Sunday, 19 October 2008

සැදුනු සිත ඉවසයි දරයි.. මනස සියල්ලට පෙරටුවේ

සාමාන්‍යයෙන් ඕනේම සැත්කමකට පෙර එම සැත්කමේ ස්වභාවය සහ එහි , හොඳ සහ නරක ප්‍රතිඵල ගැන රෝගියා දැනුවත් කිරීම සිදුකරනවා. එහෙම කරලත් රෝගීන් ඇතැම්විට තමන්ට අවශ්‍ය ප්‍රතිඵල නොලැබුනු විට වෛද්‍යවරුන්ට දොස් කියනවා.
අපිට ඉගැන්වූ මහාචාර්‍යවරියක් තමන්ට සිදුවූ අකරතැබ්බයක් විස්තර කරමින් කියා සිටියේ, එක්තරා රෝගියෙක් ඇයට එරෙහිව නීති මාර්ගයට පිවිසීමට පවා තැත් කරමින් රෝහල් අධිකාරියට පැමිණිලි කර තිබුනේ, තමන්ව සැත්කමට භාජනය කරන විට වෛද්‍යතුමිය බොහෝ වෙහෙස මහන්සිව සිටිය බවක් කියමිනි. එනිසා සැත්කම අසාර්ථක වූ බවක් පවසමින් අවුරුදු ගාණක් මේ රෝගියා වන්දි ඉල්ලා නොයෙක් සංවිදාන ඔස්සේ පවා ඇයට කරදර කර තිබුනා. අවුරුදු ගණනාවක් තිස්සේ වරින් වර මෙලෙස තමන් පසු පස පන්නපු රෝගී කත අවසන මිය ගිහින් තිබුනා පිළිකාවකින්.

ඇය අවසානයේදී පැවසුවේ

" මේ රෝගියා නිසා මම අප්‍රමණ ලෙස කරදරකාරී අවස්ථාවන්ට මුහුණ දුන්නත්, මගේ රැකියාව පවා අහිමිවීමේ අවධානමට ලක් වුනත් අවසානයේ මගේ නිවැරදිබව සියලු අවස්ථාවල ඔප්පු වුනා.
මේ රෝගියා, පිළිකාවකින් පෙලෙන්නියක්. ඒවගේම ඉතා පහත් ආර්ථික මට්ටමක් හිමි තැනැත්තියක් , ජීවිතේ අපමණ දුක් ගැහැට විඳින ඇතැමුන් හට අනුන් පෙලීමෙන් සහනයක් ලැබෙනවා. තමන්ගේ කරදර අනුන් මත පැටවීමෙන්, තමන්ට සිදු වුන අකරතැබ්බ අනුන් නිසා සිදු වුන බව පැවසීමෙන් ඔවුන් ජීවිතයට සහනයක් ලබා ගන්නවා එනිසා ඇයට මෙවැනි දේවල් ඔස්සේ ජීවත් වෙන්න අරමුණක් ගොඩ නැගෙනවා. "


මහාචාර්‍යවරියගේ ඒ වචන සියල්ල මගේ සිත බොහෝ දුර සිතන්න යොමු කලා. එය කොයි තරම් ඇත්තක්ද කියලා මට හිතුනේ, හැම තිස්සෙම තමන්ට සිදු වුන දෑ, අනුන් නිසා සිදුවුන බව පෙන්වමින්, අනිත් අයට දෝස්මුර දමන අය මටත් නිතර මුණගැසී ඇති නිසාවෙනි. එදිනෙදා ජීවිත තුල අපටත් කොයි තරම් නම් මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වෙනවාද ?

"ඔයා නිසයි / අරයා නිසයි/ මෙයා නිසයි - මට මෙහෙම උනේ..." කියලා අපි උනත් කියන අවස්ථා කොයිතරම් තියෙනවාද?

තමන්ට අවාසි සහගත යමක් සිදුවුන කල්හී බැණ වැදීමත්, එතෙක් මිතුරුව සිටි සියල්ලන් හට දොස් නැගීමටත් මිනිසුන් පෙළඹෙන්නේ කෙසේද කියා මට හිතා ගන්නවත් බෑ.
මම කිසිවෙක්ට එල්ල නොකරන තරම්, බොහොම ද්චේෂ සහගත චෝදනාවක් එල්ල වුනහම, ඉස්සරනම් එක පාර කලබල වෙන හිත දැන්නම් ටිකක් neutral.

මේ මධ්‍යස්ත ස්වභාවය ගැන මට වඩාත් හොඳින් වටහලා දුන්නේ මගේ දෙමාපියන් සහ වැඩිහිටි පිරිස. ඒ වගේම මම ඉහත සඳහන් කල කතාව සහ බුදු දහමේ අපට ඉගැන්වෙන මනා දහම් කරුණු ඇතුලත් බුද්ධ චරිතය ආශ්‍රිත පුවත් මේ හැම එකක්ම ජීවිතයට අපි ළං කරගත යුතු දෑ වශයෙන් මට වැටහෙනවා.

"මුළු ලොවටම සෙත සෑදූ අප බුදුරජාණන් වහන්සේ වෙතත්, ගල් මුල් එල්ල කරපු පිරිස් හිටියානම්. අපට මොනවා නොවෙයිද ?"

හේම ජයන්ත කොළඹගේ අයියා ලියූ සුනාපරන්ත වැසියෝ බ්ලොග් සටහන මට මේවෙලාවේ ආයෙත් මතක් වෙනවා


ඊළඟට මතක් වෙන්නේ රඩ්‍යාඩ් කිප්ලින්ග් ගේ IF නැමැති කාව්‍යයේ පළමු පද පෙල
"ඔබ අවට සියලු දෙන තමන්ගේ හිස අවුල් කරගෙන එහි දොස් ඔබට පවරද්දී ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකිනම්..."

"The body is a wisdom tree - the mind a standing mirror bright
At all times diligently wipe it - and let no dust alight " ~ Shen Hsiu (verses from zen Buddhism)

ඔව්, එල්ලවන බාධක මම දකින්නේ, මගේ සිත පරික්ශාවට ලක් කරන, අවස්ථාවන් හැටියටයි. වඩා දුෂ්කර අවස්ථාවන් වලදී සිත නිරවුල්ව තබාගෙන නොනැවතී ඉදිරියට යාමට අවැසි ශක්තිය නිරතුරුව ලැබෙන්නේ එහෙයිනි.

ගොරව ගොරවා වැසි වැටෙයි
ඒත් මගෙ හිත නිශ්චලයි
මහ තදින් සුළඟත් හමයි
නිශ්චලයි සිත නිශ්චලයි

රුදුරු වදනින් මට තලයි
නේක ගර්ජන මට එවයි
ඒ කිසිත් මා නොම දකියි
සැදුනු සිත ඉවසයි දරයි !

බෝ

7 comments:

හේම ජයන්ත කොළඹගේ said...

මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා
සියල්ල මනස පෙරටු කරගෙනය.ඇලීම ගැටීම හෙවත් අභිඣා දෝමනස්සයන් හට ගන්නේ සිතේය.මේ ධර්මතාවයන් දෙකම විශ්වයේ කොහේවත් සැබැවින් නැත. ඇත්තේ හිතේය. හොද නරක නම් සාපේක්ෂ චෛතසිකයන් ඇත්තේද සිතේය.සැබැවින් කොහේවත් නැත. සැදුනු සිත ඉවසයි දරයි.ඔබ පවසන්නේ සතිපට්ඨානය ගැනයි.
එය සැබැවින්ම ශාන්තය ප්‍රනීතය. සත්තානං විසුද්ධියා (සත්ත්වයාගේ පිරිසිදුවීම පිණිසම)සිත සකස් කරගත යුතුය.එබේ සටහන අමිලය.නිමලය.
තෙරුවන් සරණයි.

Mahasen Bandara said...

Read through several of your posts and you sound so... different... for a med student - but it's in a good way.

Haresh said...

ජීවිතේ යථෘවන් වටහලා දෙන හොඳම ගුරුවරයා තමයි ජීවිතය. ඒක තුල මුහුණ දෙන්න වෙන දේවල් සිද්ධි විධියට සලකල අමතක නොකර ටිකක් හිතුවොත් උපන් දා ඉඳන් අපේ ඔළු ගෙඩි මල විකාර කරල තියෙන මලකඩ හෝදල අපට අළුත් දැනුවත් මිනිහෙක් වෙන්න පුළුවන්.

මම නිතර ගණුදෙනුකාර භවතුන් එක්ක ඇසුරු කරන කෙනෙක් විධියට මේ වගේ හිත කලබල වෙන අත්දැකීම් ගොඩකට මුහුණ දීලා තියෙනවා. ඒ හරහාම මම ඉවසීම හොඳින් ප්‍රගුණ කලා. ඒකෙන් හොඳක් මිස නරකක් නම් වෙලා නෑ. අනික තමා තුල නැති දේවල් හරහා හටගැණෙන ඉරිසියාව අනුන් වෙත විවිධ ක්‍රම වලින් එල්ල කරන අය නම් දැන් ඕන තරම් හම්බ වෙනව.

දැන් අපේ දරු පරපුරට රූපවාහිනියෙනුත් උගන්වන දේවල් අනුව ඉදිරියෙදි තවත් මේ වගේ විපරිත මිනිස්සු බිහි වෙයි.

malee_msg said...

අනේ මට ටයිප් කරන්න කම්මැලියි අක්කේ අනික කියන්න ඕනි දේවල් කලින් දෙන්නා කියලත් තියෙනවා වගේ...කවිය නම් පංකාදු පහයි අනේ..!

Priyankara Perera said...

තමන්ට මොකක් හරි කරගනන බෑරි උනේ වෙනකෙනෙක් හින්දා කියලා තමුන්ගෙ වෑරෑදි වහාගන්න එකනම් මහා ගොබ්බ කමක්. ඈයී දෙයීයනේ තමුන්ට මොලයක් කියලා දෙයක් තියනවනේ , හරිවෑරෑද්ද තොරගන්න.

අනිත් අය මොනවා කිව්වත් තමන් හරි නම් , කොන්ද කෙලින් තියාගෙන නියම පවෘරුශත්වයෙන් කටයුතු කරහම ඉවරනෙ !

මට නම් එවෙලාවට 84000 ට නගිනවා , හොද ලුනු ඈබුල් ඈතිව ටිකක් කතාකරාම හරි .

ඔයා ලියපු අද්හස් හෑමොම දෑනගත්තනම් හරි වටිනවා . . .

Sarathg said...

Just like any thing else there are two sides to the story. Did this professor explain to the patient in a way she can understand or not. Most doctors "medicalize' the problem and do not explain things well. My experience is even if you do a mistake, on a human level, if you explain it well to the patient, you are forgiven. I have seen this not in Sri Lanka but out side Sri Lanka. What is required is understanding the patient which is not seen today in the medical profession. They have no time to listen to the patient.
I am sorry to write this in English as it is very difficult to do it right now. But I will come in with Sinhala very soon.

kasun said...

" ..., ජීවිතේ අපමණ දුක් ගැහැට විඳින ඇතැමුන් හට අනුන් පෙලීමෙන් සහනයක් ලැබෙනවා. තමන්ගේ කරදර අනුන් මත පැටවීමෙන්, තමන්ට සිදු වුන අකරතැබ්බ අනුන් නිසා සිදු වුන බව පැවසීමෙන් ඔවුන් ජීවිතයට සහනයක් ලබා ගන්නවා එනිසා ඇයට මෙවැනි දේවල් ඔස්සේ ජීවත් වෙන්න අරමුණක් ගොඩ නැගෙනවා. "

that's true.