Sunday, 9 November 2008

සමහර බැඳීම් හරි ප්‍රබලයි. - මිනිස්සු...

සසරට ආසාවක් නොමැති වීම නිසා, තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති වීම නිසා, හොඳ රස්සාවක්, ගෙවල් දොරවල් යාන වාහන ඕනෑ නොවීම නිසා, ජීවත් වීම ගැන අවට අයගෙන්නොයෙක් ප්‍රශ්ණ පැන නැගෙනවා. පෘතඃජන ලෝකයකින් ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද කියලා හිත හදාගැනීම හොඳ බව අගිසා මට නැවත මතක් කරලා දුන්නා ! අගිසා අපූර්ව මිත්‍රයෙක්, ලෝකෙ කොයි අත පෙරලුනත් වගේ වගක් නෑ. ඔබාමා දිනපු බවත් දවස් දෙකක් යනකම් දැනගෙන හිටියෙ නෑ, මම කියනකම්ම. "ඉතින් ?" එච්චරයි අගිසාගේ ප්‍රතිචාරය. ලී මාලයක් කරේ එල්ලගත් , කොණ්ඩෙයි රැවුලයි ඔහේ වවාගත්ත මේ සොඳුරු මිනිසාට, භාවනාව තරම් වැදගත් දෙයක් තවත් නෑ. එක දිගට මාස ගණන් වනගතව වෙසෙන එවැන්නවුන්ගේ ජීවිත කොයිතරම් නිදහස්ද කියා සිතෙන්නේ නොයෙක් ඇලීම් ගැලීම් සහ බැඳීම් අතර ජීවත්වෙන , විඳවන සහ විඳින අපේ ජීවිත දැක්කමයි. "ඒකට පින තියෙන්න ඕනේ"

රස්සාව කරන තැන, ඉගෙන ගන්නා තැන, ජීවත් වෙන නිවස, සහ ඒ අවට මේ කොහෙදිත් එකම එක දෙයක් මැනැවින් පසක් වෙනවා,
"ප්‍රිය විප්පයෝග දුක්ඛෝ අප්‍රිය සම්පයෝග දුක්ඛෝ" කියන මේ සනාථන දහම , නිරතුරුව හිතට කාවදිනවා.
ඒ අතර බොහෝමයක් බැඳීම් බිඳ වැටීම් දිහා උපේක්ෂා සහගතව බලන්න උත්සහ කරන එක තමයි වැදගත් බවත් හැඟෙනවා.
කවි නොලියන්නේ මන්ද කියා එළිපිටම කරන විමසීම් නොතකා සිටින්නේ කොහොමද ?

සංසාරයෙන් එහා තිබෙන්නේ සැනසුමද - කොයිදාක කොයි ලෙසක හමුවේද ?

වරෙක මම ලියා තැබුවා මතකයි. සංසාර ගමනේ විවිධ වූ ලැඟුම්හල් වල ගිමන් හරිමින් අප යනෙන මේ මාවත කෙළවර කුමක්ද ? සංසාර මන්දිර පොත ගැන නැවත මතකය අලුත් වුනා, මම එය නැවත කියවිය යුතුයැයි සිතුනා.අපට නිතර හමුවන පිරිස් , සමහර විට කොහේදී හෝ හමු වී තියෙන්නට ඇති, ඒ නිසා මේ භවයෙත් එසේ හමුවෙන්නට ඇති.
එහෙම හමුවූ අය අතුරෙන්,
අපේ සිත සදන, සනහන, ලඟින් ඇවිදින, අතැර නොමයන අය නිසා ජීවිතය ගොඩාක් පහසු වෙනවා, ලෞකිකමය මෙන්ම ලෝකෝත්තර වටිනාකමක් එකතූ වෙනවා.

වැඩිපුර මේවගේ දේවල් ලිවීම ගැන සමාවෙන්න. ඒත් දැනට නිතරම වැටහෙන දේ මෙයයි. ජීවිතයේ සැබෑ අර්ථය සොයා ගැනීම අපහසු නෑ.

කවි ලියුවත් ජාලය තුල පල කිරීමට සිත් නොදෙයි.
ලෝකය කොයිතරම් දුක්ඛදායීද කියලාමයි නිරතුරුවම සිතෙන්නේ, ඒ අපි නිතරම දකින්නේ සමාජයේ දුක් විඳින පිරිසක් විතරම නිසාය කියලා අන්තිමට මට හිතුනා. ලෝකයේ 10 000 කට 1 අයෙකුට වැළදිය හැකි රෝග නිරන්තරයෙන් දකින නිසාවෙනි. රෝගී වුනු පිරිස්ම පමණක් මුණ ගැසෙන නිසාවෙනි.
නිතර සිත හදමින්, ලොව තතු පහදමින් නොවෙනස්ව සිටින, ඇබිති හුළඟ අක්කා මේ කව ඔබේ ඉල්ලීම වෙනුවෙනි. (ඇතැම් බැඳීම් හරි ප්‍රබලයි. බැඳීම් වල ස්වායක්ත බව ඔස්සේ, රුදුරු රත් පොළව මත දිනෙක මනුදම් වැසි වසිනු ඇතැයි මට වටහා දුන්නී ඇයයි.)

මිනිස්සු

උපන් පිනට ලොව සදන මිනිස්සු
උපන් පවට ලොව නසන මිනිස්සු
උපන් නිසා පිං පුරන මිනිස්සු
උපන් ගතිය අත්නොහළ මිනිස්සු

අනුන් උනුන් ගැන සොයන මිනිස්සු
වදෙන් පොරෙන් දිවි ගෙවන මිනිස්සු
අනුන් සොයා වින කරන මිනිස්සු
තමන් කිළුට නොම දකින මිනිස්සු

අනුන් බලා සෙත සදන මිනිස්සු
සිතින් පවා පව් නොකල මිනිස්සු
දනින් පිනින් මග දකින මිනිස්සු
පහන් සිතින් කල් හරින මිනිස්සු


බෝ © 2008

- නිතර ලියන්න වෙලාව ලැබුනානම්.... නැත්තෙත් ඒකමයි. මැසිවිලි, මැසිවිලි, ඔන්න ආයෙත් මැසිවිලි.....
පිංතූරය අහුලා ගත්තේ අන්තර්ජාලයෙන්

5 comments:

malee_msg said...

මේකට මොන විදියේ පිළිතුරක් ලියන්නද කියලා තේරෙන්නේ නෑ අක්කේ. ඔයා කියන දේ හරි. මිනිස්සු විවිධාකාරයි- හැම කෙනෙක්ම අපේ හිත් සනසවන ,නිවන විදියේ වැ‍ඩ කරන්නේ නෑ

situvili said...

බෝ,
"සසරට ආසාවක් නොමැති වීම නිසා, තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති වීම නිසා, හොඳ රස්සාවක්, ගෙවල් දොරවල් යාන වාහන ඕනෑ නොවීම නිසා, ජීවත් වීම ගැන අවට අයගෙන් නොයෙක් ප්‍රශ්ණ පැන නැගෙනවා"
මේ කථාව ඇත්ත. එක් බැදීමකින් නිදහස් උනාම තියෙන සැනසීම දැනුනත් ඒ ජාතියෙම හරි නැත්තං ඒකටම හරි නැවත බැදෙන්න පුංචි හරි ආසවක් ඇති වෙන එක පෘතග්ජන අපේ වැරැද්දක්ද? නැත්තං හිතෙන විදිහේ වැරැද්ද කියලා තෙරෙන්නැ. කොහොම උනත් මේ බැදීම් නිදහස් කරලා ජිවත්වෙන කොට පිස්සු වැඩ කරන්න එපා කියලා කියන්නේ ඇයි කියලත් තාම තෙරෙන්නැ.

Priyankara Perera said...

" අනුන් බලා සෙත සදන මිනිස්සු
සිතින් පවා පව් නොකල මිනිස්සු "

මේ වගේ මිනිසුන් සමාජයටම වාසනාවක්....!
අනුන්ට යහපතක් වේවා කියලා හිතින් හිතන එකත් මහා නිහතමානි කමක්,
ඇයී දන්නෑ හෑමෝටම මේවගේ වේන්න බෑරි....

එ දිනය ලගදිම උදා වේවා !

Constantin Demiris said...

Life is Darwenian. If one manages to live amongst the cruel and the innocent, and balance the two, Life is a joy. Life is ALWAYS a bitter sweet symphony.

නලින් ද මැල් (Boman) said...

මම මාවම උදාහරණයක් හැටියට ගත්තොත්...මේ කියන අර්බුදයට මමත් මුහුණ දෙන කෙනෙක්. සමාජයේ දෘෂ්ඨි කෝණයෙන් ගත්තම් මම නිකමෙක්.
මොකද මම රස්සාවක් කරන්නේ නැහැ. නමුත් මම සතුටින් ජීවත් වෙන්නෙ..සහ ඒ සතුටට බාධා කරන් එකම මිම්ම වන්නේ මගේ අම්මා. ඇය මගෙන් බලාපොරොත්තු වන දේ. ඇය සහ මා අතර තිබෙන බැදීම නිසා මා වෙත එල්ල වන පීඩනය හැරුණූ කොට මට ලෝකයෙන් හෝ සමාජයෙන් එල්ල වන කිසිම ප්‍රහාරයක් කිසිම වැදගැම්මකට නැහැ.
නමුත් ඒ ආකරායෙන් දිවි ගෙවීම හරිම දුෂ්කරයි. එක් හරිම මානසික පීඩනයක්. මොකද මම තවම හරියටම මම යායුතු මාර්ගය කෙරෙහි එක සිතින් ඒකාග්‍ර වෙලා නැහැ.අල්පයක් උනත් බැදීම් තවම මට වද දෙනව..