Saturday, 13 December 2008

හැලෙන්නෝ හැලෙද්දෙන්, ඒක සුවයක් හිතට


මා අවට සිටින බොහෝ දෙන, එකිනෙකා ගැන මා සමග නොයෙක් දෑ දොඩති. එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් පසුවෙති, එහෙත් තමන්ට අනුන්ගෙන් ඇති ලභ ප්‍රයෝජන නිසා මතුපිටින් සිනාවී කතාකරති, බොහෝ සෙනෙහසින් කතාබස් කරති, එහෙත් නැති තැන අනුනට දොස් කියති. වහ කදුරු මෙන් වුනත්, ලාභ ප්‍රයෝජන තකා උනුන් හා සුහද බස් දොඩති. මට මෙය තේරුම් ගන්න බෑ, හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කියන මිනිස්සු අතර ජීවත් වෙන එක වදයක් ! අපි ගැනත් එහෙමම කියනවා ඇති නේද කියලා හිතෙනවා. මම මොකද කරන්නේ ? හිතාගන්නවත් බෑ.

කඳුළු මල් මහා පෝලිමෙන්...


මතුපිටින සිනා පුරවන
වෙස් මුහුණු හොයා බැඳගෙන
හිතේ කුණු කිළිටි සඟවන
අයුරු මට කියන්


අපි ඔක්කොම මිනිස්සුනේ.....
මිනිස්සු නිසාම , අපේ මස්තිෂ්කයේ සෛල න්‍යෂ්ඨි ප්‍රමාණය වැඩි වූ නිසාම, හිතනවා.
හිතනවා වැඩි වෙලා වැඩි වෙලා, දැන් උවමනා එකයි එපා එකයි හැම දේම හිතනවා. කොයි තරම් පොඩි පොඩි දේවල් උනත් ලොකු ලොකු කරගන්න හදනවා. අනෙකාව නිර්දය ලෙස සැක කරනවා. එහෙම සැක කරලා එක එක නිගමන වලට එළඹෙනවා. ඊට පස්සේ නොයෙක් මත ගැටුම් ඇති කරගන්නවා...

ඔව් අපි ඔක්කොම මිනිස්සු,
හැමෝම අතින් සුළු සුළුවෙන් හරි අත්වැරදීම් නොදැනුවත්ව දැනුවත්ව හරි සිදුවෙනවා. ඉතින් එහෙම වෙලාවට ඒ ගැන කතාබස් කරලා විසඳගන්න එක තමයි වඩා හොඳ. ඒත් සමහරුන්ගේ Ego එකයි self esteem එකේ ප්‍රමාණයයි නිසා ඉක්මනින් හෝ දැඩිව තීරණ ගන්නවා. ඒ අපි දැනුවත්ව හො බොහෝ වෙලාවට නොදැනුවත්ව.

කිසිම දයානුකම්පාවක් නැති කොට,
අනෙකාව තලා පෙලා සතුටු වෙන්න හදනවා, බැන අඬ ගැසුම් අවසානයේ වෙන් වෙලා යනවා, හරිම පහසුවෙන්.

"හැලෙන අය හැලෙද්දෙන් , කවුරු මොනවා කීවත් අපේ හිත දන්නවානේ ඇත්ත මොකක්ද කියලා"

හැලෙන්නෝ හැලෙද්දෙන්, ඒක සුවයක් හිතට
සිටින්නෝ සිටිද්දෙන් ඒක සවියක් අපට
කියන්නෝ කියද්දෙන් ඕනෙ මගුලක් ලොවට
දැවෙන්නෝ දැවෙයි නිති කෙලෙස් ගින්නෙන් පවට

අපිට සර්ව සම්පූර්ණ , නිවැරදිව මිනිසුන් ලෙස ජීවත් වෙන්න බෑ, ඒත් ඊට ආසන්න ලෙස හෝ ජීවත්වෙන්න පොඩි උත්සහයක් ගන්න පුළුවන් වෙයි නේද ?
photo - captured at Barberyn Ayurveda resort- beruwala

9 comments:

හේම ජයන්ත කොළඹගේ said...

මේකට තමයි පංචඋපාදානස්කන්ධය කියා බුදුරජාණන් වහන්සේ දේශනා කලේ. අනුන් යැයි කියන්නේ "රූපයට"..ඔවුන් නිසා දුක් හෝ සැප විදීමක් ඇත්නම් එය "වේදනා".ඔවුන් පිළිබද කිසියම් හදුනාගැනීමක් ඇතිනම් හොද නරක කැත ලස්සන ඒවා‍ සේරම හිතේ පමණක් ඇතිවන"සංඥා".
ඊලගට ඔවුන් කෙරෙහි ද්වේශ සහගත හෝ මෛත්‍රීසහගත ‍චේතනා පහල වේනම් ඒවා"සංඛාර".
මේ සියල්ල දැනගන්න‍ා සිත"විඤ්ඤාණ" මේ සියලුම උපාදානස්කන්ධ හටගන්නේ තමාගේම සිතේ.
මේවා කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් නැතිනම් තමාගේ සිත නිදහස්. අඩුම වශයෙන් මේ කෙරෙහි මධ්‍යස්ථ වීම හෝ සිදුවේ නම් බාහිර ලෝකයා කෙරෙහි කම්පාවක් ඇතිනොවේ.

gayankt said...

පිටස්තර ලෝකයා සමග අවශ්‍යම සම්බන්ධතා පවත්වා ගනිමින් සියලු දෙනා සමගින් පොදුවේ හොද හිතින් යුක්තව ජීවත් වීමට පුලුවන් නම් එය වැදගත් පියවරක් ලෙස මා දකිමි. පෞද්ගලික හා සමාජීය අත්දැකීම් අනුව මා අවබෝධ කරගත් දෙයක නම් මිනිසුන් බොහෝ විට අන්‍යන් කෙරේ ද්වේශ සහගතව ක්‍රියා කිරීමට එකිනෙකා අතර වූ දැඩි සබඳතා බිඳී යාම ( මේවා ප්‍රේම සබඳතා, මිත්‍ර සබඳතා, වෘත්තීමය සබඳතා විය හැකිය.) හා උනුන් පරයා නැගී සිටීමේ කැමැත්ත හෙවත් සෑම විටම අනුන් සමග නොනවතින තරගයක යෙදීමේ කැමැත්ත මූලික වන බව‍‍යි. මේ නිසා මිනිසුන්ගේ උතුම් ගුණාංග සේදි ගොස් අනෙකා කෙරේ ගතු කියන, අනෙකා පාගා දමා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තැත් කරන සමාජයක් බිහි වෙමින් පවතී. තත්වය අවබෝධ කොට ගෙන ජීවත්වන කල බොහෝ දෙනා සමග ගංගාවේ පහළට ගසාගෙන යෑම වෙනුවට උඩුගම් බලා පිහිනීමේ භාග්‍ය ලැබෙනු ඇත.

malee_msg said...

හැලෙන්නෝ ‍හැලෙද්දෙන් ඒක සුවයක් හිතට.. ඇත්තටම ඇත්ත.. බෝ අක්කේ.. ජීවිතේදි අපිට පෙනෙන මුහුණු නෙවෙයි ඇතුලෙන් තියෙන්නේ.. අපිට නොදැනිනීම අපිත් එහෙම වෙන්න ඇති සමහර විට.වැදගත් වෙන්නේ අප තුලින් නරක ඉවත් කිරීමයි.. අනිත් අය ගැන හිත හිත දුක් වෙන්න ගියොත් අපි වෙනුවෙන් වෙලාවක් නැති වෙයි

සරත් ගුණතුංග said...

හේම ජයන්ත මහත්මයත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඒක තමා යථාර්තය. ඕකෙන් ගැලවෙන්න අපිට සෑහෙන්න දුර යන්න ඕන දුව. මොකක්ද කියල දන්නව, ඒත් සිත පුහුනු කරන්න ඕන.

SRIshanu said...

හැලෙන්නෝ හැලෙද්දෙන්...
වචන දෙකේ අපූරු පාඩම
මාරයි!

Constantin Demiris said...

"හැලෙන්නෝ හැලෙද්දෙන්..."

අන්න‍ හරී...

නියමයි! දෙන්න‍ පහක් :-)

හරේ...! said...

මොනව කලත් අන්තිමේදි තමන්ට තමන් විතරනේ ඉතිරි වෙන්නෙ. අර කිව්ව වගේ සර්ව සම්පූර්ණ වෙන්න බෑ තමයි. ඒත් ආසන්නව හොඳින් ඉන්න පුළුවන්. කොහොම වුණත් වෙනත් අයව වෙනස් කරන්න අමාරුයි දැන්. ලෝකය මලවිකාර විධියට ප්‍රජාතන්ත්‍රවාදී වෙලානේ. ඉතිං ඕන කොනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. කාටවත් හොඳ නරක කියල දෙන්න බෑ. කිව්වම ඇඟට ගොඩ වෙනව. ඒ වගේ වෙලාවට ඔයා කිව්ව වගේ හලල දානව හැර කරන්න දෙයක් නෑ. මොකද එයාල වෙනුවෙන් මහන්සි වෙන අපි තමයි අන්තිමේදි මෝඩයො වෙන්නේ.

situvili said...

සටහන නියමයි බෝ අක්කේ. ඔන නැති අය ඕන නෑම තමයි. ඒ නිසා හැලිලා ගියාදෙන්. මිනිස්සු හරි අපුරු විදිහට නිදහස් වෙන්න හදනවා. ඒ නිදහස පාවිච්චි කරන්නෙත් හරි අපුරූ විදිහට. මෙව්වට කතා කලාම අපි වැරදි. අනේ මංදා ඇත්තටම අපිද දන්නැ වැරදි, මෙව්ව කතා කරන.

බිකුන්දා said...

අක්කා කියන්න ඇත්තක් තමා. ජිවිතය toilet එකක්, එක දොට්ට දලා යන අය ගොඩායි, ඒත් එක සුද්ද කරලා යන අය අඩුයි.