Monday, 19 May 2008

ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ - Vesak Thoughts


මට මතකයි - අපේ වෙසක්

බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ

බෝසත් ගති ගුණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදු බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා

සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳයට හිනැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා

එඞ්වඞ් ජයකොඩි මහතා සහ මාලිනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මේ ගීතය රේඩියෝවෙන් ඇහැන්නට විය. ඒ ගීයෙන් කියනා ලෙසට ඇත්තටම තවමත් ගතිගුණ අතින් අපි අමනුස්සයන් වගේ. වෙසක් කාලෙට සිල් රෙදි පොරවගෙන අට සිල් ගත්තත් ඊට පස්සෙ ආයෙත් අර පුරුදු පිසාච දිවියටම හැරෙනවා.

මට මතකයි, පොඩි කාලෙනම් අපි වෙසක් එනකම් ඉන්නේ දන්සැල් වඳින්න යන්න. දන්සැල් පවත්වන පිරිස, මෙය කරන්නේ ශ්රද්ධා භක්තියෙන්, ඔවුන් මෙය කරන්නේ හුදෙක් පින් පිණිසමය , එනිසයි දන්සැල් වඳිනවා යන්න භාවිතා කරන්නේ.

වෙසක් බලන්න යන්න අපි ලක ලැහැස්ති වෙන්නේ හරිම ආසාවෙන්, සව් කැඳ , දුන්තෙල් බත් දන්සැල් මෙන්ම, කෝපි ප්ලේන්ටී දන්සැල් වඳිමින්. වෙසක් තොරණ් , වෙසක් කූඩු ඇතුලත් වෙසක් සැරසිලි නරඹමින් නගරය පුරා සැරිසරන්නේ හිත පිරි සතුටෙන්.
එ්ත් අද, වෙසක් බලන්න යමුය කිව්වොත් , වැඩිහිටි බොහෝ දෙනෙක් දක්වන්නේ නොකැමැත්තක්, වැඩිපුර සෙනග ගැවසෙන තැන් වලට යන්න බැහැ . රටේ තත්වය හොඳ මදි ඔය ආකාරයේ කරුණු කාරනා නිසා අද ගෙදරට වෙලා, රූපවාහිනියෙන් වෙසක් බලන්න බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නවා
මට මතකයි, වෙසක් දාට පන්සල් ගිහින් වැඳුම් පිදුම් කරාට පස්සේ, අප්පච්චී අපිව අගනුවර පුරා වෙසක් බලන්න එක්කගෙන යනවා, බොරැල්ල හංදියේ මහා තොරණ බලලා එතැනින් දෙමටගොඩ තොරණත් බලාගෙනම තොටලඟ තොරණ නරබන්න අපි යන්නේ අතරමග දන්සැල් වැඳගෙන ඉතින් ගෙදර එද්දී මධ්යම රාත්රියත් පසු වෙලා, ඒත් නගරය තාමත් අවදියෙන්.
සීදූව මහා වෙසක් කූඩු රාජයා, එක සැරයක් ඔරුගොඩවත්තේ ප්රදර්ශනය කළා, එයින් පෙන්වූවේ ඇසල මහා පෙරහැර, නැට්ටුවෝ අලි ඇතුන් නිලමෙළා පිරුනු මහ පෙරහැරක් කූඩුවත් එක්කම වටේට කැරකෙද්දි හැබෑම ලස්සනයි.
ඒ වගේම අගනුවර පිහිටි මහළු නිවාසයකට දානයක් දීම පාසැලේ බෞද්ධ ශිෂ්ය සමිතිය හැම වෙසක් කාලයේදීම කරන සද් කටයුත්තක්. හැම තිස්සෙම අපි ගෙදර එන්නේ හිත පුරා ලොකු දුකක් දරාගෙන, අනේ ඒ දෙමපියන්ව අර වගේ තැනකට දමන්න තරම් දරුවෝ කුරිරු උනේ කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බැහැ
සමහර වයසක සීයලා ආච්චිලා, අප එක්ක පැය ගනන් එක දිගට කතා කරමින් ඉන්නවා, ඇස් වලින් කඳුළු බේරෙද්දි එයාලගේ දරු මිණිපිරියො ගැන හරි උජාරුවෙන් කතා කරනවා, හුඟක් අයගේ දරුවෝ ඉහළට ඉගෙන ගත්ත ලොකු තානාන්තර දරන අය. ඒත් පොඞ්ඩක් හිතල බලන්න, කොයි තරම් ඉගෙන ගත්තත් ලොකු ලොක්කෙක් උනත් තමන්ගේ අම්මට තාත්තට සලකන්න බැරි නම් එ් ලොකු කම් වලින් ඇති ඵලය කිම. අම්මේ තාත්තේ ඔබේ දරුවාට පාසැල් විෂය දැනුම මෙන්ම අධ්යාත්මික ගුණ ධර්මත් කියා දෙන්න.

යාන්ත්රික මිනිස් සමාජය තුල එක දිගට වැඩ කරන, දහඩිය වගුරුවන අපේ සිත් හැම තිස්සෙම කලබලකාරීය, නොසන්සුන්ය. ඉතින් එහෙවි කලබලයෙන් මදකට හෝ මිදෙන්න වෙසක් පෝ දින කාල වකවානුවේදිවත් උත්සහ ගත යුතුයි. කොහේ හෝ ගොස් නිවාඩු ගත කරනවාට වඩා, තම ගමේ පන්සලට ගිහින් පුණ්ය කටයුතු වල යෙදෙන්න උත්සහ ගන්න. ඒකයි සැබෑ බෞද්දයෙකුගේ යුතුකම.
ඔබේ දරුවන්ට නිවැරදි දහම් දැනුම ලබා දෙන්න, එය පොතට පතට පමණක් සීමා නොකොට, ප්රායෝගික පුණ්ය කටයුතු සඳහාද ඔබේ දරුවන් යොමු කරන්න. නිවැරදි මග දුටු දරුවන් කවදාවත් තම දෙමාපියන් මහළු නිවාස වලට කොටු කරන්නේ නෑ. මන්ද පව් පින් මොනවාදැයි ඔවුන් දන්නා හඳුනන නිසාවෙනි.

අභිවාදන සීලිස්ස නිච්චං වද්දාප චායිනෝ
චත්තාරෝ ධම්මා වඞ්ඨන්ති
ආයුවණෝ සුඛං බලං

”තෙරුවන් කෙරෙහිත් එමෙන්ම මාපිය නෑදෑ සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිත් වැඳුම් පිදුම් ගරු කටයුතුකම් කරන තැනැත්තාහට මෙම අත් බව තුළදීම දීර්ඝායුෂ, ශරීර වර්ණය , කායික මානසික සැපත යන මෙකී මහඟු ගුණයන් සතරම හිමි වේ”

ඔබ සැමට මෙත් කරුණා පිරුණු සුභ වෙසක් මංගල්යයක් වේවා !

බෝ

7 comments:

Wiz Kun said...

වෙසක් උත්සවය සඳහා තොරන් බැඳීම නාස්තියක් යැයි මතවාදයක් අද ගොඩනැගෙමින් පවතිනවා. විදුලි බිල වේගයෙන් ඉහල යාම මීට එක් හේතුවක් වෙන්නැති. එය ශ්‍රද්ධාව නිසා සිදු කරනා ආමිස පූජාවක් ලෙස ලංකාවේ දැකිය හැකි සුවිෂේශී වු කලාවක්.

අද රටේ පවතින ආරක්ශක තත්වය නිසා ජනතාව වැඩියෙන් ගැවසෙන තැන් වලට යාම අතිශයින් අනතුරුදායක බව ඇත්ත.

ඒත් මේ තත්වය නිසා මිනිසුන්ගේ සංස්කෘතික සහ ආගමික චර්යාවන් ට බලපෑමක් වීම නම් ඉතාම කනගාටුවට කාරණයක්.

Constantin Demiris said...

Wiz Kun,

The same pandithayas are castigating the use of elephants in Peraharas claiming it is animal cruelty. And another bunch are calling peraharas including the Kandy Pageant a waste of money. Dont these idiots get it, that these are our cultural symbols and heritage? These all are our identity of who we are. Its not all about money. Glad to see plenty of dansals despite the soaring cost of living. In Pettha there was a coconut dansal. and it was not half a coconut dansal. A full coconut.

Bo said...

Wizkun > thank you for the informative comment , Yes I agree with you, සංස්කෘතික අංගයන් එසේ බැහැර කල නොහැකි බව ඇත්ත. එහෙනම් නවැත්චිය යුතු තව බොහෝ දේ තිබෙනවා. ආරක්ශක තත්වය නිසා මිනිස්සු ඉන්නේ මර බියෙන්. තර්ස්තයන් කොයි වෙලේ බෝම්බ අටවයිද දන්නෙ නෑ, එනිසා තමයි, වෙසක් බලන්න යන්න බොහෝ දෙනෙක්ට මෙදා සැරේ නම් නොහැකි උනේ, ගෙවල් වලින් තහංචි වැටුනා නොවැ.

Bo said...

Demi - thanx for the comment. coconut dansala අද කාලෙට ගැලපෙන දන්සැලක්. ගෑස් දන්සැල්, හාල් දන්සැල්, පාන් දන්සැල් තිබ්බනම් තවත් හොඳයි.

nidhahasa said...

තැති ගැන්ම සමාජගත වුන අද යුගය තුල මිනිස්සුන්ට තමන්ගේ සංස්කෘතික ගති පැවතුම් පවත්වාගෙන යාම පවා ගැටලුවක්. ලාංකේස සමාජයේ යතාර්තය එයයි. මෙදා පාර වෙසක් දවසෙ රෑ 10.30 වෙනකොට පාරවල් වල සෙනඟ නෑ. දන්සැන් කිහිපයයි. මහ බැංකු වාර්තාවලින් රටේ තත්වය නිරූපණය වෙන්නෙ නැති බව දේශපාලකයන්නට තේරෙන්නෙ නෑ.

Constantin Demiris said...

but despite the terror threats people ventured out to 'enjoy' Vesak. We all should be glad that it went well without ANY incidents.

kasun said...

සියල්ල වාණිජකරණය වෙමින් පවතින වර්තමානයේදී අපි කන බොන කෑම වල සිට සංස්කෘතික අංගයන් දක්වා සියල්ල තීරණය වෙන්නේ ජනමාධ්‍ය මඟින්. අවුරුද්දට හෝ වෙසක් උත්සවය පවා ඉන් ගැලවෙන්නේ නැහැ. වර්තමානයේදී මේ සියල්ල කෘතීම සංස්කෘතික ඉසව් බවට පත් කරලා. හොඳම උදාහරණය වෙන්නේ අවුරුද්ද, නැකැත් වල සිට අවුරුදු ක්‍රීඩා පටන් සියල්ල ටෙලිවිෂනය මතයි තීරණය වෙන්නේ.