Friday, 5 December 2008

සිනාසෙමි ලෝකයට...

අහිමි වීම් සහ ජීවිතය ගැන නැවතත් තත්‍ය මානසික මට්ටම අවුලවන කතා බහකින් පසුව....

සිනාසෙමි ලෝකයට
ලබැඳියන් සුමිතුරන් අසල නොරැඳෙන කලට
පාරවන තරම් හිත නොතේරේ කිසිවෙකුට
වෙන්වීම් පමණක්ම ඉතිරි වූයෙන් සිතට
දුක කඳුලු මිස තවත් සිනා කැන් පොදි කුමට

හමුවෙත් නේක දන යනෙන හැමතැන සුමට
කොහේ හෝ හමුවෙලා වෙන්වුනා මතක මට
සෙනේහය නොපුරවා සිටියොතින් වී ළඟට
බොහෝ දුර හැකිවේවි ජීවිතය දකින්නට

සිනාවෙන්නට තවත් මසිත නොනැමෙන කලට
දකින්නේ නිතර අන් කඳුළු දුක් ගෙන ළයට
එහෙත් මග පිළිවෙලින් දැකගන්න හැකි ලෙසට
කඳුලු තෙරපා යටට සිනාසෙමි ලෝකයට


බෝ ©
(පිංතූරය - සොයා දුන් කෙනාට ගොඩාක් ස්තූතියි)

12 comments:

සරත් ගුණතුංග said...

කඳුලට සිනාවට මේ දෙක එක ලෙස ට
හදවත රිදෙන විට සිහි වී දුක් ගැහැ ට
ඇතිවී නැතිව යන මේ දිවි මං පෙත ට
බුදු හිමි සරණමය! මේ ලොව ඇති පිහි ට

හේම ජයන්ත කොළඹගේ said...

හමුවීම නම් සංස්කාර ධර්මය අනිත්‍ය වෙන්නේ වෙන්වීමෙන්ය. පියේහි විප්පයෝගෝ දුක්ඛා. මේක වෙනස් කරන්න පුලුවන් ජගතෙක් විශ්වයේ නැහැ නේද නංගියේ. ඔබ දෙවැනි කවියෙන් පවසා සිටින්නේ දුකෙන් මිදීමේ මාර්ගයයි."සෙනේහය නොපුරවා සිටියොතින් වී ළඟට
බොහෝ දුර හැකිවේවි ජීවිතය දකින්නට". යමක් කෙරෙහි
ඇති ඡන්දරාගය දුරු කලොත් දුකෙන් නිදහස් වෙනවා."එදා සෙනෙහින් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ"
නංගියෙ යමක් කෙරෙහි ඇලීමක් ගැටීමක් නොමැති නම් එය චිත්ත සංස්කාරයක් නොවේ. සංස්කාර නැති කල්හි දුකක් කොයින්ද?? කදුලක් කොයින්ද? නිස්සරණය හෙවත් නිදහස් වීම යනු එයයි. එනම් සියලු සංස්කාර ධර්ම කෙරෙහි අවබෝධයෙන් කළකිරීමයි. ඒවා ඒකාන්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකීමයි.
ඔබට තෙරුවන් සරණයි.

malee_msg said...

මේක නම් හරිම හිතට දැනෙන සිතුවිල්ලක්......

situvili said...

හරිම ලස්සනයි බෝ අක්කේ. හිත මොහොතකට නැවතුනා.ලොකු දෙයක් කියලා තියෙන්නේ ඔයා. ."සෙනේහය නොපුරවා සිටියොතින් වී ළඟට
බොහෝ දුර හැකිවේවි ජීවිතය දකින්නට". මේ ටික නං තදින්ම දැනුනා.

ආගන්තුකයා said...

හැමදාම ජීවිතේට කවුරුහරි ඇතුල්වෙනවා... එයාලා අපෙන් ඈතට ඇදිලා යන්නේ අපිටත් හොරා... පොඩි කාලේ හිටපු කීයෙන් කී දෙනාද අපිත් එක්ක තාම ඉන්නේ... හැමදාමම එකෙක්ව ජීවිතේටම ලං කරලා තියාගන්න පුලුවන් නම්.....

Sanu said...

bo , oyage kaviyakin hamadama dakapu vidhapu minisathkame suvada thamath ehemamai . .

SRIshanu said...

එන-යන
මේසෙ උඩ තියන ෆයිල් ගොඩවල් දෙකක් විතරක් නෙමෙයි. ජීවිතේ කොටසක්. අවබෝධය තරම් වටිනා දෙයක් ජීවිතේට කොයින්ද?

සිනහව - කඳුල
හැඟීම් පමණක් ද? බලෙන් අප කරා එන්නක්ද? මේ දෙකම එකක්ද?

සුභ - අසුභ
ජීවිතය විවිධ පැතිකඩවලින් විවිධාකාරයෙන් දකින්නත්, අපට ඒ වග කියා දෙන්නත් තව තවත් හැකිවේවා...!

හරේ...! said...

හමුවීම වෙන්වීම කියන දේ අතිශය සුලභයි. පොඩි කාලෙ ඉඳන් ඉස්කෝලෙදිත් දහම් පාසල් වලදිත් මේ ස්වභාවික ඇත්ත පණ යනකල් උගන්වනවා. ඒත් අපි ඒක තේරුම්ගන්නෙ නම් නෑ නේද? අනික තේරුම් ගත්ත කියල කරන මගුලකුත් නෑ. එක එක කාලවලදි එකම විධියට නොඉඳ ඔය වගේ වෙනස් හැඟීමක් දැනෙන එකත් ශෝක්.

-සමබර- said...

දිවියේ සරල බව දැකි ඔබෙ නෙත් වලට
පෙනෙනා තරම් දුර කිසිවෙකු නැති ලෙසට
හමුවුනු අය පැමිණ නොපෙනී ගිය කලට
තනියක් දැනෙනු ඇත ලංකරවන සිතට

බොරුවට හිනැහෙන්න බැරි කල ලෝකයට
සිතඟින් හඬා වගුරයි උණු කඳුලු කැට
දුක් විඳ දිවිගෙවන උන් නෙත ගැටෙන විට
කඳුලක් නැගෙයි නොසිතූ ලෙස නෙත් කොනට

ඔබගේ දුකම ඇති අප වන් දහසකට
ඔබ මම දැයි කියා දැනෙනා කල සිතට
සමසේ බෙදා ගන්නට දුක ඇති කලට
ඔබ තනි නොවේ අපි ඉන්නෙමු සැම ඔබට

-සමබර-

Bo said...

කඳුළ සිනහව එක ලෙස දකින්න පුලුවන් තැනක ඉන්න තමයි උත්සහ කරන්නේ. නමුත් දවසේ බොහෝ වෙලාවක්, අනුන්ගේ කඳුළු දුක දකින්න වුනහම, හිත කඩන් වැටෙනවා, පෘතග්ජන නිසා වෙන්න ඇති. මේ කව ලියවෙන්න හේතු වුනේ, එහෙම සිදුවීම්. අදහස් දැක්වූ හැමෝටම බොහොම ස්තූතියි.
සරත් මාමා, හේම ජයන්ත අයියා - බුදු හිමි පෙන්වූ මග, දුක දුකට හේතුව එය නැති කිරීම පිළිවෙලින්, පෙන්වා දුන්න ඔබට ස්තූතියි. අප නිතරම දකින්නේ දුක සතුට අතරේ වෙනස නිසා එහෙම ලියුවේ. ඔබේ පැහැදිලි කිරීම මගේ කව තවත් ගැඹුරින් මටම පෙන්වා දුන්නා. බොහොම පින්

මලී නගෝ - ස්තූතියි

සිතුවිලි නඟේ- ඔව් ඒක තමයි හොඳම මග, ඇලෙන්නෙ බැඳෙන්නේ නැතුව ඉන්න නම් අන්න එහෙම ඉන්න ඕනා, දුකක් නෑ එතකොට

ආගන්තුකයා- ස්තූතියි ඔබේ අදහසට, ඔබ කියනවා වගේ කිසිදෙයක් සදාකාලික නෑ, ඇත්ත. බැඳීම්වල ස්වායක්ත බව ගැන වැඩිපුර හිතන්න වෙනවා.

Bo said...

සනු - වෙනදා වගේම මේවා කියවා පහන් සිතින් ඔබේ අදහස් ලියුවාට ඔබට ස්තූතියි, ඔබේ කවි මම නිතර රසවිඳිනවා.

ශ්‍රී - ඔයා මට වඩා හොඳට ජීවිතය ගැන කියනවා, සිනහව දැනෙන්නේ කඳුළු වල පැවැත්ම නිසා. එහෙමයි හිතෙන්නේ, හැඟීම් වින්දන මේ ඔක්කොම සංස්කාර ධර්මයන්ගෙන් එකක් නේ.

සමබර - කවියකින්ම සියල්ල විස්තර කරලා, ඇත්තෙන්ම විශිෂ්ඨයි , මේවත් දවසක මම පළ කරනවා, බ්ලොග් පිටුවක. දුක අපි හැමෝටම පොදුයි, ඒක දැනෙන එක නිසා අපි වඩා මනුශීය වෙනවා නේද, අනෙකාගේ දුක නොදකින අය අනික් අයව රිද්දනවා, දැනෙන අය එහෙම කරන්නේ නෑ, එහෙමයි මට හිතෙන්නේ

ආගන්තුකයා said...

කොළඹගේ සර් කියන කතාව ඇත්ත... ඒත් අපි කොච්චර බොළඳද ජීවිතේටම එක්කෙනෙක්ව ළඟට කරලා තියාගන්න බැරි බව දැන දැනත් අපි කරන්නෙම ඒකමයි... ලෞකික ජීවිතයේ සතුටත් දුකත් රැඳිලා තියෙන්නෙ ඔය දේ මත වෙන්න ඇති...