Friday, 13 June 2008

අත්තම්මා නිවන් ගිහින් අපට හුඟක් ඈතයි...Down the memory lane





අත්තම්මා නිවන් ගිහින් අපටගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති ගානයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්

හර්ෂණ දිසානායක පොඩි මල්ලී කියන මේ සිංදුව මට අහන්න ලැබුනේ, අපේ එහා ගෙදර පොඩි කෙලි පැටික්කී මේ සිංදුව කීව නිසා, පස්සෙ හොයලා බලලා, තියෙන තැනත් යාලුවෙක් හොයා දුන්නා
අහන්න කැමති අය මෙතැනින් අහන්න

මා වෙදදුරෙක් වෙනු දකින්නට වඩාත්ම ඕනෑ වූයේ මගේ අත්තම්මාට සහ ආච්චීටයි. හවසට තෙල් ගා අත්තම්මාගේ කකුල් දෙක සම්බාහනය කරද්දී, "දොස්තර කෙනෙක්ම වෙන්ට ඕනෑ මයෙ පුතේ" යැයි ආදරෙන් මට නිතර දෙවේලේ පැවසූ මගෙ අත්තම්මා, මා කැම්පස් යන්නටත් පෙර අප අතරීන් වෙන්වී ගියා.
ඊළඟට කොළඹ ආච්චී, පාසැල් ගොස් ගෙදර එන ගමන් හෑමදාම ආච්චීගේ ගෙට ගොඩ වෙනවා බඩ පුරවා ගන්න යමක් වැරදෙන්නේ නැහැ. නමුත් මම වෛද්‍ය විද්‍යාලේ පළමු වසරේ හිඳිනා විට ආච්චිත් අප අතරීන් වියෝ උනේ නොසිතූ අයුරින්. නිතර සිහිනෙන් මා වෙත ඇවිදින් සුව දුක් විමසන ආත්තම්මාද ආච්චීද මතක් වී මේ බ්ලොග් සටහන ලියවෙද්දී මගේ නෙතට කඳුලක් ආවේ මා නොදැනීමයි.

ඉස්සර මං පොඩි කාලෙ අත්තම්මා මට කියන්නේ කළ වැද්දා කියලා, ඇයි නිතරම ඉන්නේ ගස් උඩමනේ ,උදේ හිටන් හැම තැනම දුවලා දුවලා කැලෑ බඩවැටි අස්සේ් කරක් ගහලා, අපි පොඩි එවුන් හවසට ගෙදර එන්නෙ, නමිනං, අමු ගම්මිරිස් ඇට,ඔළිඳ ඇට හෝ මල් බෙරි වලින් සාක්කු පුරවගෙන. මහා විසාල අරලියා ගහ මුදුනේම තමයි ගොඩක් වෙලා ගත කරන්නේ.
ගහ මුදුනටම නඟින කෙනා ”රජ්ජුරුවෝ උඩයි උඩයි චූ කොල්ලෝ බිමයි බිමයි ” කියලා බිම ඉන්න අයට විහිළු කරනවා මට තවත් මතකයි
අවුරුද්දට අරලිය ගහේම ලොකු අත්තක ඔන්චිල්ලාවක් බැඳලා පදින්න අපි ඔක්කොම එකතු වෙන්නේ පුරුද්දට වගේ.
ඔන්න ඉතින් පොල් පිත්තක් කපලා තමයි කඹේ අතරට දමන්නේ ඔන්චිල්ලාවේ ඉඳගන්න බංකුවක් වගේ. මට ඉතින් හරි අමාරුයි පොල් පිත්තේ ඉඳන් ඉන්ට, මං කරන්නේ් කොට්ටයක් හොයන් ඇවිත් දානවා ඔන්චීල්ලාවේ, ඉතින් සැරයක් කොට්ටේ ගෙට ගන්න අමතක වෙලා වැස්සට තෙමිලා අත්තම්මාගෙන් බැනුම් ඇහුවා හොඳට. කඳුරේ ගල් උඩ දුව දූවා වැඩ පෙන්වන්න ගිහින් අන්තිමට ලෙස්සලා වැටිලා මඩ නාගෙන, දෙසරයක් නාපු අවස්තාත් නැත්තේ නෑ.

ගෙදරටම වතුර අරන් තිබ්බත් නාන්නනම් අපි ලොකු අක්ක එක්ක හරි පොඩි අක්ක එක්ක හරි කඳුරට හරි ඔයට හරි දුවනවාමයි. ඒ දෙන්නම නැත්නම් ඉතින් අත්තම්මා එක්ක පීල්ලට යනවා. අත්තම්මාට වතුර පයිප්ප අරහං
අත්තම්මා කියන්නේ ඇඟට දෙනෙන්නෙවත් නෑ කියලා වතුර මලෙන් නානකොට, ඉතින් ගෙදර උයන පිහින හෝදන වැඩ වලට විතරමයි දිය කඳුරෙන් ගෙදරට එන පයිප්ප වතුර පාවිච්චි කරන්නේ.
ගස් මුල් ගල් හෝදගෙන ගලා බහින සීතල කඳුරෙන් වතුර ටිකක් නෑවම තියෙන සනීපේ කවදාවත් නගරෙ අපිට වතුර පයිපයකින් වතුර මලකින් එන ක්ලෝරීන් වතුරෙන් ලැබෙන්නේ නැහැ.
අපිට කැස්සක් උණක් තිබ්බත් අත්තම්මා අපිව නාවනවා, මෙන්න එසැනින්ම කැස්ස උණ කොහේ ගියාද කියලා නැහැ. ගස් මුල් හෝදන් එන වතුරේ ඔසු ගුණයක් තියෙන බවයි අත්තම්මලා විශ්වාස කරන්නේ.
අද අපි කොණ්ඬේ වවා ගන්ට දිස්නේ දෙන්ට යැයි කිය කියා කොයි තරම් රසායනික දේ්වල් ඔළුවට හලා ගන්නවද.. ඒ කාලෙ නම් මට මතකයි, නාන දිය කඳුර අද්දරම වැවිලා තිබ්බ කෝමාරිකා පඳුරෙන් කෑල්ලක් කඩලා අත්තම්මා අපේ ඔළුවේ ඉඳන් ඇඟ පුරාම ගානවා.

නුවර මහ ගෙදර සොල්දරේ අපි පොඩි අයට තහනම් ප්‍රදේශයක්. ඒක උඩ කල වැද්දෝ ඉන්නවා කියලා ලොකු අම්මලා එහෙම අපිව බය කරලා තිබ්බේ, එනිසා අපිනම් කවුරුත් ඒක උඩට නඟිනවා තියා බලන්නවත් ගියේ නෑ. කළ වැද්දෝ කියන්නේ මුගටියෝ වගේ සත්තු ජාතියක් කියලා නොදත් අපි, කකුල් දෙකේ වැද්දෙක් සිටිනවා යැයි බියෙන් එහි නොගියෙමු. පසු කලෙක තමයි වැටහුනේ අපට සොල්දරේට නගින්න නුදුන්නු හේතුව. ලොකු අත්තා එකතු කරන ලද පැරණි පත පොත සේරම තිබුනේ සොල්දරේ හෙවත් ගෙදර උසම ස්තානයේ, බුදු පිළිමය සහ වන්දනා කටයුතු සිදු කරන තැනත් තිබුනේ එහිමයි. පසු කලෙක, මට මහා දැනුම් ආකරයක් උනේ මේ සොල්දර පුස්තකාලයයි.
මේ ලඟදී ආපහු නිවාඩුවට නුවර ගිය වෙලේ අරලිය ගහ මුලට ගියහම මේ සුන්දර මතකයන් හිත පුරා නේක රටා මවමින් සිතුවම් ලෙසින් දිග හැරුනා. අත්තම්මා අප අතරින් වෙන් වී ගියද ඇගෙ සුවඳ තවමත් ගේ පුරා රැඳී ඇතැයි මට සිතේ. ගොඩ දවසක් නුවර නවතින්නේ නැත්තේ අත්තම්මා නැති නිසාය කියලා ලොකු අම්මා එහෙම නෝක්කාඩු කියනවා. ඒක ඇත්ත, අත්තම්මා නොමැති ගෙදර වසන විට මහා පාළු හැඟීමක් මගේ සිතපුරා නැගෙන්නේ

ඉහත පද පේලි මා ලියූවේ අත්තම්මා අප අතරින් වියෝ වූනූ වේදනාවෙනි. එළිවැට එළිසමය නොගැලපීම ගැන සමාවෙන්න.

4 comments:

situvili said...

කවිය වගේම ඔයාගේ අත්තම්මා ගැන කියලා තිබ්බා ඒවා හරි ලස්සනයි. ටිකක් දුකත් හිතුනා එහෙම කෙනෙක් නැති වෙච්ච එක ගැන. මට නං අත්තම්මා කෙනෙක්ගේ ආදරය ලැබිලා නැ. ඒ ගැන මට හරි දුකකයි.

ඩනිෂ්ක said...

ඔව් මෙවගේ දෙවල් කාටවත් වෙනවා. මොනාකරන්නද ඉතින්? :(
අපේ සීයත් නැතිවෙද්දි ඔය කියන අධ්‍යාපනය නිසාම මටත් සීයගේ අවසන්කටයුතු වලට ඉන්නට නොහැකි උනා. වෘතිය කටයුතු සඳහා රටින් බැරවි සතිදෙදක් නික්මයාමට මත්තෙන් බක් මහේ ආච්චිගේ නංගී (පොඩි ආච්චි) මියැදුනා....

කොයිදෙත් අනිත්‍යයිනේ....

ඩනිෂ්ක said...

මොකද කාලෙකින් ලිව්වේ නැත්තේ?

අපේ සියගේ දානය ඊයේ මට මේ බ්ලොග් එක මතක් උන නිසා ඇවිත් ආයෙත් බැලුවා...

දිගටම ලියන්න :)

Angel said...

Really nice Bo... brought back fond thoughts of my Achchi as well...