Wednesday, 30 April 2008

බංකර් කුරුටු ගී...Life in a bunker


මුහාමලේ, සටන් බිමේ, බංකර් තුල කොටන් වල සටහන් වුනු , රණවිරු කුරුටු ගී සමූහයක් ඉරුදින පුවත් පතක අහම්බෙන් දකින්න ලැබුනේ, විශේෂ යාළුවෙක් නිසා.
ලියුම් කරු මුහාමලේ සටන්බිමේ කල සංචාරයකදී මේ බංකර් කුරුටු ගී සමූහය දකින්නට ලැබුනු බව ලියා තිබුනා මෙන්න මෙහි
තල් කොට වලින් සැදුම් ලත් බංකර් තුල රැය පහන් කරන, දින ගනන් කෑමක් හරි හමන් බීමක්, නෑමක් නැතිව, රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව යුද බිමේ,සටන් වදින අපේ වීරෝදාර රණ විරුවන්ගේ, සිත් සතන් වලින් එළිබහින හැඟුම් මෙලෙස කවි පද තුලට ගොනු වී, ඒ තල් කොට මත සනිටුහන් වී තිබෙනු මෙසේ දක්නට ලැබිනි.

"පෙරට තබන පය පස්සට ගන්නෙ නැහැ
උතුරේ සටන ජය ගෙන මිස එන්නෙ නැහැ"

"නිල් වන් අහස් කුස තරු කැට බබලනවා,
බංකර් තුලට ඒ සැමදේ දිස් වෙනවා
වෙසක් සඳින් මුළු පෙදෙසම නැහැවෙනවා
සිතින් මාත් පන්සල වෙත ඉගිලෙනවා "

"තරු පෙරුනු සඳ පිපුනු අහස යට, අමාවක දා වගේ මගේ සිත"


මරණය පෙනි පෙනී, සටන් බිම වැද සතුරු එඩි බල බිඳිමින් පෙරට ඇදෙන අපේ විරුවන් හට අප සදා ණය ගැති වෙමු, අප රැකෙන්නෙත් මව් බිම රැකෙන්නෙත් ඔවුන් නිසාවෙනි
අපේ රණ විරුවන්ටයි අද මගේ බ්ලොග් සටහන

Monday, 28 April 2008

හදවත වේගෙන් ගැහෙන්නට විය... Life over there...

ජීවිතයේ එක්තරා දවසක.... හදවත වේගෙන් ගැහෙන්නට විය

ගියා නේක තැන
තාර පාරවල් උඩින්, බොරළු පාරවල් දක්වා
කොළඹ අටේ උනත් මැදවච්චියෙ උනත්
හිටියෙ අපේ උන්, දුක්විඳින්නෙ අපේ උන්
දුවගෙන ආ පොඩි උන් ඉල්ලුවෙ නෑ ටොපි චොකලට්
"පෑනක් තියෙනවනම් පැන්සලක් පොතක් හෙම
අක්කේ දෙනවද අපිට"
ගැහුනා හදවත මහා හයියෙන්
අනේ අපෙ පොඩි උන්....කොහෙත් ඉන්නෙ අපෙ උන්

"ආවෙ කැලේ මැදින් කිලෝ මීටර 4 පහු කරන් , ඔයාල එනවා කිවි නිසා
රෑට අලි එනවා පාරට, ඒත් ආවා අපි.
දන්නවද ඉස්කෝලෙ පළවෙනියා මම හැමදාම
සිකුරාදා සති පොල එහෙත් යනවා අපි
එදාට ඉස්කෝලෙනම් යන්න වෙන්නෙ නෑ"

ජීවිතේ දුශ්කරයි එ'ත් හිනා වෙන්න අමතකත් නෑ

"වගා කරන ඉඩමට ඔප්පු නැහැ
වතුර ටිකක් එක්කාසු කර දෙන්න කෙනෙක් නෑ,
දන්නවද මෙහෙනුත් පත් වෙලා ඉන්නවා ඇමතිවරු වරියන්,
පෙනෙන්න නෑ මේ පැති වල ජන්දෙකට ඇරෙන්න..."

"පළාතටම එක මොන්ටිසෝරියයි,
ඒකෙත් වහලේ ටකරම් ගැලවිලා, අහස පේනවා
පොඩි එවුන් කොහොමද ඉගෙන ගන්නේ "

අපිත් තවම ඉගෙන ගන්න ඈයෝ, හරි හමන් රස්සාවක් නැති නිසා
ඒ කඳුළු , ඒ දුක් ගිනි හිත දරාගෙන,
ආවෙමු යළි නගරය වෙත,
කවදාහරි දවසක, පුළුවන් විදියකට
මීට වඩා යමක් කරන්නයි අපේ හිත් සපත කරගත්තේ...

ලොක්කන්ගෙ දරුවො, එංගලන්තෙ උපාදිලබද්දී හය හතර නොතේරෙන පොඩි එවුන්, කැලෑවල ගිනි අවි අරන් යුධ පුහුණුවේ, ලොක්කන්ගෙ මන දොල සපුරන්න
ජාතියක් වෙනුවෙන් හිලවු වෙන්නෙ, අනුන්ගෙ දරුවන්ගෙ ජීවිත,
ඇයි අනුන්ගෙ ජීවිත , වටින්නේ නැද්ද ? නැවතත් අසමි


ජීවිතේ අසාධාරණයි
තියෙන මිනිහට ඔක්කොම තියෙනව නැති එකාට මොකුත් නෑ
එහෙම කිය කිය, බණ දෙසුවට නිවෙයිද එක කුසකවත් ගින්නක්
එක්වෙමු, හදමු, නැගිටිමු, හැමෝම එකට
අපේ රට අපි ගොඩ නැගිය යුතුයි
අවැසි හිතීම පමණයි

ඒ අතරෙ සමහරු මෙහෙමත් කියනවා
"ඇයි නිකන් කාලය ශ්රමය ඕවට වියදම් කරගන්නේ, ඉන්නකො අපි වගේ ජොලියෙ,
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන, ඉන්නම බැරිද ඔයාලට"
ඔහොම කියන අයත් නැත්තෙම නෑ..
කොහෙද ඔය ඔක්කොම කරන්න වෙලාවක් ! එහෙමත් හිතනවා සමහරු..

බෝ,

බෙදා හදා ගන්න පුළුවන්නම් තියෙන දෙයක් නැති උන් එක්ක, ඒක මොන තරම් පිනක්ද ?

කැමතිනම් බලන්න,

videos and photos > http://sinhalaya.com/nimnaya/index.php/topic,6313.0.html

Saturday, 26 April 2008

Name says it all... does it?

Weather isn't treating me good these days, I'm down with flue, pharyngitis and sinusitis. Even though I'm an anti - antibiotic person, I had to take a full dose of Amoxicillin regardless of phobias for side effects. It's true that its bad when you know too much of everything.

Since school age I always wondered why I was named bodhini, infact I disliked my name for awhile. It created so much attention where ever I go because of the uniqueness and the rareness of it. Once I asked my Appachchi(Father) why he named me bodhini. According to him it's an indian name. He mentioned that there was a poem named Bodhini by Great Indian poet Kalidas . My sunday school "Pali" language teacher told me once that it sort of expressed the meaning of enlightenment in Sanskrit. (Yes, I studied Pali as a subject.)
So amidst all the studying, coughing and sneezing, I did a lil google search and found the meaning of my name (I've written my comments in brackets )

Your First Name of: Bodhini

  • Although the name Bodhini creates the urge to be reliable and responsible, we emphasize that it limits self-expression and friendly congeniality with a moody disposition.
  • Your first name of Bodhini has given you a rather quiet, reserved, serious, studious nature. ( if you say so :D )
  • You have sensitivity and appreciation for the finer and deeper things of life, the beauties of nature, music, art, and literature. (may be)
  • The people who mean the most to you are those who can offer you intellectual companionship. (for sure !)
  • This name, when combined with the last name, can frustrate happiness, contentment, and success, as well as cause health weaknesses in the heart, lungs, bronchial area, worry, and mental tension. (Another true fact, I hate sinuses and lungs, they r the origins of my miseries )
  • It is only when you are among those who understand your deeper nature that you can really be yourself. (that is so true)
  • The experience of having your remarks taken lightly or belittled, particularly during the early years of your life, has caused you to keep your thoughts and feelings to yourself.
  • You do not express yourself spontaneously when conversing with others; hence other people may often regard you as being aloof, and even unfriendly. (Nah ... I'm usually a straight talking person who speaks out my mind)

Wednesday, 23 April 2008

රැකියා නැති පෝළිම...


සාමාන්‍ය පෙළ , උසස් පෙළ , ඉන් පසු සරසවියේ උපාදි පෝළිම්වලට එකතු වෙන අපේ රටේ තාරුණ්‍යයේ එක් පැති කඩක් මෙලෙස කවියට ගොනු කළෙමි.
රැකියා විරහිත උපාදි ඇත්තන්ගේ සමූහයේ සිටි අපේ පුංචි අක්කාත් ඉස්සර, ලිප්ටන් වට රවුමෙත්, කොටුවෙත් පැවැත්වූ උද්ගෝෂණ වලට සහ භාගිවී, කඳුලු ගෑස් ප්‍රහාර හෝ වතුර ප්‍රහාර වලට ලක්වී, හෙම්බත් වී ගෙදර පැමිණි වාර අනන්තයි. යාන්තම් ඈටනම් ගුරු පත්වීමක් හම්බුන නිසා, දැන්නම්, හිතට නිදහසයි. ඒ උනත් ඉතින් තව කී දාහක් නම් රැකියාවක් නොමැතිව ලතවෙනවාද?

Tuesday, 22 April 2008

වීදි පුරා විසිරුණූ මල්...

බසයෙන් රාජගිරිය හරිය පසු කරද්දී හැම උදයකම දකින්න ලැබෙනවා හිඟන පවුලක්, අම්මෙක් ලදරුවෙක් සහ අවුරුදු 3 පමණ පිරිමි දරුවෙක්, ආගමික මධ්යස්ථානයක් ඉදිරිපිටමයි ඉන්නේ.
පොඩි දරුවා රෙදි කෑල්ලක් මත දඟලමින් හිටියා, අනිත් දරුවා පොලිතීන් කොල කැබලි ( කොළ නිල් කොඩි වැල් ) , වලින් මොකක්දෝ එයාගෙම සෙල්ලමක් කරගෙන හිටියා, බස් හෝල්ට් එකේ සිමෙන්ති පොළවේ. එයාලව පහු කරගෙන ඇවිත් ගොඩ දෙනෙක් බස් එකට නැංගා.
තවත් දවසක, මැස්සෝ වහන අතරෙම බත් මුලක් දිග ඇරගෙන , වේගෙන් ඇදෙන තිරිංග තද කරන වාහන වලින් ඇවිස්සෙන දූවිලි කන්ද අස්සෙම බස් හෝල්ට් එකේ බිම වාඩි වී සිටි, අම්මයි පුතයි බත් එක කමින් හිටියෙ, පොඩි දරුවා ඇගේ උකුල මත සිටියා, හොටු දියර ගලන නාස් පුඩු අතින් පිස දමමින්,
හැමදාම දකින් මේ දරු පැටවුන් දෙදෙනා, අම්මා, දැක්කම, මොනවද ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් කියලා හිතුවා, එ'ත් මට කළ හැකි යමක් තිබුනේ නෑ,
"මේ ළමයින්ව මේ ජීවිතේට හුරු කරන්න එපා, බලන්න අද ඉස්කෝලෙ දවසක් නේද , ළමයින්ව ඉස්කෝලෙ යැව්වොත් හොඳයි නේද" මිනිස්සු ගැන හරියට නොදන්න කාලෙ මමත් ඔහොම එ'වා කිව්වා.
"අන්නේ මේ මිස් වැඩක් බලාගන්නවද... එයා එනව අපිට උගන්නන්න, " කියා අම්බානෙක බැනුම් ඇසූ අවස්ථාද නැත්තේ නැහැ.
ඔවුන් මහ මගට වැටුනේ ඔවුන්ගේ වරදින්ද?
වරද කාගෙද ? දඩුවම් කල යුත්තේ, මේ දරුවන්ව මහ මගට ඇද දැමූ වැඩිහියන්ටද
නැතහොත්, ඔවුන් මහ මගට ඇද දැමූ රටේ ඉහළ සිටින පාලකයන්ටද කියා නොදන්නෙමි

Saturday, 19 April 2008

මැරතන් නිමාව... දුකයි හිතට

හමුවී එක්ව ලියුවා නෙක කරුණු සැමා
වෙන්වී යන්නෙ කොහොමද කර සියල් නිමා

සිත සතුටින් සමු ගන්නට සිතුව මෙමා
එනමුත් එක් කලේ රිදුමක් හදට පෙමා

ලිව්වේ කාටවත් රිද්දන්නට නොවෙ මා
කියමුද කොහොම කවි කර මට දැනෙන සැමා

ගතවිනි සතර විසි පැය දැනුනේම නැති
සිටි ඔබ සියල් හැම වෙත ආසිරි පුදමි
-බෝ

පුරා පැය 24ක් තිස්සේ පැවතිය මැරතන් ඉසව්වේ නිමාවේදී ....අප්‍රියයන් හා එක්වීම දුකකි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි
ලෝ සනාතන දර්මය දැනගෙන කල් ඇරීමයි යහපත

නීලමනී කොයි,,, සහ මොනිකා

සිංහල කවි අහස යට නම රැන්දූ කිවිඳියන්ගේ නම් අතර මොනිකා රුවන් පතිරණ නාමය අනිවාර්යෙන් කියවේ. එදිනෙදා කතා බස් කරන සරල වචන අහුරකින් තාලෙට කවියක් ලියන්ට සමත්කම් දක්වන කවීන් කිවිඳියන් දුලබය. නොතේරෙන සම්භාව්ය පද ඇමිණුමකින් කියවන්නා වෙහෙස කරවන පද්ය රචනා මා කොතෙකුත් දැක ඇත.
නමුත් මොනිකා කිවිඳියගේ කවි, කියවූ කෙනෙක්ට ඒවායේ ඇති සරල බව මැනැවින් වැටහෙනු ඇත. වචන දෙක තුනකින් උත්ප්රාස රසය කැටි කරගන්නට ඈ සතු දක්ෂතාවය මෙන්ම සංකීර්ණ සමාජ සංසිද්ධින් කාව්යමය පෙළහරකින් විස්තර කිරීමට බස හසුරන ආකාරය අංකුර කවි කිවිඳියන් වන අපිට හොඳ ආදර්ශයක්.

බලන්න මේං මේ කවි දෙක ...

කියන්න මහතාණෙනි මට
ඔබද උතුම් හිපොක්රටීස්
ලොකු කොළුවා මට දවසක්
පොතක තිබී කියාදුන්නෙ
වෙද සතරේ පියාණන්ලූ
හිපොක්රටීස් නම් උතුමා
ඒ ඔබදැයි කියන්න මට
දොස්තරලා දිවුරුම් දෙන
ඒ උත්තම දිනයේ්දී
සාක්කියට බලා ඉන්නෙ
උඩ අහසේ් දෙවිවරුන්ලූ
එ් දිවුරුම කියා දුන්නෙ
හිපොක්රටීස් උත්තමයලූ
මගෙ ඉගෙනුම ඉවරවෙලා
දිවුරුම් දෙන දවසේ්දී
දිවුරුම් දී අප කවුරුත්
පොරොන්දුවක් වෙනව තමයි
සේ්වයටම කැපවෙන්නට
එයින් පසුව මා කිසිදා
මතක් කලේ නැත ඔහු ගැන
උදේම රජයේ රෝහල
හවසට චැනල්වලම
ගඟක් වගේ ඇදී ගලන
රෝගී ජන ගංගාවේ
ලෙඩුන් එගොඩ දමනු මිසක්
මතක කොහිද හිපොක්රටීස්

(හිපොක්රටීස් සහ රෝගිනිය කාව්ය සංග්රහයෙන්)

පද දෙකක් මගෙන් ඉතිරිය සූ ගෙන්

දුවනවා දිවිල්ලක් පසු නොබලා පෙරට
සවි දුන් අයත් පහදා සිත් මල් යසට
එනවා යනවා ජාලය අවුලක් සිතට
විදුලිය තමයි හරහට ඉන්නේ අපට

අකුණු හඩ ඇහෙද්දී, ක්‍රියා විරහිත කරමින් , යලි විදුලි තර්ජන හමාර වෙද්දී ලොග් වෙමින්
හරි හරියට බ්ලොග් කරණයේ යෙදෙති සියල්ලෝ

මම එක්තරා කාන්තා පත්තරයක ආසාවෙන් කියවන කොටසක් තමයි, මී අඹ සෙවන කියලා,(දැන්නම් කියවන්නේ නැති නිසා නම මතක නෑ)
එකිනෙකා එවන පද දෙකේ කවි වල ඉතිරි පද දෙකෙන් උත්තර ලියන කවි කාරියෙක් හිටියා, මේ දම්වැල් කවි සටහන් වලට මහ හරිම ආශා කලා.
ඒවගේ යමක් ලියන්න හිතුනා, කවුරු නැතත් සූ අක්කා ඉන්නවනේ උත්තරයක් බඳින්න.

පාළුව කාන්සිය යන්නට පෙර ලෙසට
ලියනට දොඩන්නට සවියක් නෑ හිතට
බෝ

----------------------------------------
----------------------------------------

ඉතිරි පද දෙක සම්පූර්ණ කරන්න මේ කවිය ඔන්න සූ වෙතට යවනවා...ඉතිරිය එතනින් බලන්න

සූ ගේ කවියට තව කවියක්... ඇහැරලා එද්දී...

සූ අක්කාගෙයි මගෙයි කවියට කවියකින් පිළිතුරු දෙන බ්ලොග් පෝස්ට් , දිගටම ලියන්න කියලා බොහෝ දෙනෙක් කිව්වා.
මම දැනුයි දැක්කේ, ඉක්මනින් එන්නම් කියලා නින්දක් දමන්න ගිය මට එයාත් ඉක්මනට එන්න කියලා ලියලා තිබ්බා
ඒත් මම ඇවිත් බලද්දී සූ නෑ...

නින්ද ගියා කල් ගත විය නොදැනීම
බැන්ද පද මෙමට ඔබ රෑ දුටුවාම
කින්ද කියා බැලුවා ඔබ නොදැකීම
මන්ද අනේ නිදි මහ දහවල මේම

දිගු නින්දකට පසු... නැවතත්, කවි ලියන්න ගිහින් බැනුම් ඇසීම


උදේම නැගිටලා ලියන්න හිතුවට, ඇඟට දැනුනේ පුදුම තෙහෙට්ටුවක්, ඊයේ මහ පාන්දර ඉඳන් නැගිටගෙන ඉඳලා එක හුස්මට ගෙදර ඇවිත් මැරතන් ලියලා, නිදි මරලා, ටිකක් විතර වෙහෙසක් දැනුනා , ඉතින් දන්නෙම නැතුව කට කපලා නින්ද ගියා.
ඒත් අපේ කට්ටිය සුපුරුදු පරිදි අඩුවක් නැතිව පෝස්ට් දාලා තියෙනවා දැක්කම හිතට සතුටුයි.
කවි ලියන්න ගිහින් මට වුනු අකරතැබ්බ කිහිපයක් ලියන්නයි මේ සූදානම. වෙබ් ෆෝරුම මත කවි කියලා ලියන බොහෝමයක් ඒවා නිකම්ම නිකම් රචනා වගෙයි, තාලෙකුත් නෑ, නිසඳැස් ආකෘතියකුත් නෑ, වචන පෙළ ගැස්වීමකුත් නෑ.
අපේ දහම් පාසැලේ පොඩි පන්තියෙ දරුවෝ ඊට වඩා හොඳට කවි ලියනවා කියලා මට හිතුනා.
අනික හිනායන දේ තමයි, මහා ලොකු ඇන්ටිලා,අන්කල්ලා , අක්කලා වෙබ් ෆෝරුම වල පොඩි බබාලා වගේ තොඳොල් වෙවී කතා කිරීම.
"බෝ අක්කි, අක්ක බබෝ, ඔයාත කෝමද ,මත පොද්දක් බදගිනී, "
ඔය වගේ සිංහලත් නොවන බයිස්කෝප් තොඳොල් කතා දමන්නේ මටත් වඩා වයස දරුමල්ලොත් ඉන්න උදවිය කියලා මම දන්න කියන අයගෙන් දැන ගත්තා.
ඔන්න නොදන්න කාලෙ මමත් ඒවාට විරුද්දව කටට එන හැම අදහසක්ම වගේ ලීවා,
මේ වචනෙ සිංහලේ නෑ. මේකෙ හතර වෙනි පදේ තාලෙ කැඩෙනවා , ඔන්න ඔය වගේ ඒවා ලිව්වාම
එයාලගේ හිත රිදිලා මට හොඳටෝම බැනුම්. මේ ඔයාගේ ඔය දැනුම අපිට වැඩක් නෑ, ඔයාගෙ වැඩක් බලාගන්න. මෙයාට ඉගෙන ගෙන වැඩි වෙලා කියවන්න එනවා. වගේ දේවල් කිව්වා.
මම ඉතින් වැරැද්දක් දුටු තැන , පෙන්වලා දෙන්නේ, හිතේ කහටක් නැති නිසා, අපේ එකෙක්නේ කියන අදහසින්, නමුත් සමහර අයට ඒක මදි පුංචි කමක්.
වැඩිය ඕන නෑ, වෙබ් අඩවි පාලක අයියාට පවා කෝල් කරලා , මේ පණ්ඩිත බෝ ගැන චෝදනා කරා කට්ටිය. පස්සෙ මේ මිනිස්සුන්ගේ මානසික මට්ට්ම තේරුම් අරගෙන මම මොනවත් නොකියාම ඉන්ට පුරුදු උනා. ඉතින් මට ලියන්න හිතට නැගෙන අසූ හාරදාහක් උත්තර මම නොලියා ඉන්නවා , මේ ඇන්ටි බබාලගේ අක්කා බබාලගේ හිත රිදෙයි කියලා

මට තේරුණා එයාලා කවි ලියන්නේ, ඒගොල්ලොන්ගේ දුක් කන්ද පාකර අරින්න, ඒයාලගේ අබ්ලික් ජීවිතේට පොඩ්ඩක් හරි සහනයක් ලබා ගන්න එහෙම, මම ඉතින් සමාජයේ යතාර්තයට මුහුණ දීලා මහ පොළවේ පය ගහලා ඉන්න වගේ දේවල්,ලිව්වම, ඒවා කියවලා මේ ගොල්ලෝ මාව වර්ග කලේ නැතෑ, "සමාජ වාදියෙක්, ඉගෙන ගෙන වැඩි වෙලා" කියලා
ඊට පස්සෙ මට හිතුනා ජිවිතයේ නොයෙක් දුක් ගැහැට වලින් හෙම්බත් වෙලා ඉන්න මේ මිනිස්සුන්ට එයාල ලියන කවියටත් ඒවා මේවා කියද්දී, කොහොමත් තරහ යන එක මිනිස්සුන්ගේ මනසේ හැටි කියලා
සාදනීය විචාරය ගැන තියා, මහගම සේකර හෝ කුමාරතුංග මුනිදාස මහත්තයා කියන්නෙ කවුරුන්ද නොදන්නා අයට කවි වල දිග පළල ගැඹුර කියා දෙන්ට යනවාට වඩා, ඒ අයට එයාලගේ ලෝකවල වැජබෙන්ට ඉඩ දීම යෙහෙකැයි සිතුනා.
එනිසා මම මගේ අදහස් වලට අගුළු දැම්මා.

එන්නම් ඉක්මනට...

එකතුව ඉන්න කොට හිතත් පිරෙනවා, වැඩත් හොඳට කෙරෙනවා,
සූ අක්කා ලියා තිබුනා මගේ කවට පිළිතුරු කවක්.. ඇත්ත, එකතුවෙලා කවියට කව් ලියද්දිත් එහෙමයි මේක ආයෙත් ඒ අතීතය සිහි කලා

නින්ද නැහැනෙ දෙන්නේ සවියක් හිතට
ඉන්න බැහැ මටත් පියවෙනවා දෙනෙත
එන්න නැවත ආයෙත් මේ ලියමනට
මෙන්න මම ගියා එන්නම් ඉක්මනට

බෝ

කෙන්ද කන්ද කර නොගනිමු..ඉක්මනින් එන්න

මුලින් හිතුවට හරි ලේසියි කියලා, එක දිගට ලිවිල්ලත්, දිවිල්ලත් එපා වෙලා, දුවනවා කිව්වම මම නම් ඇත්තටම නැගිට නැගිට දුවන්න වෙනවා එක එක වැඩ රාජකාරි සඳහා, රේඩියෝව තිබුන නිසා අපිට විනෝදයක් දැනුනා. එමෙන්ම පාළුව තනිකම නැති උනා. එහෙම ඉන්න ගමන් ලියැවුනා කවියක් ...

නින්ද හඩ නොගා කොඳුරයි මගෙ හිතට
මන්ද නේන කාරණ සොයුරන් තවම
බින්ද සියල් හද සංකා නොදැනීම
කෙන්ද කන්ද කර නොගනිමු සුළු වාද

බෝ

බිත්ති පුරා කවි කුරුටු ගෑ අපි...

කැම්පස් එකේ දැන්වීම් පුවරුවේ ඉඳන් බිත්ති කොන් දක්වාත්, වැසිකිලි වල බිත්ති දොරවල් වසාගෙන ලියැවී ඇති සරසවි කුරුටු ගී ගැන මේක කියවන ඔයාලත් ඕනෑ තරම් අසා ඇති. මට මතකයි සැරයක් ඒ කවි පිටපත් කරලා පොතක් පවා පළ කොට තිබුනා
සීගිරි කැටපත් පවුරේ ඉඳන් වත්මන් ඒ බිත්ති කුරුටු ගී දක්වා, ඇත්තේ, අපේ මිනිස්සුන්ගේ, කලාවට, කවියට නතු වූ හිත් වලින් එළි බහින අපූර්ව සංවේදනා නොවෙද
ඉතින් බ්ලොග් කියවන්නන් වෙනුවෙන් එවැනි කවි කිහිපයක් සඳහන් කිරීමට සිතුනා

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
එය කිව් එකාගේ කට කෑවත් මදිය
ට්‍රයි කරනා එවුන් ලඟ හය හත අටය
ට්‍රයි නොකරනා මම තවමත් වැට උඩය

කවිය ලියූ කවියා ගැන සඳහනක් නොමැත. ඇත්ත විටෙක, මේස මත්තේ කුරුටු ගෑ කවි දෙපදයකින් මහා ලොකු හැඟීම් සමුදායක් කීවද
ඒ කවි රචකයා කවරෙක්දැයි නොදනිමු

ඔබ ඇපල් මලක් වාගේ සිංදුවේ තාලයට තව තැනක ලියා තිබුනා

ඔබ පැපොල් තිතක් වාගේ
පාසැල් නිවාඩු කාලෙ
මට හදිස්සියෙන් වාගේ
බෝවූ

තව බොහොම ප්‍රසිද්ද කවි පද පෙලක් තමයි

විභාගේ අත ළඟ
අත පොත ලඟ
පොත හිත ලඟ
හිත ඈ ලඟ
ඈ ඌ ලඟ

මැරතන් දුවන ගමන් රේඩියෝවෙන් .. චැට් !


තව දුරටත් තනි විය යුතු නැත..
මහන්සිය යන්න, ලියන ගමන් චැට් එකට එන්න, බ්ලොග් කරුවන්ගේ සමුහයේ, කාලිංග වරුණ බුද්දික මෙහෙයවන සජීවී, රේඩියෝව අහන්න.
චැට් එකට එන්න ලේසියි, ඒ සඳහා මෙන්න මැතැන බලන්න, මෙන්න මෙතැන

ඒ වගේම, රේඩියෝවෙන් සජීවී ලෙස සම්බන්ද කරගත්තු, මෙතෙක් අපි අකුරු වලින් පමණක් දැනගෙන කියවපු අපේ බ්ලොග් ලියන්නන්, එකිනෙකාගේ කටහඩවල් ඇහෙද්දී ඇත්තටම ලොකු සතුටක් දැනුනා.

මැදින් මැද විටෙන් විට කාලිංග, වරුණ බුද්දීක, කියනා හාස්‍ය උත්පාදක වදන් සහ අහන් ඉන්න පුළුවන් සිංදු වාදනය කරන ගමන් බ්ලොග් ලිවීම ඇත්තටම මේ මැරතන් ඉසව්වට වඩාත් ආකර්ශණීය බවක් එක් කලා
ඔන්න ඔය කාටූන් එක දැක්කම මතක් උනේ කාලිංගයි වරුණයි බුද්දික අයියවයි :D
ආ.ව අපිට ලියන්න ලියන්න කියමින් උනන්දු කරනවත් එක්කම, රේඩියෝව අහගෙන ඉන්නකොට ලියන එක අමතක වෙන එක ගැනත් යම් යම් දේවල් කියනවා ඉතින්,
දිගටම ලියමු...

Friday, 18 April 2008

තේරවිලි කවි .. ඔන්න පුළුවන්නම් තෝරන්න

මේ අප ජන කවියේ අපූර්ව නිමැවුමක් වන තේරවිලි

ඇයි එහෙම කවි කියැවුනේ ?
තම පාළුව තනිකම නැතිකර ගැනීමටත්, අන්යයන් හා සුහද, විනෝදජනක පිළිසඳරක යෙදීමටත්, තම තමන්ගේ දැනුම මැන බැලීමටත් අපේ, ජනයා, කවියෙන් තේරවිලි අහන්නට පුරුදු වී සිටියා.
ජන ශ්රැතියේ ප්රධාන උපාංගයක් වන තේරවිලි සිව්පදය, සිංහල ජන කවියේ අපූර්වත්වය මැනැවින් විදහා පාන්නකි.
දැනුම විනෝදය සහ විශ්මය, දනවන තේරවිලි සිව්පදය තුල , තේරවිල්ල , ප්රෙහේලිකාව ගැටළුව හා ප්රශ්නය යන අංග එකක් හෝ දෙකක් ඇතුළත් විය හැක.
එයට පිළිතුරු ලෙස ඇතැම් අවස්ථාවලදී සිව්පද ගොතා ඇති අයුරුද දක්නට ලැබේ,

සියල්ලට පළමුව, බුදුන් දෙවියන් වැඳ අවසර ගැනුම අප ජන කවියේ සම්ප්රදායයි ජන කවියේ සම්ප්රදාය රැකගනිමින් තේරවිලි සිව්පද පද කීමට පළමුව වරන් ගැනීමට අණ කිරීමට ජන කවියා අමතක කලේ නැත,
නෝමන් සිරිපාල මහත්මයාගේ ජන කවි එකතුව පොතේ එබඳු වරන් ගැනීමේ කවියක් මෙලෙස සඳහන් වේ

දස දහසක් සක්වල දෙවියන්ගෙ අණින්
පංච පරදානි ගුරුවර මුදලි අණින්
දන්ත ධාතු ජයසිරි මහ බෝධි අණින්
සන්න සහිත පද කීමට වරන් ගනින්

සන්න සහිත පද යනුවෙන් ජන කවියා හැඳින්වුයේ තේ්රවිලි සිව්පදය. සන්න යනු ගැටළුව නිරවුල් කොට , තේරුම - අර්ථය - ගෙන දෙන යන අදහස බව ව්යවහාරයේ පැවත ඒ.

පෙර කලේ කරපු අකුසල්වල අපලා
මෙම කාලේ විඳිති දුක් පැල්වලට වෙලා
රජ කාලේ පටන් පුරුදුයි පැල් රැුකලා
ලොකු රාළේ කියන් පැල්කවි තෝරාලා

එහි තෝරාලා යන්නෙන් කියැවෙන්නේ තේ්රවිලි යන්නයි.

මෙන්න ප්රසිද්ධ තේරවිලි කවියක්

ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
පා දසයකි අට පයකින් ගමන් යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

ඔන්න පුළුවන්නම් තෝරන්න බලන්න.

බුදුන් දහම් සඟුන් සියල්ලට පළමුවෙන්

පුරාණයේ පටන් අපේ ඇත්තෝ මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට , වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිද නාඩගම් නූර්ති, ජන වහර කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව තව දුරටත් ඔප්පු වෙනවා
අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිද රත්නය කෙරෙහිද නොපෙනෙන තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමගද බැඳී තිබුනේය. ස්වභාව දර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුන් එකල පුරුදු වී සිටියේය. අව්ව වැස්ස ඉර හඳ සුළං තම භව බෝග සහ අස්වැන්න කෙරෙහි බලපෑම් ඇතිකරන එක්තරා අභිචාරී බලවේගයකැයි ඔවුහු විස්වාස කලෝය. ඉතින් කරන්නට යන ඕනෙම කාර්‍යයකට කලියෙන්, ඒ කිව්වේ ඕනෙම හොඳ වැඩකට කලියෙන් බුදුන් දම් සඟුන් වැඳ අවසර ලබා ගන්නා පුරුද්දක් අප ජන සමාජයේ පවතී. ඕනෙම වැඩකට යන්නට කලියෙන්, ආගම දර්මය සිහි කරන්නේ, දෙමාපියන් වැඳ අවසර ගන්නේ ඒ නිසායි

බුද්දං සරණේ සිරස දරාගෙන
දම්මං සරණේ හිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤඤයි තුන් සරණේ අදහාගෙන

බුද්දං සරණයෙන් බුදු ගුණ කියන වරන්
දම්මං සරණයෙන් දම් ගුණ කියන වරන්
සංඝං සරණයෙන් නව ගුන කියන වරන්
මේ තුන් සරණයෙන් මුඛ දිවි හරින වරන්

ඒ අපේ ජන වහරේ පවතින එසේ අවසර ගැනීමේ හෝ වරං ගැනීමේ කවි යටතේ එන කවි කිහිපයකි
මේ මා ලියූවක්

කරන කාරිය පළමු හිතේ පිරිසිඳු කමම
බුදුන් දම් සඟුන් වැද වඩා අවසර ගැනුම
මගේ දේ නොවෙයි අපි අපේ දේ ගොඩ නැගුම
තමයි මා උපන් දේශයෙන් මා ලද දැනුම

යසරුවන් වෙනුවෙන්...

Thursday, 17 April 2008

අප අතරින් වියෝවූ යසරුවන් වෙනුවෙන්..

මරණය කොතෙකුත් දැක ඇත්තෙමි, මරණය අභියස සටන් කරන විට ඔවුන් හට සවි දුන්නෙමි, එහෙත් තවමත් මරණය අභියස මා හිත සසල වේ, කනස්සලු වේ, වැලපේ. ඒ මතුද නොව මරණය ගැන ඇසෙන හැම විටම මහා කුළු ගෙඩි පහරක් මගේ හිස මතට පහත් වෙන්නාක් මෙන් දැනේ
අප අතර බ්ලොග් ලියමින් සිටි යසරුවන් සොහොයුරාගේ මරණය ගැන ආරංචිය කණ වැකුණ වෙලේ ආයෙත් සැරයක් ඒ කුළු ගෙඩි පහර මගේ හිස මතට පහත් විය.
ඔහුගේ බ්ලොග් පිටු අතර සැරිසරද්දී, ඔහු පළ කල පින්තූර දකිද්දී, දැනෙන්නේ දැඩි කණගාටුවක්, දුකක් හිතට.
මෙවැනි සිදුවීම් ඇහෙද්දී, දකිද්දී, ජීවිතය කෙතරම් අස්තීරදැයි සිතෙනවා නිරතුරුව. රටක් ගොඩනගන්න, තම දෙමාපියන් රකින්න, දැයට සේවය කරන්න හිටි තරුණ ජීවිතයක් නේද මේ අහිමි උනේ. තිර නොමැති ජීවිතයේ අනියත බව මෙනෙහි කොට සැනසෙන්න බැරි තවම පෘතඃජන නිසා නොවෙද අපි.

යසරුවන් අපි ඔබට නිවන් සුව පතමු

මේ අප සමූහයෙන් ඒ පිළිබඳව දන්වා ලැබුනු විද්‍යුත් ලිපියයි

සංවේගයෙන් දැනුම්දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තබන මෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. "යසරුවන් වෙනුවෙන්" යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
- දයානන්ද ජයනෙත්ති. බදුරලිය

අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/

"යසරුවන් වෙනුවෙන්" යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

Wednesday, 16 April 2008

Homeless , Hopeless and food less, ජීවිතේ ..

why is it that we still feel discontented even when we have the best of everything ?
පොඩි හිත් වේදානාවකදී වුවද සැලෙන , දුක් වෙන හිත් ඇත්තන්ට නම් ජීවිතේ ඇත්තටම මහ බරක් වෙනු නොඅනුමානයි. ඒත්, අපට වඩා බොහෝ දුෂ්කර ජීවිත ගත කරන්නන් සිටින වග නිරතුරු මතක් කරගත්තම "මේවත් ප්‍රශ්නද ? " කියලා හිතෙනවා.

පැතුම් නෙක පතාගෙන දුක සතුට පොදි බැඳං
බොහෝ දුර ඇවිද්දෙමි සිනා මල් එක් කරං
වෙහෙසකුත් දැනෙන් නෑ මගෙ හිතට ඒ තරං
ජීවිතේ කියන්නේ මේකටද රත්තරං

මගේ නැන්දාගේ ජර්මන් ජාතික මිතුරියක් වරක් මට මෙසේ පැවසුවා. "I cant understand sinhala, but I often hear this word, "Prashna" and I was wondering what it means" කියලා ශ්‍රී ලාංකිකයන් හමුවූ විට නිරතුරු කෙරෙන කතාබහ ඇයට තේරුණේ නැති වුනත් ඇයට නිතර ඇසෙන වචනයක් ගැනයි ඇය මගෙන් විමසා හිටියේ. ඒ වචනය තමයි "ප්‍රශ්ණ" හැම තිස්සෙම කතා කරන්නේ ප්‍රශ්න ගැනමයිලු.
දන්නවද 2005 සංගණනයට අනුව ලෝක ජනගහනයෙන් මිලියන 100 පමණ හිසට වහලක් නොමැත්තෝය (2005, an estimated 100 million people worldwide were homeless)
අපිට අඩු තරමේ නොතෙමී, ආරක්ෂා සහිතව ජීවත් වෙන්න හිසට පොඩි ටකරම් තහඩුවක් හරි තියෙනවනම් අපි සතුටු විය යුතුයි
ඒවගේද, කොයි තරම්නම් පිරිසක් බඩගින්න නිසා මිය යනවද ? අප්‍රිකාවේ ඇවිදින මිනිස් ඇට සැකිලිඔබ දැකලා ඇති. ඉස්සර අම්මා කියද්දී, බත් විසිකරන්න එපා, ඉතුරු කරන්න එපා පුතේ මිනිස්සු මැරෙනවා කන්න නැතිව කියලා,අපිට ඒක ඒතරම් හිතට තේරුණේ නෑ, මට පුළුවන්නම්, දවස් 2, 3ක් උනත් කෑම නැතුව ඉන්නයි ආසා කලේ, කන බොන එක ඒ තරම්ම හිතට වදයක් ගෙනාවේ ඉස්සර. පොඩි කාලේ මට කවන්න ගියහම, කාක්කොයි බල්ලොයි පූසොයි පෙන්න පෙන්න, බණ්ඩාර මැණිකේ (බන්ටි) මිදුල වටේ ඇවිද්දාලු.
ටික ටික වැඩෙනකොට ලෝකෙ ගැන දැනෙනකොට, ආහාර විසි කිරීම කොයිතරම් නම් පවක්ද කියලා තේරුණා. කන්න ගන්න බත් පිඟාන අපිට දුන්නු අම්මා අප්පච්චී ඉඳන්, ඒකට වෙහෙසුන ගොවියා දක්වා මතක් කරලා පින් දෙන්න පුරුදු වෙන්න කියලා දහම් පාසැලේදී ඉගෙන ගත්තා. දැන්නම් එක ඇටයක්වත් විසි කරන්නෙ නැතුව කනවා.
බඩගින්න උහුල ගන්න බැරුව දරුවෝ තුන්දෙනත් එක්ක කෝච්චියට පැන්න අම්මාගේ කතාව සිළුමිණ පත්තරේ කියෙව්වා වසරකට පමණ පෙර, අනේ අපි මොන තරම්නම් නාස්තියක් කරනවාද කියලා හිතුනා, මගුල් ගෙවල්, උත්සව ආදියේ සිදුවන අපතේ යාම, නාස්තිය දැක්කම. කවදාවත්, හෝටලයක ජයටනම් මඟුල් කන්නේ නෑමයි කියලා හිතාගත්තා, ඒ සල්ලි වලින්, ජීවිත කාලයක් සැනසෙන්න පුළුවන් පුණ්‍ය කර්මයක් කරන්න හිතාගත්තා.
ලෝකේ එක පැත්තක මිනිස්සු කෑම අහේනිය නිසා මිය යද්දී, ඊට අනිත් පැත්ත බැලුවොත් ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඇතැම් රටවල, අදික තරබාරුකම නිසා නොයෙක් රෝගාබාද වලට ලක් වෙලා මිනිස්සු මිය යනවා. මහත වැඩි උනහම හිතේ රෝගත් වැඩි වෙනවා.
මෙහෙම බලාගෙන ගියාම , මැදුම් පිළිවෙත තමයි වඩා වටින්නේ, වැඩියත් නොවේ අඩුවෙනුත් නොවේ, ගාණට කාලා, හිතත් පිරිසිඳුව තියාගෙන, ඇඟත් සෞඛ්‍යය සම්පන්නව තියාගත්තොත් කොයිතරම් හොඳද ?

කෑම ගැන ලියවුනා ගොඩක් විස්තර.
කීප දෙනෙක් මේ ගැන විමසුව නිසා ඔන්න මම දන්න ඉගෙන ගත්තු ආහාර සම්බන්ද විවිද මත කීපයකුත් , හොඳට තුන්වේලම කෑම කාලා, කොහොමද සිරුරේ බර පාලනය කරන්නේ කියලත්, ඒකට කල යුතු වැඩ පිලිවෙලත් මම ඉස්සරහට ලියන්නම්. සිරුරේ බර අඩු කරන්න නොකා නොබී ඉන්න ඕන නෑ ඕං ! ඉස්සරහට ඒ විස්තර..

Tuesday, 15 April 2008

Kiribath,Lunumiris & Avurudu @ hostel

අවුරුදු කියලා මේ සැරේ අපිට වැඩි යමක් කරන්න හම්බුනේ නෑ, ගෙවල් වලින් පිට හිටපු අපි සේරම ඉතින් අවුරුදු දවසේ, ගුවන් විදුලියට සවන් දෙමින් හිටියේ හුල්ල හූල්ල, මේක බලාගෙන හිටපු අපේ හිත හොඳ අක්කා, හවසට කිරිබත් හදමු කිව්වා. එදා ඉරිදා නිවාඩු පාඩුවේ හිටපු අපිත් ඒපාර එක පයින් ලෑස්ති උනා. මට බාර උනේ ලූණු මිරිස් හදන්න, පොල් ගෙඩියක් අරගෙන ඇවිත් අර junior මල්ලිලාගෙන් හිරමනේ ඉල්ලගෙන කිරිබත් හදද්දී පොල් ගාලා පොල්කිරි ගන්න අපි පුරුදු වෙලා හිටියත් . අපේ යසාට මැගී පිටි කළ පොල් කිරි පැකට් එකක් තිබ්බා. එනිසා ෂේප් එකේ ඒකෙන් කිරිබත් ඉව්වා. වැඩිය සම්පත් (කුස්සි බඩු) මොනවත්ම නැතිව හදපු නිසා ගෙදර හදන තරමටම හොඳ නැතත් කිරි බත රහට ආවා. ඔන්න මේක කියවන මැගී ආයතනේ කට්ටිය අපිව හොයයිද දන්නෙ නෑ ad එකකට :P
ලුණු මිරිසත් ඇබරුම් ගලක් හෝ වංගෙඩියක් නැතිවට, අක්කා ලඟ තිබ්බ පොඩි ලී වංගෙඩියෙන් කීප සැරයකට කොට කොට, හැදුවා, ඒකත් හොඳ පදමට ආවා.
මෙන්න අපේ කිරිබත, සහ ලුණුමිරිස.

Monday, 14 April 2008

Warming up for the Sinhala blog marathon..

සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව ගැන මේ වෙනකොට විවිද අයුරින් දැනුවත් කිරීම් කරලා තියෙනවා. කැමැති අය එකතු උනා, අකමැති අය නිකම් හිටියා, සමහරු ප්‍රේක්ශකයෝ හැටියට ඉන්නම් කිව්වා.
සමහරු, සපත්තූ මේස් සහ අර track kits පවා හෙව්වාලු :D
අපේ කට්ටියක් සිකුරාදා හවසට රාත්‍රී කෑම කන්න සෙට් වෙමුද ඇහුවා.
මම කිව්වා බෑ එදාට මම මැරතන් එකකට ඉන්නවා කියලා. එයාලටත් ඉතින් පුදුමයි, ඒත් මම පැහැදිලි කරලා දුන්නා, නැත්නම් මෙයාල එන්න හදයි මග දිගට හුරේ දමන්න.ඉතින් ඒ බොහෝ දෙනෙක් එදාට මේක බලන හැටි ඇහුවා, ඒ අයටත් දැනගන්න එක්කම බ්ලොග් සටහන් තුලින් ඒ ගැන යමක් එකතු කරන්න හිතුවා.

කොහොම කොහොම හරි අඩු නැතුව සියලු දෙනා එකතු වෙලා වෙබ් පිටු සැකසීමේ පටන් එක දිගට රැයක් දවාලක් නොබලා වැඩකරපු අයුරු දෑක්කම හිතට දැනුනේ ලොකු ශක්තියක් සහ සතුටක්.
විටෙන් විට, සැලෙන තැලෙන, අපි එකිනෙකාගෙ හිත් සනසමින්, ඔක්කොම එක අරමුණකට එකතුවී,තමන්ගේ අත්තනෝමතික මතයන් බැහැර කර, අනුන්ගේ හඩටත් කන් දෙමින් මේ කරපු වැඩ කන්ද හරී උසයි.

බ්ලොග් මැරතන් බලන්නේ මෙහෙමයි..

සිංහල බ්ලොග් මැරතන් එක ගෑන සියලු විස්තර මෙතන තියෙනවා.. එකතු උනේ නැත්නම් දැන්ම ගිහින් ඔයාලගේ බ්ලොග් අඩවියත් යොමු කර එකතු වෙන්න. මෙන්න තැන www.sinalabloggers.com

දැන් 18/19 දින දෙකේම මේ බ්ලොග් සටහන් ලියවෙද්දී, ඒවා බලන්න අතන මෙතන දුවන්න ඕනා නෑ, එකම වහලක් යට සියලුම පල කෙරෙන ලිපි "සින්ඩිකේටරය" මගින් සටහන් වෙනවා.. ඒකත් මහ අපූරු වෑඩක්. අපි මෙතැන පල කරන සැනින් එතැන ඒක සටහන් වෙනවා.. මෙන්න ඒකට මග සින්ඩිකේටරය

ඕගොල්ලොන්ගේ ජී මේල්, හෙවත් ගූගල් ඊමේල් ලිපින මගින් ලොග් වෙන ගූගල් ටෝක් උපාංගයෙනුත් සටහන් පලවන සැනින් ඒ ගැන දැනුම්දීම් සිදු වෙනවා ඒකට මෙන්න මෙයාව ඔයාලගේ ගූගල් ටෝක් උපාංගයට add කර ගන්න marathon@sinhalabloggers.com

තව twitter මගිනුත් දැනුම් දීම් සිදුවෙනවා, එහි ගිණුමක් තිබේනම් හෝ එයට එකතුවන්නේනම් ඒමගිනුත් බ්ලොග් මැරතන් සටහන් දමන පරක්කුවෙන් ඒවා ගැන දැනුම් දෙනු ඇත.

තව බොහෝ විස්තර සිංහල බ්ලොග් කරුවන්ගේ අඩවියේ මෙන්න මෙතැන තිබෙනවා ඒකත් බලන්න.
http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch

දැන්මම එකතු වෙන්න, එහෙම නැතත් ඇවිත් බලන්න.
ඔන්න බලන්න බැරි වෙලා පසු තැවිලි වෙන්න එපා

Sunday, 13 April 2008

සුභ අලුත් අවුරුද්දක් වේවා

හිත පිරෙන සනහන සිනහවන්
හද නිවන පහදන කතාවන්
පිරුණු සුභ අලුත් අවුරුද්දකට ආසිරි
ආයු බෝ වේ වා


මේ මගේ අවුරුදු පැතුමයි

සිනා දුක් කඳුළු මැද, දළුලමින් ලියලමින්
දිනෙන් දින ගෙවෙන්නේ කාලයයි
විටෙක හරි දුක්බරයි විටෙක හරි සුන්දරයි
ජීවිතය කියන්නේ එයටමයි
වසරකින් තවත් නව වසරකට පියමනිමු
හිත පුරා දැනෙන්නේ හිස් කමක්
අපේ මඩි තර කරන් අනුන් හිත් තෙරපමින්
කුමක් කෙරුනෙද ලොවට අපි තුලින්
නුඹත් කෙරුවෙද සෙතක් නගන්නට මේ දෙරණ
පසු තැවිලි නොවන්නට කල්පයක්
තිරිසනුන් අමනයන්, කුහකයන් පිරුණු ලොව
මිනිසෙක් වෙයන් සොඳුරු නුඹ උතුම්

ඔබ හැම වෙත ආදරයෙන් නව වසරට ආසිරි...
බෝ

Saturday, 12 April 2008

මට මතකයි .... අවුරුදු කාලෙට -2

(පසුගිය අවුරුද්දේ, සිංහලයා අවුරුදු කලාපය වෙනුවෙන් ලියැවුනු, මට මතකයි.. මගේ අවුරුදු මතක සටහන් මෙලෙස යුනිකේත අකුරු කොට පල කරන්නට සිත් විය.)

අවුරුදු ලබනකොට ගෙදර හැමදෙනාම එකතුවෙනවා අවුරුදු කෑම අනුභවයට, මට මතකයි ලොකු අත්තා පොල් තෙල් පහන පත්තු කරලා, කිරිබත් කැල්ලක් හැමොගෙම පිඟන් වලට බෙදනවා, ගෙදර හැමෝම එකතුවෙලා අර හදාපු කෑම රස කර කර කනවා මතක් වෙද්දී මේ ලියන ගමනුත් මගෙ කටට කෙළ උනනවා.
ගනු දෙනු කරන වෙලාවට තමයි අපි පුංචි ඈයෝ හුඟක්ම කැමති , බුලත් කොළ වල ඔතපු කාසිය බැගින් ලොකු අත්තා, අත්තම්මා ඇතුලූ ඔක්කොම වැඩිහිටියෝ අපිට දෙනවා, ඒ කාලෙ වැඩිපුරම ලබෙන්නේ රුපියල් පහේ කාසි තමයි, ඉතිං අපිට රටක් රාජ්ජයක් ලැබුනා වගේ, සල්ලි ටික බොහොම පරිස්සමෙන් කැටේකට දානවා එහෙම නැත්නම් අම්මට දෙනවා අරං තියන්න. ඒ වගේම හැමෝම වැඩිහිටියන්ට බුළත් දීල වඳ ආශිර්වාද ගන්නවා. කොයි ගෙදරට ගොඩ උනත් වැඩිහිටි සියල්ලන්ටම දණ නමා වඳින්න අපි පුරුදු පුහුණු වී සිටියා. එවිට වැඩිහිටියන්ගේ සිත් සතන් තුල වුවද තමන්ගේ බාලයන් කෙරෙහි පහන් හැඟුමක් ඇතිවන්නේ, හදවතින්ම ජය සතුට සැප යනාදිය සමග තෙරුවන් සරණයි කියලා ඔවුනට ආශිර්වාද කරමින්. අද වෙනකොට මේ සිරිත් ටිකෙන් ටික අප අතරින් ඈත්වෙලා යන්නේ අපෙම කරුමයටදෝ කියලත් හිතෙනවා.

මට මතකයි ගමේ ගියාම ඉතින් අපිට එක විනාඩියක් එකතැනක ඉන්ට ඉස්පාසුවක් නෑ.
මහා විසාල අරලිය ගහේ අත්තක නොවරදවාම බඳින ඔන්චිල්ලාව පදින්න අපි ඔක්කොමලා පොර අල්ලනවා, ඉස්කෝලේ ඉගෙන ගත්තු ඔන්චිලි වාරම් කවිත් අත්තම්මා උගන්නපු ඒවත් කිය කියා ඔන්චිලි පදිනවා මට තවම මතකයි.

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට පුවක් කැලේ
නැන්දලාගෙ කොස් අත්තේ
එක ගෙඩියයි පල ගත්තේ

ඒක කන්ට ලූණු නැත්තේ
ලූණු මිනිහා ගම නැත්තේ
ගම කොතැනද කටුබැද්දේ
ඔංචිලිචිලි චිල්ල මලේ

මතකෙට නැගුනම ඒ අතීතය ඇත්තටම ගොඩාක් දුකක් දැනෙනවා එවැනි කාලයක් යලිත් එන්නේ නැති නිසා. ඒ කාලෙ හැම පවුලකම දරුවෝ හතර පස් දෙනෙක් උන්නා, අපේ අප්පච්චිටම සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්, ඉතිං අවුරුදු කාලෙට මුළු ගෙදරම පිරෙනවා.
සෙල්ලම් කරන්න පංච දමන්න, ඔළිඳ කෙලින්න එහෙම කට්ටිය වැඩියි ඉතින් හොඳටෝම.
අදනම් අවුරුද්දටත් කට්ටිය රූපවාහිනිය ළඟ රැස් වෙලා , ඇයි එදාටත් ෆිල්ම් යනවනේ ඔන්න අපේ රටකට ගිය කල
අවුරුදු උත්සවයක් නොවැරදීම ගමේ තරුණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙනවා. එදාට ඉතින් බාල මහළු සියලූම දෙනා පාළම අසල අවුරුද්ද වෙනුවෙන්ම සැකසුනු මඩුව වෙත ඇදෙන්නේ හිත පිරි සතුටෙන්, අපිත් ඉතින් පුළුවන් හැම තරෙඟටම ඉදිරිපත් වෙනවා. මට මතකයි ලොකු අක්කත් එක්ක ඉඳිකට්ටට නූල අමුණන තරෙඟන් මමයි අක්කයි දින්නා. කවුරුත් තරඟ වලට ඉදිරිපත් වෙන්නේ් දිනන්නම බලාගෙන නොවේ විනෝදයටමයි.
ඒ කාලේ ගමක් තුල එකමුතුව සමගිය සමාදානය හොඳින් පැවතුනා, මගුලකට මරණෙකට එකතුවෙලා දුක සතුට බෙදා හදා ගන්න තරම් ළෙංගතුකමක් හැමෝගෙම හිත් වල තිබුනා. අළුත් අවුරුද්දට තරහ මරහ අත ඇරලා සියළු දෙනා එක්කම හොඳ හිත ඇති කරගන්න එක අපේ කම ඉස්මතු කරන්නක්. මට මතකයි, දැනුම් හැඳුනුම් බේදයක් නැතිව අවට සියලූ දෙනාත් සමගම අවුරුදු කැවිලි පෙවිලි බෙදා හදා ගැනීමත්, පෙර අමනාපකම් සියල්ල ලබන්නාවූ අළුත් අවුරුද්දේ්දී අමතක කරදමා සියල්ලන් හා සාමයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමත් අපේ පැරැණ්නනගේ මා දුටු හොඳ සිරිතක්.

ඔබ හැමට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

Friday, 11 April 2008

මට මතකයි ... අවුරුදු කාලෙට Down the memory lane


මට මතකයි ... අවුරුදු කාලෙට (පසුගිය අවුරුද්දේ, සිංහලයා අවුරුදු කලාපය වෙනුවෙන් ලියැවුනු, මට මතකයි.. මගේ අවුරුදු මතක සටහන් මෙලෙස යුනිකේත අකුරු කොට පල කරන්නට සිත් විය.)

සිංහල අළුත් අවුරුදු ළං වෙද්දී හැම ගෙයක්ම කල එළි වෙනවා. ”දොළොස්මහක් ගෙවෙන දවසට ගෙදර දොර සිරියාවට තියෙන්නෙ ඕනෙ” කියලා අපේ අත්තම්මා කියනවා නිතරම.
ඔන්න ඉතිං අපි පොඩි කාලෙනම් අවුරුදු කැවිලි හදද්දී අපිට කුස්සිය පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ, මොකද ඒ කාලෙ කුස්සියේ දර ලිප් හදලා තිබ්බේ බිම, උදේට සීතලට ලිප ලඟ ගුලි ගැහැන්න අපි පොඩි එවුන් හැමෝම පොරකනවා එක වගේ. ඔය කැවිලි පෙවිලි හදන කරන වැඩ වලට උදව් වෙන්ට මට නොලැබුනත් කුස්සියට වෙලා ඕව ඔක්කොම බලාගෙන ඉන්නේ මම හරි ආසාවෙන්.

ගෙදරින් පිට වෙනම මැටි වලින් හැදූ සුදු හුණු පිරියම් කරපු ගේ පොඞ්ඩක් මහ නුවර පළාතේ බොහෝ ගෙවල් වල දකින්න ලැබෙනවා, මේකට අත්තම්මානම් කිව්වෙ මඩු ගේ කියලා. ඒකෙ පොළවටම සවි කරපු ලොකු ගල් වංගෙඩියක් , කුරහන් ගලක් එහෙම තියෙනවා. ඕං ඉතින් දැන් වගේ නෙමේ හාල්, මුං සේරම පිටි කරගන්නේ මේ කුරහන් ගලේ අඹරලා, වංගෙඩියෙන් කොටලා. මෝල් ගස් දෙකකින්, දෙන්නෙක් එක්වර හාල් පිටි කරද්දී, බලන් ඉන්න හරිම ලස්සනයි , අපිට වැඩිය මඩු ගෙට ඇතුල් වෙන්ට ලැබෙන්නේ නෑ, ඇතුලට වැලි ගෙනෙනවා කියල.

පැණි වළලූ හදනවා බලං ඉන්න ලස්සනයි, පැණි මුට්ටිය පැත්තකින් තියාගෙන, උඳු පිටි වලින් හදා ගත්තු මිශ්රණය, බොත්තම් කාසියක් මසාගත්තු හතරැස් රෙදිකෑල්ලකට දාල එකෙන් හරි අපූරුවුට උතුරන තෙල් තාච්චියෙ වළලූ රටාවට වත්කරලා, ඊට පස්සෙ ඒව අරගෙන පැණි මුට්ටියේ ඔබනවා, එතකොට සූස් ගාල වළලූ ඇතුලට පැණි උරාගන්න සද්දේ ඇහෙන්ට ඕනෙ, ඕව මම කරල නම් නැහැ ඒත් අම්මා, අත්තම්මා ලොකු අම්මලා එකතු වෙලා හදනවා බලං ඉඳලා තියෙනවා. කොකිස් හදද්දිනම් ඉතින් අපෙන් ගැලවිල්ලක් නෑ, කොකිසක් ලැබෙන තුරු කුස්සිය හරියෙම ගැවසෙනවා, අන්තිමට අපේ කරච්චලෙන් ගැලවෙන්ට ඉතින් කොකිසක් දෙන්නම වෙනවා.

අතිරස, මුං කැවුම් , කොණ්ඩ කැවුම්,කොකිස් එක්ක වැලි තලප එහෙමත් හදන්නවා. අවුරුදු නැකතට කලින් නොනගතේට ඉතිං හැමදෙනාම පන්සල් යන්නත් අමතක කරන්නේ නැහැ. ලොකු කුඩා බේදයක් නැතිව සියල්ලෝම අළුත් ඇඳුම් ආයිත්තම් වලින් හැඩ වෙනව. අස්වනු කැපෙන කාලෙ නිසා අපේ ගම් පළාත්වල උදවියගේ අතමිටත් සරු සාරයි.

අපේ ගම් පලාතෙ නම් කැවිලි පෙවිලි හුවමාරු කරගන්නේ පරණ අවුරුද්ද දවසේ, අත්තම්මා කිව්වේ මේක ගොඩක් ආදි කාලෙ ඉඳන් පැවතෙන සිරිතක් කියල, එතකොට අවුරුද්දට කැවිලි පෙවිලි හදා ගන්ට බැරි උනු එහෙමත් නැත්නම් අග හිඟකම් නිසා, වැඩිය දෙයක් හදන්ට බැරි උනු ගෙදරකට උනත් අවුරුදු ලබද්දී අවුරුදු කෑම මේසෙට කැවිලි පෙවිලි අඩුවක් වෙන්නේ නැහැ, බලාගෙන ගියාම ඒක ඇත්තටම ගොඩක් හොඳ සිරිතක් කියලා මට හිතුනා.

නොනගතය වෙලාවට අපි හැමෝම පන්සල් යනවා. ආගමික වතාවත් වල යෙදෙනකොට සිත් සතන් පහන් වෙනවා, නිවෙනවා. ඉතින් බලන්න එදා ඉඳන් ධර්මය මූලික කොටගෙන අපේ සමාජය හැඩ ගැසුනු නිසා නේද දුසිරිතෙන් තොර දැහැමි රාජ්‍යයක් අපට උරුමව තිබුනේ, නමුත් අද මෙවැනි සිරිත් අනුගමනය කරන්නේ බොහොම සීමිත පිරිසක් , එනිසාමයි නේද සමාජ සාදනයක් නොමැත්තේ?
අවුරුදු දාටත් අද ඇතැමුන් මුල්තැන දෙන්නේ අරක්කු බෝතලයට ! ඉතිං කොහෙද අවුරුද්දක් !

තව ඉවර නෑ...

වෙඩි හඩ දෙන මායිමේ ගහේ අපි...His story


Sometimes we feel like its our responsibility to set everybody straight , make everything right and solve every one's problems. We do the best we can with right effort, but when we fail often feel bad and depressed.
We are often hurt and offended, by the things others say and do. I've learnt many valuable lessons thanks to the university/hostel life. Every other day You'd hear someone talking about you behind your back. Surprisingly most of them aren't even the usual people we associate with. when I was in first years I used to go to such people and questions them on what I've heard. Never thought that it would in return worsen the situation. Later on I learnt to control my emotions and words, specially with those whom I am not much familiar with. Then again, I used to hear things about others as well,hostel was one place where gossiping was at it's best.
Yogi, was one of those ppl I never spoke with cause of the "stories" I heard about him. They'd say "He is one of "them" so be careful when you talk with him". One day while coming back to hostel after a late evening seminar,I had to sit next to him in the bus . As we spoke, He told me many things about their life situations in war affected areas.This is his story..
(I'm a sinhala unicode lover, so I am writing most of my posts in Sinhala, I'm sure you'd enjoy reading these bilingual articles)

"හවස් වෙනකොට ගමට යන්න බස් නෑ එතකොට, ටවුමේ පන්සලේ නිදාගන්නවා, කොහොමත් පන්සලේ නිතරම කෑම බීම ඉඳුම් හිටුම් ලැබෙනවා" යෝගී, කියන්නට විය. යෝගී නමින් අපි කවුරුත් අමතන අප හිතවත් දමිල ජාතික මිතුරා ඔහුගේ කටහඩ අවදි කලේ, අවුරුදු ගැන අපි එකිනෙකා අපේ මතකයන් කියද්දී, යාපනයේ දුෂ්කර ගම්මානෙක සිට සිල්ප දැන උගෙන මෙහි පැමිණි ඔහු, අද වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගන්නවා.
"බෞද්ධ හින්දු, මුස්ලිම් මේ ඕනෙ කෙනෙක්ට පන්සලේ ඉන්න ඉඩ දෙනවා, මම බෞද්ධ නෙමේ, මම හින්දු, ඒත් පන්සලේ තමයි අපි කොයි කවුරුත් නවතින්නේ, ආයේ උදේ බස් එකෙන් ගමට යනවා"
"ඒ පැත්තේ ගොඩාක් ඉන්නේ බෞද්ධ අයද ?"මම ඇහුවා.
"නෑ හින්දු අය, පන්සලට දානෙත් දෙනවා හින්දු අය"
"පන්සලේ උයන්නේ කවුද?" අපේ කෙනෙක් ප්‍රෂ්ණ කරනවා
"ආමි එකේ කට්ටිය ඇවිත් උයන්නේ, එතන තියෙන මුර පොලටත් කෑම දෙන්නේ පන්සලෙන්." යෝගී ට සිංහල වචන කිහිපයක් කතා කරන්න පුළුවන්වුනත් අප හා කතා කරන්නේ ඉංග්‍රීසි බසිනි.
ඇත්ත, ම්ලේච්ඡ කොටි හපුවන් පෙන්වන තරම් ඒ ප්‍රදේශ වල ජාතිවාදය හෝ ආගම්වාදය යන මේ කිසිවක් ඒ තරම් දරුණු නැත.
"වෙඩි සද්ද ඇහෙද්දී අපි කැලේට රිංගනවා, හැමදාම හවස් වෙද්දී අපි කැලේට යනවා. සැරයක් අපි රාත්‍රීයේ කැලෑ වදුනා, ඒත් මට උදේ වෙද්දී තේරුනේ මම අපේ පවුලෙන් මග ඇරිලා අතරමං වෙලා කියලා, පස්සේ ගමට ආවම ගෙවල් ගිනි තියලා, මිනිස්සු[පිස්සුවෙන් වගේ ඇවිදිනවා, අපේ අම්මා පිස්සියෙක් වගේ ගම හැමතැනම දුවනවා මාව හොය හොයා, එයා හිතලා මාව අරුන් සංවිදානෙට අරගෙන ගිහින් කියලා, අක්කාව හොයා ගන්න බැරි උනා , අවුරුදූ ගානකින් අවුරුද්දක් තිබ්බේ නෑ අපිට, ගිය අවුරුද්දේ තමයි අපි ඔක්කොමලා එකට එකතුවෙලා අවුරුද්දක් ගත කලේ, මේ සැරේ කොහොම වෙයිද දන්නේ නෑ"

ස්වභාවික අනතුරු අඩු, ක්ශේම භූමියක උපන්නත්, යුද බිය නිසා, අපේ ජීවිත බොහෝ දුරට නැති නාස්ති වී ඇත. යෝගීලා තරමට නැති උනත්, මරණ බිය කියන දේ අපේ හිත් වලටත් විටෙන් විට අඩුවක් නැතිව දැනුනා නොවෙද ? ඒ සිතුවිලි ඔස්සේ ලියැවුනු මේ කව මෙහි පල කළද සතුටු විය යුතු කාලයේ, සිත් තැවුලක් ඇති විනි නම් සමාවෙන්න.

Wednesday, 9 April 2008

වික්ටර් ගයනු ආයෙමත්...Hitha mithuru sulanga


සමබර නැමැති අනවර්ත නාමයෙන් හඳුන්වන හිතවත් සමරගේ කල්පනා සහ සටහන් බ්ලොග් අඩවි මම ඉතා ආසාවෙන් කියවන පිටු දෙකක්, ඒ තුලින් පසු ගිය දිනෙක විකටර් රත්නායක මහතා ගැන ලියැවුනු මෙන්න මේ සටහන දුටු මොහොතේ මට ඒ ගැන යමක් සටහන් කරන්නට හිතුනා, සමරගේ සිතුවිලි වලට යමක් මගේ බ්ලොග් පිටුවෙන් එකතු කිරීම ගැන samara අමනාප නොවේ යැයි මම සිතමි.
මමයි තව කවි ලියන සහෘදයෙකුයි ලියපු මෙන්න මේ "වික්‍ටර් ගයනු ආයෙමත්" කවි ටික මෙහි පළ කරන්න හිතුනත්, කාර්‍යබහුලත්වය නිසා පොඩ්ඩක් පරිගණකයක් ඉදිරියේ ඉඳගෙන වැඩක් කරන්න හැකියාව බොහෝ දුරට අඩු උනා. අපි මේක ලිව්වේ දවසක් වික්ටර් රත්නායකයන් ගැන ඇතිවුනු දෙබසකින් පසු, මන්ද "හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් " යන ගීය මගේ ප්‍රියතම ගීත අතර මුල් තැන ගන්නක් නිසා.
ඉහත ලියැවුනු කවි පන්ති තුනේ කවි එකහමාරක් ලිව්වේ මම ඉතිරිය ලිව්වේ කූඹීයා නම් අනවර්ත නාමයෙන් හඳුන්වන තරංග අයියා.
ඉතාලියේ තිබ්බ, සංගීත රාත්‍රියකට පැමිණි වික්ටර් රත්නායකයන් අතට මේ කවි පන්ති කීපය පත්කරන්න වෙහෙසුනු මදූ නංගීවත් ආදරෙන් මතක් කරමි.

මෙය "හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්" සින්දුවේ තාලයට ලියැවිනි.

හිත මිතුරු සුළඟ බදු අරගෙන ගිරව් රංචුවක්
ඒ හුළඟේ නෑ ආදරයක් තියෙන කටහඩක්
දිගු කළකින් නෑ ඇසුනේ ඔබ ගැයූ ගීතයක්
හද නිදිවරාන බලා හිඳී ගයනු ආයෙමත්

ලියනා ගී කාවුන් කෑ වචන කෝටියක්
උන් ගයනා ගී හඩේ නෑනෙ කිසිම තෙත් බවක්
හිත් ගං ඕවිටි වේලී ඉරි තලා ගොස් ඉතින්
ගී වලාවක් වෙසින් ඇවිදින් ගයනු ආයෙමත්

මුණු මුණුව සමග නළ රැල්ලක වෙලී සීතලෙන්
හිත කිති කවනා ස්වර ගලපා නොහිම් ස්නේහයෙන්
නුඹ ගයනා තුරු යළි ඇවිදින් සොඳුරු ගීතයක්
හද නිදි වරාන බලා හිඳී ගයනු ආයෙමත්.

Saturday, 5 April 2008

කොතරම් ගුණ කලත්.. Where does the good go ?

නිතරම අලුත් වෙන බලාපොරොත්තු පිරුණම ජීවිතේ අමුත්තක් තියෙනවා කියලා හිතෙනවා වෙලාවකට. පසු ගිය කලෙක වෙබ් පිටු මතින් දකින්න ලැබුනේ හිත රිදෙන තැලෙන දේවල්මයි. අපට වඩා බොහෝ සෙයින් දන්න කියන අය හැසිරෙන අන්දම දුටුවම ඇති වුනේ කනස්සල්ලක්, උගත් මෝඩකම කියන්නෙත් ඒකටමයි කියලා පස්සෙ මම මේ ගැන හිතවත් අය සමග කතා කරද්දී කියැවුනා. තමන් දන්න බව පෙන්වන ඒමතින්ම නොදන්නවුන් පහත හෙලන පිරිස් අප අතර ඕනෑ තරම්. මම මේ වෙබ් අවකාශයේ හමුවූ පිරිස් අතරේ කිසිම දිනක නොහොඳක් දුටුවේ නෑ, නමුත් "සියල්ල දත්" කියා තමන්ම කියා ගන්නා එවැන්නකුගෙන්, බලාපොරොත්තු නොවුන අයුරින් ද්වේශ සහගත වදන් අහන්න ලැබීම මට නම් ගෙන ආවේ පුදුමයක්. යම් හිතවත් කමක් තිබුන නිසාවෙන් එලෙස කතා බස් කරත් ආයෙනම් එවැන්නන් සමග කතාවකටවත් නොයන්නට මම හිතාගත්තා.
කොයි තරම් දක්ශයෙක් උනත් වැඩක් නෑ, සාමුහිකව වැඩ කරන්නට නොහැකිනම්, ඒකාදිපතියෙක් ලෙස තමන්ට උවමනා අරමුණ පමණක්ම දකින මෙවැන්නන් කොයි තරම් දැනුම් මට්ටමින් උසස් වුවත් මිනිස්දම් අතින් බොහොම පහත් මට්ටමක සිටින්නේ.
මට මගේ ඥාතී සොහොයුරා කියූ යමක් මතකයට නැගෙනවා. ඔහු අපේ දහම් පාසැල් විවාද කණ්ඩායමේ මග පෙන්වන්නා, නියමුවා. අපිට නිතරම පෙන්වා දුන්නේ, ප්‍රතියෝජක පිලත්, රැස්ව සිටින සියල්ලනුත්, විනිශ්චය මණ්ඩලයත් කොහොමද අපේ අණසකට ගන්නේ කියලයි. ඒක ඇත්තෙන්ම හොඳ නායකත්වයකට කියාපු උපදෙස.
ඒ "ඔව් , නමුත් " yes, but කියන නියාය. හැමතිස්සෙම ඕනෙම තර්කයක් බිඳිනවිට, ඔවුන් කියනදේට මගක් දුරකට එකඟ වී නමුත් යන ප්‍රත්‍යය යොදා අපේ මතය ඊට එකතු කර එය බිඳ හෙලන අයුරුයි ඔහු අපට නිතරම වටහා දුන්නේ. එකපාරටම යමෙක් කියන්නකට විරුද්ද වීමට වඩා ඔහු කියන දේ හොඳින් අසා දැනගෙන, "ඔබ කියන්දේ හරි සහෝදරයා, නමුත් මෙන්න මෙහෙමත් දෙයක් තියෙනවා නේද, අන්න ඒ නිසා මම මේකට එකඟ නොවෙන්නේ " කියලා කියනකොට, අර පුද්ගලයත් ඔහුට නොදැනීම අපේ පතයට ඇව්දින්. මේක මම අත් විඳලා තිබෙනවා බොහෝ විවාද තරඟ වලදී.
මිනිස්සුන්ගේ හිත් නොතලා, තමන්ට උවමනා අයුරින් දේවල් කරගන්න කරවන්න, ඔහු හොඳින්ම දැනගෙන හිටියා, සමාජයේ ඕනෙම ස්තරයක පුද්ගලයන් සමග පහසුවෙන් ක්‍රියා කරන්න එනිසා ඔහුට පුළුවන් වුනා. පසු කලෙක, පාසැල් ශිෂ්‍ය නායකත්වය මෙන්ම විශ්ව විද්‍යාල සංගම් වල නායකත්වය පවා ඔහු හිමි කරගත්තේ, ඔහුගේ තිබෙන ඒ උදාර ගුණාංග නිසාය. ඔහුගේ මේ හොඳ ගතිගුණ නිසා ඔහු වටා සිටින අපි සියල්ලන්ගේම ජීවිතත් හැඩගස්වාගන්න මහඟු උපකාරයක් උනා. අපි හැමවිටම නම්‍යශීලී වෙන්න ඕනා, නැත්නම් අපට මේ සමාජයේ ජීවත් වෙන්න අමාරුයි. ඒ ඔහු නිතර කියන්නක්.
වරෙක පුද්ගලයෙක් තමන්ට පරුෂ වචනයෙන් බැණ වැදුනු විට ඔහු කලේ ඒ පුද්ගලයා බණිනකම් ඉඳලා, සිනා සී ස්තූතියි කීමයි, අපට මෙය මහත් පුදුමයක් විය. එවිට ඔහු පැහැදිලි කලේ," ඒ මනුස්සයගේ හිතේ තියෙන කුණු කිලිටි එයා අපි ඉස්සර දිග හැරියට , අපි ඒවා අරගන්නවත්, ඒවා එළියට දැමීම වලක්වන්නවත් ඕනා නෑ, ඔය කේන්තිය පිට කරන්නේ අසහනයෙන් ඉන්න උන්, උන්ගේ අසහනයට අපි අපේ හිත් කිළුටු කරගන්න නරකයි" කියාය. එක දවසක් ශිෂ්‍ය දෙපිරිසක් අතර ගැටුමක් තිබෙන අවදියක, ඔහුට දැනගන්න ලැබුනේ, අනිත් පිරිස, කඩු කිනිසි, හොකී පිති රැගෙන මග රැක සිටින බවය.ඒ ඇසූ අනෙකුත් අය ප්‍රති ප්‍රහාර දෙමුය පවසද්දී, ඔහු එය වලක්වා තනිව ඔවුන් ඉදීරියට ගොස් පැවසුවේ ." මට ගහලා, මේ ප්‍රෂ්ණ විසඳෙනවනම් ආ ගහන්න , ඒත් මචං ඊට පස්සෙ කරදර විඳින්න වෙන්නේ අපේ දෙමාපියන්ටයි දන්න කියන අයටයි නේද? . මම පිළිගන්නවා ඕගොල්ලොන්ගේ තර්ක ඉල්ලීම් සියල්ල සාදාරණයි නමුත් මචං මේක මේ විදිහට ගහගෙන විසඳගන්න පුළුවන් වෙන්නේ නෑ" කියලයි.
බලන්න , යුද පිටියක් මැවෙන්න ගිය බොහෝ තැන් වල මෙවන් පුද්ගලයින් නිසා ඒවා වැලකෙන හැටි

ආතුර වූ මිනිසුන් අතර අනාතුරව වෙසෙන්න යයි, දම්ම පදයේ සඳහන් වේ, ඒ උපදෙස ඉතාම වටිනවා, මනසින් කයින් ආතුරවූ මිනිසුන් මැද දිවි ගෙවන අපටනම්. මම කොතෙකුත් පොත පත කියෙව්වට තවමත් අනෙක් අය නිසා මගේ හිත රිදවගන්නවා, නමුත් පස්සේ හිතද්දී තමයි වැටහෙන්නේ කොයිතරම් කුඩා කාරණාවලටද අපි මේ අපේ හිත රිදවගෙන තියෙන්නේ කියලා.

එහෙම කියනකොට මට මතක් වෙන්නේ මගේ අප්පච්චී නිතර කියන දෙයක් , අනිත් අය කියන දේවල් වලින් අපි හිත් රිදෝගෙන , අඩාගෙන වැලපෙනකොට, අප්පච්චී කියන කතාවක් තමයි, පාරේ ගමන් කරනකොට අසල සිටින මනුස්සයෙක්, නොයෙක් අසැබි වදනින් කෑ ගැහුවට අපි ඒවා කනකට ගන්නේ නෑ , නමුත් ඒ කෙනා ඒවා අපේ මූණටම ඇවිත් එහෙම කිව්වොත් ඇයි අපි කේන්ති ගන්නේ, ඇයි අපි ඒ වචන තුලට අපිව අනුගත කරන්නේ කියන එක.
බලාගෙන ගියාම ඒක කොයිතරම් ඇත්තද ?

කයින් ආතුර වූ මිනිසුන් මැද කල් ගෙවද්දී, අපටත් නොයෙක් රෝගාබාද හැදෙන එක අරුමයක් නොවේ, එනිසා පසුගිය දවස් කීපයේම බෙහෙත් බොමින් කල් ගත කලේ.

Tuesday, 1 April 2008

කවීයට කවිය කියනා හැටි...

තම පාළුව කාන්සිය මග හැර ගැනීමටත් රසාස්වාදය සඳහාත් අප ජන හදවත් තුල කවියට තිබුනේ ප්‍රදාන තැනක්.. රාත්‍රියට පැල් රකින විට, කියවෙන පැල් කවියකත්, සාමුහිකව එක් රැස්වී කරන්නට යෙදෙනෙ ගොයම් කැපීම්, පන් නෙලීම් ආදී ක්‍රියාවන්හි කියෙවෙන කවි තුලත් තිබුනේ ජන හදවත් තුල මුල් බැසගෙන තිබූ ඒ අව්‍යාජ සංකල්පනාය.
කවියට ඇලුම් ඇති එකිනෙකා හමුවූ විට කවියෙන් ආගිය තොරතුරු කතාබස් කිරීම, විවිද සංවේදනා පිළිබඳ දොඩමළු වීම එ'දා ඉඳන් අප හෙළ සමාජයේ පැවතියා.
රෑ පැල් රකින ගැමියා, තම පාළුව කාන්සිය මකා ගන්ට නිදිමත නැති කරගන්ට, අපූරු තාලෙට කවි පද බඳින්නේ, එ' හඬට අල්ලපු හේනකින් පිළිතුරක් ලැබෙන බව එ'කාන්තයෙන්ම දැන්නා නිසාය
හිටිවන කවි මඩු වලදී ගෙතුනු කවි කතා නිරතුරුව කිය්වන්ට ලැබිනි, අගනුවර තරුණ කවි සමාජයේ හමුවලදී කවියෙන් කවිය පිළිතුරු පද බඳින කිවිසුරු කවි කිවිඳියන්ගේ දස්කම් දුටුවෙමි
කවි මඩුවක් ගැන අහන්න ලැබුනු කාලයක් මතක නැති වේගෙන එනකොට වෙබ් අවකාශය තුල අපි එහෙම වැඩක් කරා
මම මුල්ම කවිය ලියද්දී නම් හිතුවෙම නෑ මේ තරම් ප්‍රතිචාරයක් ලැබේවි කියලා..
ඒත් දැන් කවි 300 වඩා මේ ෆෝරුම හූයට (ත්‍රෙඩ් එකට) එකතු වෙලා
දැනට කවි කීපයක් මෙතන පල කරා..ඔබත් හැකිනම් කියවා බලන්න..ඊට එකතු වෙන්න

Bo :
අහස් විල උතුර උතුරා වහින කොට
ඉරත් තරහ වී ඇකිලුනි සීතලට
හිතත් සසල විය පුපුරණ හෙණ හඬට
ටිකක් විතර බය දැනුනා තනිකමට

Nalubatta :
තිස්සේ අමතකය සැම දෙය නෙවෙද නගේ
ගැස්සෙනවාද හදවත වැඩි වී වේගේ
නිශ්චේ කර කියමි රෝගය සිතින් මගේ
වැස්සේ නොවේ වයසේ වරදය 'බෝ' ගේ

Bo:
වැස්සට නොවේ බය තනියට අකුණටය
හැමදේ නොවේ නුසුදුසු දේ අමතකය
තිස්සේ ගැහෙන හදවත තවමත් හොඳය
පෙනුනේ අයියගේ රෝගේ සලකුණුය

Su :
අයියට පෙනෙන්නේ නංගිගෙ කල වයසමය
නංගී දකින්නේ අයියගෙ රෝ ලකුණුමය
දෙන්න ට කියමි දැන් කළ යුතු හොඳම දෙය
ගහ දන්නා අපට ඔය කොළ නොපෑමය

Nalubatta:
ලැබූවම අබූද්දස්ස කල තිස්සෙම
ගෙඩියම ලබූත් වේලූ රස තිත්තම
නිමිනෙම රැජින නිතිණ ලද රජකම
දැන්මම බලන් කරන හැටි කපූකම


Read more at : Sinhalaya Kaviyata Kaviya - Foruma kavyakaranaye daskam