Saturday, 8 March 2008

A mother understands what a child does not say...

The real religion of the world comes from women much more than from men - from mothers most of all, who carry the key of our souls in their bosoms. ~Oliver Wendell Holmes

ජාත්‍යාන්තර කාන්තා දිනය ,අද උදෑසන වෙද්දි, හැම පත්තරේකම සඳහන් වුනේ මේ ගැනයි. හැම දේකටම දින වෙන්කරන ලෝකයේ, කාන්තාවටද දිනයක් වෙන් කර තිබීම අරුමයක් නොවේ.
කාන්තා දිනය ගැන මුලින්ම සඳහන් වෙන්නේ සෝවියට් සමූහාණ්ඩුවෙන්. රුසියාව ඇතුලු සෝවියට් රටවල් කීපයකම කාන්තාවෝ පෙළපාලි යමින් තම අයිතිවාසිකම් සහ ඉල්ලීම් පිළිබඳ සමාජය දැනුවත් කලාලු. ඒත්‍ අද කාන්තා දිනයට එලියට පනින, "ඉල්ලීම්" පෝස්ටර් කටවුට්, එදාට විතරක්ම සීමාවුන ප්‍රදර්ශනයක් ගානට මට පෙනෙන්නේ.

පවුල් බර කරට අරගෙන සැමියා හා දරුවන් වෙනුවෙන් වෙහෙසෙන කාන්තාවන් ගැන මසිතේ ඇති වන්නේ විශාල ගෞරවයක් සහ භක්තියක්.

ආර්තික වශයෙන් දුෂ්කර අවදිවල, අපට කිරිපිටි බොන්න දී ප්ලේන්ටියෙන් බඩගින්න නිවා දැම්මේද, දරුවන්ට හොඳම දේ ගෙනත් දුන්නේද, බොහෝ සෙයින් රැක බලා, ලෝකය මෙයයි කියා දුන්නේද ඒ අසීමිත ආදරයයි.

මට මතක් වෙනවා ඉස්සර වැහි දවස් වලට, අම්මා කුඩේත් අරගෙන බස් හෝල්ට් එකට එනවා ,මම කුඩයක් නොගෙන ගිය බව දන්න නිසා, එන එන බස් එක දිහා බලමින් මා එනතුරු මහ වැස්සේ මග බලමින් ඉන්න අම්මාගේ රුව මේ දැනුත් මසිතේ ඇඳෙනවා.
ඇතැම් ටියුෂන් පන්තී හමාර වෙන තුරු මහ රෑ වෙනකම් ඒ අසල ඉඳලා මහා රෑ බස් වලින් ආරක්ෂා සහිතව එක්කන් එන අම්මා අනේක දුක් විඳ අප සියලු දෙනා ලොකු මහත් කලේ දැඩි දුෂ්කරතා මැද,අම්මා උයන පිහන කෑම වල උනත් වැඩි පංගුව අපට බෙදා සැනසෙයි.
වාහනයක් නොතිබූ ඒ යුගයේ, බස් වල අපි තුන්දෙනාව ආම්බාන් කරගෙන ගෙදර එනවිට එක දවසක් බොහෝ වටිනා අම්මාට තෑගි ලැබුනු ඔරලෝසුවක් පවා නැතිවී තිබුනා මතකයි. විදුලි පංකා නොතිබුන ඒ කාලයේ, ඌෂ්ණෙට දාඩිය දමනවිට රස්නෙයි කියා අපි කෑ මොරදෙන විට, මාරුවෙන් මාරුවට පත්තර ෆයිල් කවර වලින් පවන් ගහමින් අප සැනසූ අම්මාත් අප්පච්චීත්, අප උස් මහත් කරන්නට ගත් වෙහෙස මතක් වෙද්දී මා නෙතේ කඳුලක් නැගෙන්නේ ඔවුන්ගේ අපිරිමිත ආදරය සිහිවෙලා. ඔවුන් ජීවත් වෙන්නේ අප වෙනුවෙන් බව කියද්දී හිතට දැනෙන ශක්තිය මෙතැකැයි කියා නිම කරන්න බෑ. "මොන දේ උනත් අම්මා ඉන්නවා.." මගේ අම්මා අපිට නිතරම කියන දෙයක් . අපි සම්බන්ද ඇතැම් දේවල් අපි කියන්නත් කලින් අම්මාට දැනෙන්නේ කොහොමද කියන දේ අපි පොඩි කාලෙ ඉඳන් අම්මාගෙන අහන දෙයක්.

මේ ටිකේම දකින්න ලැබුනේ, අම්මා තාත්තා රවටමින් ඔවුන්ගේ ඕනෑඑපාකම් වලට පිටින් වැඩකරන දරුවන්ගේ හැසිරීම්. කවුරු උනත් දෙමාපියන්ට විරුද්දවාදීකම් කරද්දී මසිතට දැනෙන්නේ දැඩි දුකක්. දෙමාපියන් දරුවන් හදන්නේ වඩන්නේ කොයි තරම් ලොකු බලාපොරොත්තු ඇතිවද නමුත් දරුවන් ලොකු මහත් උනහමා ඒ සියල්ල අමතක කරලා, දෙමාපිය කඳුළු මතින් ඔවුන්ගේ ලෝකයන් ගොඩ නගා ගන්නවා.
”දෙමාපියො උනාම දරුවන්ගෙ ඇතැම් තීරණ වලදී නම්යශීලී වෙන්න ඕනේ” ඒ හැම තිස්සෙම අම්ම කියන දෙයක්. ඕනෙම දෙයක් දෙමාපියො සමග කථා බස් කරන්න හැකියාවක් දරුවෙක්ට තියෙන්න ඕනේ නැත්නම් ඒ දරුවා හුදෙකලා වෙනවා. අම්මා තාත්තා ඒකාදිපති වාදියෝ උනාම දරුවෝ ගෙදරට හොරා රහසේම තමන්ට කැමති කැමති දේ කරනවා.

මට මතකයි කැම්පස් එකේ මගෙ යාළුවෙක් හිටියා, ගෙදරින් ගොඩක් තද නීති රීති තිබුනා මෙයාට , මොකද මෙයා පවුලේ එකම ගෑණු දරුවා. ඒත් ඉතින් එහෙම උනා කියල මෙයානම් තමන්ට ඕනෙ හැමදේම කලා,ගෙදරට ටොම් පච ඇද බාලා. හැමදේම කිව්වේ ඉතින් අර සමාජ සම්මතයන්ට විරුද්ද ඒවගේම සදාචාරසම්පන්න නොවන දේ. මම දවසක් ඇහුවා ”ඔයාට අම්මා නිදහස දෙන්නෙ ඔයාව විශ්වාස කරලා ඒත් බලන්න ඔයා අම්මව හොඳට රවට්ටනව නේද, ඔයාටත් දුවෙක් ඉන්න දවසට ඔයාට තේරෙයි මොන තරම් අම්මලා වද වෙනවද දරුවො ගැන” කියලා
මෙයා ගත් කටටම කිව්වෙ ”මට දුවෙක් ඉන්නදාට මම අපේ අම්මටත් වඩා තදින් ඉන්නවා, මං දන්නවනෙ මම දැන් කරන බොරු. ඒ හින්දා මට බොරු කරන්න කාටවත් බැරි වෙවි ” කියලා
පොඞ්ඩක් හිතලා බැලූවොත් තේරෙනවා තමන්මයි තමන්ට බොරු කරගන්නේ කියලා. කවදාහරි දවසක ආපස්සට හැරිලා බැලුවම තේරෙයි තමන්ට වැරදුනු තැන්.

මේ ගීතය අපි පොඩි කාලෙ නිතර දෙවේලෙ ගුවන් විදුලියෙන් අහුන ළමා ගීයක්, අවාසනාවකට අද වෙනකොට මෙවනි ගීත අහෙන්නෙම නැති ගානයි.

ගංගාවක් වී ගලන්න උල්පත පසු කර
වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට
දූවිල්ලෙන් පිරුනු දාට ඔබ යන මාවත
සිහි කරන්න කඳු පාමුළ මව් කිරි උල්පත

මතක වචන ටික ඔච්චරයි, ආයෙ අහන්න ලැබුනේ නෑ.

ජීවිතෙ කොහොම වෙනස් උනත් අම්මා නිතරම ලඟ ඉන්නව කියනදේ හරිම ලස්සන උපමාවක් එක්කම අපිට ඒ ගීයෙන් කියා දෙනව නේද? . දෙමාපියො තරම් අපිට ආදරේ වෙන කිසිවෙක් නෑ මේ ලෝකෙ. මුළු ලෝකෙටම අපව එපා උනත් අපේ අම්ම අප්පච්චීට කවදාවත් තමන්ගේ දරුවන් එපා වෙන්නෙ නෑ. තමන්ගේ් හැම සේසතම විය හියදම් කරලා ගොඩාක් ආදරේ දක්වලා දුකක් නොදී හදන දරුවන් අන්තිමට තමන්ගේ දෙමාපියන්ට ගොඩාක් දුක් දීලා ඔවුන්ව හුදෙකලා කරලා අලූතෙන් හොයාගත් ආදරයක් පස්සේ දුවනවා.
අපේ හොඳම යාළුවා විය යුත්තේ අපේ අම්මා, අප්පච්චි කියන දේ පොඩි කාලේ ඉඳන් අපේ හිත් වල පැල පදියම් වෙලා තිබුනා. අපිට අම්මා අප්පච්චී ඕනෑ වෙන ඕනෙම වෙලාවක අපි වෙනුවෙන් කාලය කැප කරන්න ඔවුන්ට පුළුවන් කම තිබුනා.
A mother is the truest friend we have, when trials heavy and sudden, fall upon us; when adversity takes the place of prosperity; when friends who rejoice with us in our sunshine desert us; when trouble thickens around us, still will she cling to us, and endeavor by her kind precepts and counsels to dissipate the clouds of darkness, and cause peace to return to our hearts. ~Washington Irving

1 comment:

nidhahasa said...

සමාජ යතාර්ථයන් එක්ක බලනකොට මිනිස්සුන්ට රැවටීම පුරුදු වෙනවා. ඒක පුද්ගල සම්බන්ධතාවල බිඳ වැටීම නිසා සිදු වුන දෙයක්. අම්මා , තාත්තා කියල වෙනසක් නෑ.