Thursday, 4 September 2008

ඒ වෙනසට මං ආසයි...

වෙනස් වෙන හිතක නොවෙනස් යම් දෙයක් තියේද ඉතිරිව ?
ජීවිතේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා, සමහර වෙනස් වීම් අපිට දරාගන්ට බැරි තරම් දුක උනත්, අපි ඒවාට අකමැති උනත් ජීවිතේ කොහොම හරි ඉදිරියට ගමන් කරන්න අපි උත්සහ ගන්නවා , ඒක ලෝක ස්වභාවය.

කවි ලිව්වෙ නැද්ද ? දැන් ලියන්නේ නැද්ද? එක දිගටම ඇසෙන ප්‍රශ්ණ කිහිපයක්.
නව කතාව ගැන ලැබුනු ඊමේල් අතරේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් උනා

අපේ ඔරලෝසුවේ ඔයා පැය කට්ට අපි තත්පර කට්ට දන්නවද ඔයා එක පාරක් කැරකෙනකොට අපි ඔයා වටා 43200 වරක් කැරකෙනවා...

මගේ පමාව ගැන විමසා උපමා උපමේයයන් සමග ලියා එවූ ඒ සොයුරාටත් ස්තූතියි.
ඉතා අදික ලෙස නිදි වැරීම සහ මහන්සි වීම හේතු කොටගෙන ශරීර සෞඛ්‍ය ටිකක් විතර පිරිහුනා. අන්තර් ජාල පහසුකම් නැති නිසාත් වේලාවක් නැති නිසාත් ලියන්න බැරි උනා. හිතට නැගෙන සිතුවිලි හිත තුලම නැතිවෙලා ගියා. සිතේ එකලස් භාචය නැති උනා. ඒත් ඉතින් ජීවිතය ඒ වගෙයි.

ඒ අතර තවත් වෙබ් අඩවියක, ජාතිමාමකත්වය ගැන හුවා දක්වමින්, මගේ අනුදැනුමකින් තොරව මා ලියූ කවි පළ කර තිබුනා , මගේ වෙබ් අඩවියද මේ බ්ලොග් අඩවියට සම්බන්ද කර තිබුනා.
එසේ අන් අයගේ කැමැත්ත අකමැත්ත නොවිමසා, තමන්ට හිතෙන අරමුණකට හැමෝම ඈඳා ගැනීමට තවකෙකුට ඇති අයිතිය ගැන මීට වඩා විමසා බැලීම වටී.
අඩු තරමින් මින් පසු එසේ ලේබල් ඇලවීමට කලින්, ඊමේල් එකක්වත් එවා අදාල නිර්මාණකරුවන්ගෙන් ඒ සඳහා අවසරය ගන්නේ නම් වඩා හොඳ බව මට සිතේ.
මා දන්නා හඳුනන බ්ලොග් ලියන සහෝදර සහෝදරියන් මගින් මට මේ ගැන දැනගන්ට ලැබුනා. පැසසුම් ගුණ වර්ණනා ඇත්තෙන්ම අනවශ්‍යයි.
සේකරගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ එන මගෙ කවියෙන් මා නොසොයන් කවිය මතක් වුනේ අලුතින් එකතු වූ බ්ලොග් කිහිපයක් කියවන අතරතුරදී...

අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ශ සිතුවිල්ලක් කැටි කොට ලියවුනු මේ කාව්‍යය මසිත නිරන්තර නින්නාද දේ.
මතුවටත් එසේමැයි.

නැවත අන්තර්ජාල පහසුකම් ලැබුනු විගස සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට අළුතින් එකතු වූ අපූර්ව නිර්මාණකරුවන්ගේ බ්ලොග් අඩවි කියවන්ට ලැබුනා.. අපි කිහිප දෙනෙක් පමණක් බ්ලොග් කරණයේ යෙදෙනකොට, සිංහල බ්ලොග් මැරතන් පවා තියන කොට පැවති සිංහල බ්ලොග් ඉඩෝරය නිමවෙන සුභ ලකුණු හැම තැනම දකින්නට ලැබුනා. ඔක්කොම පුළු පුළුවන් විගස කියවන්නයි බලාපොරොත්තුව.

බෝමන් ( සහෝදරයා) ලියන ජීවිතයේ තවත් මොහොතක් කියවන්න, හිතන්න දොඩන්න හැකි බොහෝ දෑ හිතට කිට්ටු කරන අපූර්ව සිතුවිලි සංහිඳක්.

හරේෂ්ගේ ජීවත් වෙනකොට පිටුව මිහි මත පණ ගැහෙන හැම තත්පරයකම වටිනාකම සිතට ළංකරනවා කියලා දැනෙනවා. ගුණමකු කමින් නිරන්තරයෙන් බැටකන මිනිස් ගුණ දර්ම පිළිබඳ වඩා යතාර්ථයානුකූලව කියවීමක් ඒ ඔස්සේ මා දුටුවා.

ඇබ්නෝමල් දෙසිතක සිතුවිලි නමින් ලියවෙන මලීගේ සිතුවිලි පිටුව.. සමාජයානුකූලව සම්මත දෑ තුල පවතින කඩතොලු දකින, ඒ ගැන එදිනෙදා ලියන කියවන බසින් දොඩන මේ පිටුව මෙතෙක් දකින බ්ලොග් ආකෘතිවලට වෙනස් අයුරකින් ලියවෙන්නක් වුනත්. ඒ වෙනස හොඳයි කියලා කියන්න පුළුවන්. නියමයි.

3 comments:

Boman said...

ශුන්‍යතාවය එහෙමත් නැත්නම් වෙනස්වීම තමයි ලෝක ස්වභාවය.ගහක,මලක,ඇලක,දොලක ඉදන් මිනිස් සිත දක්වා සියල්ල මොහොතින් මොහොතට වෙනස් වෙනව. සමහර වෙනස්වීම් වලට හුරුවෙන්න දුෂ්කරයි.සමහරවිට ඒ අපගේ බැදීම් නිසා වියහැකියි.ජීවී අජීවී සියලු දේවල් වලට සහ ඇබ්බැහි උන තත්ත්වයන්ට අපේ තිබෙන බැදීම්..

සේකරගේ කවිය මුලුමනින්ම කියැවුවෙ දැන්. ඒ ගැන ඔබට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා..

haresh said...

සේකර මේ කියන දේ සහතික ඇත්ත. ‍යමක් අපට අප තුල ප්‍රත්‍යක්ෂ නොකර කවදාවත් උපුටන හරහා විසඳගන්න බෑ. එහෙම වෙලා අපි එක දෙයකින් නිදහස් වුණාට නොදැනීම වෙන දෙයකට ඇලිල. කොහොමත් අර අපේ බෝමන් කියනව වගේ ජීවිතේ කියන්නෙ වැළඳගැනීම් සහ අත්හැරීම් තමයි.

අපි කට්ටියම එකම ඉස්කෝලෙන් ආපු අය. අපේ බ්ලොග් සටහන් කියෙව්වට අනේක වාරයක් ස්තූතියි. බලමු මේ ගමන යද්දි හමුවෙන බාධක බිඳින්න කට්ටියම එකට.

malee_msg said...

බෝ අක්කේ ...ඔයාගේ කවි තුලින් විටින් විට ඔයාව දැකලා තිබ්බත්...බ්ලොග් තුලදි ඔබව හමුවෙන හා ‍ඔබට කථා කරන මුල්ම දවස අද...මුලින්ම ඔබ මුණ ගැහුනේ බෝමන් අයියගේ පිටුවෙන් පසුව හරේෂ් ගේ හා මගෙ පිටු තුලත් ඔබේ සටහන් දුටුවා...ස්තූතියි...

ඒ වගේම ඔබේ පිටුව තුල අප වෙනුවෙන් වෙන් උනු ඉඩ පිළිබදවත් හද පිරි ස්තුතිය...!

ඒ හැමදේටම වඩා සේකර ගේ කවියට ස්තුතියි..මිට කලින් එහි සමහර තැන් කියවා ඇති බව මතකයි නමුත් කවදද කොහෙදිද කියන්න මතකයක් නෑ..නමුත් ඉදිරියට එහෙම වෙන එකක් නෑ..ඔයාට ස්තුති වන්ත වෙන්න....

අපේ සම්පත් දැක්කොත් ගොඩක් සතුටු වෙයි මොකෝ එයා ‍සේකරගේ කවි පත අට එකට හිදුවා පානය කරන කෙනෙක් හික් හික්

අවසාන වශයෙන් හැමදේටම ස්තූතියි...ඉදින් මුණගැහෙමු ඉදිරියටත් හැකි පමණ... :-)