Saturday, 16 February 2008

මගෙ ගම මහනුවර ... My home town Kandy


අපේ ගමේ අවුරුදු ... මා ලියූ අවුරුදු මතක ලිපි එකතුවක්‌.
"සිංහලයා අපේ අවුරුදු" කලාපයේ මෙය පසුගිය අවුරුද්දේ පළ වුනා, මගේ ගම ගැන විස්‌තරය මා ලියූ එයින් උපුටා ගත්තා

අවුරුද්දට ගමට යනවා...

ඉස්කෝලෙන් නිවාඩු ලැබුන ගමන් ඉතින් නුවර යන්න තමයි අපේ දැඟලිල්ල. දරුවෝ හැමෝම මහ ගෙදරට ඇවිත් අම්මා අප්පච්චී එක්ක අවුරුදු කාලෙ ගත කරන සිරිත පුරාණයේ සිට පැවත එන්නක්. අත්තම්මා ලොකු අත්තා ඇතුලූ සෙසු නෑදෑයෝ සමග අවුරුදු සමරන්න හැම අවුරුද්දකටම අපි ගමේ යනවාමයි.
යන පාරෙ අතරමග පහුවෙන ගැටඹේ පන්සල ලඟදී පඩුරු දමන්න කවුරුත් අමතක කරන්නෙ නැහැ. කාර් බස් කෝක උනත් එතනදී නතර කරල වැඳලා පඩුරු දමනවා.

එක කාලෙක මහා ගං වතුරක් ඇතිවෙලා ගම් නියම් ගම් ඔක්කොම යටවෙලා, මේ බෝධිමළුව සහ පන්සල විතරක් යට නොවී බේරිල තියෙන්නෙ, ඉතින් මිනිස්සු අදත් එතනින් යද්දි වාහන නතර කරල පඩුරු දමලා අවසර ආරක්ෂාව පතන්න අමතක කරන්නේ නැහැ.

නුවර දළදා මාලිගාව ලඟින් යද්දී දොහොත් මුදුන් දීලා ඒ දිහාට වැඳලා තමයි යන්නේ, ඒ වගේම දිවුරුම් බෝධිය පන්සලත් පහු කරගෙන තමයි අපි ගමට යන්නේ, ඒ නම හැදුනේ, දුටු ගැමුණු රජතුමා යුද්ධෙට යද්දී රට බේරා ගන්ට දිවුරුම් දීලා තියෙන්නේ එතන නිසා,අත්තම්මාගෙන් නිතර අහන පුරාණ කතන්දර වල කියෑවුනේ, මෙහෙම කථාවක්, සුද්දා අපේ රට පාලනය කරද්දී, දළදා මාලිගාව සහ ඒ ආස්රිත සිරිත් ක්රියා හෙළා දැකපු නිළදාරීන් දන්ත ධාතූන් වහන් සේ තලා විනාශ කිරීමට නියෝග කලාලු, එතකොට ඒ අවස්ථාවේ ධාතූන් වහන් සේ අහසට නැගී අතුරුදහන් උනාලු, පසුව දන්ත ධාතූන් වහන් සේ දිවුරුම් බෝධියේ අතු අතර වැඩ සිටිනු සැදැහැවතියන් දුටුවාලු, අත්තම්මා කිව්වෙ එහෙමයි ඒකත් ජනප්රවාදයක්ද ඇත්තම ඇත්ත කථාවක්ද කියා හා ගිස්සන්න නම් ගියේ නෑ

රුප්පේ පහු වෙනකොටම අප්පච්චී හෝන් එක ගහනවා තුන් හතර සැරයක්, මොකද හෝන් එකේ සද්දේ මහ ගෙදරට රුප්පේ ලඟදී ඇහෙන නිසා. එතකොටලූ ලොකු අත්තාගේ මූණේ හිනාවක් මතුවෙන්නේ, අත්තම්මා ලොකු අත්තා ඇතුලූ හැමෝම ඉතින් පුතාල එනවා කියලා දැන ගන්නවා.මොකද ඒ කාලෙ අපේ ගමට විදුලිය, දුරකථන පහසුකම් තිබුනේ නැහැ. මේක හැමදාම නොවරදවා කෙරුනු දෙයක්. රුප්පේ කියන ස්ථානය හා සම්බන්දව ඉතිහාස කථාවකුත් තියෙනවා.
රාජසිංහ රජතුමා(එහෙම තමයි මට දැන ගන්ට ලැබුනේ) ඔන්න ගම් නියම් ගම් වල සැරිසරන අතරේ ලොකු වැස්සක් ඇවිදින් ගං පිටාර ගලලා. රාසීහ රජතුමා, රුප්පේ වංගුවේ තියෙන ගහට නැගලා, උදව් ඉල්ලලා තියෙනවා. රුප්පෙ වංගුවෙන් පහල කඳු අතරේ නිම්නයේ පිහිටි ”වලක වගේ” ගම තමයි ලඟම තිබුනේ නමුත් කාටවත් ඇහිලා නැහැ. වැස්ස නිසා වෙන්ට ඇති, ඒත් ඊට එහායින් කන්දේ පිහිටි ගමේ මිනිස්සුන්ට ඇහිලා එයලා ඇවිත් රජ්ජුරුවන් බේරගෙන. රජතුමාට ඉතින් කේන්තියි අච්චර ලඟ තිබුනු ගමේ මිනිස්සු ආවෙ නැති එකට, ඉතිං රජ්ජුරුවෝ ඒ ගමට නෑහුණු වල කියල නම් තිබ්බලූ, අර ඇහිලා බේරගන්ට ආපු මිනිස්සුන්ගේ ගමට ඇහුණුගම කියලා නම් තිබ්බලූ
අන්තිමට ජන ව්යාවහාරය නිසා. නෑහුණුවල , නැහිනිවල උනා, අද වෙනකොට ඇහුණු ගම , අළුත් ගම කියලා හඳුන්වනවා. මේ මම අප්පච්චී, ලොකු අප්පච්චීගෙන් එහෙම අහගත්තු කථාන්දරය.. රුප්පේ වංගුවේ අර රජතුමා ගොඩවුනු ගහ තවම තියෙනවා.

එක පැත්තකින් හන්තාන කඳු වලල්ල පෙනෙනවා, තව පැත්තකින් ඌරාගල කන්ද පේනවා. ගම මැද්දෙන් ගලන තලාතු ඔය මහවැලි ගඟ බලා ඇදෙනවා. වැහි කාලෙට තලාතු ඔය පිටාර ගලනවා, එතකොට පාළමටත් උඩින් වතුර දමනවා.
ගමේ යද්දී, අප්පච්චී මග දකින හැම කෙනෙක්ටම වාහනේ නතර කරලා කථා කරන්න අමතක කරන්නේ නැහැ. මේක අපේ සිංහලයෝ තුල තියෙන හොඳ ගුණාංගයක්, කා එක්ක උනත, කට පුරා හිනාවෙලා, බෑරක්ද ආයිබෝං කියල අහන්නේ , හිතේ තියෙන ළෙංගතු කමටයි.
එ්ත් නගරේදී ඔන්න දන්න කාගෙන් හරි අහුවනම් කොහෙද යන්නේ කියල, ඇයි මොකටද අහන්නේ වගේ තරහින් තමයි ගොඩක් අය උත්තර දෙන්නේ.
තලාතු ඔය පාළම පහුකරගෙන යද්දී, ඔය ලඟම දෙපැත්තේ වෙල් යාය, මේ දැනුත් මගේ මනසේ ඇඳෙනවා...

මගෙ ගම මහනුවර

සෙංකඩගල පුරය බල මැන සිරින් පිරී
බෝගම්බර වැව මැද ඇත දියෙන් පිරී
වටකොට කඳු මුදුන් සිරියෙන් බලෙන් පිරී
මගෙ ගම මහනුවර සීතල බවින් පිරී

අප ලක උතුම් දළදා හිමි වැඩ හිඳින
ඝණ රන් කිරණ සැම දස අත පතුරවන
උස් කඳු මුදුන් මහ දිය ඇලි ඇද හැලෙන
සිරිමත් මහනුවර අසිරිය බලනු මැන

මද්දුම බණ්ඩාර කුමරුන් නිර්භීත
ලෙයින් තෙත්වුනිද බෝගම්බර සීත
උඩරට මැණිකෙලා සුන්දර සුලලීත
පවසයි සෙංකඩගලපුර ආසිරි ගීත

බෝ ©

5 comments:

Constantin Demiris said...

Kandy....such an enchanting place to be. Glad to know you too are a proud product of Kandy.

෴මඃ෴ said...

මගෙත් ගම මහනුවර
හරියටම කීවේ දුම්බර
ගඟ ලඟම කඳුකර
සුවඳවේ මල් පාන්දර

හේම ජයන්ත කොළඹගේ said...

මම සැලකිල්ලෙන් බැලුවෙ ලිපියෙ ශාරාංශගත කරුනු වලට වඩා ඔබේ වචන හැසිරවීමේ පරිචය දිහා. කියවන්නා තුල පරිකල්පනය ඇතිකරවීමට සමත් වදන් මාලාවක් ඔබට තිබෙනවා. ඒ වගේම එය ඉදිරිපත්කරන ශෛලිය සිත්ගන්නවා. කියවන විට වීඩියෝ පටයක් නරඹනවා වගේ. මම දන්නේ නෑ ඔබ දැනටමත් ලේඛිකාවක්ද කියා. නමුත් ඇයි දිගටම නොලියන්නෙ??ඉලෙක්ට්‍රොණික මාධ්‍යය වගේම මුද්‍රිත මාධ්‍යයත් ඔබට හොදින් ගැලපේවි. දිගටම ලියන්න නංගී..ඔබට සුභපැතුම්

janaka indunil said...

මම නැහිනිවල....අත්තම්මා කියපු විදිහට නම් හෙනකද බිසෝ බණ්ඩාර කියලා පුත්ගලයෙක් හා බෙලිගෙඩියක් සම්බන්දව ජනප්‍රවාද කතවක්...ලොකු වෙනසක් නැ...නැහුනවෙල නැහිනිවල ....

janaka indunil said...

මම නැහිනිවල ....