Thursday, 20 November 2008

මුණ ගැසෙන ජීවිත - 1

මානව චින්තනයේ වර්ධනය හරියාකාරව සිදු නොවීම නිසා අද වෙන කොට ලොව බොහෝ සෙයින් වෙනස් වී ඇත. සැනසිය යුතු තැන්හි වැනසීමටත්, කරුණා පෙරදැරි කොටගැන්මට අවැසි තැන්හි කෝප ගිනි ඇවිලීමටත්, නිකරුණේ අනුන් සැක කිරීමටත් එකිනෙකා කෙරෙහි නොනිම් වෛරයෙන් පසු වීමටත් සිදුවී ඇත. දවසකට, නොසෑහෙන තරම් විවිද වූ චරිත හා ගැටෙන්නට සිදු වන විට, අර පරෙස්සමෙන් කටයුතු කිරීම බොහෝ වටින බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්නා කරුණක්. එක වචනෙකින්, දාහක් ගිනි ඇවිලෙන්න පුළුවන්, බොහෝ සිත් රිදෙන්න පුළුවන්. ඒත් බොහෝ පිරිස් සතුටට සැනසීමට පත්කරන්න යාමේදී අන්තිමේදී සිදුවෙන්නේ අපේ හිත් දුක්බර වීමයි. මම මේ ලියන කතා පුවත වැනි දස දහසක් කතා මා අධ්‍යයන ජීවිතය පුරාවට අසා ඇත්තෙමි සටහන් කර ඇත්තෙමි. ඒ හැම ජීවිතකයම දුකක් වේදනාවක් සටහන් වී ඇත. ඒ මතින් ඇතිවන දුක් කන්ද විශාල කර පෙන්වීමට මට උවමනාවක් නෑ ඒ මා මෙන්ම ඔබ සියල්ලන්ද අනේක දුක් දෝමනස්සයන් කරපින්නාගෙන සිටින නිසාවෙනි.
ඇය මට හමුවුනේ අහම්බෙන්, බිත්තිය අල්ලාගෙන වැසිකිළිය වෙත ගොස් නැවත යන ගමන් වැටෙන්නට යද්දී ඇගේ දුබල වත වත්තම් කරගත් මම "ඔබට කොහොමද ?" කියා ඇසුවා. " ඒක අහන්නත් ප්‍රශ්නයක්ද? මම හොඳින්නම් මෙහෙ ඉන්නේ නෑනේ ?" ඇය නුරුස්සනා බැල්මෙන් පිළිතුරු දුන්නා.
මේ ප්‍රශ්නය නැවත නොඇසිය යුතු ප්‍රශ්ණයක් ලෙස මම හිතේ සනිටුහන් කර ගත්තා.
" දන්නවද ? මගේ වයස 23 "ඇය බිම බලාගෙන පවසද්දි මටත් වඩා ලාබාල ඇගේ මුහුණ දෙස මම බලා සිටියා. කෙට්ටු , කේඬෑරු චැහැරුනු ගතින් ඈ නැවත මවෙතට ඇගේ අත දිගු කලා. නාඩි බලන්න ඕනෙද ? "
"නෑ මම ඔබත් එක්ක කතා කරන්නම්. " මම ඈ අසලින් හිඳ ගත්තා.
" මම පොඩි කාලෙ ඉඳන් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. නිතර බෙහෙත් විදින්න ඕනා, කෑම පාලනය කරන්න ඕනෑ. මට මාවම වදයක් වෙලා. මම අනිත් හැමෝටම වදයක් ඒක මම දන්නවා. ඒ නිසයි මම ආහාර නොගෙන සිටියේ.සිහිසුන් වෙලා ඉන්දෙද්දී, ආයෙත් ගෙදර අය මෙහෙ නැවැත්තුවා. මීට වසරකට පෙර මම බෙහෙත් වැඩිපුර ගත්තා. ඒත් මම මැරුනේ නෑ. ගෙදර අය ඇම්බියුලන්ස් එකට කතා කර මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා."
"ජීවිතෙන් පලා යන එක ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි" මම නැවත කියුවෙමි.
"ගෙදර හැමෝටම මම වදයක්. එයාලට මාව බරක්. මට රස්සාවක් නෑ. ලෙඩ නිසා රස්සාවක් දෙන්නේ නෑ.මම කෙට්ටුයි, මම කැතයි. මගේ හම රැලි වැටිලා මට කවුරුත් ආදරය කරන්නේ නෑ"
ඇගේ සෙසු සොයුරි සොයුරියන්ගේ සාර්ථක ජීවිත ගැන ඈ මා සමග දොඩයි. තම පවුලේ අය, තමන් කිසිම වැඩකට නැති කෙනෙක් බව නිතර කියන බව ඇය කියයි. කොහේ හෝ ලොකු වැරදීමක් වෙලා ඇති බව මට වැටහෙයි, දියවැඩියාව කියනෙනෙ පාලනය කර හැකි රෝගී තත්වයක්. මේ රෝගය පොඩි කාලේ ඉඳන් තිබුනත්, නිසි පාලනයක් මගින් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න හැකි බවත්, සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට ඇයට ඇති හැකියාවත් , මිනිස් ජීවිතයක තිබෙන වටිනාකමත් මම ඇයට පසක් කර දුනිමි.
"ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා "
" ආදරය කරන කෙනෙක් නැතිකොට බලන්න කොහොමද ජීවිතේ දැනෙන්නේ කියලා"
"ජීවිතේට කරන්න බැරි දේවල් දැක්කම , අනිත් අය ඒවා හිමි කරගෙන ඇති බව දැක්කම, බලන්න ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා"
ඇය මට අභියෝග කරයි.
කොයි තරම් උපදෙස් දුන්නත්, හිත් හයිය කරන්න,ඇත්තටම ඒ ප්‍රශ්ණය අපේ කරගෙන බැලුවොත්, තත්‍ය ස්වභාවයට ගිහින් බැලුවොත් , ඒ උපදෙස් වලින් වැඩක් තියේද?
මෙලොව ඇති සෑම ජීවිතයකින්ම පලක් තියෙනවා. ඇය මේ ලොවට අවශ්‍ය කෙනෙක් බව ඇයට වටහා දිය යුතුමයි. ඒ සඳහා, නිසි මනෝ වෛද්‍ය උපකාර අවශ්‍යයි. නමුත් අවුරුදු 10 ක් පමණ රෝගී බවින් පීඩා විදින ඈ යථා මනෝ ස්වභාවයකට ගැනීමට දිගු කලක් යන බව මනෝ වෛද්‍ය වරියගේ අදහසයි.
දිගින් දිගටම රෝගීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසද්දී, කතාබහ කරද්දී එක් ජේෂ්ඨ වෛද්‍යාචාර්‍යතුමෙක් මට දවසක් මෙසේ පැවසුවා.
"අපට කිසිවෙක් 100%( සියයට සීයක්) සුව කරන්න බෑ. ඒකට වෙහෙසෙන්න, ඒත් ඒක එහෙම කරන්න බෑ . සම්පූර්ණ මානසිකමය සහ භෞතිකමය සුවයක් අපට ගොඩනගන්න බෑ. . we cant cure them 100%!"
"But we can try ! අපට උත්සහ කරන්න පුළුවන්"

9 comments:

හේම ජයන්ත කොළඹගේ said...

ජීවිතය යනු සුවකල නොහැකි රෝගයකි. ඒ නිසා තමයි "ජාතිපි දුක්ඛා,ජරාපි දුක්ඛා,ව්‍යාධිපි දුක්ඛා" ආදි වශයෙන් තථාගතයන් වහන්සේ දේශනා කලේ.එමෙන්ම "මහලුවීමද,ප්‍රියයන්ගෙන් වෙන්වීමද,අකමැති අය හා එක්වීමද,කැමතිදේ නොලැබීමද,අකමැති දේ ලැබීමද" ඒකාන්ත දුකක් ලෙස ප්‍රකාශ කලා. මෙය වෙනස් කිරීමට කිසිම දෙවියෙකුට මාරයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට නොහැකි බව දෙසුවා.මෙය තමයි දුක්ඛ ආර්යය සත්‍යය.ඉපදීමෙන් නිදහස් වීම හැර අන් නිදහසට කරුනු නැත

සරත් ගුණතුංග said...

දුව බෝ,
හේම ජයන්ත මහත්මයා කියන එක හරි. සත්‍යතාවය එයයි. ප්‍රායෝගික වශයෙන් බැලුවොත් මටත් ඔය රෝගයම ශරීර ගත වෙලා තියෙනව. මම වචන යොදන හැටි සැලකිල්ලෙන් බලන්න. හැබැයි මම රෝගයෙන් පීඩා විඳින්නෙ නැහැ. රෝගය සමග ජීවත් වෙනව. රෝගය ශරීර ගත උනේ අවුරුදු 30දි පමණ.
මට රෝගය 'අල්ලල විසි කරන්න බැහැ'. මට ඒ රෝගය තිබුනට සමාජය පලිත් නැහැ. රෝගය සමග ජීවත් වන්නට මම ඉගෙන ගත්තා. ඒ නිසා මම විඳවන්නේ නැහැ. විඳින්නේත් නැහැ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරණ වචනයක් තමයි "suffering - suffering with diabetes". මට වෙදකම් කරණ වෛද්‍ය වරුන්ට පවා මම කියා සිටින්නේ " I am not suffering- I am affected with diabetes" කියලයි. බෞද්ධයෙක් හැටියට මම දන්නව ඒක හැදුනෙ මගේ පෙර කර්මයක් නිසා කියල. කිතුනුවන්ට එහෙම කිව්වට තේරෙන්නෙ නැහැ නේ. හැබැයි මට වෙදකම් කරන දොස්තර මහත්මයා බොහොම ගෞරව සහිතව මා දිහා බලන්නෙ, මගෙන් යම්කිසි දෙයක් ඉගෙන ගත් නිසා.

ඔය රෝගියාගේ මානසිකත්වය වෙනස් අතකට යොමු කරවන්න ඕන. නැතුව අමාරුයි. එයාට උදව් කරන්න අය ඉන්නව කියල පෙන්වන්න ඕන. ලෝකයේ එය තනි වෙලා නෑ කියල පෙන්වන්න ඕන. බෞද්ධයෙක් නම් ආගමික කරුණු ගැන පහදලා දෙන්න ඕන. දිය වැඩියා රෝගය ශරීර ගත වුනු මගේම රෝගීන්ට ඒ බව ඉස්සෙලම දැනුම් දෙන්නෙ " welcome to the club" කියල. එතකොට ඒ ගොල්ල දන්නව ඒ ගොල්ල තනිවෙලා නෑ කියල. ලෝකෙ කවුරුවත් සර්ව සම්පූර්ණ නිරෝගී නැහැ නෙව, ලෝකයේ දුක නම් වූ ස්වභාවය විපස්සි බුදු හාමුදුරුවොත්, එදා පටන් මේ වනතෙක් බුදු වූ සියලුම බුදු වරුනුත් චතුරාර්ය සත්‍යය ධර්මය වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. ඒ තමයි ලෝක ස්වභාවය.

සරත් ගුණතුංග said...

පෙර පිලිතුර හා සම්බන්ධයි......
මේ ලෝකෙ, මනෝ විද්‍යාඥයො කියල ජාතියක් නැහැ. මේකට අවශ්‍ය තැනට සුදුසු නුවණ පමණයි. මනෝ විද්‍යාඥයො තවත් වැඩේ අවුල් කරයි. මෙතන තියෙන්නෙ පුද්ගලික වූ ගෑටලුවක්.

"ලාබාළ තරුණියකට දියවැඩියා රෝගය ශරීරගතවී ඇත. ඒ නිසා ඇයට ජීවිතය එපා වී ඇත."
මේ තරුණිය හා එකට ඉඳගෙන සාකච්ඡා කරන්න. ඕනෑම දෙයක් ගැන.මේ සාකච්ඡාව බොහෝ දීර්ග විය හැක. නමුත් ඉතාමත්ම අවශ්‍යය. කාල වේලාව සොයාගත යුතුය. නැතහොත් ප්‍රථිපල ඉතාමත්ම අල්ප විය හැක. හෙමින් හෙමින් මාතෘකාව වෙත සමීප වන්න. ඇයගේ ගැටලු ඇති තැන් අධ්‍යයනය කරන්න. ඒවාට විසඳුම් සොයන්න. මගේ අත්දැකීම පරිදි බොහෝදෙනෙක් ඉන්සියුලින් විදගැනීමට විශාල බියක් දක්වති. මේ මායාවකි. මෙතැන බිය දෙවර්ගයකි. 1. ඉඳිකටුව වදින විට ඇති කායික වේදනාව 2. ඒ නිසා ඇතිවන මානසික භය. දෙවැන්න ඉතා බරපතලය. මම කරන්නේ මගේම අතට ඉදිකටුව ගසා පෙන්වීමය. මේ ඉදි කටුව ගැසීම හා උදේට දත් මැදීමත් අතර වෙනසක් නැති බව මම රෝගියාට පවසන්නේ මෙහි බිය වීමට කරුණක් නැති බව පෙන්වීමටය. ජීවත් වීමට නම් කෑමෙන් පරෙස්සම් විය යුතු බවටත් ක්‍රමයෙන් දැන්විය යුතුය. කිසිම දියවැඩියා රෝගියෙක් ( මා ඇතුලුව ) නිර්දේශ කරන ආහාරයටම බැඳී නොසිටින බවත් කරුණාවෙන් සලකන්න. ඒ සම්බන්ධව රෝගියා හෙට්ටු නොකිරීමටත් වග බලාගන්න. කොටින්ම කිවහොත් ඔබ කල යුත්තේ රෝගියා සමග කොන්තරාත්තුවකට එළඹීමය. "මෙසේ කලහොත් මෙසේ වෙයි. ප්‍රථිපලය ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් වීමයි - මට කල හැක්කේ ඔබට අවවාද කිරීමයි". මගේ අත්දැකීමේ හැටියට ඕනෑම ජාතියක මනුශ්‍යයෙක් මේ අවවාද පිලිගනියි. මම දැන් ගොඩාක් ලිව්වා, අවශ්‍ය නැත්නම් මකා දමන්න.

malee_msg said...

ඇත්ත ලෙඩක් දුකක් විතරක් නෙවෙයි ‍වෙන ඕනිම දේකදි අපි ඉන්නේ උපදෙස් දෙන කෙනා විදියට නම් අපිට ටිකක් කල්පනා කාරී වෙන්න වෙනවා නේද?‍ මොකද ඒ දේ දුක දන්නේ හැබැවටම දුක අත්විදින මනුස්සයා මිසක් කථා කරන අය නෙවෙයිනේ...ආයේ ඉපදෙන්නේ නැති එක තමයි තියන විසදුම...

මම මචන් said...

හිතට බොහොම සංවේදනාත්මක හැඟීමක් එක්කරන පුවතක්. ඇයට ඉක්මණට සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!

gayankt said...

රට වෙනුවෙන් දෑත් දෙපා පිදූ වීරෝධාර රණවිරුවන් බොහොම‍යකටත් ජීවිතය පිළිබඳ ඇති වෙන අවිනිශ්චිත භාවය නිසා මෙවැනිම තත්වයන්ට පත් වෙනවා. බෙහෝ දෙනා වයස 25 අඩු පිරිස.

Priyankara Perera said...

වටිනා අදහස් සමුහයක්...
මම හිතන විදිහට අපි සිටිනා මේ සමාජයම තමයී ඔය කාරනාවට වගකියන්න ඕනා...වර්තමාන සමාජය අපිව යොමුකරලා තියෙන්නේ ආශාවන් පස්සේ හබා යන්න , අනිකාව පරයලා ඉදිරියට යන්න , ඉතින් අද බොහෝදෙනා ලද දෙයීන් සතුටු වෙන්න දන්නෑ , එහෙම උනානම් ඔය කතාකරපු කාරනය බොහොදුරට වෙනස් වෙන්න තිබුනා...
තමුන්ට නොලෑබෙන දෙයක් ගෑන හිත්ලා දුක් වෙනවට වඩා , තමුන්ට තියන දෙයී සතුටු වෙන්න උත්ස කරනවනම් හරි නේද ?


ජිවිතය දෙස , තවත් මානයකින් බලන්නට ඔබ අපව යොමු කිරිම පිලිබදව ඔබට ස්තුතියී...

SweetuPooh said...

බෝ අක්‌කේ.. තවත් ලියන්න! ජීවිතේ නොදකින පැත්තක්‌ ගැන ලොකු දැනුමක්‌ ඔයාගෙ ලිපි වලින් ලැබෙනවා...

හ්ම්! සරත් මහත්මයා කියන පරිදි, ඊලඟට ඔය ලෙඩෙත් එක්‌ක ජීවත් වෙන්න වෙන්න මටත් වෙයිද දන් නැ! මම පැණිරස කන තරමට! පරිස්‌සම් වෙන්නෝනි! :D

ආගන්තුකයා said...

පිස්සු හැදෙනවා..... අපි ඉගෙනගන්නවා.... ඊට පස්සෙ රස්සාවල් කරනවා... ඊට පස්සෙ පවුල් ජීවිතේ භාර්යාව, ළමයි... අන්තිමට තවත් කරගන්න බැරි දේවල් ගැන හිත හිත මැරිලා යනවා... ඕකද ජීවිතේ... අපිට ජීවිතේ කරගන්න ඕනි මොනාද... අපි අන්තිමට දුවලා තියෙන්නේ තේරුමක් නැති දෙයක් පස්සේ... එපාවෙනවා............................