Saturday, 20 September 2008

මගේ තැන මට පෙන්වන...

ජීවිතේ අපිට හමුවන බොහෝ දෙනා අපට නොදැනිම අපෙන් වෙන්වී ගිහිං ඒක වෙන්නේ ඉබේම හරි අපේ නොසැලකීම නිසා හරි, එහෙමත් නැත්නම් අනෙක් අයගේ නොසැලකීම් නිසා. හිත් බිඳින අයත්, හිත් හදන අයත් අතර ජීවත්වෙනකොට බොහෝ ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිදුවීම අරුමයක් නොවෙන බව මට වැටහුනත්, ඒ නිසා ඇතිවන විරසකවීම්, හිත් රිදීම් , දුරස් වීම් වලට පැලස්තර දමන්න, විසඳුම් සොයන්න ඉස්සරනම් ගොඩාක් වෙහෙසුනා.

ඒත් යන ගමනේ තියෙන වෙහෙසකර බව නිසාම කාලය විසින් එවැනි දේවලට විසඳුම් ගෙනේවි කියලා මම නිහඩ වෙනවා. මම හිතන්නේ, අපට අවශ්‍ය , අපව අවශ්‍ය යම් කෙනෙක් ඉන්නවානම් ඒ අය අපෙන් දුරස් වෙන එකක් නෑ කොයි තරම් ගැටලුකාරී තත්වයන් ඇති වුනත්.


නේක බස් උන් දොඩන - මම ඈත යැයි පෙනෙන
හුදෙකලා හිස් අහස - නිතර හිත නෙත ගැටෙන
අතීතය මතකය - කවි පබැඳුමෙන් ගතවුන
මුලින් සිඳ අත් හල - නැවත ඒ දෙස නොබලන

නුඹ දෙදෙන සපැමිණ - යලිඳු මා කැඳවන
ඇවිද ගිය දුර දිග - මං කෙසේ විමසන
සහෝදර බැම්මෙන් - මිදී යන්නට නොම දෙන
සෙනේහය ඇයි තව - මට මගේ තැන පෙන්වන

දොඩන්නට රිස්සේ - හැකිද නොදනිමි තවම
කියන්නට බෝ දේ - හිතේ තෙරපෙන තරම

දකින්නට ඇත්තේ - නිමක් නැති භව දුකම

හිඳින්නම් මෙලෙසේ - යළිඳු අපි හමුවෙන තුරුම

© බෝ සමරතුංග


(ජායා රූපය ,සොයා ගත්තේ අන්තර්ජාලයෙනි ) මෙහි දැක්වෙන "ඔබ දෙදෙන .. අයියා කෙනෙක් සහ අක්කා කෙනෙකි.

7 comments:

Anandawardhana said...

හ්ම්...

Boman said...

අපව අවශ්‍ය යම් කෙනෙක් ඉන්නවනම් ඒ අය අපෙන් දුරස් වන එකක් නැහැ කොයි තරම් ගැටලුකාරී තත්වයන් ඇති උනත්

ඇත්ත අක්කේ. මම අත්දැකීමෙන් දන්න දෙයක් ඕක. හිත් රිදීම් විරසකවීම් ඇති උනත් පහුවෙලා හෝ තම තමන්ගේ දුර්වලකම් සහ විරසකවීම් ඇතිවන්නට හේතු අවබෝධ කරගන්නට තරම් අපි අපි නිරහංකාර වෙනවානම් අන්න ඒ බැදීම් හරි ශක්තිමත්.

කවියත් හරි අගෙයි. :)

malee_msg said...

ගතින් ලග නැති උනත් සිතින් හැමදාමත් බැදීම් සදාකාලිකව පවතිනවා කියන එකයි ම‍ගේ නම් අදහස...මොකද මම කෙනෙක් මගෙන් වෙන් උනාම ‍ආයේ එයාව නිතර මුණගැහෙන්න කොල් කරන්න ව‍ගේ වැඩ කරන්නේ නෑ..මට කම්මැලි ඒවට...එහෙම උනත් එයාලව මම කොයි වෙලේවත් අමතක කරන්නේ නෑ...මගේ මතකය හා සිතුවිලි අතර හැම වෙලේම රැදෙනවා!රදවා තියා ගන්නවා

හේම ජයන්ත කොළඹගේ said...

හිතාදර නංගියේ ඔබ සිතයි බෝ දුර
රැදෙන්නට ඇත්තේ මෙතනමයි මේ සසර
කරන්නට ඇත්තේ දුක අවබෝධ කර
තරණය කරන්නට ගිනියම් මේ කතර

දකින්නට ඇත්තේ නිමක් නැති භව දුකම
ඔබ පැවසූ වදන් පිළිගනිමි මුදුනින්ම
දුක ගැන කියා දෙන කලන මිතුරෙක් ලෙසම
ඔබට දිරි වඩන්නම් ලියන ලෙස දිගටම

haresh said...

අපට යම් කෙනෙක්ව අවශ්‍ය වෙන්නේ අපේ අවශ්‍යතාවයක් වෙනුවෙන් නේද කියන එක ගැන මම සෑහෙන්න කල්පනා කරල තියෙනවා. මම මගේ අවශ්‍යතා කෙසේ වෙතත් අනිත් අයගෙ අවශ්‍යතා වෙනුවෙන් යම් යම් අයට ලං වෙලා තියෙනවා. මට කිසිම දේකට එයාල අවශ්‍ය නෑ. නමුත් එයාලට මාව ඕන නිසා. එයාලට මාව පාවිච්චි කරන්න දීල මම මගේ පාඩුවේ ඉඳල තියෙනව.

දැන් තියෙන මරිසි සම්බන්ධ තුල සැබෑ මිනිස් සබැඳියාවක් හොයාගන්නත් අමාරුයි. නමුත් නිතර නිතර ඇස නොගැටුනත්, කතා නොකලත් කවදාක හරි හමු වුණොත් ආයෙමත් වැළඳගන්න පුළුවන් සම්බන්ධත් තියෙනව.

Bo said...

බෝමන්, හරේශ්, මලී සහ හේම අයියා -ගොඩාක් ස්තූතියි අදහස් එකතු කරීමට. ඇත්ත ඔබ සැම කියන එක හරි, අපි අපේ මිනිස්කම් නොවෙනස්ව පවත්වාගෙන යන එක වටිනවා

හරේශ් - ඇත්ත මල්ලි, දැන් තියෙන්නෙ බොහොම භෞතිකමය සම්බන්දතා, ඒවා තුල මතුපිටින් දලුලන සෙනෙහෙවන්තකමක් මිසක් ගැඹුරින් දිවයන සහෝදරකමක් හෝ මිනිස්කමක් නැති තරම්

හේම අයියා - කවි දෙක නම් ඉස්තරම්, සසර මග නිම කරන ලකුණු දැකගන්න බුදු දහම මහත් පිටිවහලක්. දුක අපව දුකට පත් කර හෙම්බත් කරනව ජීවත් වීම වෙහෙසක්කර කරනවා. ඉතින් මේ දුක අවබෝද කරගන්ට පුළුවන් තරම් උත්සහ කරනවා,එය නැතිකරන මග දකින්න තමයි අපී හැමෝගෙම බලාපොරොත්තුව.

Bo said...

ආවා - කියෙව්ව බව දැක්කම සතුටුයි. ගොඩක් ස්තූතියි