Wednesday, 24 September 2008

ඇතැම් යාළුවන්ගේ මහා කරුණාව

සාමාන්‍යයෙන් අපිට සමීප අපේ යාළුවන්ට අපිට කියන්න බැරි දෙයක් නෑ, ඕනෙම දෙයක් කියනවා, දුකක් උනත් සතුටක් උනත් කිසිම බයක් නැතුව අපි කියන්නේ, අපි දන්නවා ඒක එයාගෙන් පිට යන එකක් නෑ කියලා. යාළුවන් උනත් පෙන්වන්නේ, මම තරම් යාළුවෙක් නෑ මේ ලෝකේ කියලා. පණ දෙන්න කතාකරන්නේ.

ඒත් ඒ යාළුවම ඔවුන් අතරේ හිත් නොහොඳ වීමක් ඇතිවුන විගස තමන්ගේ මිතුරා හෝ මිතුරියගේ වැරදි සහ ජීවිතේ රහස් කියව කියව තැන තැන ඇවිදිනවානම්.... ඒකට මොකද කරන්නේ ?

"අරයා ඔයා ගැන අරෙහෙම කිව්වා "

"මෙයා මෙහෙමලූ අරයා කිව්වා "

"දන්නවද එයා එහෙම කෙනෙක්ලු "

මේ ටික නෙට් එකේ වගේම තත්‍ය ලෝකෙත් අපිට අහන්න දකින්න ලැබෙන සුලභ "ඕපා දූප" කියවීම් ටිකක්. තමන්ට අවාසි සහගත සියල්ල ඈත් කිරීමත්, එහෙම හිතෙන සියල්ල ගැන බොහොම නින්දිත විදිහට විවේචනය කිරීම පහත් මානසිකත්වයක් හිමි තිරිසන් ගති ලක්ෂණ විදහා පාන්නක් බව මොවුන්ට නොවැටහෙන එකයි පුදුමේ.

මේ සිදුවීම මගේ යහළුවෙක්ටත් සිදු වුනා. ඇගේ කලකට ඉහත යාළුවෙක් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සිත් නොහොඳ නෝක්කාඩුවක් නිසා විරසක වෙලා, ඒ මදිවට දැන් අර අනෙකාගේ ජීව දත්ත තොරතුරු සටහන හැමෝම එක්ක දිග ඇරගෙන කියවනවලු.
ඔන්න බලන්න හරියට යාළුවන් තෝරා බේරගෙන ආශ්‍රය නොකිරීමේ ඵල විපාක ඇස් පනාපිට පෙන්වන ලකුණු.

පුද්ගල ජීවිතයක් අඳුරෙන් අඳුරටම පත්කරන ප‍්‍රධානතම සාධකය පාපමිත‍්‍ර සේවනයයි කියලා බුදු දහමේ නොයෙක් තැන සඳහන් වෙනවා.
අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපාය සහාය යනුවෙන් ඔවුන් නම්කර ඇත.
මේ ගැන හරි හැටි වැටහීමක් ලබාගන්න මම මෙන්න මේ ලිපිය උපයෝගී කරගත්තා... දිනමිණ පුවත් පතෙන්.

............"මිතුරා සතු දේ කපටි කමින් පැහැර ගැනීම , විපතකදී බොහෝ දේ බලාපොරොත්තු වීම, තම ආරක්ෂාව හා වාසිය සඳහාම ඇසුරු කිරීම අඤ්ඤදත්ථුහර පවිටු මිතුරා ගේ ස්වභාවයයි.

වචනයෙන් පමණක් උදව් කරන දොලොවටම හානි කරන තේරුමක් නැති වචන කථා කරන මිතුරාට උදව්කළ යුතු අවස්ථාවේ මග හැරයාම, නැති බැරි කම කියාපාන, ගති පැවතුම් ඔහු ගේ ලක්‍ෂණයි.

අනුප්පියභාණි මිතුරා ගේ සිරිත වන්නේ මිතුරා ගේ හොඳ කටයුතු අනුමත නොකිරීමත් නරක කටයුතු අනුමත කිරීමත් ය. මිතුරා ඉදිරියේ ඔහුගේ ගුණකීම, නැති තැන දොස්කීම ඔහුගේ සිරිතය.

මත්පැන්, දුම්වැටි වලට හුරු කීරීම හා අවේලාවේ ගමන්බිමන් යාමට සහාය වී නොයෙක් කරදර වලට විපත්වලට පත්කිරීම අපාය සහාය මිතුරා ගේ ගති පැවතුම්ය. මෙබඳු පාපී අසත්පුරුෂ ඇසුර අයහපතට මිස යහපතට හේතු නොවේ.

වත්මන් සමාජය තුළ ද මෙවැනි පවිටු පුද්ගලයන්ගෙන් හිඟයක් නොමැත. අඳුරෙන් අඳුරට යන මේ පුද්ගලයා ආගම දහමට පි‍්‍රය නොකරයි. දුර්ලබව ලබාගත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ඔහුට හැඟීමක් නැත.

පාප මිත‍්‍ර සේවනය නිසා අනේකවිධ පාප කර්මයන් සිදු කොට අකාලයේ මිය ගොස් අවීචිය, පෙ‍්‍ර්ත ලෝකය වැනි මහ දුක් ඇති තැනක උපත ලබා කල්ප ගණන් අතරක් නැතිව මහත් දුක් ගොඩකට ගොදුරු වෙයි.

ඒ අඳුරු ජීවිතය ගත කරන පුද්ගලයාට කළ්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුර ලැබෙනවානම් ඒ ඇසුර නිසා තමන් කළ පාපකර්ම නිසා මෙවන් අඳුරු ජීවිතයකට පත් වූ බව ඔහු අවබෝධ කර ගනියි. එසේ අවබෝධ කර ගන්නා ඔහු පස් පව්, දස අකුසල් වලින් මිදී යහපත් කෙනෙකු බවට පත් වෙයි.. "........... (දිනමිණ පුවත් පතෙනි)

පසු සටහන : කෙනෙක්ට බැනලා , අවමන් කරලා කවදාවත් සිතේ සැනසිල්ලෙන් ඉන්න බැරි වග මේ මිනිස්සුන්ට ඔවූන්ගේ ජීවිතවලම තියෙන හැල හැප්පීම් සහ දුක් දෝමනස්ස තුලින් වැටහේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

මෙන්න අන්තිමට මේ ටිකත් කියවලා බලන්න.. උපුටා ගැනීම මම ලියපු "මගෙ පස්සෙන් එන්න" කථාවෙන්

~අප සමාජයේ ගැහැණු පිරිමි යහළුකම් ,පෙම් සබඳතා වලට පමණක් සීමා කොට සිතන කල් හි , මෙවැනි දේවල් ඇසීම අරුමයක් නොවන වග අබා හොඳින්ම දනී.

”මම එයාලගෙ සමාජ සේවා වැඩ වලට එහෙම උදව් වෙනවා. ආකල්ප සහ සමාජ දැකීම් අතින් අපි ගොඩක් එක සමානයි”
”ඒකත් එහෙමද, මට කිව්වෙ නම් ඔයාගෙ යාළුවෙක් අබා, කොයිකටත් ටිකක් පරිස්සමෙන්, නිකන් කතාවක් අහ ගන්න ඕනෙ නැහැනේ”

” නන්දි , එහෙම හිතුවොත් වනගත වෙලා ඉන්න තමයි වෙන්නේ, මේ රටේ වැඩක් කරන ඕනෙම කෙනෙක්ට කතාවක් හදනවා, ඒ තමයි අපෙ සමහරක් මිනිස්සුන්ගේ පහත් මානසිකත්වයෙ තරම, එහෙම කියලා එකට වැඩ කරන එක නතර කරන්න බැහැනෙ”

”ඔව් ඒකනම් ඇත්ත. ඔය කියන කවුරුත් සියයට සීයක් අති උත්තම පාරිශුද්ධ චරිත නෙමෙයිනේ, ඔහොම හැමෝටම කථා කියන්නේ, නින්දා කරන්නෙත් ජීවිතේ ලොකු අඩුවක් තියෙන අය, එ්ක මම අත් දැකීමෙන්ම දන්නවා”

”අන්න හරි නන්දි, එහෙම අය එයාලගේ ජීවිතෙත් අවුල් කරගෙන, ඒ අවුල් මදිවට, තවත් පව් පුරවගන්නවා අනුන්ට වින කරන්න ගිහින්, ඔයා හොඳට බලන්න, ගොඩක් ඔය අනිත් අයගෙ පුද්ගලික ජීවිත ගැන නොයෙක් දේවල් පතුරන්නෙ තමන්ගේ ජීවිත අවුල් වියවුල් වෙච්චි කට්ටිය” එසේ කී අබා නැවත අත් ඔරලෝසුව දෙස බැලූවාය.

”ඔව් ඔව් , ඔන්න හිතන්නකෝ, අරයා මෙහෙමයි, එයා නරකයී කියලා කියා ගන්න උදවිය තමයි ගිනි බෝම්බ, සමහර විට මගෙ යාළුවන්ටම මා ගැන වැරදි කියලා තියෙන අවස්ථා බොහොමයක් තියෙනවා අබා”

ඉතින් බලන්න මේ වගේ පාපී මිනිස්සු 1000 එක්ක ඉන්නවට වඩා සත්‍යවාදී මානවහිතකාමී එක මනුස්සයෙක්ගේ ඇසුර කොයි තරම්නම් සොඳුරු ද , හිතකර ද , ළඟ ද අපිට ?

8 comments:

haresh said...

මේ ගැනම නේද ඔයා කලිනුත් කතා කලේ? මේක වර්තමාන ඇත්තක්. හැමෝම වගේ දක්වන්නෙ බොරු මිතුරු බවක්. හැමෝටම තියෙන්නෙ ලණු සම්බන්ධ ටිකක්. ඕන වෙලාවක ලණුව කපල ඒ ලණුවෙන්ම අනෙකාට පහර දෙන්න පුළුවන්. තමන්ගෙ උවමනාව තමයි හැමදේටම මුල. ඒ නිසා මිතුරන් තෝරාගැනීමේදී පරෙස්සම් වෙන එක හොඳයි. ඇත්තම කතාව තමයි අපි කාටවත් මේකෙන් ගැලවෙන්න බැරි වීම. ඒත් අපි හොඳයි නම් අපට පුළුවන් මිතුරන් තරහ වුණත් නැතත් එයාලට හිත විවෘත කරල තියන්න.

malee_msg said...

ඔය තත්වෙට මමත් මුණ දීලා තියනවා...සමහර වෙලාවට එක යාළුවෙක් ඇවිත් තවත් යාළුවෙක් ගැන වැරදී මට අහන්න ඕන උනත් නොවුනත් කියන අවස්ථා ඒ වෙලාවට මධ්‍යස්තව අහගෙන ඉන්නවට වඩා වෙන කරන්න දෙයක් නෑ මං හිතන්නේ...අපි අතර තාමත් වැඩි පුර ඉන්නේ තිරිසන් සිතුවිලි හිත ඇතුලේ ‍තියාගෙන සිල්‍ රෙදි පොරවන් ඉන්න අය...ඒ වගේ ම ගොඩක් අය අපිට ලං වෙන්නේ අපේන් වැඩක් කරව ගන්න නැත්නම් අපිව පාවිච්චි කරන්න...ඒත් අපිට ගැලවීමක් නෑ...කරන්න තියෙන්නේ හරේශ් කියනවා ව‍ගේ හිත විවෘත කර තබා ගැනීම...කැමති අය එන්න කැමති අය යන්න නමුත් අපේ දේවල් රැගෙන නොයන්න‍...

Boman said...

මමත් සමීපතමයන් කියල හිතෙන (නෙට් හා ඉන් පිටත) මිතුරන්ට මයග් පෞද්ගලික දේවල් උනත් කියල තියන අවස්තා තියනව.ඒ කතා පසුකාලෙකදි අතිශයෝක්තියට නැගීම සහ විකෘති වීම් නම් එමට සිදුඋනා.ඒවා‍නිසා සැලුන අවස්තා තිබ්බා.

නමුත් මෑතක සිටන් මම හිතන දේ තමයි මම ඇත්තටම අවංක විදිහට ඉන්නවානම් තව දුරටත් අනෙකාගේ ඇස් දිහා කටවල් දිහා බලල මට මාව හොයන්න ඕනෙ නෑ කියන එක.එහෙම කරන එකෙන් වෙන්නෙ මගේ සතුට නැතිවෙන එකයි.

කෙසේ වෙතත් දැන්නම් මිතුරු සම්බන්දතා මහ විකාර වෙලා තියෙන්නෙ. එක්කො කෙනෙක්ව ආශ්‍රය කරන්නෙ තමන්ව ප්‍රමෝට් කරගන්න. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයව පාරුවක් කරගන්න.කොහොම උනත් ඉතින් ඒ අය පවු කියල තමයි කියන්න වෙන්නෙ. මොකද හොද මිතුරු ඇසුරක් කියන්නෙ හිතට දැනෙන,ශක්තියක් වෙන දෙයක්..ඒ දේ එයාලට විදින්න වෙන්නෙ නැහැ.

Bo said...

හරේශ් - හ්ම්... එක වගේ අදහස් ගොඩක් ලියවෙනවා වගේ බ්ලොග් එකේ මගෙ අතින් ඒක ගැන සමාවෙන්න, මම ගොඩක් මානව සම්බන්දතා ගැන භෞතික මට්ටමෙන් එහා ගිය අද්‍යාත්මික බවක් දකින්න කැමතියි, ඒත් බොහොමයක් පිරිස් අනෙකාව ආශ්‍රය කරන්නේ තමන්ට ලබා ගන්න තියෙන දේවල් පිළිබඳ සැලකිල්ලෙන්ම විතරයි. ඔයා කියනවා වගේ හිත විවෘතව තියා ගන්න එක හොඳයි වගේ

මලී - ඔව් ඇත්ත නංගී, පාවිච්චි කරන්න පමණක් මිතුරු වන පිරිස් බොහෝමයක් ගැන විශාල අත්දැකීම් රාශියක් අපි හැමෝටම වගේ තියෙනවා. හිත් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න එක හරිම අමාරුයි. මේවා පොදු අත්දැකීම් නේද

Bo said...

බෝමන් - ඔව්, ගඟෙන් එගොඩ වෙනකම් life jacket එකක් වගේ අනෙක් අයව පාවිච්චියට ගන්න පිරිස් ඕනෑ තරම්, ඔයා කියනවා වගේ ඒ අයගේ කටවල් ඇස් දිහා බලාගෙන නො ඉඳ , අපේ වැඩක් බලා ගන්න එකෙන්, ඇත්තටම හිත් රිදීම් අඩු වෙන්න පුළුවන්. ඒක හරි.
ඔයාලගේ අදහස් වලින් ජීවිතේට එකතු කරගන්න බොහෝ දේ ලියවිලා තිබුනා

තුන්දෙනාටම ගොඩක් පිං, ස්තූතියි..

සම්පත් බංඩාර said...

මම බෝගෙ blog අඩවියේ සටහනක් යොදන පළමු අවස්ථාව කීප වථාවක් ම කියවල රසවින්දත් යමක් ලියල යන්න ‍තරම් නිදහසක් හම්බුනේ දැන්..මමත් දන්න දෙයක් තමා අපි‍ට ගොඩක් සමීපයෙන්ම ඉදල අපිව අපිටත් වඩා දන්න අයටත් වඩා නියම මිත්රයො හරියට ගඟක් ව‍ගේ අපිට ඕනෙ විදියට ගලන්න දීල ඈතට වෙලා බලන් ඉන්නව..එයාලට අපේ කුණු ඕනෙ නෑ...දියුණුව දැකල රහසින් සතුටු වෙනව පරාජය දැකල රහසින් දුක්වෙනව...ඒව පෙන්නල ලකුණු ගන්න තරම් වත් එයාල ප්රිය නෑ...හරියට අපේ හරේ කියනව වගේ පිහාටුවක් වගේ සැහැල්ලු මිත්රත්වයක් තමා වටින්නෙ...හැබයි මම හිත්න්නෙ දැන් මිත්රත්වයත් ලේබල් ගහල ටින කරන කාලයක්‍ මේක...ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනෙ..

kasun said...

වර්තමානය වන විට මිනිස් සම්බන්ධතා බොහෝ විට දෙබිඩි ස්භාවයක් අරගෙන. මිනිසුන් තවකෙකු ආශුය කරන්නේ අවංකවම නොවෙයි. සියල්ල ආත්මාර්ථකාමී හා පටු ස්භාවයකිනුයි තීරණය වෙන්නේ. සමාජ සම්බන්ධතා මහ නිහීන විදියට විකෘති වෙලා. ඒත් මේ තුලත් තවමත් යහපත් දේත්, ආත්මාර්ථයෙන් තොර මිත්‍රත්වයත් දුරස්තර දේ නොවෙයි. (සැම විටම හා සැම කෙනෙකු තුලම නොවුනත්)
ඒ නිසා තමයි කෙළවරක් නැති කලකිරීම් මැදත් අපි බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්නේ.

Priyankara Perera said...

කොහොමත් මිනිසා කියන්නෙ සමජශිලි සත්වයෙක්නෙ . . .
මිනිස් ගහනය් තුල මිනිසා ජ්වත් වෙද්දි සබදතා අතිකරගන්න වෙන්නවා.

මෙ වෙලවට එන මුලික ගටලුව අපිට එ පුද්ගලයා සම්පුර්නයෙන්ම අවභොද කරගන්න බෑරිකම නේද ?

මෙ ව්දිහට ගොඩනෑගුනු යාලුකම කෙට්කලින හො දිගු කලින වෙන්න පුලුවන් ,
පන උනත් උබට මම දෙන්නම් කියල අතිවුනු මෙ යාලුකම පලුදුවෙලා යන්න හෙතුව බොහොම සුලු කාරන්නාවක් වෙන්න අවස්තාත් තියෙන්න පුලුවන්, එහෙම උනම යලුකම කෙල්ලින්ම හතුරු කමකට පෙරලෙන්න පුලුවන් නෙ , ඉට පස්සෙ තමන්ගෙ යලුවා විනාසකරනකම් අනිකට ඉවසිල්ලක් නෑනෙ,

මම හිතන විදිහට සෑබෑ යලුවෙක් හොයාගන්න ටික කාලයක් යනවා
සමහාර ව්ට අවු. 5 විතර යන්නත් පුලුවන් , නමුත් එහෙම අති වෙන සබදතාව සෑහෙන්න කාලයක් පවතිවි,

සමහර යාලුවො බොහො වෙලා වට යාලුකම් පවත්වගන්නෙ තමගෙ වසියට වෙන්න අවස්තා ඕනතරම් මට හම්බවෙලා තියනවා , හෑබයි එ අයගෙ හසිරිමෙන් එ බව හදුනගන්න පුලුව්න් , එ වෙලවට අතේ දුරින් එ අයව අශ්‍රය කරපුවහම හරි කියලා මට හිතෙනව...