Friday, 19 September 2008

කවි කථා - හිතක් නැති උනෙන්...


සංවාද ස්වරූපී කාව්‍ය රචනා මා හට කියවන්න ලැබුනේ කුඩා කල සිටමය. පළමුවෙන්ම කියවන්න ලැබූ කවි කතන්දර පොත, සාගර පළන්සූරිය මහතා විසින් රචිත සුදෝ සුදු කවි පොතයි. අකුරු කියවන්න බැරි බාල කාලෙ අම්මා තමයි මුලින්ම ඒ පොතේ කවි තාලෙට ගායනා කර ඒ කවි වල තේරුම කියලා දුන්නේ. කවියෙන් කථාවක්ම ලියන්න තවම මට බැරි උනත්, ජීවිත අත්දැකීම් අතරින් අත් දුටු සංසිද්ධියක් ඔස්සේ මෙසේ කවි පද ගොඩ නැගුනේ, පාඩම් අතර තුර ලද නිමේශයේ. (ලිව්වේ නම් ගිය අවුරුද්දේ , යුනිකේත පෙනෙන්නේ නැති අයට බලන්නත් එක්කම කවිය රූපමය ආකෘතියෙන් පළ කලා)

වෙද දියණී
දහවල උදේ එනවිට ලබැඳියන් රැස

නුඹ බල බලා හිටියා හිස් අහස දෙස
ගිලන් නුඹේ ඇඳ අසලට වෙදුන් මිස
වෙන කවුරුවත් නාවේ ඇයි කිසිම දින

රෝගී කත
සැමියා මලේ අලිමංකඩ සටන් වැද
දරුවන් නැතත් නොසිතුව අන් කෙනෙක් ගැන
හිමි පෙම සිහි කරන් සිටියා බැතින් තද
ආ මග දුකයි මරණය සැපතකී මට

වෙද දියණී :
යුද්ධය දුකක් කොයි කාටත් එය උරුම
අම්මේ නුඹේ දුක මට දැනෙනව බොහොම
රෝ දුක් මරණ හැම මැද නුඹෙ ඉවසීම
සිත සවි කරයි නිබඳව තව හැමදාම

රෝගී කත :
බෙහෙත් එපා මට මරණය දුර කරන
සෙනෙත් එපා අපුලයි හදවත් රකින
හිමියන් ගිය දිහා යන්නට ඉක්මණින
දියණිය නුඹේ ඔසු දිය මට නොදුන් මැන

වෙද දියණී
මේකත් වයසක්ද මිය පරලොව යන්ට
මරණය හිත හිතා දුක වැඩි කරගන්ට
අප මෙහි ඉන්නෙ නුඹ පන රඳවාගන්ට
වෙදකම් මොටද බැරිනම් නුඹ රැකගන්ට

රෝගී කත
හිතක් නැති උනෙන් තුරුලට උණුසුමට
ගිලන් හදවතින් මිදෙනට දෙන්න මට
දෙනෙත් කෙවෙණි තෙත් උනි කඳුලක රසට
නැකත් නොමැත නොහැකිය කල් බලන්නට

වෙද දියණී
විදුලි සැර දුනිමි හදවද ගැහෙන්නට
හැමම යුහුසුළුය නුඹ පණ දරන්නට
තව කල් නොවේ නුඹ මරණය දකින්නට
මම වැරදිදෝ අම්මේ යළි සිතුනි මට

බෝ සමරතුංග

10 comments:

Constantin Demiris said...

One word.....awesome!

හේම ජයන්ත කොළඹගේ said...

අනුභූතියට මේ ආකෘතිය මනාව ගැලපේ.සතර බ්‍රහ්ම විවරණය වන මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා ගලන සිතක් අසරණ රෝගියෙක් සුවපත් කරන්නට ගන්නා වෑයමත්,හම් සංස්කාර ධර්ම වල තිබෙන්නාවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ස්වභාවයද
ඔබ ඉස්මතු කැර ඇති අයුරු ප්‍රශංසනීයයි.

Bo said...

thanks demiris

හේම ජයන්ත කොළඹගේ අයියා - ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට. කවියකින් කියන්න පුළුවන් දේ බොහෝමයි.ඔබේ අදහස් මා ඉතා අගය කොට සලකනවා

malee_msg said...

හරිම අපුරුයි බෝ අක්කේ..ඔයාගේ ජිවිතේ නම් මේ වගේ සිද්ධි වලට ඇත්තටම මුණ දීලා ඇති හෝ මුණ දෙන්න වෙයි නේද? මමත් පුංචි කාලේ සුදෝ සුදු කියවලා තියෙනවා...

ඔයාගේ කවිය ලස්සනයි කියලා මම අමුතුවෙන් කියන්න ඕනි නෑ...ඒක කොහොමත් එහෙම තමයි..හැබැයි මරණය ගැන මම දකින්නේ පොඩ්ඩක් වෙනස් විදියට...කවුරු මොනවා කිව්වත් මැරෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් එයාට මැරෙන්න දෙන්න ඕනි අප්පා..ජිවත් වෙන්න ආසාවෙන් ඉන්න අයට ජිවත් වෙන්න දෙන්න ඕනා...කවුරු හරි සියදිවි නසා ගන්නවා නම් මම ඒකට අකමැති නෑ...ඒ සමහර විට මට පොඩ්ඩක් පිස්සු හෝ වෙන විකාරයක් නිසා වෙන්න ඇති
අනේ සමාවෙන්න ඔයාගේ සටහන මගේ මලවිකාර කියවන්න යොදා ගත්තට

Bo said...

මලී නංගී, එහෙම ලිව්වට කමක් නෑ, ඕනෙම දෙයක් ලියන්න, ඒවා විකාර නෙමෙයි, අපි එකිනෙකාගේ අදහස් වෙනස් ඒක නිසයි මේ ලෝකේ සුන්දර වෙන්නෙත්.දැන් කරන වෘත්තීය සහ එකතු කරගත් සාරදර්ම නීති රීති නිසා ඇත්තටම ජීවිතයක වටිනාකම දැනෙනවා. මැරෙන එක මෝඩකමක්, ජීවත්වීමයි හපන්කම.ඒත් එක්කම ඔයා කියනවා වගේ, ජීවිතේ අයිතිය තියෙන්නේ ඒ ඒ අයටම නේද කියලත් හිතෙනවා, ඒත් සමාජ ආචාර නීති රීතී එක්ක බලනකොට එහෙම හිතන්නත් බෑ වගේ.

Boman said...

හරිම අගෙයි අක්කේ.
නොයෙක් ආරේ කවි ලිවීමට ඔබට ඇත්තේ සුවිශේෂී දස්කමක්. කියවන් යද්දී ඒ මව සහ වෙද දියණියගේ සිත්තම් පෙළක් අප මනසේ ඇදී යන්නට තරම් හොදින් ඔබ වදන් හසුරුවලා තිබෙනවා.

haresh said...

මිස්ටර් බෝ කිව්ව වගේ මේ වදන් හැසිරවීම නම් හරිම අපූරුයි. මම ඇත්තටම මේ සයිබර් අවකාශයේ දකින්නෙම නිසඳැස් ආකාර කවි. ශබ්ද ගැලපීම් වලින් ලබන්නෙ වෙනම වින්දනයක්. මේ වගේ කවියක් ලියද්දි ඇත්තටම අමාරුයි වෙනම දෙයක් ගැනත් හිතන්න ඕන නිසා. ඒ අතින් බැලුවම කවිය උපරිමයි...

හික් හික්... මලී එක්ක තර්ක නැත. ;) ඇත්තටම කෙනෙක්ට මැරෙන්න ඕන කිව්වොත් ඔයාල අසරණ වෙනව ඇති නේද මිස් බෝ. ඔයාල කරන්නෙ මරණය ඈත් කිරීම නිසා. ඒත් මරණයම කෙනෙක්ට ඔසුවක් වෙන්න බැරිද?

Bo said...

haresh ආ මේකත් කියන්න ඕනා, මම නම් කැමතිම තාලෙට කවි ලියන්න, පොඩි කාලෙ ඉඳන් පුරුදු උනේ එහෙමයි. මට කියා දුන්නේ නිසඳැස් වලට වඩා සඳැස් කවි ලියන එකයි හපන්කම කියලා,ම්... ආ තව දෙපස එළිසමය තියලා ලියන කවි, ඒවානම් ඉස්තරම්, මම කවි හැටියට කියවන්න කැමතිම තාලෙට ලියවෙන කවි, ඒවා ටක් ගාලා මතකෙ හිටිනවා.

Bo said...

haresh ආ මේකත් කියන්න ඕනා,ඔයා කියන කතාව හරි මල්ලී,තාලෙට ලියන කවි වල අමුතු සුන්දරත්වයක් දකිනවා.
මම නම් කැමතිම තාලෙට කවි ලියන්න, පොඩි කාලෙ ඉඳන් පුරුදු උනේ එහෙමයි. මට කියා දුන්නේ නිසඳැස් වලට වඩා සඳැස් කවි ලියන එකයි හපන්කම කියලා,ම්... ආ තව දෙපස එළිසමය තියලා ලියන කවි, ඒවානම් ඉස්තරම්, මම කවි හැටියට කියවන්න කැමතිම තාලෙට ලියවෙන කවි, ඒවා ටක් ගාලා මතකෙ හිටිනවා.

situvili said...

සිත දුක් වුනා ඔබේ එය කවි කියවා
ගත සැනහුනා එහි ඇති අදහස් දැකලා
දෑසෙන් උනපු කදුළු දෙකට සමු දීලා
මැවුනු චිත්‍රේ මා හද එහි ගිලන් වෙලා

සිතේ උපන් ඔබේ ඔය අදහස් දැකලා
ඔබ වෙදදුරෙක් දෝ කවියෙක් දෝ සිතුනා
දමමි මගේ ප්‍රතිචාරේ පොඩි කවියෙන්මා
කිමද ඔබට තරම් කවි සිත් මට නැති හින්දා

:)