Friday, 11 April 2008

මට මතකයි ... අවුරුදු කාලෙට Down the memory lane


මට මතකයි ... අවුරුදු කාලෙට (පසුගිය අවුරුද්දේ, සිංහලයා අවුරුදු කලාපය වෙනුවෙන් ලියැවුනු, මට මතකයි.. මගේ අවුරුදු මතක සටහන් මෙලෙස යුනිකේත අකුරු කොට පල කරන්නට සිත් විය.)

සිංහල අළුත් අවුරුදු ළං වෙද්දී හැම ගෙයක්ම කල එළි වෙනවා. ”දොළොස්මහක් ගෙවෙන දවසට ගෙදර දොර සිරියාවට තියෙන්නෙ ඕනෙ” කියලා අපේ අත්තම්මා කියනවා නිතරම.
ඔන්න ඉතිං අපි පොඩි කාලෙනම් අවුරුදු කැවිලි හදද්දී අපිට කුස්සිය පැත්ත පළාතට එන්න දෙන්නේ නැහැ, මොකද ඒ කාලෙ කුස්සියේ දර ලිප් හදලා තිබ්බේ බිම, උදේට සීතලට ලිප ලඟ ගුලි ගැහැන්න අපි පොඩි එවුන් හැමෝම පොරකනවා එක වගේ. ඔය කැවිලි පෙවිලි හදන කරන වැඩ වලට උදව් වෙන්ට මට නොලැබුනත් කුස්සියට වෙලා ඕව ඔක්කොම බලාගෙන ඉන්නේ මම හරි ආසාවෙන්.

ගෙදරින් පිට වෙනම මැටි වලින් හැදූ සුදු හුණු පිරියම් කරපු ගේ පොඞ්ඩක් මහ නුවර පළාතේ බොහෝ ගෙවල් වල දකින්න ලැබෙනවා, මේකට අත්තම්මානම් කිව්වෙ මඩු ගේ කියලා. ඒකෙ පොළවටම සවි කරපු ලොකු ගල් වංගෙඩියක් , කුරහන් ගලක් එහෙම තියෙනවා. ඕං ඉතින් දැන් වගේ නෙමේ හාල්, මුං සේරම පිටි කරගන්නේ මේ කුරහන් ගලේ අඹරලා, වංගෙඩියෙන් කොටලා. මෝල් ගස් දෙකකින්, දෙන්නෙක් එක්වර හාල් පිටි කරද්දී, බලන් ඉන්න හරිම ලස්සනයි , අපිට වැඩිය මඩු ගෙට ඇතුල් වෙන්ට ලැබෙන්නේ නෑ, ඇතුලට වැලි ගෙනෙනවා කියල.

පැණි වළලූ හදනවා බලං ඉන්න ලස්සනයි, පැණි මුට්ටිය පැත්තකින් තියාගෙන, උඳු පිටි වලින් හදා ගත්තු මිශ්රණය, බොත්තම් කාසියක් මසාගත්තු හතරැස් රෙදිකෑල්ලකට දාල එකෙන් හරි අපූරුවුට උතුරන තෙල් තාච්චියෙ වළලූ රටාවට වත්කරලා, ඊට පස්සෙ ඒව අරගෙන පැණි මුට්ටියේ ඔබනවා, එතකොට සූස් ගාල වළලූ ඇතුලට පැණි උරාගන්න සද්දේ ඇහෙන්ට ඕනෙ, ඕව මම කරල නම් නැහැ ඒත් අම්මා, අත්තම්මා ලොකු අම්මලා එකතු වෙලා හදනවා බලං ඉඳලා තියෙනවා. කොකිස් හදද්දිනම් ඉතින් අපෙන් ගැලවිල්ලක් නෑ, කොකිසක් ලැබෙන තුරු කුස්සිය හරියෙම ගැවසෙනවා, අන්තිමට අපේ කරච්චලෙන් ගැලවෙන්ට ඉතින් කොකිසක් දෙන්නම වෙනවා.

අතිරස, මුං කැවුම් , කොණ්ඩ කැවුම්,කොකිස් එක්ක වැලි තලප එහෙමත් හදන්නවා. අවුරුදු නැකතට කලින් නොනගතේට ඉතිං හැමදෙනාම පන්සල් යන්නත් අමතක කරන්නේ නැහැ. ලොකු කුඩා බේදයක් නැතිව සියල්ලෝම අළුත් ඇඳුම් ආයිත්තම් වලින් හැඩ වෙනව. අස්වනු කැපෙන කාලෙ නිසා අපේ ගම් පළාත්වල උදවියගේ අතමිටත් සරු සාරයි.

අපේ ගම් පලාතෙ නම් කැවිලි පෙවිලි හුවමාරු කරගන්නේ පරණ අවුරුද්ද දවසේ, අත්තම්මා කිව්වේ මේක ගොඩක් ආදි කාලෙ ඉඳන් පැවතෙන සිරිතක් කියල, එතකොට අවුරුද්දට කැවිලි පෙවිලි හදා ගන්ට බැරි උනු එහෙමත් නැත්නම් අග හිඟකම් නිසා, වැඩිය දෙයක් හදන්ට බැරි උනු ගෙදරකට උනත් අවුරුදු ලබද්දී අවුරුදු කෑම මේසෙට කැවිලි පෙවිලි අඩුවක් වෙන්නේ නැහැ, බලාගෙන ගියාම ඒක ඇත්තටම ගොඩක් හොඳ සිරිතක් කියලා මට හිතුනා.

නොනගතය වෙලාවට අපි හැමෝම පන්සල් යනවා. ආගමික වතාවත් වල යෙදෙනකොට සිත් සතන් පහන් වෙනවා, නිවෙනවා. ඉතින් බලන්න එදා ඉඳන් ධර්මය මූලික කොටගෙන අපේ සමාජය හැඩ ගැසුනු නිසා නේද දුසිරිතෙන් තොර දැහැමි රාජ්‍යයක් අපට උරුමව තිබුනේ, නමුත් අද මෙවැනි සිරිත් අනුගමනය කරන්නේ බොහොම සීමිත පිරිසක් , එනිසාමයි නේද සමාජ සාදනයක් නොමැත්තේ?
අවුරුදු දාටත් අද ඇතැමුන් මුල්තැන දෙන්නේ අරක්කු බෝතලයට ! ඉතිං කොහෙද අවුරුද්දක් !

තව ඉවර නෑ...

1 comment:

samanalee said...

අක්‌කෙ, ලිපි දෙක කියවන විට ඇස්‌ වලට කඳුලු ආවා, ඒ පුංචි කාලෙ ලස්‌සන මතකයන් සිහිපත් වෙලා... ස්‌තූති මේවා මෙහෙම පල කළාට! :-)

කිරියෙන් පැනියෙන් ඉතිරෙන, සෞභාග්‍යමත් නව වසරක්‌ පතමි ඔබට!