Saturday, 29 March 2008

Depth of Sinhala Poetry...කවි ගැන කතාවක්..

කවියක හැඩ බලමු හොඳ හැටි හොයාලා...

කවියක් ලියන්නේ කොහොමද ? කවියෙක් කියන්නේ කාටද ?කවි කියන්නේ මොනවාද ? .. මෙවැනි බොහෝ දෑ ගැන මා තුල වූ කුකුස නිසාම කවි අධ්‍යයනය කිරීමට මා සිත නැඹුරු විය. ඒ ඔස්සේ කියවන්නට ලියන්නට සහ දොඩන්නට, පොත පත , කලා කෘතීන් සහ හිතමිතුරන් බොහෝ දෙනෙක් නිසා හැකි විය. ජීවිතේ නිරන්තරයෙන් කරන සහ කරන්නට ලැබෙන බොහෝ දේවල් කවි කලාවෙන් ඈත් කොට තබන්නට අර අඳින දේ උනත්, හිත ඇතුලෙන් එන මහා අදෘෂ්‍යමාන බලවේගයක් නිතර නිතර හිත කලාව පැත්තට ඇදලා දමනවා. මේ ලිපිය ලියන්න අරගෙන දැන් බොහෝ කාලයක්, සූ අක්කා නිරන්තරයෙන් කල මතක් කිරීම් නිසා ඇත්තටම විවේකයක් ලැබුනු විගස, හිතේ සටහන් වී තිබෙන සියලු දත්ත මෙසේ සටහන් කොට තබමි
මේ සිංහලයා විශ්වීය ගුවන් විදුලි මැදිරියේදී චාමික මුණසිංහ මහතා සමග මම සහ සූ අක්කා විසින් ඉදිරිපත් කරනලද කාව්‍ය කතිකාවතින් උපුටා ගත් යම් කරුනු කීපයක් මම සටහන් කරගත් අයුරින්, මතකයට නැගෙන පරිදි ලියා තබමි.

මුලින්ම චාමික අයියගෙන් මම ඇසුවේ අපේ සිංහල කාව්‍ය ඉතිහාසය ගැනයි ... එයට ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි..
කවිය කියන්නේ අපිට විශේෂ දෙයක් දැන් නව කථාව කෙටි කථා මෙවැනි කළා මාධ්‍යයන් අපිට පිටරටින් ආනයනය වුනු කළා මාධ්‍යයන් වශයෙන් තමයි අපට හඳුනා ගන්න ලැබෙන්නෙ නමුත් කවි කළාව කියන එක අපේ මේ ලක් පොළවේ ඉපදුනු විශේෂ කළා මාධ්‍යයක් එනිසාම කවිය අපට අනන්‍යවූ කලා මාධ්‍යයක් හැටියට හඳුනා ගන්න ලැබෙනවා . බොහෝ විට පොත් වල සඳහන් වෙනවා කෙළ සුවහස් විරිත් තියෙනවා කියලා, එළි සඳැස් ලකුණ පොතේ ඒ වගේම විරිත් වැකිය පොතේ සඳහන් වෙනවා අපේ විරිත් භාවිතය පිළිබඳව.
කවිය කියන එක අපේ පොළවේ බිහි වුනු දෙයක් එනිසා මේක ආනයනය වුනු දෙයක් නොවේ කවිය අපට විශේෂ වූ කළා මාධ්‍යයක් එනිසා කවිය පිළිබඳව අපට බොහෝ දේ කථා කරන්නට තියෙනවා, හදවතේ භාෂාවයි කවිය කියලා ගුණදාස අමරසේකරයන් කියනවා. එනිසා කවිය අපේ ජනතාවගේ හදවතේ භාශාව පිළිබඳව අපට කථා කරන්න බොහෝ දේ තියෙනවා

එතකොට අයියේ කවියක් කියන්නේ මොකක්ද ? මගෙන් තවත් පැණයක් !

කවියක් කිව්වහම ඒකට බොහොම පුළුල් අර්ථ කථනයන් තියෙනවා.
අපිට දැන් සංදේශ කාව්ය වල හම්බ වෙනවා දස පද හෑළි වශයෙන් ඒවගේම සිව් පද කවි හැටියට ඒ විතරක් නෙවේ නිසඳස් කවි හැටියට නිදහස් කවි හටියට ඒවගේම ගීතාවලියන්හි විවිධ විරිත් වලින් ලියපු කවි හමුවෙනවා.

ඉතිහාසය ගත්තොත් දැන් අපිට කවි පිළිබඳ ෙඑතිහාසික සාධක ඉස්සෙල්ලම හම්බ වෙන්නේ සීගිරි කැටපත් පවුරෙන්, ක්‍රිස්තු පූර්ව 6 වෙනි 9 වෙනි 10 වෙනි සියවස් වල ලියවුනු කවි අපට හමු වෙනවා. ඒවා ඒකාලෙ හිටපු කවීන්ගේ අත් අකුරෙන්ම ලියවුනු කවි අපට දැක ගන්න හම්බ වෙනවා කැටපත් පවුරෙන්. ඉතින් කැටපත් පවුර කියන්නේ බොහොම වපසරිය කුඩා දෙයක් මං හිතන්නේ ඒකෙ තිබෙන කවි අතර අපිට හම්බවෙනවා ගී විරිතෙන්ම විතරක් ලියූ කවි 685 විතර. අපේ ආදී සිංහලූන් කවි ලියූ බවට හොඳම නිදර්ශනය එතනම තියෙනවා.
ඒවගේම පුරාතනයේ පද්‍යයෙන් ලියූ සෙල් ලිපි, බොහෝ දෙනා හිතන්නේ මේ සෙල්ලිපි ලියා තියෙන්නෙ ගද්‍යයෙන් කියලනේ නෑ පද්‍යයෙන් ලියූ සෙල්ලිපි කීපයකුත් අපේ ඉතිහාසයේ තියෙනවා අපිට. එනිසා කවිය කියන්නේ අපේ මාධ්‍යයක්

කවියක ආකෘතිය කුමක්ද, කවියක් ලියද්දී කිසියම් පූර්ව රීතියකට යටත් වෙන්න සිදු වෙනවාද ?

කවියේ හැඩරුව ආකෘතිය මේ මේ විදිහයි කියලා කියන්න බෑ. මොකද අපේ කවියෝ කොළඹ යුගයට එද්දී තමයි එක එක සීමා මායිම් යොදාගත්තේ, කවිය සිව් පද වෙන්න ඕනේ එළි වැට තියෙන්න ඕනෙ එළි සමය තියෙන්න ඕනේ කියලා නමුත් අපේ කවියෝ අතීතයේ කිසිම බලපෑමක් කලේ නෑ
නමුත් පෙදෙන් බුදු සිරිත කියලා.. කවියක් හෝ ගද්‍යයක් හෝ කිසියම් කලා මාධ්යයක් කරනවනම් බුදු සිරිත ඒකට ඉවහල් කරගත්තා. ඒකයි පෙදෙන් බුදු සිරිත කිව්වේ, අපේ කවියෝ පොත පත ලියද්දි, බෝසත් කතා, ජාතක කතා මේ වගේ විව්ද කතා වලට ආශ්‍රය කර ගත්තේ බුදු සිරිතමයි, ඒ පෙදෙන් බුදු සිරිතට අනුගත වෙන්න නමුත් ආකෘතිමය වශයෙන් කවියට කිසිම බලපෑමක් නෑ
අපේ ඉතිහාසය ගත්තොත්, පොළොන්නරු දඹදෙණි යුගයන් වලදී මුවදෙව්දාවත සසඳාවත වගේ ගී කාව්‍ය හමුවෙනවා ඒවා කණ්ඩ කාව්‍ය වශයෙන් හඳුනා ගන්නේ
දඹදෙණි යුගෙයේදී අපට හමුවෙනවා පණ්ඩිත පරාක්‍රමභාහු රජතුමා ලියූ කව් සිළුමිණ ඒක මහා කාව්‍යයක්. එතකොට දැන් මහා කාව්‍ය ලක්ෂණ කණ්ඩ කාව්‍ය, ගී කාව්‍යය , සිව් පද ලක්ශණ යන මේ සියලු ලක්ෂණ ඇතුලත් විවිදාකාර ආකෘතීන් අපේ කවි තුල තිබෙනවා ...
එනිසා නිශ්චිතවම කියන්න බෑ මෙන්න මේ ආකෘතියෙන් කවියක් බිහි විය යුතුයි කියලා!

කවියක් වෙන්න අංග කීපයක් තියෙන්න ඕන, කවියක අර්ථ මාදූර්‍යයක් තියෙන්න ඕනේ ශබ්ද මාදූර්‍යයක් තියෙන්න ඕනේ ඒකියන්නේ අර්ථය සහ ශබ්දය මූලික කරගෙන තමයි කවියක් නිර්මාණය වෙන්නේ ඒකෙ කිසියම් රිද්මයක් තිබිය යුතුයි
නිසඳැස් කවියොන්ට තිබ්බෙ නෑ රිද්මයක් ඔවුන් අර්ථය මූලික කරගෙන කලේ එනිසා ඔවුන්ට තිබ්බෙ නෑ ගොඩක් වෙලාවට ශබ්ද මාදූර්‍යයක් , අංගවිකල කවි බිහි වුනේ ඒ නිසා

නමුත් කවියක අර්ථ මාදුර්‍යය ශබ්ද මාදූර්‍යය ව්‍යාංගාර්ථ, උත්ප්‍රාස රසය, අනුප්‍රාස රසය, උපමා රූපක, ඔය වගේ විවිදාකාර කාව්‍යය උපක්‍රම තියෙනවා ඒවායෙන් පරිපූර්ණ වුනහම තමයි ඒවා කවියක් හැටියට ගන්න පුළුවන් එහෙම කවි ලියන අය තමයි කවියො වෙන්නේ
අනිත් කට්ටියට කියන්නේ කවියො නෙමේ, කුකවියෝ.. කවියො සහ කුකවියො කියලා දෙපිරිසක් ඉන්නවා අද අපට දකින්න ලැබෙන්නේ බොහෝමයක් කුකවියෝ

එතකොට අයියේ කවියෙක් වෙන්න මොනවද කල යුත්තේ අපි ?

කවියෙක් වෙන්න අපි කවි කලාව දැනගන්න ඕනා, දැන් අපේ කවි කලාව කියන්නේ අද තියෙන නිසඳැස් කවි නෙමේ, අපිට ඊට ඉහළ කවි කලාවක් තියෙනවා, අපේ අනුරාධපුර පොළොන්නරු යුගයේ ඉඳන් සීගිරි කැටපත් පවුරේ ඉඳන්ම අපේ කවි කලාව තියෙනවා . අපේ අතීත මූලාශ්‍ර හදුනා නොගෙන අද දවසේදී මේ වචන හතරක් පහක් ගැට ගැහීමෙන්ම කවියෙක් වෙන්න බැහැ, අපේ මූලාශ්‍ර අපි හොයන් යන්න ඕනා
සීගිරියෙ අපිට හමුවෙනවා බොහොම කෙටි කවි , මුක්ත කවි කියලා ඒවා හඳුන්වන්නේ. සමහර කවි වල පද හතරයිපහයි තියෙන්නේ, සමහර කවි පද දෙකයි, මේ වගේ කෙටියෙන් අදහස් ලියා තියෙනවා. පුනරුක්ති දෝස වලින් තොරයි ඒ කවි.

ව්‍යාකරණ ගැන කවියෙක් සැලකිලිමත් විය යුතුද ?

නිදහස් කවියේ නිර්මාතෘ වන ජී.බී. සේනානායක මහතා කියනවා, ව්‍යාකරණ දැනගෙන ඒ ගැන අවදානයෙන් කවි ලියන්න යන එක හරියට විලංගු දාගෙන ඇවිදින්න යනවා වගෙයි කියලා. විලංගු දාගෙන ඇවිදිද්දි වැටෙනවා එනිසා ඔහු ව්‍යාකරණ වලින් තොරව කවි ලියපු නිදහස් කවියෙක් නමුත් ඔහුත් පසුකාලීනව කියා තිබෙනවා යම් ව්‍යාකරණයක් දැන ගැනීම වැදගත් බව, දැන් උදාහරණයක් හැටියට මාලිනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන ගීයක් තියෙනවා

මාද ඔබම විය,
ඔබම මාද විය

කියලා ගීතයක්. මේ ගීතය ගත්තහම මාද ඔබම විය කිව්වහම එතන උත්තම පුරුෂයත් නෙමෙයි මධ්‍යම පුරුෂයත් නෙමෙයි ප්‍රථම පුරුෂයත් නෙමෙයි. මෙතන තියෙනවා යම් වාක්‍ය ගැලපීමේ රටාව බිඳ දැමීමක්. ව්‍යාකරණයෙන් තොරයි මේ ගීතය මේවගේ ගීත බොහෝමයක් නිතර අපිට ඇහෙනවා එතකොට ව්‍යාකරණ පිළිබඳ යම් අවබෝදයක් තිබීම කවියෙක්ට වගේම ගීත රචකයෙක්ටත් වැදගත් වෙනවා එහෙම නැති උනහම තමයි අර ජානක වික්‍රමසිංහ ගායනා කරන "බාලිකාවියන් තක්සලා දොරෙන් " කියලා, එතකොට බාලක කියන වචනේ ස්ත්‍රී ලිංග පදය තමයි බාලිකා. නමුත් වියන් කියලා ප්‍රත්‍යයක් එක් කරන්න ඕන නැහැ එතන, එහෙම එක් කරපු වචන නැහැ සිංහලෙන් , ඉතින් එතන ව්‍යාකරණ පිලිබඳ තිබෙන අනවබෝදය නිසා බාලිකාවියන් කියලා ලියලා තියෙනවා. ඒ වගේම අද දවසේ භාවිතා වෙනවා රැඳවියන් කියලා වචනයක් රැඳවියන් කිව්වම අපිට මතක් වෙන්නේ කාන්තා පාර්ශවයේ කට්ටිය නමුත් පිරිමි පාර්ශවයටත් රැඳවියන් කියලා පාවිච්චි වෙනවා.
මේ ව්‍යාකරණ පිළිබඳ අනවබෝදය කවින්ට ගීත රචකයන්ට මෙන්ම අප සමාජයේ බොහෝ අයට තියෙනවා එනිසා තමයි මේ සියලු අභාග්‍යයන්ට හේතුව..

Thursday, 27 March 2008

Painting is a Poetry

“Painting is poetry that is seen rather than felt, and poetry is painting that is felt rather than seen " ~ Leanardo Da Vinci


දවස් 4 නිවාඩුව එන තෙක් ඇඟීලි ගනිමින් හිටියාට ඔන්න දැන් ඒකත් අවසන්.. සාරවත් යමක් ලියන්න දොඩන්න එපා වෙන තරමටම හිත වෙනස් වේගෙන යනවා, ඒක neuro final exam එක නිසා උනා කියලයි මට හිතුනේ . ඒත් තාමත් හිතාගන්න බැරි තරම් සිතුවීලි නන්නත්තාර වෙලා..
oncology පටන් ගත් නිසාවෙන් දැන් ආයෙත් එක දිගට වැඩ. හිත පුදුම සහගත විදිහට මාව ලිවීමෙන් ඈත් කරලා දාලා කියලා මටත් තේරුණා.
චිත්‍ර , ඒකෙන්නම් ඈත් වෙලා දැන් බොහෝම කල්, ඉස්සර පාසැල් යන කාලෙ අතට pocket money හොයා ගන්න සුභ පැතුම් පත් ඇඳලා විකුණුවා. පස්සෙ ගෙවල් ලඟ ඇන්ටීකෙනෙක් නිසා කලා භවනට සම්බන්ද වෙන්න ලැබුනා. නමුත් අවුරුදු 6 පමණ කාලයක් මේ ඉගෙනීමයි වැඩයි නිසා එයින් ඈත් වෙන්න සිදුවුනා. ඒත් මේ ළඟදී, හිත මිතුරු සහෘදයෙක් නිසා ආයෙත් පැන්සලක් පින්සලක් අතින් අල්ලන්න හිතුනා. කාර්‍ය බහුල ජීවිතයක් ගෙව්වත් චිත්‍ර කලාවෙන් ඈත් වෙන්න එපා කියලා මට ගුරු හරුකම් දී ඒ පැත්ත ආයෙත් මතක් කලාට බොහොම පින් කියන ගමන්ම, ඒ දවස්වල, ඇඳපු A 4 size පින්තූර කීපයක් මෙතැනට දමන්න හිතුනා.

කඳු දොර ඉම සිඹින
සුළං කෝඩය මන්ද
අනුහස් දෑත් තුඩගින්
කෙළි කවටකම් මටම
සුමට හිත් තලන
කරවටක් රැඳි දුක් ගොන්න
එක පින්සල් පහරකින්
දියසායම් පොදකින්
බැරිය සඟවන්න

බෝ

Art is never finished, only abandoned.” Leanardo Da Vinci

Monday, 24 March 2008

විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ...A Song You'd rarely hear

විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ....

මේ ගීතය ඔය කවුරුවත් අසා නැතිවාට සැක නෑ, මොකද මේ ගීයට පෙම්බැඳ මේ ගීතය ගයන්නේ කවුරුන්ද කියා සොයමින් සිටි අපේ "හිත හොඳ අක්කා" අපෙන් මේ ගීය ගැන ඇහුවම (වසර 4 කට කලින්) අපිත් තක් බීර් උනෙමු. කවදාවත් අහන්න නොලැබුන ඒ ගීයඅපි හිතපු ගායකයන් කිසි කෙනෙකුන්ගේ ලයිස්තු වල නොතිබිනි..
"අක්කට ෂුවර්ද ඕක සිංදුවක් කියලා, එහෙම සිංදුවක් තියෙනවද ? " මේ මීට වසර කීපෙකට කලින් අපි කියු දේවල් සමහරක්.
" එක්කො ඕක හීනෙන් ඇහෙන්න ඇති" අදත් එහෙම කිව්වා, අපි බයිට් කරාට අක්කා කිව්වෙ නම් එහෙම සිංදුවක් තියෙනවාමයි කියලා, පස්සෙ මම ගූගල් එකේ සොයා බැලීමක් කරා ,අද. මෙන්න සිංදුව වාදනය වන ලින්ක් එකත් එක්කම හම්බුනා හරි අපූරුවට . හිත හොඳ අක්කා අවුරුදු 4 තිස්සේ හොයපු සිංදුව අද හම්බුනා. අක්කාටනම් අද හොඳටම සතුටු ඇති. අම්මෝ අපිටත් පුදුම සතුටක් තමයි දැනුනේ. අදට වඩා ඒ කාලෙ අපෙ තාක්ෂනික දැනුම ඉතින් බොහොම පහත් අඩියකනෙ තිබ්බෙ.

සිංදුව ගැන යමක් කිව්වොතින් , ඇත්තටම දරුවෙක්ගේ හිතේ තම මව කෙරෙහි ඇති වෙන අසීමිත ආදරය මේ වදන් පෙළෙන් අපූරුවට කැටි කර තියෙනවා. බුදු සිරිතේ අපි දකින් ශ්‍රේෂ්ඨතම කාන්තා චරිත වලට තම මව උපමා කරන්නේ, දරුවකුගේ සිතින් දෝරේ ගලන අපීරිමිත සෙනෙහසමය. මවු කුස පීළිසිඳගත් දා පටන් ඒ දරුවාගේ හදගැස්ම දස මාසයක් තිස්සේ දැනෙන්නේ අම්මාටයි. ඉතින් මේලොවට බිහිවූදා පටන් අපේ සෑම චිත්ත සංතාපයක්ම , අර අපි කාතාවට කියන්නේ, අපි හැරුනත් අම්මාට දැනෙනවා කියලා, ඒ වගේ අපේ සිතුම් පැතුම් වෙනස්වීම්, දුක් වේදනා සොම්නස් හැඟීම් අම්මාට විගසින් දැනෙන්නේ ඒ නිසාමයි මට සිතේ.

විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ...
ගායනය
: විජේසිරිවර්දන පොලොන්නෝවිට මහතා ( Mr. Wijesiriwardena Polonowita)

විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ
යසෝදරා ඔබ මා දුටු බුදු සිරිතේ
මහ මායා ඔබ මා දුටු බුදු සිරිතේ
මා දුටු බුදු සිරිතේ

දෙදෙනෙකුගේ කුස ගින්දර එක කුසකට දැනුනානම්
දෙහදක ඇති දුක් ගින්දර එක හදකට දැනුනානම්

විසාකාව ඔබ මා දුටු බුදු සිරිතේ

කිරි බිඳ බිඳ දෙතොලග තවරාලා
ඉර හඳ තරු පෙන්වා දීලා

මිනිසෙකු වන සැටි පහදා දී ලෝකය හැදූ වැඩූ අම්මා
අම්මා....

සිංදුව අහන්න කැමතිනම් මෙන්න අහන්න

Friday, 21 March 2008

Many fail for a lack of little more..

"දුවයි දොස්තර කෙනෙක් කොරිඩෝව දිගේ
තිබෙයි ඔහුගේ කරේ ඔක්සිජන් ටැංකියක්
විමතියෙන් බලයි ඔබ මොබ සියල්ලන්
පැය කීපයකට පසු ඔහු පැමිණෙයි කොරිඩෝව දිගේ..

"ඩොක්ට මෙහෙම ඇහුවට කමක් නැද්ද මන්දා, රෝහලේ අඩුපාඩු තියේද? සුළු සේවක ප්රශ්ණයක්ද? ඔක්සිජන් ටැංකිත් ඔබටම උස්සගෙන යන්න සිදු වුනේ"

"නෑ එහෙම මොකුත් නෑ, සැත්කම අතර මග, ඔක්සිජන් ටැංකියේ ප්රශ්ණයක් මතුවෙලා, අවැසි විය තව එකක්,
විධානය කරානම් පහළ සිටි කෙනෙකුහට, පැහැදිලි කරදෙන්න වෙයි මේ ටැංකියේ තිබෙන දෝසය, උස්සාගෙන යයි නමුත් වේගෙන් නම් නොයයි ඔවුන්ට මෙය එක ඔක්සිජන් ටැංකියක් පමණකි, මට මෙය ජීවිතයකි,
බලන්න, රස්සාවක් කරත් කවුරුන්ද කරන වැඩේ සතුටෙන් කරන්නේ, ටැංකියක් ගෙනෙන්නට මහ වෙලාවක් ගියොත් නැතිවෙන්නේ ජීවිතයක්..
පහළට ගිහින් ෆෝම් පුරවලා, අදාල තැන් වලින් අවසර අරගෙන නීති රෙගුලාසි වලට අනුව ඔවුන් වැඩේ කරන කොට රෝගියා අපට නැතිවෙන්න පුළුවන්, මම දොස්තර නිසා, මා කරන දේඑ පසුව හාගිස්සන්න, පැහැදිලි කරන්න පුළුවන්, නමුත් සුළු සේවකයෙක්ට එසේ කල නොහැකියි.
එනිසා මම දිව්වා, ගබඩා පාලක කිසි කතාවක් නැතුව ගුඩ් මෝනින් ඩොක්ටර් කියා ඇරියා ගබඩාව, ගත්තා ටැංකියක්, උස්සගෙන ආවා කරමතින්ම විනාඩි 5 ක් ඇතුලත,
කිව්වානම් ඕක සේවකයෙක්ට, විනාඩි 20 ක්වත් යනවනේ "

තරුණ දොස්තර මහතා කරුණු පැහැදිලි කර දුන්නා
(සත්ය සිදුවීමකි)

වෙළඳුන්, ආඥ්ඥාදායකයින් නොවු, වෙදුන් දකින්න ලැබෙන්නේ කළාතුරකින්,
මට මෙය කියා දුන්නේ මේ සිදුවීම අත්දකින්න ලැබුනු, මා ජීවිතයේ මට මුණගැසුනු විශිෂ්ඨතම ගුරුතුමා, ජේ සී ප්රනාන්දු ගුරුමහතායි. ඔහු අපට ගණිතය මෙන්ම ජීවිතය යනු කුමක්දැයි කියා දුන්නා. අද වන විට ඔහු අප අතර නොසිටියත් ඔහු කියා දුන් ජීවිතය ගැන පාඩම් අප දිවිය පුරාවටම මතකයේ රැඳෙනු ඇත

Many fail for a lack of little more, dont ever let that happen to you
~ J.C. Fernando , the best teacher I've ever met in my life !

Wednesday, 19 March 2008

මල් විකුණනවා අපෙ අක්කා


කලකට පෙර ලියවුන කවක් මේක ලියවුනේ නම් රුවන්මැලි මහා සෑයට යද්දි, අර මල් කඩවල සිටින අක්කලා නංගිලා සිහිවෙලා, එතන හිටි එක අක්කා කෙනෙක් කී කතාවක් ඔස්සේ. ඇය ඒ වෙද්දිත් විශ්ව විද්‍යාලයට යන්න සුදුසුකම් ලබා තිබුනා, නමුත් ආර්තික අපහසුතා නිසා ඇය මෙලෙස බුදු පුදට යන බැතිමතුන්ට මල් විකුණනවා...
තවමත් දෙමාපියන්ගේ සරණින් කාටත් අත නොපා, ඉගෙනීමේ වැඩ කරගන්ට අපට හැකියාවක් තියෙන නිසා හොඳා නැත්නම් ජීවිතේ මොනතරම් දුෂ්කර වනු ඇද්ද ?

කවිය ගැන කියද්දී තවත් යහළුවෙක්ව මතක් වෙනවා. මේ කව ලියැවුනේ, අපට තිබ්බ පුහුණු චැඩසටහනක් අතරතුර ලද නිමේෂයේ. නිතර කවී ලියන ඒකත් කතා ලියන එකත් ගැන "ඔච්චරටම jobless ද ? " කියමින් නොයෙක් ඇනුම් පද කියන යහාළුවන් රොත්තක "ලියන දේවල් නවත්තන්න එපා" කියමින් මට දිරි දෙන සමහර යහළුවන් ගැන සඳහනක් කල යුතුමය.

Sunday, 16 March 2008

හිත මිතුරු සුවඳ.. Friends forever



හුදෙකලා වෙනවාය කියන්නේ අමුත්තක් නොවේ මගේ දිවියට, කුඩා කල පටන් සෙනග ගැවසිච්ච ජනාකීර්ණ පරිසරයක හැදුනු මට එකපාරම ඈතකට ගිහින් තනි වෙන්න උනහම දැනුනු සාංකාව මෙතැකැයි කියන්න බැහැ. මං හිතන්නේ මට මේ තරම් කවි ලියන්නට පෙළබුවේද ඒ හුදෙකලාවයි.නමුත් , ඒ එක්කම මා වටේ නේවාසිකාගාරයේ සහ විශ්ව විද්‍යාලයේ ඇතිවුන හිතමිතුරු සබඳතා හිතට ගෙන ආවේ විශාල ශක්තියක්.

විටෙක මා වටා සිටි සියල්ලන්ගෙන් ඈත් වන්නට සිදු වුවද, විටෙක නොයෙක් මත ගැටුම් නිසා හිතවත්කම් බිඳ වැටුනද , ආයෙත් සැරයක් හමු වුනහම පසුගිය නොහොඳ නෝක්කාඩුකම් අතහැර පෙරමෙන් සුහදව කතාකරන්නට තරම් අපේ හිත් මිතුරු බැම්මෙන් බැඳී තිබුනා.
විවිද හැල හැප්පීම් නිසාවෙන් නිරතුරු වෙනස්කම් වලට ලක් වෙමින් ඒ දළුදාපු සබඳතා තවත් සවි ශක්තිමත් වෙනකොට හිතට දැනෙන්නේ සහනයක්

Friday, 14 March 2008

ඇමති පුතාගේ මනාලිය..the minister's son's bride..

මේ නිසදැස් ආකෘතියේ කවිය ලිව්වේ මීට වසර කීපයකට පෙර, ඒ ඇමති පුතෙකු හා විවාහ වුනු මගේ යෙහෙළියක් මට කී කතාවක් ඇසුරෙන්.
ඇමති තාත්තාගේ බලයෙන් නිලයෙන් ගොඩක්ම බැබලෙන්න හදන්නේ ඉතින් පුත්තුනේ. සමාජයේ ගොඩක් හයිරම් පාන්ට යන්නේද. අහිංසකයන් තලා පෙලා දමන්ට පෙළඹෙන මොවුන්, වාසි තැනට එකතු වෙති. නිතර තරු පහේ හෝටල් වල ගැවසෙන මොවුන් අර මන්දිර වැනි වාහන වලින් නගරය පුරා සැරිසරති, රාත්‍රී සමාජ ශාලා වල රැය පහන් කරති, දබර කරගනිති. අන්තිමේදී මොවුන් නඩත්තුවට වැය වෙන්නේද අප රටේ විනිමය නොවේද?

ඒත් මම අහලා තිබෙන රජ්‍ය නායකයෙක්ගේ , මහා අමාත්‍ය කෙනෙකුගේ පුතෙක් ගැන කතාවක් මේත් එක්කම ලියන්ට හිතුනා, තාත්තා රටේ අග්‍ර පුරවැසියෙක් උනත් මේ දරුවන් සියලු දෙනා හැදුනේ බෞද්ද වටපිටාවක. එනිසා ඔවුන් සියල්ලෝම සාමන්‍ය ජනයා යන එන බස් වල යන්නත් මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්නත් දැන සිටියා. මොහු ඉගෙනුම ලැබූ කොළඹ විශ්ව විද්යාලයේ උනත්, ඔහු ගේ පියා ගැන කිසිම දිනක සඳහනක්වත් කරේ නෑත. පුස් බයිසිකලයකින් කැම්පස් එකට එන මොහු, කිසිම දවසක තම ඇමති පියාගේ වාහනයක එන්නේ නැත. ඔහුගේ උපන් දිනය දවසට ඔහු කරන්නේ වට පිටාවේ සීටින දුප්පත් හිඟන මිනිස්සුන්ට රෙදි පිලි අරන් දී ඔවුනට ආහාර පාන ලබා දීමයි, මට මේ බව පැවසුවේ ඔහු සමග ඉගෙනුම ලැබූවෙක්. එමෙන්ම පසු කාලීන පුවත් පතක ඔහු ගැන ලියවී තිබුනු ලිපියකත් මේ ගැන ලියා තිබුනා.

Wednesday, 12 March 2008

ඉඳගෙන මැරතන් දුවමුද ? Lets Warm up...


ඉඳගෙන මැරතන් දුවමු කිව්වම ඔබට එය ප්‍රෙහේලිකාවක් වනු ඇත. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් සටහන් ලියන්නන් එකතුවී හා හා පුරා කරන්නට යන අපූරු වැඩක් ගැන

මොකක්ද මේ අලුත් අවුරුදු බ්ලොග් මැරතන් කියන්නෙ?

මෙය පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්. ලංකාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් සිංහල භාෂා බ්ලොග්කරුවන්ගේ සමූහය මෙය සංවිධානය කරනවා.

http://www.sinhalabloggers.com/blog-marathon/

මේකට ඕනම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන්, තියෙන්න ඕනා එකම සුදුසුකම සිංහලෙන් බ්ලොග් ලිවීමට ඇතී හැකියාව පමණයි. මං හිතන්නේ ලංකා පොළව උඩ පය ගහල සිටින අපි හැමෝටම සිංහල බස අපේ මව් බස හොඳින් ලියන්ට කියන්ට දොඩන්ට හැකියාව තියෙනවා. එනිසා කරන්න තියෙන්නේ යුනිකෝඩ් අකුරු මගින් ලියන විජ්ජාව හුරු කරගැනීමයි. ඒකට අවශ්‍යය උපදෙස් සියල්ල මෙන්න මේ පිටුවේ තිබෙනවා.
http://www.sinhalabloggers.com/

ඉතින් කට්ටිය දැන් පුලුවන් පුලුවන් විදිහට ලෑස්ති වෙන්න, ඕනෑම ගැටලුවක්, බ්ලොග් කරුවන්ගේ සංසදය වෙත යොමුකරන්න. අපිත් එහෙනම් මැරතන් දුවමු නේද ? (කොම්පියුටර් ඉස්සරහ ඉඳගෙන :D)

විරුවන් නමින්..For Our heroes

අප සැපසේ නිදන අතර, අවදියෙන් අප රට හතර දිග රකින අපේ කාලයේ විරුවන් වන ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සොයුරු සොයුරන් වෙත හද බැතින් ලීවෙමි මෙලෙස......

ගයනෙමු බැතින් සෙත් ගීතයක් විරුවන් නමින් දිවිදුන් බිමේ
යදිනෙමු හදින් දෙවියන් බුදුන් රැක දෙන ලෙසින් විරුවන් බිමේ
දොඩනෙමු නිතින් නන්දන අතින් උන් කල හපන්කම් යුද බිමේ
පතනෙමු සිතින්න් සිය දස දහස් ජය ඔබ නමින් සිරිලක් බිමේ

අවියක් දරන් සැරයක් නොසිත සිත දැඩිවෙලා විරු දරුවනේ
දිනු මව් බීමේ තුන් සිංහලේ උරුමය රකිව් විරු දරුවනේ
රට රැකෙන්නෙත් අප රැකෙන්නෙත් ඔබ නිසයි විරු දරුවනේ
දිරියක් ලබා සතොසින් අපිත් සැනසෙමු ඔබෙන් විරු දරුවනේ

බෝ සමරතුංග ©

Saturday, 8 March 2008

A mother understands what a child does not say...

The real religion of the world comes from women much more than from men - from mothers most of all, who carry the key of our souls in their bosoms. ~Oliver Wendell Holmes

ජාත්‍යාන්තර කාන්තා දිනය ,අද උදෑසන වෙද්දි, හැම පත්තරේකම සඳහන් වුනේ මේ ගැනයි. හැම දේකටම දින වෙන්කරන ලෝකයේ, කාන්තාවටද දිනයක් වෙන් කර තිබීම අරුමයක් නොවේ.
කාන්තා දිනය ගැන මුලින්ම සඳහන් වෙන්නේ සෝවියට් සමූහාණ්ඩුවෙන්. රුසියාව ඇතුලු සෝවියට් රටවල් කීපයකම කාන්තාවෝ පෙළපාලි යමින් තම අයිතිවාසිකම් සහ ඉල්ලීම් පිළිබඳ සමාජය දැනුවත් කලාලු. ඒත්‍ අද කාන්තා දිනයට එලියට පනින, "ඉල්ලීම්" පෝස්ටර් කටවුට්, එදාට විතරක්ම සීමාවුන ප්‍රදර්ශනයක් ගානට මට පෙනෙන්නේ.

පවුල් බර කරට අරගෙන සැමියා හා දරුවන් වෙනුවෙන් වෙහෙසෙන කාන්තාවන් ගැන මසිතේ ඇති වන්නේ විශාල ගෞරවයක් සහ භක්තියක්.

ආර්තික වශයෙන් දුෂ්කර අවදිවල, අපට කිරිපිටි බොන්න දී ප්ලේන්ටියෙන් බඩගින්න නිවා දැම්මේද, දරුවන්ට හොඳම දේ ගෙනත් දුන්නේද, බොහෝ සෙයින් රැක බලා, ලෝකය මෙයයි කියා දුන්නේද ඒ අසීමිත ආදරයයි.

මට මතක් වෙනවා ඉස්සර වැහි දවස් වලට, අම්මා කුඩේත් අරගෙන බස් හෝල්ට් එකට එනවා ,මම කුඩයක් නොගෙන ගිය බව දන්න නිසා, එන එන බස් එක දිහා බලමින් මා එනතුරු මහ වැස්සේ මග බලමින් ඉන්න අම්මාගේ රුව මේ දැනුත් මසිතේ ඇඳෙනවා.
ඇතැම් ටියුෂන් පන්තී හමාර වෙන තුරු මහ රෑ වෙනකම් ඒ අසල ඉඳලා මහා රෑ බස් වලින් ආරක්ෂා සහිතව එක්කන් එන අම්මා අනේක දුක් විඳ අප සියලු දෙනා ලොකු මහත් කලේ දැඩි දුෂ්කරතා මැද,අම්මා උයන පිහන කෑම වල උනත් වැඩි පංගුව අපට බෙදා සැනසෙයි.
වාහනයක් නොතිබූ ඒ යුගයේ, බස් වල අපි තුන්දෙනාව ආම්බාන් කරගෙන ගෙදර එනවිට එක දවසක් බොහෝ වටිනා අම්මාට තෑගි ලැබුනු ඔරලෝසුවක් පවා නැතිවී තිබුනා මතකයි. විදුලි පංකා නොතිබුන ඒ කාලයේ, ඌෂ්ණෙට දාඩිය දමනවිට රස්නෙයි කියා අපි කෑ මොරදෙන විට, මාරුවෙන් මාරුවට පත්තර ෆයිල් කවර වලින් පවන් ගහමින් අප සැනසූ අම්මාත් අප්පච්චීත්, අප උස් මහත් කරන්නට ගත් වෙහෙස මතක් වෙද්දී මා නෙතේ කඳුලක් නැගෙන්නේ ඔවුන්ගේ අපිරිමිත ආදරය සිහිවෙලා. ඔවුන් ජීවත් වෙන්නේ අප වෙනුවෙන් බව කියද්දී හිතට දැනෙන ශක්තිය මෙතැකැයි කියා නිම කරන්න බෑ. "මොන දේ උනත් අම්මා ඉන්නවා.." මගේ අම්මා අපිට නිතරම කියන දෙයක් . අපි සම්බන්ද ඇතැම් දේවල් අපි කියන්නත් කලින් අම්මාට දැනෙන්නේ කොහොමද කියන දේ අපි පොඩි කාලෙ ඉඳන් අම්මාගෙන අහන දෙයක්.

මේ ටිකේම දකින්න ලැබුනේ, අම්මා තාත්තා රවටමින් ඔවුන්ගේ ඕනෑඑපාකම් වලට පිටින් වැඩකරන දරුවන්ගේ හැසිරීම්. කවුරු උනත් දෙමාපියන්ට විරුද්දවාදීකම් කරද්දී මසිතට දැනෙන්නේ දැඩි දුකක්. දෙමාපියන් දරුවන් හදන්නේ වඩන්නේ කොයි තරම් ලොකු බලාපොරොත්තු ඇතිවද නමුත් දරුවන් ලොකු මහත් උනහමා ඒ සියල්ල අමතක කරලා, දෙමාපිය කඳුළු මතින් ඔවුන්ගේ ලෝකයන් ගොඩ නගා ගන්නවා.
”දෙමාපියො උනාම දරුවන්ගෙ ඇතැම් තීරණ වලදී නම්යශීලී වෙන්න ඕනේ” ඒ හැම තිස්සෙම අම්ම කියන දෙයක්. ඕනෙම දෙයක් දෙමාපියො සමග කථා බස් කරන්න හැකියාවක් දරුවෙක්ට තියෙන්න ඕනේ නැත්නම් ඒ දරුවා හුදෙකලා වෙනවා. අම්මා තාත්තා ඒකාදිපති වාදියෝ උනාම දරුවෝ ගෙදරට හොරා රහසේම තමන්ට කැමති කැමති දේ කරනවා.

මට මතකයි කැම්පස් එකේ මගෙ යාළුවෙක් හිටියා, ගෙදරින් ගොඩක් තද නීති රීති තිබුනා මෙයාට , මොකද මෙයා පවුලේ එකම ගෑණු දරුවා. ඒත් ඉතින් එහෙම උනා කියල මෙයානම් තමන්ට ඕනෙ හැමදේම කලා,ගෙදරට ටොම් පච ඇද බාලා. හැමදේම කිව්වේ ඉතින් අර සමාජ සම්මතයන්ට විරුද්ද ඒවගේම සදාචාරසම්පන්න නොවන දේ. මම දවසක් ඇහුවා ”ඔයාට අම්මා නිදහස දෙන්නෙ ඔයාව විශ්වාස කරලා ඒත් බලන්න ඔයා අම්මව හොඳට රවට්ටනව නේද, ඔයාටත් දුවෙක් ඉන්න දවසට ඔයාට තේරෙයි මොන තරම් අම්මලා වද වෙනවද දරුවො ගැන” කියලා
මෙයා ගත් කටටම කිව්වෙ ”මට දුවෙක් ඉන්නදාට මම අපේ අම්මටත් වඩා තදින් ඉන්නවා, මං දන්නවනෙ මම දැන් කරන බොරු. ඒ හින්දා මට බොරු කරන්න කාටවත් බැරි වෙවි ” කියලා
පොඞ්ඩක් හිතලා බැලූවොත් තේරෙනවා තමන්මයි තමන්ට බොරු කරගන්නේ කියලා. කවදාහරි දවසක ආපස්සට හැරිලා බැලුවම තේරෙයි තමන්ට වැරදුනු තැන්.

මේ ගීතය අපි පොඩි කාලෙ නිතර දෙවේලෙ ගුවන් විදුලියෙන් අහුන ළමා ගීයක්, අවාසනාවකට අද වෙනකොට මෙවනි ගීත අහෙන්නෙම නැති ගානයි.

ගංගාවක් වී ගලන්න උල්පත පසු කර
වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට
දූවිල්ලෙන් පිරුනු දාට ඔබ යන මාවත
සිහි කරන්න කඳු පාමුළ මව් කිරි උල්පත

මතක වචන ටික ඔච්චරයි, ආයෙ අහන්න ලැබුනේ නෑ.

ජීවිතෙ කොහොම වෙනස් උනත් අම්මා නිතරම ලඟ ඉන්නව කියනදේ හරිම ලස්සන උපමාවක් එක්කම අපිට ඒ ගීයෙන් කියා දෙනව නේද? . දෙමාපියො තරම් අපිට ආදරේ වෙන කිසිවෙක් නෑ මේ ලෝකෙ. මුළු ලෝකෙටම අපව එපා උනත් අපේ අම්ම අප්පච්චීට කවදාවත් තමන්ගේ දරුවන් එපා වෙන්නෙ නෑ. තමන්ගේ් හැම සේසතම විය හියදම් කරලා ගොඩාක් ආදරේ දක්වලා දුකක් නොදී හදන දරුවන් අන්තිමට තමන්ගේ දෙමාපියන්ට ගොඩාක් දුක් දීලා ඔවුන්ව හුදෙකලා කරලා අලූතෙන් හොයාගත් ආදරයක් පස්සේ දුවනවා.
අපේ හොඳම යාළුවා විය යුත්තේ අපේ අම්මා, අප්පච්චි කියන දේ පොඩි කාලේ ඉඳන් අපේ හිත් වල පැල පදියම් වෙලා තිබුනා. අපිට අම්මා අප්පච්චී ඕනෑ වෙන ඕනෙම වෙලාවක අපි වෙනුවෙන් කාලය කැප කරන්න ඔවුන්ට පුළුවන් කම තිබුනා.
A mother is the truest friend we have, when trials heavy and sudden, fall upon us; when adversity takes the place of prosperity; when friends who rejoice with us in our sunshine desert us; when trouble thickens around us, still will she cling to us, and endeavor by her kind precepts and counsels to dissipate the clouds of darkness, and cause peace to return to our hearts. ~Washington Irving

Friday, 7 March 2008

පෙම් කවක් ලියන්නට...Pem Kavi


කලකට පෙර ලියපු පෙම් කවක්...
ප්‍රේමය , කියන්නේ, කවියට කතාවට මෙන්ම, ටෙලිනාට්‍යවලට සිනමාවට එක් වුන බොහෝ කතන්දර වලට පාදක උන තේමාවක්. අන්තර්ජාලය තුල කවි ලියන ෆෝරුම කවියන්ගෙන් වැඩිපුරම ලියවෙන්නේ පෙම් කවි.

පෙම් කවි ගැන කතාකරද්දී, අපේ ජන කවි හා බැඳූනු රසවත් ප්‍රේම කාව්‍ය රචනා අමතක කල නොහැකිය. වැව් දිය පිස එන හීන් හුළඟට නටන ගොයම් පැල , පුන් පෝදා හඳ , අහසේ තරුමල් මේ සියල්ල අපූරුවට තම ආදරවන්තියට, ආදරවන්තයාට උපමා කොට ලියූ කවි අප ජන ශ්‍රැතියේ ඕනා තරම් හමුවේ.

මේ මට මතක තිබෙන එවන් කවියක්..

වානේ පෙණමල් දකින්නෙ වානේ ඇලමද
පානේ සිළු රඟ දකින්නෙ පානේ තෙලමද
ආනේ පැදුරක් ලබන්නේ හේනේ පැලමද
මූණේ උඹෙ මල් පිපෙන්නෙ නෑනේ මටමද

මේ මම ඒ ආකාරයෙන් ලියූ කවි කීපයක් ...පැල් කවි ලියවුනා හේනක නොසිටියට

වැලෙන් කොළෙන් පණ් මියැදෙන වෙලාවට
හිතක් එන්න නැතිදෝ වැහි වලාවට
ඉඳහිට දකින් නුඹ සිහිවෙන පමාවට
හීල්ලුවා රෑ දාවල් පුරාවට

බහක් දුන්නෙ මටමයි පෙර පුරුද්දට
වාරෙට වහින වැහි බක් මහ පුරාවට
කුරහන් පීදුනේ නුඹෙ වාසනාවට
සඳක් වෙලා පායන් වැව් තලාවට

© B. Samaratunga

Wednesday, 5 March 2008

සද්ද සිතුවිලි...

සද්ද සිතුවිලි, බ්ලොග් එක ගැන කතා බස් කරමින් ඉන්නකොට අපේ සූ අක්කත් එක්ක, මාතෘකාවකට හොඳ නමක් හිත හිතා හිටියේ, බ්ලොග් එකේ කවි විතරක්ම නොලියවෙන නිසා, ටිකක් විතර සංශෝදනය කලොත් හොඳයි කියලා හිතුනා, එනිසාම ඒ ගැන හිතනකොට එකපාරටම හිතට ආපු නම "සද්ද සිතුවිලි". අපි මේ වෙබ් පිටු මත ලියන්නේ අපේ සිතුවිලිනේ, ඒ සිතුවිලි හරි සද්දයි, ඇයි අපි ඒවා ලියනවනේ, ඉතිං බොහොමයක් දෙනා ඒවා කියවලා ඒවා ගැන කතාබස් කරනවනේ එනිසයී, මට හිතුනේ සද්ද සිතුවිලි කියලා ලියන්න.

අපි කොයි තරම් මානුශීය ලෙස හිතුවත්,බොහෝ දෙනෙක්, එහෙම නොහිතන බව දැනෙද්දි ඇතිවෙන්නෙ හදෙහි කම්පනයක්. කාගෙ හෝ දුකකදී එක්ව කඳුළු සලන්නත්, සතුටකදී ඒක්ව සතුටු වෙන්නත් අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය උනේ නැහැ. ඒක සාමන්‍ය මිනිස් ගතියක්, නමුත් අප අතර ඉන්න සමහරුන්, ජාතිය ජ්න්මය සොය සොයා දුක්වෙන හැටි දකිද්දීනම් දැනෙන්නේ දැඩි පිළිකුලක්.

පසු ගිය ටිකේම ඇහුනෙ, හිත කම්පා කරවන සිදුවීම්, මැරුනේ කුමන ජාතියකට අයත් දරුවෙක්ද, මිනිසෙක්ද කියන එක මානව හිතවාදී මනුෂ්ය හිත් ඇත්තෙකුට කොහෙත්ම වැදගත් නොවෙනු ඇත . වෛද්ය ශේස්ත්රයක ඉගෙන ගන්නා කෙනෙකු විශේශයෙන්ම ජාති බේද ආගම් බේද නොසලකා හැම දෙසම එකම සම කරුණාවෙන්, සමාන දයාවෙන් බැලිය යුතුයි, මිය ගිය පිරිස දෙමළද සිංහලද, මුස්ලිම්ද කිය කියා බෙදා වෙන් කරගෙන ශෝක වෙන පිරිස් නම් මට පේන්න බැරිය. එහෙව් උන් දුටුවාම ඇතිවුනේ අනුකම්පාවක්, තව තවත් සසර මග දික් කරගන්නවා නොවෙද උන් කියලා.

බ්ලොග් එකේ පල කල යුතු කවියක් ගැන හිත හිතා ඉන්නකොටයි පෙර කලෙක ලියූ මෙන්න මේ කවිය ගැන මතකෙට ආවේ. ඇතැම් වටිනා කියන දේ නුසුදුස්සන් අතට පත් උනහම ඒවා යොදාගන්නේ සමාජයට හානියක් කිරීමට. කිසි වැඩකට නැති දෙයක් හෝ විනාෂකාරී යමක් කිරීමට. ඒකයි, ඒ කාලේ ඉඳන් අපේ කට වහරේ කියමනක් තියෙන්නේ "අස්පයින්ට අං දුන්නා වගේ" "සර්පයින්ට පිහාටු ඇවිත් " ඔන්න ඔය වගේ. මට සමාජය දිහා බලද්දිත් මේ අන්තර්ජාලය තුලත් දකින්න ලැබුනේ නුසුදුසු අය අතට පත්වූ ඇතැම් දේ තුලින් වෙන විනාශයයි. එක උදාහරණයක් ගත්තොත්, (මේක මම පාසැල් විවාද වලදී පවා තර්ක බිඳින්න උපයෝගී කරගත්තා) වෛද්‍ය වරයෙක් පිහියක් භාවිතා කරන්නේ, සැත්කම් කරමින් ජීවිත බේරගන්න. නමුත් මිනී මරුවෙක් පිහියෙන් මිනී මරනවා , ජීවිත නැති කරනාවා. වැරද්ද ඇත්තේ කොතැනදා කියලා අමුතුවෙන් තේරුම් කරන්න ඕන නැහැනේ. තවත් උදාහරණයක් අන්තර්ජාලය තුලින්ම ගන්නම්කෝ, බොහෝ තාක්ෂණික දැනුමෙන් අග තැන්පත් වුන එනමුත් ඇතැම් නරක ගති ගුණ තිබෙන්නෝ ඒ කියන්නේ නිසි ගුණ දර්ම (ethics) නොදන්නෝ මොකද කරන්නේ, තමන්ගේ තරමට වඩා ඉහළ නගින අය, කොහොම හරි කපලා ඉවත් කරන්නයි බලන්නේ, එක්කෝ වෙබ් පිටු "හැක් කර" විනාශ කරනවා.එහෙම නැත්නම් අසැබි නොහොබිනා දේ කරනවා. ඒත් මේ හෑම දෙයින්ම පහත් වෙන්නේ තමාමයි කියන දේ ඔවුනට තේරෙන්නේ නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා෴

Monday, 3 March 2008

IF.. ඔබට හැකිනම්.. ඒත් මට නොහැකිනම්

මේ සමාජයේ බහුතරයක් දෙනා ජීවත් වෙන්නේ අනුන්ට ඕනෑ විදිහට. මෙහෙම කලොත් ලෝකයා මොනවා කියයිද, කියන දේ තමයි හැම තිස්සෙම හිතන්නේ. ඒවගේම බොහෝ විට, නැගෙන, දියුණුවන පිරිස් දිහා ඉරිසියාවෙන් කුහක කමින් බලන පිරිස්ද අදිකයි. තමන්ට වඩා එක අඩියක් ඉස්සරහින් තිබ්බොත් කෙනෙක් ඒ දිහා බලනන්නේ ද්වේශසහගතව. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් ඇනීම් හෑම තැනම, මේ අන්තර්ජාලය තුලත්, මෙහෙව් අවදියක අපි කියවිය යුතුම, කවි පන්තියක් තමයි රඩ්‍යාඩ් කිප්ලින්ග් නම් ගත් කතුවරයා, කවියා විසින් රචනාකල "If" නැමැති කාව්‍යය. මෙය මට කියවන්න ලැබෙන්නේ අවුරුදු 11, 12 පමණ කාලයේ, එදා ඒක ඒතරම් හොඳට නොතේරුනත් ආයෙත් පසු කලෙක කියවන්න ලැබුනේ, ඉංග්‍රීසි සාහිත්‍යය පොතක තිබිලා. ඒදානම් ඒක හොඳින් තේරුනත් මට තිස්සෙම හිතුනේ, මෙහෙම ඉන්න මට පුළුවන්ද කියන එකමයි.පසු කලෙක යහළුවෙක්ගේ ඇරයුම මත මේ කවි පන්තිය සිංහලට පරිවර්තනය කලත් මුලූ කවියේම අදහස ඉන් ගම්‍ය වන්නේදැයි සැක සහිතයි.

IF


by Rudyard Kipling

If u can keep your head when all about u
Are losing theirs and blaming it on u;
If u can trust urself when all men doubt u,

But make allowance for their doubting too:
If u can wait and not be tired by waiting,
Or, being lied about, don’t deal in lies,
Or being hated don’t give way to hating,
& yet don’t look too good,nor talk too wise;

If u can dream & not make dreams ur master;
If u can think & not make thoughts ur aim,
If u can meet with Triumph and Disaster
& treat those two impostors just the same;
If u can bear to hear the truth u’ve spoken
Twisted by knaves to make a trap for fools,
Or watch the things u gave ur life to,broken,
& stoop & build’em up with wornout tools;

If u can make one heap of all ur winnings
And risk it on one turn of pitch-and-toss,
And lose, & start again at ur beginnings,
And never breathe a word about ur loss:
If u can force ur heart & nerve & sinew
To serve your turn long after they r gone,
And so hold on when there is nothing in u
Except the Will which says to them:”Hold on!”

If u can talk with crowds & keep ur virtue,
Or walk with Kings nor lose the common touch,
If neither foes nor loving friends can hurt u,
If all men count with u, but none too much:

If you can fill the unforgiving minute
With sixty seconds’ worth of distance run,
Yours is the Earth & everything that’s in it,
And-which is more-u’ll be a Man, my son.

Saturday, 1 March 2008

Never Explain your self to any one

I had a friend whom I could tell anything and everything without being judged or criticized. I could talk about life situations with him and he always had a solution for every hard situation I went through. He was a friend, a brother and a guardian to me. He was the one whom I could always count on when everything would fall apart. He understood me for who I am........ but, yesterday he died!

මා මේ සටහන ලියන්නේ අහිමි වුනු මිතුදම ගැන නොවේ. අප අතර පවතින තාවකාලික සම්බන්දතාවන් සදාකාලිකයි කියා සිතා සිටි රාමුවෙන් එලියට ඇවිත් වට පිටාව බලද්දී ඇත්තටම අපි කොයිතරම් හුදෙකලාද කියලා දැනෙන්න ගන්නකොට අපි අප ගැන නොයෙක් අයුරින් විශ්ලේෂණයන් කර ගන්නවා.

Never Explain your self to any one, because the person who likes you doesn't need it, and the person who dislike you wouldn't believe it.

මේ මට විද්‍යුත් ලිපියකින් ලැබුනු සටහනක තිබුනු වැකියක්. මේ කියන්නේ කොයි තරම් ඇත්තක්ද කියා මට සිතෙන්නේ, අනන්ත අප්‍රමාණ වාරයක්, අනුන්ගේ කෙණෙහිලිකම් වලින් දුක් වෙන මමත් මගේ හිතමිතුරන් පිරිසත් සිහිවෙනකොට
ලොකු සුදු කඩදාසියක කළු තිතක් වැටුනම කාටත් පෙනෙන්නේ අර වට පිටාවේ තිබෙන සුද නොව කළු තිතයි, ඒවගේ තමයි පෘතඃජන සිත් වලට නිරන්තරයෙන් පෙනෙන්නේ අනුන්ගේ දොස්මයි. වැරැද්දක් දැක්කම ඒක පෙන්වලා දෙන එක හොඳයි.
හැබැයි ද්වේශසහගත විවේචනයකට වඩා, හිතවත් මග පෙන්වීමක් ඔස්සේ තමයි ඒ වැරැද්ද නිවැරදි කල යුත්තේ. මොකද එතකොට කාගෙවත් හිත් නරක් වෙන්නෙත් නෑ, තමන්ව අනෙක් අයට අප්‍රිය වෙන්නෙත් නෑනේ. ඉස්සර මම යමක් කියන්න කලින් දෙසැරයක් හිතුවේ නෑ. ඔන්නොහේ කියලා දැම්මා. කැම්පස් එකේ, දේශපාලනික සංග්‍රාම වලදී මගේ අවංක සිතුවිලි දොඩන්න ගිහින් අහිමි උන හිතවත්කම් යාළුකම්ද බොහොමයි.
ඊලඟට මගේ කවි ලියන යාළුවෝ ටික, ඔන්න ඉතින් කවියක් ලියලා පෙන්වලා මගෙන් හොඳ නරක අහනකොට ඒ කවියේ දොසක් පෙන්නුවොත් එහෙම එයාලා තරහා වෙනවා. ඉතින් මං මක් කරන්නද? ඒනිසා කාලෙක ඉඳන් මිනිස්සූන්ගේ හොඳම දකින්න මම පුරුදු වෙමින් ඉන්නවා, ඒක මගේ හිතටත් හොඳයි. ඔළුව නිරවුල්ව තියාගෙන ලියන දෙයක් ලියන්නත් පුළුවන් එතකොට. කට්ටිය තරහ වෙන්නෙත් නෑ.
කොයි තරම් මාව හරියට තේරුම් නොගන්න යාළුවන් නිසා දුක් වෙලා තියෙනවද මම. එයාලට හැම දේම තේරුම් කරන්න හදන කොට ඒවා නෑසු කන්ව සිටින'යුරු දැක්කම හිතෙන්නේ, මේ සම්බන්දකම් කෙතරම් සීමා සහිතද කියලා. කවදාවත් අපව තේරුම් නොගන්නා අයට කිසි දෙයක් තේරුම් කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ කියලා දැන් දැන් මට තේරුම් යමින් තිබෙනවා.
Most of our relationships are so.... superficial ෴