින අප අතර ඇතැමෙක්, මොන තරම් අධ්‍යාත්මික වශයෙන් අබ්බගාත දැයි මට හිතුනා.
මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ නීලමනී කොයි කවිය මතකයට නැගුනා.
