Wednesday, 30 January 2008

සොඳුරු හිත්

මම සිංහල කවියට පෙම් බැඳ කියලා පටන් ගත්තට, කවි කථා සාහිත්ය හැමදේම අන්තර්ගත කරන්නයි සිතුවේ. ඒඅතරම අතීත මතක ආවර්ජනය කොට ලියන්නත් සිතුවා.

දැන් නේ්වාසිකාගාරයේ අන්තර්ජාල පහසුකම් තිබෙන නිසා, දිගටම ලියන්න හැකිවේවී, ඒත් බොහෝ දුරට එන සතියේ ඉඳන් නැවත කැම්පස් වැඩ පටන් ගන්න නිසා රාත්රියට පමණක් එය කරන්න සිදුවෙනවා,.
මීට කලින් වෙනත් ෆෝරුම වල ලිව්වට, නිදහසේ ලියන්න හැකියාවක් තිබ්බේ නෑ. එක්කෝ ඒවා අයිති අයගෙන් බලපෑම් නැත්නම් ඒවාට එන අනිත් අයගේ දෝෂාරෝපන, මොකද මම පෙම් කවි අජීර්ණයකින් පෙළෙනවාය කියලා සමහරු හිතාන උන්නේ. සමාජ වාදී අදහස්, සමාජවාදී කවි, රැඩිකල් ලියැවීම් කියලා මම ලියන දේවල් වර්ග කල අයත් සිටියා. සමහරු, ඉගෙන ගෙන වැඩි වෙලාය කියලත් කිව්වා. ඊළඟට මම ලියන එවා දිරෝගන්න බැරුව පල නොකියා පලා බෙදපු අයත් සිටියා.
ඒ කොහොම උනත් ඒ හැම දේටම නැවතීමේ තිත තියලා, ලියන්නෙම නෑ කියලා හිතං හිටපු මට, නවතින්න සිදු නොවුනේ නිතර සවි දෙන සොඳුරු හිත් කීපයක් නිසා.

ලියන කවි හැම එකක්ම කියවන මගේ හොඳම යාළුවා, විශ්වජිත් ධර්මවර්දන නිසා තමයි ඇත්තටම මම අන්තර්ජාල පරිශීලනයට පෙළඹුනේ. "බෝදියා, අපි සයිට් එකක් හදමු, බෝදියා කවි ෆෝරුම් වල දමමු" කියලා, මට අන්තර්ජාලයේ අයන්න ආයන්න කියා දුන්නු අදටත් නොවෙනස්ව සිටින මගේ හිතමිතුරා වීශ්වජිත් නිසා නොවේනම් කෙදිනකවත් මා මේ තරම් නොලියනු ඇත.

කවි ලියන අතර තුර හමු වුන සොඳුරු සිත් ඇත්තී ප්රශංසනී අක්කා ගැනද යමක් ලියන්නම ඕනේ, මං ලියලා සයිබර් ගත කරන කවි රිවිර පත්තරේට යවලා ඒවා තවත් සමාජගත කරේ ප්රශා අක්කා, ඒකෙන් මේකෙන්, මහ නුවර නෑදෑ පරපුරම මං කවි ලියන බව දැනගත්තා. කවි පොත හැමෝටම බලන්න ඕනෙ උනෙත් ඒ නිසා. ප්රශා අක්කාට අනේක වාරයක් ස්තූති වන්ත වෙන්න ඕනෙ ඒ සම්බන්දයෙන්.

පොඩි කාලෙ ඉඳන් කවි ලියන්න මට තිබුනේ ලොකු ඇල්මක්, මතකයේ තැන්පත් වෙලා තියෙන හැටියට, පහ වසර පන්තියෙදි, පොඩි පොඩි කවි පන්ති ලියූ බව මතකයි, පන්තියේ සිටි නපුරු වස ළමයෙක් සම්බන්දයෙන් කවි ලියූ බවත් මතකෙට නැගෙනවා.
හත වසර පන්තියේ, ගුරු දිනයට ගායනා කරන්න සුදුසු කවි පන්තියක්, ලියන්නය කියලා බාර දුන්නේ මට, ගෙදර අවිත් අප්පච්චීට කන්කෙඳිරි ගානකොට, අප්පච්චී බොහොම අපූරු කවි පන්තියක් රචනා කර දුන්නා. අප්පච්චි ලියන අයුරු බලාගෙන හිටි මටත්, එක දිගට කවි ලියන්න ඕනේ උනා, එළි වැට තියලා කවි ලියන්න මට මුලින්ම ඉගැන්නුවේ මගෙ අප්පච්චී. අප්පච්චී අපිට කාළි දාස, තොටගමුවේ රාහුල හිමි, වෑත්තෑවේ හිමි වැනි කවියන් ගැන අපූරු කතා කියා දුන්නා. කවි මතක හිටින්න පුංචි කාලෙ කවි පද කියා දුන්නේ අම්මා. සුදෝ සුදු කවි පන්තියේ් කවි පද තාම කටපාඩම් ඒ නිසා. ඊට පස්සේ, නිතර නිතර ලියන හැම දෙයක්ම කියවන්න කියලා අප්පච්චිට මගෙන් බේරුමක් තිබුනේ නෑ.
පන්තියේ නිදහස් වෙලාවලදී මා ලියූ කවි පොත කියවන්නත් බොහො යාළුවන් පුරුදු වී සිටියා. අශිකාට ලියූ කවිය, මංජරී ඇඳපු චිත්ර වලට, සඳමලීගේ හමුදාවට බැඳෙන්න තිබුනු ආසාවට, මේ වගේ නොයෙක් දේවල් පාදක කරගෙන ලියූ කවි ඒ පොත පුරා තිබුනා.
10 වසර පන්තියේදී, දිනක් කවි පොත අහම්බෙන් පත්මා ගුරු මෑණියන් දුටුවා, මිස් පොත අරගෙන කියවද්දී, එහි පන්තියේ ළමුන් සඳහා ලියූ කවි තිබෙන නිසා තරමක් තිගැස්මක් මසිත තුල පැන නැංගා, ඒ අපේ පථයට වැටෙන්නැති, ඉස උදුම්මාගත්ත, සමහර ළමුන් සඳහා, යහළුවන්ගේ ඇරයුමින් මා ලියූ කවිද එහි තිබුන නිසාවෙනි. අම්බානක බැනුම් අහන්න වේදෝයි සිතමින් සිටි මාව පුදුමයට පත් කරමින්, මිස් මා ලඟට කැන්දා, ”මේ කවිය ලිව්වේ කාටද මම දන්නවා” යැයි කියමින්, සිනහ නගමින්, නොයෙක් කවි වල ගුණ දොස් පෙන්වමින් මා තවත් කවි ලියන්නට උනන්දු කළා, රසය සහ උත්ප්රාසය කැටි කර කවි ලියන හැටිත්, අපේ රටේ විද්වත් කවියන්ගේ වතගොතත් මා ඉගෙන ගත්තේ පත්මා ගුරු මෑණියන්ගෙන්. පාසැල් රචනා තරඟයෙන්ද හැමදාම පළමු වැනියා වීමට පුළුවන් උනෙත්, අර රචනය අවසානයේ මම ලියන කව් පද දෙපෙළ නිසාය කියා එකල ඇතැම් යහළුවන් පැවසූවා මතකයි. කියවන සෑම කවියක්ම කටපාඩමෙන් නැවත කියන්නත්, මම බොහෝ ආසා කල දෙයක්. සාහිත්ය පොතේ කවි පාඩම් වලදී, පොත නොබලා කවි ගායනා කර පෙන්නුවේ මිස්ගෙන් හොඳ අහන්නත් එක්කම තමයි. ඒ ඉතින් පොඩි කාලෙනෙ.

No comments: