Saturday, 12 April 2008

මට මතකයි .... අවුරුදු කාලෙට -2

(පසුගිය අවුරුද්දේ, සිංහලයා අවුරුදු කලාපය වෙනුවෙන් ලියැවුනු, මට මතකයි.. මගේ අවුරුදු මතක සටහන් මෙලෙස යුනිකේත අකුරු කොට පල කරන්නට සිත් විය.)

අවුරුදු ලබනකොට ගෙදර හැමදෙනාම එකතුවෙනවා අවුරුදු කෑම අනුභවයට, මට මතකයි ලොකු අත්තා පොල් තෙල් පහන පත්තු කරලා, කිරිබත් කැල්ලක් හැමොගෙම පිඟන් වලට බෙදනවා, ගෙදර හැමෝම එකතුවෙලා අර හදාපු කෑම රස කර කර කනවා මතක් වෙද්දී මේ ලියන ගමනුත් මගෙ කටට කෙළ උනනවා.
ගනු දෙනු කරන වෙලාවට තමයි අපි පුංචි ඈයෝ හුඟක්ම කැමති , බුලත් කොළ වල ඔතපු කාසිය බැගින් ලොකු අත්තා, අත්තම්මා ඇතුලූ ඔක්කොම වැඩිහිටියෝ අපිට දෙනවා, ඒ කාලෙ වැඩිපුරම ලබෙන්නේ රුපියල් පහේ කාසි තමයි, ඉතිං අපිට රටක් රාජ්ජයක් ලැබුනා වගේ, සල්ලි ටික බොහොම පරිස්සමෙන් කැටේකට දානවා එහෙම නැත්නම් අම්මට දෙනවා අරං තියන්න. ඒ වගේම හැමෝම වැඩිහිටියන්ට බුළත් දීල වඳ ආශිර්වාද ගන්නවා. කොයි ගෙදරට ගොඩ උනත් වැඩිහිටි සියල්ලන්ටම දණ නමා වඳින්න අපි පුරුදු පුහුණු වී සිටියා. එවිට වැඩිහිටියන්ගේ සිත් සතන් තුල වුවද තමන්ගේ බාලයන් කෙරෙහි පහන් හැඟුමක් ඇතිවන්නේ, හදවතින්ම ජය සතුට සැප යනාදිය සමග තෙරුවන් සරණයි කියලා ඔවුනට ආශිර්වාද කරමින්. අද වෙනකොට මේ සිරිත් ටිකෙන් ටික අප අතරින් ඈත්වෙලා යන්නේ අපෙම කරුමයටදෝ කියලත් හිතෙනවා.

මට මතකයි ගමේ ගියාම ඉතින් අපිට එක විනාඩියක් එකතැනක ඉන්ට ඉස්පාසුවක් නෑ.
මහා විසාල අරලිය ගහේ අත්තක නොවරදවාම බඳින ඔන්චිල්ලාව පදින්න අපි ඔක්කොමලා පොර අල්ලනවා, ඉස්කෝලේ ඉගෙන ගත්තු ඔන්චිලි වාරම් කවිත් අත්තම්මා උගන්නපු ඒවත් කිය කියා ඔන්චිලි පදිනවා මට තවම මතකයි.

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ
කඩා දියන් මගේ මලේ

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට පුවක් කැලේ
නැන්දලාගෙ කොස් අත්තේ
එක ගෙඩියයි පල ගත්තේ

ඒක කන්ට ලූණු නැත්තේ
ලූණු මිනිහා ගම නැත්තේ
ගම කොතැනද කටුබැද්දේ
ඔංචිලිචිලි චිල්ල මලේ

මතකෙට නැගුනම ඒ අතීතය ඇත්තටම ගොඩාක් දුකක් දැනෙනවා එවැනි කාලයක් යලිත් එන්නේ නැති නිසා. ඒ කාලෙ හැම පවුලකම දරුවෝ හතර පස් දෙනෙක් උන්නා, අපේ අප්පච්චිටම සහෝදර සහෝදරියෝ හත් දෙනෙක්, ඉතිං අවුරුදු කාලෙට මුළු ගෙදරම පිරෙනවා.
සෙල්ලම් කරන්න පංච දමන්න, ඔළිඳ කෙලින්න එහෙම කට්ටිය වැඩියි ඉතින් හොඳටෝම.
අදනම් අවුරුද්දටත් කට්ටිය රූපවාහිනිය ළඟ රැස් වෙලා , ඇයි එදාටත් ෆිල්ම් යනවනේ ඔන්න අපේ රටකට ගිය කල
අවුරුදු උත්සවයක් නොවැරදීම ගමේ තරුණයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වෙනවා. එදාට ඉතින් බාල මහළු සියලූම දෙනා පාළම අසල අවුරුද්ද වෙනුවෙන්ම සැකසුනු මඩුව වෙත ඇදෙන්නේ හිත පිරි සතුටෙන්, අපිත් ඉතින් පුළුවන් හැම තරෙඟටම ඉදිරිපත් වෙනවා. මට මතකයි ලොකු අක්කත් එක්ක ඉඳිකට්ටට නූල අමුණන තරෙඟන් මමයි අක්කයි දින්නා. කවුරුත් තරඟ වලට ඉදිරිපත් වෙන්නේ් දිනන්නම බලාගෙන නොවේ විනෝදයටමයි.
ඒ කාලේ ගමක් තුල එකමුතුව සමගිය සමාදානය හොඳින් පැවතුනා, මගුලකට මරණෙකට එකතුවෙලා දුක සතුට බෙදා හදා ගන්න තරම් ළෙංගතුකමක් හැමෝගෙම හිත් වල තිබුනා. අළුත් අවුරුද්දට තරහ මරහ අත ඇරලා සියළු දෙනා එක්කම හොඳ හිත ඇති කරගන්න එක අපේ කම ඉස්මතු කරන්නක්. මට මතකයි, දැනුම් හැඳුනුම් බේදයක් නැතිව අවට සියලූ දෙනාත් සමගම අවුරුදු කැවිලි පෙවිලි බෙදා හදා ගැනීමත්, පෙර අමනාපකම් සියල්ල ලබන්නාවූ අළුත් අවුරුද්දේ්දී අමතක කරදමා සියල්ලන් හා සාමයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමත් අපේ පැරැණ්නනගේ මා දුටු හොඳ සිරිතක්.

ඔබ හැමට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

2 comments:

Anandawardhana said...

සුබ අලුත් අවුරුද්දක් වේවා.
ලස්සන ලිපි දෙකක්. පල කලාට සතුතියි.

Dili said...

මං බලන් හිටියෙ ලිපියේ අනිත් කෑල්ලත් එනකං. නියම ලිපිය බෝ.

අතීතය තව දුරටත් සිහිනයක් නොවන, තෙල් ඉහිරුණු කැවුම් ගෙඩියක් වගේ හිනාවෙන්න පුලුවන් සුබ අලුත් අවුරුද්දක්ම වේවා!

:)