Saturday, 13 September 2008

පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට


ආවේගයෙන් කිසිවක් කළ යුතු නොවේ, ටිකක් සැරට ලියෑවුනු කවි ටිකක් හම්බුනා, මගේ මතක කවි පොතේ තිබිලා. මේවා මම ලිව්වෙ කාටද මොනවටද කොහොම අවස්ථාවකදීද කියලා මතක නැහැ, අමතක වුනු බොහෝ දේ ගොන්නට එයත් එකතු වෙනු ඇත, ඒකට හේතුව දවසක් මට උගන්නපු ප්රොෆෙසර් කෙනෙක්ගෙනුත් ඇසුවා, එයා කිව්වෙනම් අමතක වෙන එක මතකයට සුභ දායකයි කියලා, මොකද අපේ මොළෙත් පරිගණක වල තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් වගේලු, මතකය පිරෙන්න පිරෙන්න අනවශ්ය දේවල් මකලා දමනවලු, අළුත් දේවල් ගබඩා කරගන්න. ඒත් අපිට ඕනෙ වෙලාවට, අනවශ්‍ය දේවල් සිතින් මකා අයින් කරගන්න පුළුවන්නම්. ඒ කියන්නේ හිත් රිදීම්, තැලීම් විරසක වීම්, අනුන්ගේ නුගුණ වගේ මතකෙට නැගෙන දේවල් අයින් කරන්න පුළුවන්නම්. මේ ලෝකේ මීටත් වඩා සුන්දර වෙනු ඇත.

පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට.... කවි

නැතිවාදම් බැණ අඩ ගා නෑ කිසි වැඩකට
පුරසාරම් දොඩ දොඩ කොතෙකුත් කෑගෑවට
හරිකම් කරනා මිනිසුන් ඉන්නා තැනකට
බොරුකම් පිරි හොර දෙටුවන් එන්නෑ කිසිවිට

නවතාපන් කරනා කෙනෙහිළි හැමෙකාහට
කරවාපන් හරි දේ මතු ලොව දියුණුවකට
දල්වාපන් හිත ඇතුලේ එළියක් අනෙකට
පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට

දෙනවානම් දුන් දේ ගැන නොකියන් මැසිවිලි
හිත ඇතුලෙන් හිනහවෙයන් විසිකර කුණු කිලි
පොරවාගනු කරුණාවෙන් පෙඟවු සළු පිලි
මෙත් මග වේ හැමදාමත් දිවියට කල එළි

අනුන්ගේ නරක අල්ලා විසිකරනු
හොඳ හොය හොය එකතු කරල ලඟට ගනු
තියනා දේ හැම සමගින් බෙදා ගනු
අටලෝදම ලොව දැනගෙන කල් අරිනු

ආවේගශීලී වීම නම් එතරම් හොඳ නැහැ නමුත් කවි නම් ලියවෙනවා එතකොට...

බෝ සමරතුංග ©

12 comments:

haresh said...

ආවේගයත් හැඟීමක්නේ. ඒක හරහාත් නිර්මාණශීලී ප්‍රවේශයක් ගැනීම තමයි කලාකරුවෙක්ගෙ ගතිය. මම හිතන්නෙ ඕනම කලාකරුවෙක් ඒ වගේ නේද? තමන්ට දැණෙන හැඟීම නිර්මාණයක් බවට පත් කරනවා.

මේ කවිය නම් ෂෝක් අනේ... ආවේගයකින් ලිව්ව බවක් ‍පේන්නෙ නෑ. හරිම සුමටවනෙ කියන්නේ නිවැරදි මාවත. ඇත්තටම ආර්ය අෂ්ධාංගික මාර්ගය තුල හැමදේටම සාධාරණ නිර්වචන තියෙනවා. ඒ තුල පිහිටන්න පුළුවන් වෙනවා කියන්නේ ඉතිං ගොඩම තමයි...

Boman said...

සංවේදී බව සහ අවේගශීලී බව කලාකරුවෙක්ට තිබිය යුතු ලක්ෂන හැටියටයි මම දකින්නෙ. නමුත් අනවශ්‍ය ලෙස ආවේගශීලී හැඟීම් වලට වහල් වීම මගින් ඇස් කන් අන්ධ බීරි නොකරගැනීමට අපි වගබලාගන්න ඕනෙ. උ‍පදේශාත්මක නිර්මාණ වගේම ජාති‍ කුල මල වශයෙන් භේද බින්න කරන නිර්මාණද බිහි වන්නට හේතුව මෙම ආවේගශීලී බව ප්‍රයෝජනයට ගැනීමේ විවිධ ආකාර නිසයි.

හරේෂ් කිවුවා ව‍ගේ අවේගශීලි බව සමගම සුමට බවක් දිස්වෙනවා කවිය තුලින්.හරියට දෙමවුපියන් දරුවන්ට සැර වැර කරල ඔවදන් දුන්නත් ඒ තුලින් ඇති ස්නේහය කැටි උන පරමාර්ථය වගේ දෙයක්.

malee_msg said...

මට කියන්න දෙයක් නෑ වගේ කලින් දෙන්නා මටත් එක්කම කථා කරලා...මටත් කියන්න තියෙන්නේ කවි ටික කියවද්දි ආවේගයකට වඩා ඡිවිතය දිහා කණ්නාඩි ගලවලා යථාර්ථ වාදීව හිතන්න උත්සහ කරලා වගේ

Bo said...

හරේෂ් බෝ සහ මලී - ඔයාලා එහෙම කිව්වට මම ලියන මෙවැනි කවි නිසා සමාජවාදියා, එක්කෝ විප්ලවකාරයා වැනි නම් පවා මම අහගත්තා, අනේ මන්දා, ඔයාලා වගේ හිතන අය අතර ලියන්න ලැබීම වාසනාවක් මොකද, කවිය කියවා රස චිඳින අය ඉන්න එක සතුටක්,මම එහෙම කියන්නේ මීට පෙර මම දුටුචෙම කවිය කියවලා ඒ තුලින් කවි ලියපු කෙනාව කියවන්න තනන පුද්ගලයින්‍ම නිසා.
මේ හැමදේම තචත් ලියන්නට ශක්තියක්. ස්තූතියි 3 දෙනාටම.

Bo said...

ආ තච දෙයක්, මට දැනෙන විදිහට හැඟීම් එක්ක මතුවෙන ප්‍රකෝපී ක්‍රියා සහ සිතුවිලි ආවේගයන්. ගොඩක්ම කවියක් ලියන්න පාදක වෙන්නේ එවන් ආවේගශීලී මොහොතක්. ආවේගයකින් ලිව්ව බවක් නොපෙනෙනවානම් හොඳයි.
මේක දැකපු අපේ කවි ලියන අක්කා කෙනෙක් කිවේ "මොකද නගෝ තරහෙන් වගේ කවි ලියන්නේ " කියලයි.

Boman said...

@ බෝ - මම කවි ලිවීමට පටන් අරන් තවම අවුරුද්දක වගේ කාලයක් උනත් මමත් මගේ නිර්මාණ තුලින් මගේ චරිතය මනිනු ලැබීමේ අත්දැකීම් බොහොමයකට මුහුණ දීල තියනව.

විරහ කවියක් ලිවීමෙන් අනතුරුව Boot කාල නේද කියල උපහාසෙට මගෙන් විවිධ අය අනන්තවත් අහල තිබෙනව.මොනවද මේ කැත කුණුහරුප කියල අහගෙන තියනව.
දුක් මහන්සියෙන් කරන නිර්මාණයක් අන් අය හා බෙදාගත්විට ලැබෙන එවන් ප්‍රතිචාර වලින් වෙලාවකට හිත ටිකක් සසල වෙනවා.

මම ඔබගේ නිරමාණ කියවන්න පටන් ගත්තේ ඉන්ටනෙට් රජානෙනි පින් ගන්න කියන කවියෙන්. ඒ කාලයේ ඇත්තටම එවන් කවි මට නිකන් මැජික් වගේ.
දිගටම මෙවන් හරවත් නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

nidhahasa said...

කෙනෙක් ගෙ නිර්මාණ හරහා ඒ කෙනාව කියවන්න හදන එක ලංකාවෙ පුරුද්දනෙ. ඒකනේ අපේ අය කලාකාරයන්ගේ ගෙවල් වල පින්තුර පත්තරෙන් , ටීවී එකෙන් බලල සැනසෙන්නෙ. ඒක නිසා ගොඩක් වෙලාවට ලංකාවෙ නිර්මාණ කරද්දි තමන්ගෙ තත්වෙ ආරක්ෂා කර ගන්න එක ගැන හිතන්න වෙනවනෙ. ලංකාවේ දී හඳගමගෙ චිත්‍රපට බලල ඒක විවේචනය කරන්න හඳගම ගෙ පවුල් ජීවීතේ ගැන ඇදගන්නෙ ඒකයි.

මට මතක් වෙන්නෙ අර හැමදාම මතක් වෙන ටික. මේක සංස්කෘතිකව අබ්බගාත රටක්. ඒකේ පාපය ඉතිහාසය ගැන චිත්‍රපටයක් කරපු කතෝලිකයකු වීම නිසා ජැක්සන් ඇන්තනී මේ දවස් වල විඳිනවා.

kasun said...

ඕනෑම නිර්මාණයක් එකිනෙකා විඳින්නේ එකිනෙකාට සාපේක්ෂ විදියට. මට නම් මෙහි ඒ ආකාරයේ අවේගශීලි බවක් නම් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට ආවේගශීලි බවක් දිස් වුවත් එයින් නිර්මාණයට හානියක්‍ නොවෙයි නම් එය ගැටළුවක් නොවෙයි නේද?

කොහොමටත් ලංකාවේ මිනිසුන් පුරුදු වෙලා තියෙන්නේ නිර්මාණය වෙනුවට නිර්මාණකරුවා කියවන්න. එහෙම නැත්නම් තමන්ගේ ඔලුවේ තියෙන වල්පල් වලට සාපේක්ෂව ආවෘතව නිර්මාණය දෙස බලන්නට. සමාජයේ තියෙන විකාරරෑපි දේ පිළිබඳ ප්‍රශ්න කල විට ඊනියා විප්ලවකාරයෙකු, සමාජවාදියෙක් ආදි නොයෙකුත් ලේබල් ඇලවීම මේ තුල අරුමයක් නොවෙයි.

කොහොම වුනත් අක්කේ, වෙනදා වගේම මේ කවියෙත් හිතට දැනෙන ගතියක් තියෙනවා. :)

Bo said...

බෝමන් - හරියට හරි, මගෙත් යාලුවො බොහෝම දෙනෙක් එහෙම හිතුවා, ආදර කවි ලිව්වොත් එහෙනම් සම්බන්දතාවයක් තියෙනවා කියලා හිතෙනවා, සමාජ සාදන කවි ලිව්වොත් සමාජෙත් එක්ක වෛරෙකින් ඉන්නවා කියලා හිතෙනවා. හරි ඉක්මනට judge කරන්න පුරුදු වෙලා සමහරු.
වරුණ - ඔව් මල්ලී ඔයා කියන දේ හරි, නිර්මාපකයා එළිපිට නිරුවත් කරන මේ අමිනිස් පුරුද්ද නෙට් එකේනම් ඕනෑ තරම් දැක ඇත්තෙමි, තත්‍ය ලෝකෙත් එසේම තමයි, මොකද නෙට් එන්නෙත් ඒ වගේ මිනිස්සුමනේ

amarasara said...

කර්‍ය්‍ය බහුල කම නිසා සටහනත් නොතැබුවාට පලවූ හැම ලිපියක්ම, කවක්ම හොඳින් කියවූවා.

"පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට" කව ආවේගශීලී කවියක් කියල වත්, සමජවාදී කියලවත් මට නම් හිතෙන්නේ නෑ. එහෙනම් ධම්මපදය සමාජවාදයේ අත්පොත වෙන්න ඕනෙ.

මේක උපදේස කවියක් වගේ හරවත්. නිතර නිතර ප්‍රගුණ කරන්නට අගනා හරවත් සිවුපද පෙලක්.

fossurgeon said...

ආවේගය අප සැමට පොදු හැඟීමක් නිසා කවියට නැංවීම කලාකරුවාගේ ස්‍වභාවයයි. නමුත්, හොඳ මිනිස් ගුණ ඇති කලා කරුවකු, ආවේගය ආවේගයක් ලෙස හඳුනා ගන්නව. එවිට ඔහු ආවේගය අනුව ලියන විට අනුන්ට අපහස නොවන විදියට ලියනව. ආවේගය ට , නොසිතා ප්‍රතිචාර (react) කලොත් කලා නිර්මානය අසභ්‍ය වන බව ඇත්තක්. බෝ ගේ කවි වල, සිතා මතා, ආවේගය හඳුනාගෙන ලියන නිසා, සිත පිනවනව...

Bo said...

ස්තූතියි ඔබ දෙපලට,
අමරසර - ඇත්ත නේද,දැන් මට තේරෙනවා,සමාජ සාදන කවි ලියන එකේ වැදගත්කම, දම්මපදය සම්බන්ද උපමාව ඇත්තටම මගේ සිතත් පහන් කලා.
fossurgeon- සියලු සංවේදනා ඒ ආකාරයෙන් දැනගෙන වටහාගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම ඔබේ පිළිතුරෙන් පැහැදිලි වුනා, මතුවට තවත් හොඳින් හැමදේ ගැන සිතාබලා කටයුතු කරන්නම්. ඔබේ අදහස ඉස්තරම් !