Monday, 3 November 2008

ඊයේ හවස ... කසුරිගේ සංකල්පනා



ඊයේ හවස ඉර බහිනා හෝරාවේ
තරුමල් දෙකක් අහසේ පිපිලා තිබුනා
ඒ තරු එළිය යට ගී පද ලියනකොට
වලා පෙළක් විත් අහසම වට කෙරුවා

තනි තරුවක් ඉඳහිට අඳුරේ පෙනුනා......

~ කසුරි








ගත්කරු, කාව්‍ය රචක, ප්‍රවීන මාධ්‍ය වේදී කරුණාදාස සූරියාරච්චි මහතා විසින් ඉරිදා නිම්නයට ලියූ, කුඩා කවි සංකල්පනා මම එකතු කරන්න පුරුදු වුනේ බොහෝ කුඩා කාලයේ සිට, පස්සෙ කාලෙක පාසැල් මැහුම් පොතේ අලවලා තිබ්බ මැහුම් ටික ඉවත් කරලා, කවි ටික කපලා ඇලෙව්වා. ඒ කවි සියල්ල ලියැවී තිබුනේ ජායාරූපයක් ඇසුරු කොටගෙන, ඒ පොත නිතර කියවන එක හරිම ආශ්වාදජනකයි. හිතන්නට හිත යොමු කරවන අපූර්ව කවි සංකල්පනා රැසක් ඒ අතර තියෙනවා

මේ එයින් එකතු කරගත් තවත් කවි සංකල්පනාවක්


එගොඩ ගොඩේ ඉස්කෝලෙට යන කලට
වතූර කඩිත්තක් හමුවුනි අප සැමට
එගොඩ වෙන්ඩ වෙන මගකුත් නැති කලට
වතුර මැදින් පියමං කෙරුවයි ගොඩට

අකුරු උගෙන් පාසල හැර එන කලට
ගලන ගඟක් හමුවනු ඇත අපෙ පවට
සහතික මිටි ගණන් ඇති මුත් අප සැමට
තරණය කළ හැකිද ඒ ගඟ කිසිම විට

බලවන්තයෝ දත් පෙන්වති එගොඩ සිට
මැට්ටෝ පීන පීනා යති මෙගොඩ සිට
කිසිවිට නොහැක කඳුලැල්ලක පාවෙන්ට
ඒ දණ්ඩක් තනමු අත්වැල් එකතු කොට

~ කසුරි..

මගේ මතක තුල නිරන්තරයෙන් රැඳී තිබෙන කවි පද අතර කරුණාදාස සූරියාරච්චි මහතාගේ මේ කවි සංකල්පනා කොළමේ කවි බොහෝමයක් වෙත්.
ඉරිදා නිම්නයේ වටරවුම, තුලින් එතුමා කළ සමාජ සාධනයද අමතක කර නොහැකිය.
“හදවතට මුවා වෙන මතකයක්” “නෝමා සහ සෝමා”, “වැහි කඳුළ”, “වටරවුම”, “කසුරිගෙ කොලම”, “අපේ කාලයේ කුමාරිකාවකගේ කතාවක්”, “කන්ද පාමුල” සහ “වෑකන්දේ ගීතය” එතුමා විසින් රචිත පොත් සමහරකි.

දරුවන් බඩ සයින් වැලපෙති පාර දිගේ
කඳුලින් උපන් සුසුමන් හැම දොරක නැගේ
නුදුරින් වෙඩි හඬට මළවුන් හඬන යුගේ
අඳුරුයි සාමිනේ මුලු ලෝකයම මගේ

~කසුරි

කසුරි නමින් සැම හඳුනන සොඳුරුගත් කතුවරයා ගැන පළවූ පුවත් පත් සටහනක් මෙතැනීන් කියවන්න ( කැමති අයට )
කසුරි අන්ධකාර තාරකාව සහ මහාචාර්‍යවරු දෙන්නෙක්
කන්ද පාමුල සිට පැතිරෙන වෑකන්දේ ගීතය

එක් පුවත්පත් සටහනක, කසුරිගේ පොතක සඳහන් වූ වැකියක් සඳහන් වී තිබූනි.
”ලියන්නා කොච්චර කීවත් කියවන්නා ඒ සියල්ල තේරුම් ගන්නේ නැහැ. ඒක ලියන්නාගේ හෝ කියවන්නා ගේ වරදක් නෙවෙයි. දෙන්නගෙම වරදකුත් නෙමෙයි.
හැම විස්තරයකින්ම පස්සෙ පොඩි පටලැවිල්ලක් මතුවෙනවා. එහෙම පටලැවිල්ලක් ඉතිරි නොකරන සටහනකින් හෝ විස්තරයකින් ඇති වැඩකුත් නැහැ”
~ කසුරි
කොයි තරම් නම් ඇත්තද ? :D

9 comments:

kasun said...

කරුණාදාස සූරියආරච්චි මහතාගේ බොහෝ ලිපි මමත් පුංචි කලේ ඉදන් ආසාවෙන් කියවපු හා කියවන එවා.
කසුරිගේ කොලම ගැන කියනවා නම් පසුකාලීනව පලවූ ලිපි වල වූ ඒකාකාරි බව නිසා එය කියවන එක නම් අත් හැරියා.

සු෴ said...

මම නම් වැඩියම කි‍යවන්න කැමති වුණේ චන්ද්‍රසිරි‍ දොඩං‍ගොඩ නොහොත් චන්දො ගෙ ඒවා.. දිව‍යිනේ ඒ කාලෙ ගිය නවකතාත් හරිම ලස්සනයි... චන්‍දො ලිව්වා සංකල්පනා පෙළක් අපේ අක්කත් ඒවා කපලා පරණ දිනපොත්වල ඇලෙව්වා..තාමත් ගෙදර ලාච්චුවේ අලවපු නැති ටිකකුත් ඇති..දවසක් මං දැක්කා වෙබ් අඩවියක ඒක කොපි කළ කෙනෙක් තමන්ගේ නමින් පළ කරගෙන තියෙනවා.

මියගිය පෙම්වත කියලා ලිවු සංකල්පනා රාශියෙන් එකක්..

Haresh said...

මමත් කරුණාදාස සූරියආරච්චි මහතිමයාගේ ලිපි සහ කවි කියවල තියෙනව. හරිම සරලව අර්ථවත් බවක් මට ඒවයෙ දැනිල තියෙනව. ඒ වුණාට දැන් පත්තරයක් බැලෙන්නෙ කලාතුරකින්...

malee_msg said...

පුවත් කලාවේ හරිම හුරුපුරුදු නමක්...කවි ටිකත් අපුරුයි ... ස්තූතියි!

Bo said...

kasun , මලී, සූ , හරේශ් - ස්තූතියි, මට ලියන්න මහ කම්මැලියි අප්පා, එක දිගට වැඩ කරන ගමන් ලියන්න හිතන්න තියා හිතන්න පටන් ගන්නවත් බැරි තරම් වෙහෙසයි. අනේ මං රාජකාරි අඩු නිකමෙක් උනානම් මීට වඩා වෙලාව තියනවනේ සෞන්දර්‍යාත්මක රස්තියාදුවක් ගහන්න

සරත් ගුණතුංග said...

මගේ අවාසනාවකට මේ කිවිඳුන් ගැන මම දන්නෙ නැහැ. කියවන්න ආසයි. මම හැදුන කාලෙ හැටිය මට පුරුදු විමලරත්න කුමාරගම, පී බී අල්විස් පෙරේරා, ඉන්ද්‍රා කුමාරනායක ආදී ඉස්සර කොළඹ යුගයේ කවියන්.
ඉන්ද්‍රා කුමාරනායක සහ අල්විස් පෙරේරා ගෙදරට හොරෙන් අනුරාධපුර කච්චෙරියට ගිහින් බැන්දෙ. පස්සෙ කාලෙක ඒ බව ඉන්ද්‍ර කුමාරනායක මෙහෙම කිව්වා.
තොරතුරු නොදන්වා නෑමිතුරනට ගම
කච්චේරියට ගොස් ගල්කණු තිබෙන බිම
ලේකම් පොතේ ලියවා දෙපලකම නම
කවියා රැගත්තෙමි හිර බාරයට මම

බෝ ඔබටත් මේ වගේ ලස්සනට ක්වි ලියන්න පුලුවන් නේද?

Abithi Hulanga said...

බෝ, හැමදාම සවුන්දර්්‍යාත්මක තොරතුරුම
හුඟක් ලියැවෙන මේ වෙබ් පිටුව ඔබේ කවි වලින්
පිරෙන්නෙ කවද්ද....? ආ හැම දවසකම බලන්නේ්
හොයන්නේ් අළුත් කවියක්. කවි නැති උනාම හිස්
අතින් යනව මේ තොරතුරු ටික විතරක් කියවලා.
අවසානයේ් මං හිතුවා මෙහෙම පුංචි ඉල්ලීමක් කරන්න.

නලින් ද මැල් (Boman) said...

මමත් මෙතුමාගේ නිර්මාණ කලකට ඉහත කියවලා තියනවා. ඒවාගේ සුවිශේෂී ගතියකුත් මම දකිනව. බොහොම ස්තූතියි අක්කේ කවි වලට.

Bo said...

සරත් මාමා, පෙපේ අක්කා සහ නලින් මල්ලි, බොහොම ස්තූතියි ඔබ දැක්වූ ප්‍රතිචාර වලට,
කවි නම් ලියුවත් ජාලයේ පල නොකර සිටියේ ඊට වඩා හරවත් කවි කතා ලිවීම වැදගත්‍ යැයි සිතූ නිසා.