Saturday, 29 March 2008

Depth of Sinhala Poetry...කවි ගැන කතාවක්..

කවියක හැඩ බලමු හොඳ හැටි හොයාලා...

කවියක් ලියන්නේ කොහොමද ? කවියෙක් කියන්නේ කාටද ?කවි කියන්නේ මොනවාද ? .. මෙවැනි බොහෝ දෑ ගැන මා තුල වූ කුකුස නිසාම කවි අධ්‍යයනය කිරීමට මා සිත නැඹුරු විය. ඒ ඔස්සේ කියවන්නට ලියන්නට සහ දොඩන්නට, පොත පත , කලා කෘතීන් සහ හිතමිතුරන් බොහෝ දෙනෙක් නිසා හැකි විය. ජීවිතේ නිරන්තරයෙන් කරන සහ කරන්නට ලැබෙන බොහෝ දේවල් කවි කලාවෙන් ඈත් කොට තබන්නට අර අඳින දේ උනත්, හිත ඇතුලෙන් එන මහා අදෘෂ්‍යමාන බලවේගයක් නිතර නිතර හිත කලාව පැත්තට ඇදලා දමනවා. මේ ලිපිය ලියන්න අරගෙන දැන් බොහෝ කාලයක්, සූ අක්කා නිරන්තරයෙන් කල මතක් කිරීම් නිසා ඇත්තටම විවේකයක් ලැබුනු විගස, හිතේ සටහන් වී තිබෙන සියලු දත්ත මෙසේ සටහන් කොට තබමි
මේ සිංහලයා විශ්වීය ගුවන් විදුලි මැදිරියේදී චාමික මුණසිංහ මහතා සමග මම සහ සූ අක්කා විසින් ඉදිරිපත් කරනලද කාව්‍ය කතිකාවතින් උපුටා ගත් යම් කරුනු කීපයක් මම සටහන් කරගත් අයුරින්, මතකයට නැගෙන පරිදි ලියා තබමි.

මුලින්ම චාමික අයියගෙන් මම ඇසුවේ අපේ සිංහල කාව්‍ය ඉතිහාසය ගැනයි ... එයට ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි..
කවිය කියන්නේ අපිට විශේෂ දෙයක් දැන් නව කථාව කෙටි කථා මෙවැනි කළා මාධ්‍යයන් අපිට පිටරටින් ආනයනය වුනු කළා මාධ්‍යයන් වශයෙන් තමයි අපට හඳුනා ගන්න ලැබෙන්නෙ නමුත් කවි කළාව කියන එක අපේ මේ ලක් පොළවේ ඉපදුනු විශේෂ කළා මාධ්‍යයක් එනිසාම කවිය අපට අනන්‍යවූ කලා මාධ්‍යයක් හැටියට හඳුනා ගන්න ලැබෙනවා . බොහෝ විට පොත් වල සඳහන් වෙනවා කෙළ සුවහස් විරිත් තියෙනවා කියලා, එළි සඳැස් ලකුණ පොතේ ඒ වගේම විරිත් වැකිය පොතේ සඳහන් වෙනවා අපේ විරිත් භාවිතය පිළිබඳව.
කවිය කියන එක අපේ පොළවේ බිහි වුනු දෙයක් එනිසා මේක ආනයනය වුනු දෙයක් නොවේ කවිය අපට විශේෂ වූ කළා මාධ්‍යයක් එනිසා කවිය පිළිබඳව අපට බොහෝ දේ කථා කරන්නට තියෙනවා, හදවතේ භාෂාවයි කවිය කියලා ගුණදාස අමරසේකරයන් කියනවා. එනිසා කවිය අපේ ජනතාවගේ හදවතේ භාශාව පිළිබඳව අපට කථා කරන්න බොහෝ දේ තියෙනවා

එතකොට අයියේ කවියක් කියන්නේ මොකක්ද ? මගෙන් තවත් පැණයක් !

කවියක් කිව්වහම ඒකට බොහොම පුළුල් අර්ථ කථනයන් තියෙනවා.
අපිට දැන් සංදේශ කාව්ය වල හම්බ වෙනවා දස පද හෑළි වශයෙන් ඒවගේම සිව් පද කවි හැටියට ඒ විතරක් නෙවේ නිසඳස් කවි හැටියට නිදහස් කවි හටියට ඒවගේම ගීතාවලියන්හි විවිධ විරිත් වලින් ලියපු කවි හමුවෙනවා.

ඉතිහාසය ගත්තොත් දැන් අපිට කවි පිළිබඳ ෙඑතිහාසික සාධක ඉස්සෙල්ලම හම්බ වෙන්නේ සීගිරි කැටපත් පවුරෙන්, ක්‍රිස්තු පූර්ව 6 වෙනි 9 වෙනි 10 වෙනි සියවස් වල ලියවුනු කවි අපට හමු වෙනවා. ඒවා ඒකාලෙ හිටපු කවීන්ගේ අත් අකුරෙන්ම ලියවුනු කවි අපට දැක ගන්න හම්බ වෙනවා කැටපත් පවුරෙන්. ඉතින් කැටපත් පවුර කියන්නේ බොහොම වපසරිය කුඩා දෙයක් මං හිතන්නේ ඒකෙ තිබෙන කවි අතර අපිට හම්බවෙනවා ගී විරිතෙන්ම විතරක් ලියූ කවි 685 විතර. අපේ ආදී සිංහලූන් කවි ලියූ බවට හොඳම නිදර්ශනය එතනම තියෙනවා.
ඒවගේම පුරාතනයේ පද්‍යයෙන් ලියූ සෙල් ලිපි, බොහෝ දෙනා හිතන්නේ මේ සෙල්ලිපි ලියා තියෙන්නෙ ගද්‍යයෙන් කියලනේ නෑ පද්‍යයෙන් ලියූ සෙල්ලිපි කීපයකුත් අපේ ඉතිහාසයේ තියෙනවා අපිට. එනිසා කවිය කියන්නේ අපේ මාධ්‍යයක්

කවියක ආකෘතිය කුමක්ද, කවියක් ලියද්දී කිසියම් පූර්ව රීතියකට යටත් වෙන්න සිදු වෙනවාද ?

කවියේ හැඩරුව ආකෘතිය මේ මේ විදිහයි කියලා කියන්න බෑ. මොකද අපේ කවියෝ කොළඹ යුගයට එද්දී තමයි එක එක සීමා මායිම් යොදාගත්තේ, කවිය සිව් පද වෙන්න ඕනේ එළි වැට තියෙන්න ඕනෙ එළි සමය තියෙන්න ඕනේ කියලා නමුත් අපේ කවියෝ අතීතයේ කිසිම බලපෑමක් කලේ නෑ
නමුත් පෙදෙන් බුදු සිරිත කියලා.. කවියක් හෝ ගද්‍යයක් හෝ කිසියම් කලා මාධ්යයක් කරනවනම් බුදු සිරිත ඒකට ඉවහල් කරගත්තා. ඒකයි පෙදෙන් බුදු සිරිත කිව්වේ, අපේ කවියෝ පොත පත ලියද්දි, බෝසත් කතා, ජාතක කතා මේ වගේ විව්ද කතා වලට ආශ්‍රය කර ගත්තේ බුදු සිරිතමයි, ඒ පෙදෙන් බුදු සිරිතට අනුගත වෙන්න නමුත් ආකෘතිමය වශයෙන් කවියට කිසිම බලපෑමක් නෑ
අපේ ඉතිහාසය ගත්තොත්, පොළොන්නරු දඹදෙණි යුගයන් වලදී මුවදෙව්දාවත සසඳාවත වගේ ගී කාව්‍ය හමුවෙනවා ඒවා කණ්ඩ කාව්‍ය වශයෙන් හඳුනා ගන්නේ
දඹදෙණි යුගෙයේදී අපට හමුවෙනවා පණ්ඩිත පරාක්‍රමභාහු රජතුමා ලියූ කව් සිළුමිණ ඒක මහා කාව්‍යයක්. එතකොට දැන් මහා කාව්‍ය ලක්ෂණ කණ්ඩ කාව්‍ය, ගී කාව්‍යය , සිව් පද ලක්ශණ යන මේ සියලු ලක්ෂණ ඇතුලත් විවිදාකාර ආකෘතීන් අපේ කවි තුල තිබෙනවා ...
එනිසා නිශ්චිතවම කියන්න බෑ මෙන්න මේ ආකෘතියෙන් කවියක් බිහි විය යුතුයි කියලා!

කවියක් වෙන්න අංග කීපයක් තියෙන්න ඕන, කවියක අර්ථ මාදූර්‍යයක් තියෙන්න ඕනේ ශබ්ද මාදූර්‍යයක් තියෙන්න ඕනේ ඒකියන්නේ අර්ථය සහ ශබ්දය මූලික කරගෙන තමයි කවියක් නිර්මාණය වෙන්නේ ඒකෙ කිසියම් රිද්මයක් තිබිය යුතුයි
නිසඳැස් කවියොන්ට තිබ්බෙ නෑ රිද්මයක් ඔවුන් අර්ථය මූලික කරගෙන කලේ එනිසා ඔවුන්ට තිබ්බෙ නෑ ගොඩක් වෙලාවට ශබ්ද මාදූර්‍යයක් , අංගවිකල කවි බිහි වුනේ ඒ නිසා

නමුත් කවියක අර්ථ මාදුර්‍යය ශබ්ද මාදූර්‍යය ව්‍යාංගාර්ථ, උත්ප්‍රාස රසය, අනුප්‍රාස රසය, උපමා රූපක, ඔය වගේ විවිදාකාර කාව්‍යය උපක්‍රම තියෙනවා ඒවායෙන් පරිපූර්ණ වුනහම තමයි ඒවා කවියක් හැටියට ගන්න පුළුවන් එහෙම කවි ලියන අය තමයි කවියො වෙන්නේ
අනිත් කට්ටියට කියන්නේ කවියො නෙමේ, කුකවියෝ.. කවියො සහ කුකවියො කියලා දෙපිරිසක් ඉන්නවා අද අපට දකින්න ලැබෙන්නේ බොහෝමයක් කුකවියෝ

එතකොට අයියේ කවියෙක් වෙන්න මොනවද කල යුත්තේ අපි ?

කවියෙක් වෙන්න අපි කවි කලාව දැනගන්න ඕනා, දැන් අපේ කවි කලාව කියන්නේ අද තියෙන නිසඳැස් කවි නෙමේ, අපිට ඊට ඉහළ කවි කලාවක් තියෙනවා, අපේ අනුරාධපුර පොළොන්නරු යුගයේ ඉඳන් සීගිරි කැටපත් පවුරේ ඉඳන්ම අපේ කවි කලාව තියෙනවා . අපේ අතීත මූලාශ්‍ර හදුනා නොගෙන අද දවසේදී මේ වචන හතරක් පහක් ගැට ගැහීමෙන්ම කවියෙක් වෙන්න බැහැ, අපේ මූලාශ්‍ර අපි හොයන් යන්න ඕනා
සීගිරියෙ අපිට හමුවෙනවා බොහොම කෙටි කවි , මුක්ත කවි කියලා ඒවා හඳුන්වන්නේ. සමහර කවි වල පද හතරයිපහයි තියෙන්නේ, සමහර කවි පද දෙකයි, මේ වගේ කෙටියෙන් අදහස් ලියා තියෙනවා. පුනරුක්ති දෝස වලින් තොරයි ඒ කවි.

ව්‍යාකරණ ගැන කවියෙක් සැලකිලිමත් විය යුතුද ?

නිදහස් කවියේ නිර්මාතෘ වන ජී.බී. සේනානායක මහතා කියනවා, ව්‍යාකරණ දැනගෙන ඒ ගැන අවදානයෙන් කවි ලියන්න යන එක හරියට විලංගු දාගෙන ඇවිදින්න යනවා වගෙයි කියලා. විලංගු දාගෙන ඇවිදිද්දි වැටෙනවා එනිසා ඔහු ව්‍යාකරණ වලින් තොරව කවි ලියපු නිදහස් කවියෙක් නමුත් ඔහුත් පසුකාලීනව කියා තිබෙනවා යම් ව්‍යාකරණයක් දැන ගැනීම වැදගත් බව, දැන් උදාහරණයක් හැටියට මාලිනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන ගීයක් තියෙනවා

මාද ඔබම විය,
ඔබම මාද විය

කියලා ගීතයක්. මේ ගීතය ගත්තහම මාද ඔබම විය කිව්වහම එතන උත්තම පුරුෂයත් නෙමෙයි මධ්‍යම පුරුෂයත් නෙමෙයි ප්‍රථම පුරුෂයත් නෙමෙයි. මෙතන තියෙනවා යම් වාක්‍ය ගැලපීමේ රටාව බිඳ දැමීමක්. ව්‍යාකරණයෙන් තොරයි මේ ගීතය මේවගේ ගීත බොහෝමයක් නිතර අපිට ඇහෙනවා එතකොට ව්‍යාකරණ පිළිබඳ යම් අවබෝදයක් තිබීම කවියෙක්ට වගේම ගීත රචකයෙක්ටත් වැදගත් වෙනවා එහෙම නැති උනහම තමයි අර ජානක වික්‍රමසිංහ ගායනා කරන "බාලිකාවියන් තක්සලා දොරෙන් " කියලා, එතකොට බාලක කියන වචනේ ස්ත්‍රී ලිංග පදය තමයි බාලිකා. නමුත් වියන් කියලා ප්‍රත්‍යයක් එක් කරන්න ඕන නැහැ එතන, එහෙම එක් කරපු වචන නැහැ සිංහලෙන් , ඉතින් එතන ව්‍යාකරණ පිලිබඳ තිබෙන අනවබෝදය නිසා බාලිකාවියන් කියලා ලියලා තියෙනවා. ඒ වගේම අද දවසේ භාවිතා වෙනවා රැඳවියන් කියලා වචනයක් රැඳවියන් කිව්වම අපිට මතක් වෙන්නේ කාන්තා පාර්ශවයේ කට්ටිය නමුත් පිරිමි පාර්ශවයටත් රැඳවියන් කියලා පාවිච්චි වෙනවා.
මේ ව්‍යාකරණ පිළිබඳ අනවබෝදය කවින්ට ගීත රචකයන්ට මෙන්ම අප සමාජයේ බොහෝ අයට තියෙනවා එනිසා තමයි මේ සියලු අභාග්‍යයන්ට හේතුව..

3 comments:

Kanishka said...

මට ඔබ, ඔබ මට වගේ පද රචනා ලියවුනෙත් ඔය වගේ නොසැලකිලල නිසා තමයි.

Anandawardhana said...

මේ ගුවන්විදුලි විකාශයට සවන් දිය හැක්කේ කෙසේ දැයි අපට නොකියන්නෙ අහවල් හේතුවක් නිසා ද :D
බ්ලොග් අවකාශයේ ගැවසෙන අයටත් එය හඳුන්වා දෙන මෙන් බෝදිනීගෙන් ඉල්ලන්න කැමතියි.

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

කවිය ගැන හොඳ සංවාදයක්. අපිත් එක්ක බෙදා ගත්තාට ස්තුතියි..