Tuesday, 16 December 2008

එක්තරා මතයක්, මතකයක් ! සහ ලෞකික යමක් !


කෙනෙකුගේ ඉල්ලීම මත බ්ලොග් එකේ ලියන එක්තරා මතයක්, මතකයක් ! සහ ලෞකික යමක් !

කවුළුවෙන් එපිට වැහි පොද වැටෙනකොට දැනුනු දැඩි සීතල මග හරවාගන්නත් එක්ක අපි කට්ටිය කෝපි බොන්න යන්න කතා වුනා. අපි කෝපි බොන අතරේ අපෙන් කෙනෙක්, ඔහුගේ හිතේ මේ දවස් වල ගැහැණු ළමයෙක් ගැන ඇති වී තිබෙන ආදරය ගැන විස්තර කරන්න ගත්තා.
ඒ එක්කම ඇතිවුන කතාබහ සිදුවීම් මේ සියල්ලම අහගෙන හිටිය මම ඒක පොදු අවකාශයක ලියන්නේ අපේ සමහරක් දෙනා ගැන ඇතිවුනු කළකිරීමෙන්.
ඔහුගේ සිත් ගත් ගෑණු ළමයා හට ඔහුගේ ආදරය පවසා ඇගෙන් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබුනු බවත් (he proposed to her and she said yes !) ඔවුන්ගේ ප්‍රේමය ඉතා සුන්දර බව විස්තර කරන අතරම, ඔහු ඇය හා විවාහ වීමට සිතන බව පැවසුවා. ඒ ගැන පවසද්දී අප වටා සිටි සමහරක් පිරිමි යහළුවන් පැවසුවේ. ඒ ගෑණු ළමයා මීට පෙර සම්බන්දකම් පවත්වා ඇති කෙනෙක් නිසාත් මොනවයින් මොනවා වෙලාද දන්නේ නැති නිසා, ඒක හරියන්නේ නැති බවයි. ඊට වඩා හොඳ පිරිසිඳු චරිතවත් කෙනෙක් හොයා ගත්තොත් නරකදැයි ඇසුවේ, ගැහැණු ළමයි කීප දෙනෙක් සමග සම්බන්දකම් පැවැත්වූ අයෙක්.
එතකොට මේ අපූර්ව මිනිසා පැවසුවේ

"ඇගේ අතීතයෙන් මට වැඩක් නෑ. මට වැදගත් මේ මොහොතේ ඉඳන් මා සමග ජීවිතය ගෙවන ඇය පමණයි. අතීතයේ කුමකින් කුමක් සිදුවීද, කුමක් අඩුවීද මේ කිසිවක් මට වැඩක් නෑ, මම හොයන්නෙත් නෑ. ඒගැන අහන්න , මතක් කරන්න තරම් පහත් මානසිකත්වකුත් නෑ " කියලයි

අපි කිහිප දෙනෙක් ඔහුගේ ඒ අපූර්ව චින්තනයට අත්පොළසන් දුන්නා. මිනිස්සු පටු මානසික මට්ටමකින් හිතන එක නවත්වන්නේ කවදාද කියලා හිතන අපිට අපේ සහෘදයෙකුගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න ලැබුනා. එයා ඉස්සර මෙහෙමයි , අරයා ඉස්සර අරෙහෙමයි කියලා, චරිත ඝාතනය කිරීම් අඩු නැතුව සිදු වන සමාජයක, එහෙම නොහිතන පිරිස් දකින්න ලැබීම මොන තරම් වාසනාවක්ද ?
තමන්ගේ සිතේ සැනසීම තක, අනෙකාව තලා පෙලීමට අතීතය මතක් කරමින් බැන අඬ ගසන, විකාර රූපී මානසිකත්ව හෙබි පිරිස් නිසා කළකිරුනද අප අතර සැබෑ මිනිසුන් සිටින බව මතක් කර දෙන මෙවැනි සිදුවීම් හරි සුන්දරයි.

බුදු රජාණන් වහන්සේ පවා අපට පැවසුවේ තමන් සොයා ගැනීම වටිනා බවයි. එසේ නොකොට අප සොයන්නට වෙහෙසෙන්නේ අනෙකාවයි. මානුෂීය ගතිගුණ මති මතාන්තර ගැන කතාකරන , වඩා හොඳ ලෝකයක් , හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් හෙටක් ගැන සිහින දකින අප අතර ඇතැමෙක්, මොන තරම් අධ්‍යාත්මික වශයෙන් අබ්බගාත දැයි මට හිතුනා.
මොනිකා රුවන් පතිරණ කිවිඳියගේ නීලමනී කොයි කවිය මතකයට නැගුනා.

Saturday, 13 December 2008

හැලෙන්නෝ හැලෙද්දෙන්, ඒක සුවයක් හිතට


මා අවට සිටින බොහෝ දෙන, එකිනෙකා ගැන මා සමග නොයෙක් දෑ දොඩති. එකිනෙකා කෙරෙහි ද්වේශයෙන් පසුවෙති, එහෙත් තමන්ට අනුන්ගෙන් ඇති ලභ ප්‍රයෝජන නිසා මතුපිටින් සිනාවී කතාකරති, බොහෝ සෙනෙහසින් කතාබස් කරති, එහෙත් නැති තැන අනුනට දොස් කියති. වහ කදුරු මෙන් වුනත්, ලාභ ප්‍රයෝජන තකා උනුන් හා සුහද බස් දොඩති. මට මෙය තේරුම් ගන්න බෑ, හිතේ එකක් තියාගෙන කටින් තව එකක් කියන මිනිස්සු අතර ජීවත් වෙන එක වදයක් ! අපි ගැනත් එහෙමම කියනවා ඇති නේද කියලා හිතෙනවා. මම මොකද කරන්නේ ? හිතාගන්නවත් බෑ.

කඳුළු මල් මහා පෝලිමෙන්...


මතුපිටින සිනා පුරවන
වෙස් මුහුණු හොයා බැඳගෙන
හිතේ කුණු කිළිටි සඟවන
අයුරු මට කියන්


අපි ඔක්කොම මිනිස්සුනේ.....
මිනිස්සු නිසාම , අපේ මස්තිෂ්කයේ සෛල න්‍යෂ්ඨි ප්‍රමාණය වැඩි වූ නිසාම, හිතනවා.
හිතනවා වැඩි වෙලා වැඩි වෙලා, දැන් උවමනා එකයි එපා එකයි හැම දේම හිතනවා. කොයි තරම් පොඩි පොඩි දේවල් උනත් ලොකු ලොකු කරගන්න හදනවා. අනෙකාව නිර්දය ලෙස සැක කරනවා. එහෙම සැක කරලා එක එක නිගමන වලට එළඹෙනවා. ඊට පස්සේ නොයෙක් මත ගැටුම් ඇති කරගන්නවා...

ඔව් අපි ඔක්කොම මිනිස්සු,
හැමෝම අතින් සුළු සුළුවෙන් හරි අත්වැරදීම් නොදැනුවත්ව දැනුවත්ව හරි සිදුවෙනවා. ඉතින් එහෙම වෙලාවට ඒ ගැන කතාබස් කරලා විසඳගන්න එක තමයි වඩා හොඳ. ඒත් සමහරුන්ගේ Ego එකයි self esteem එකේ ප්‍රමාණයයි නිසා ඉක්මනින් හෝ දැඩිව තීරණ ගන්නවා. ඒ අපි දැනුවත්ව හො බොහෝ වෙලාවට නොදැනුවත්ව.

කිසිම දයානුකම්පාවක් නැති කොට,
අනෙකාව තලා පෙලා සතුටු වෙන්න හදනවා, බැන අඬ ගැසුම් අවසානයේ වෙන් වෙලා යනවා, හරිම පහසුවෙන්.

"හැලෙන අය හැලෙද්දෙන් , කවුරු මොනවා කීවත් අපේ හිත දන්නවානේ ඇත්ත මොකක්ද කියලා"

හැලෙන්නෝ හැලෙද්දෙන්, ඒක සුවයක් හිතට
සිටින්නෝ සිටිද්දෙන් ඒක සවියක් අපට
කියන්නෝ කියද්දෙන් ඕනෙ මගුලක් ලොවට
දැවෙන්නෝ දැවෙයි නිති කෙලෙස් ගින්නෙන් පවට

අපිට සර්ව සම්පූර්ණ , නිවැරදිව මිනිසුන් ලෙස ජීවත් වෙන්න බෑ, ඒත් ඊට ආසන්න ලෙස හෝ ජීවත්වෙන්න පොඩි උත්සහයක් ගන්න පුළුවන් වෙයි නේද ?
photo - captured at Barberyn Ayurveda resort- beruwala

Friday, 5 December 2008

සිනාසෙමි ලෝකයට...

අහිමි වීම් සහ ජීවිතය ගැන නැවතත් තත්‍ය මානසික මට්ටම අවුලවන කතා බහකින් පසුව....

සිනාසෙමි ලෝකයට
ලබැඳියන් සුමිතුරන් අසල නොරැඳෙන කලට
පාරවන තරම් හිත නොතේරේ කිසිවෙකුට
වෙන්වීම් පමණක්ම ඉතිරි වූයෙන් සිතට
දුක කඳුලු මිස තවත් සිනා කැන් පොදි කුමට

හමුවෙත් නේක දන යනෙන හැමතැන සුමට
කොහේ හෝ හමුවෙලා වෙන්වුනා මතක මට
සෙනේහය නොපුරවා සිටියොතින් වී ළඟට
බොහෝ දුර හැකිවේවි ජීවිතය දකින්නට

සිනාවෙන්නට තවත් මසිත නොනැමෙන කලට
දකින්නේ නිතර අන් කඳුළු දුක් ගෙන ළයට
එහෙත් මග පිළිවෙලින් දැකගන්න හැකි ලෙසට
කඳුලු තෙරපා යටට සිනාසෙමි ලෝකයට


බෝ ©
(පිංතූරය - සොයා දුන් කෙනාට ගොඩාක් ස්තූතියි)

Monday, 1 December 2008

රණ විරු සතිය නිමිත්තෙනි.

මහවිල් ආරුව දෙසින් ඇරඹි මානුෂීය මෙහෙයුම එතනින් නොනැවතී, නැගෙනහිර ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කර, දහසක් බාධක හමුවේ සිංහ වෙසින් යුධ චැද නැගෙනහිර කොටි ත්‍රස්තයින්ගෙන් මුදාගත් හමුදාවෝ උතුරු ප්‍රදේශයද ත්‍රස්තයින්ගේ භීෂණයෙන් මුදාගැනීමේ අවසාන සටනට පිවිස සිටී. 2002 අක්කරෙයි පත්තුව ප්‍රදේශයට ගිය චාරිකාවේදී, ඊලම සඳහන් වූ සිතියම් රැගත් පුවරු මහ පාර අද්දරම දර්ශනය කරමින් තිබෙනු දුටු අපේ හිත් දැඩි කනස්සල්ලකින් පිරී ගියා. එකම දේශයක සහෝදර ජාතීන් එකිනෙකා කෙරෙහි වෛරයෙන් පසුවන අයුරු දුටු විට හිතට ඇතිවුනේ කලකිරීමක්. ඒ නිදහසේ හිතන්නට තරම් මොළයක් ඇතත්, ජාතිවාදී සිතුවිලි වලින් තම ඔළුගෙඩි පුරවාගෙන සිටින්නන් දුටු විටයි

අපේ වීරයන් නිසා අද අපට අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රටේ ජීවත් වෙන්නේ, නොනිවට ජාතියක් බව සිංහල , දෙමළ මුස්ලිම්, බර්ගර් ඇතුලු සුළු ජාතීන්ගේ එකමුතුවෙන් පෙන්වා දී තිබෙනවා අපේ රටේ ඇත්තේ ජාතිවාදී අරගලයක් නොව, ත්‍රස්තවාදයක් බව ලොවටම අද පෙන්වා දී තිබෙනවා.
කොයි වෙලාවේ ජීවිත නැතිවේද සැකයෙන් භීතියෙන්, සිටින අතර, ආර්ථික වශයෙන් වුවද රට ප්‍රපාතයකට ඇද දැමීමට ත්‍රස්තවාදී අරගල හේතු විය. ඉතින් ඒවා නොමැති හෙටක් ගැන සතුටින් කතාකරන්නට, එවැනි හෙටක් දකින්නට අද ඔවුන්ගේ ජීවිත කැපකළ අපේ දැයේ දරුවන් වෙත අපි බොහෝ ණය ගැති බව මට නිතර සිහිවේ.
අප සැපසේ නිදන අතර, අවදියෙන් අප රට හතර දිග රකින අපේ කාලයේ විරුවන් වන ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සොයුරු සොයුරියන් වෙත හද බැතින් ලීවෙමි මෙලෙස......(මීට පෙර වෙනත් අඩවි වල පල වී ඇත)








ගයනෙමු බැතින් සෙත් ගීතයක් විරුවන් නමින් දිවිදුන්බිමේ
යදිනෙමු හදින් දෙවියන් බුදුන් රැක දෙන ලෙසින් විරුවන්බිමේ
දොඩනෙමු නිතින් නන්දන අතින් උන් කල හපන්කම් යුදබිමේ
පතනෙමු සිතින් සිය දස දහස් ජය ඔබ නමින් සිරිලක්බිමේ




අවියක් දරන් සැරයක් නොසිත සිත දැඩිවෙලාවිරුදරුවනේ
දිනු මව් බීමේ තුන් සිංහලේ උරුමය රකිව්විරුදරුවනේ
රට රැකෙන්නෙත් අප රැකෙන්නෙත් ඔබ නිසයිවිරුදරුවනේ
දිරියක් ලබා සතොසින් අපිත් සැනසෙමු ඔබෙන්විරුදරුවනේ
බෝ©

Thursday, 20 November 2008

මුණ ගැසෙන ජීවිත - 1

මානව චින්තනයේ වර්ධනය හරියාකාරව සිදු නොවීම නිසා අද වෙන කොට ලොව බොහෝ සෙයින් වෙනස් වී ඇත. සැනසිය යුතු තැන්හි වැනසීමටත්, කරුණා පෙරදැරි කොටගැන්මට අවැසි තැන්හි කෝප ගිනි ඇවිලීමටත්, නිකරුණේ අනුන් සැක කිරීමටත් එකිනෙකා කෙරෙහි නොනිම් වෛරයෙන් පසු වීමටත් සිදුවී ඇත. දවසකට, නොසෑහෙන තරම් විවිද වූ චරිත හා ගැටෙන්නට සිදු වන විට, අර පරෙස්සමෙන් කටයුතු කිරීම බොහෝ වටින බව නිරන්තරයෙන් මතකයේ තබා ගන්නා කරුණක්. එක වචනෙකින්, දාහක් ගිනි ඇවිලෙන්න පුළුවන්, බොහෝ සිත් රිදෙන්න පුළුවන්. ඒත් බොහෝ පිරිස් සතුටට සැනසීමට පත්කරන්න යාමේදී අන්තිමේදී සිදුවෙන්නේ අපේ හිත් දුක්බර වීමයි. මම මේ ලියන කතා පුවත වැනි දස දහසක් කතා මා අධ්‍යයන ජීවිතය පුරාවට අසා ඇත්තෙමි සටහන් කර ඇත්තෙමි. ඒ හැම ජීවිතකයම දුකක් වේදනාවක් සටහන් වී ඇත. ඒ මතින් ඇතිවන දුක් කන්ද විශාල කර පෙන්වීමට මට උවමනාවක් නෑ ඒ මා මෙන්ම ඔබ සියල්ලන්ද අනේක දුක් දෝමනස්සයන් කරපින්නාගෙන සිටින නිසාවෙනි.
ඇය මට හමුවුනේ අහම්බෙන්, බිත්තිය අල්ලාගෙන වැසිකිළිය වෙත ගොස් නැවත යන ගමන් වැටෙන්නට යද්දී ඇගේ දුබල වත වත්තම් කරගත් මම "ඔබට කොහොමද ?" කියා ඇසුවා. " ඒක අහන්නත් ප්‍රශ්නයක්ද? මම හොඳින්නම් මෙහෙ ඉන්නේ නෑනේ ?" ඇය නුරුස්සනා බැල්මෙන් පිළිතුරු දුන්නා.
මේ ප්‍රශ්නය නැවත නොඇසිය යුතු ප්‍රශ්ණයක් ලෙස මම හිතේ සනිටුහන් කර ගත්තා.
" දන්නවද ? මගේ වයස 23 "ඇය බිම බලාගෙන පවසද්දි මටත් වඩා ලාබාල ඇගේ මුහුණ දෙස මම බලා සිටියා. කෙට්ටු , කේඬෑරු චැහැරුනු ගතින් ඈ නැවත මවෙතට ඇගේ අත දිගු කලා. නාඩි බලන්න ඕනෙද ? "
"නෑ මම ඔබත් එක්ක කතා කරන්නම්. " මම ඈ අසලින් හිඳ ගත්තා.
" මම පොඩි කාලෙ ඉඳන් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. නිතර බෙහෙත් විදින්න ඕනා, කෑම පාලනය කරන්න ඕනෑ. මට මාවම වදයක් වෙලා. මම අනිත් හැමෝටම වදයක් ඒක මම දන්නවා. ඒ නිසයි මම ආහාර නොගෙන සිටියේ.සිහිසුන් වෙලා ඉන්දෙද්දී, ආයෙත් ගෙදර අය මෙහෙ නැවැත්තුවා. මීට වසරකට පෙර මම බෙහෙත් වැඩිපුර ගත්තා. ඒත් මම මැරුනේ නෑ. ගෙදර අය ඇම්බියුලන්ස් එකට කතා කර මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා."
"ජීවිතෙන් පලා යන එක ප්‍රශ්න වලට විසඳුම නෙමෙයි" මම නැවත කියුවෙමි.
"ගෙදර හැමෝටම මම වදයක්. එයාලට මාව බරක්. මට රස්සාවක් නෑ. ලෙඩ නිසා රස්සාවක් දෙන්නේ නෑ.මම කෙට්ටුයි, මම කැතයි. මගේ හම රැලි වැටිලා මට කවුරුත් ආදරය කරන්නේ නෑ"
ඇගේ සෙසු සොයුරි සොයුරියන්ගේ සාර්ථක ජීවිත ගැන ඈ මා සමග දොඩයි. තම පවුලේ අය, තමන් කිසිම වැඩකට නැති කෙනෙක් බව නිතර කියන බව ඇය කියයි. කොහේ හෝ ලොකු වැරදීමක් වෙලා ඇති බව මට වැටහෙයි, දියවැඩියාව කියනෙනෙ පාලනය කර හැකි රෝගී තත්වයක්. මේ රෝගය පොඩි කාලේ ඉඳන් තිබුනත්, නිසි පාලනයක් මගින් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන්න හැකි බවත්, සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට ඇයට ඇති හැකියාවත් , මිනිස් ජීවිතයක තිබෙන වටිනාකමත් මම ඇයට පසක් කර දුනිමි.
"ලෙඩ වෙලා බලන්න, ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා "
" ආදරය කරන කෙනෙක් නැතිකොට බලන්න කොහොමද ජීවිතේ දැනෙන්නේ කියලා"
"ජීවිතේට කරන්න බැරි දේවල් දැක්කම , අනිත් අය ඒවා හිමි කරගෙන ඇති බව දැක්කම, බලන්න ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා"
ඇය මට අභියෝග කරයි.
කොයි තරම් උපදෙස් දුන්නත්, හිත් හයිය කරන්න,ඇත්තටම ඒ ප්‍රශ්ණය අපේ කරගෙන බැලුවොත්, තත්‍ය ස්වභාවයට ගිහින් බැලුවොත් , ඒ උපදෙස් වලින් වැඩක් තියේද?
මෙලොව ඇති සෑම ජීවිතයකින්ම පලක් තියෙනවා. ඇය මේ ලොවට අවශ්‍ය කෙනෙක් බව ඇයට වටහා දිය යුතුමයි. ඒ සඳහා, නිසි මනෝ වෛද්‍ය උපකාර අවශ්‍යයි. නමුත් අවුරුදු 10 ක් පමණ රෝගී බවින් පීඩා විදින ඈ යථා මනෝ ස්වභාවයකට ගැනීමට දිගු කලක් යන බව මනෝ වෛද්‍ය වරියගේ අදහසයි.
දිගින් දිගටම රෝගීන්ගේ ප්‍රශ්න පිළිබඳව විමසද්දී, කතාබහ කරද්දී එක් ජේෂ්ඨ වෛද්‍යාචාර්‍යතුමෙක් මට දවසක් මෙසේ පැවසුවා.
"අපට කිසිවෙක් 100%( සියයට සීයක්) සුව කරන්න බෑ. ඒකට වෙහෙසෙන්න, ඒත් ඒක එහෙම කරන්න බෑ . සම්පූර්ණ මානසිකමය සහ භෞතිකමය සුවයක් අපට ගොඩනගන්න බෑ. . we cant cure them 100%!"
"But we can try ! අපට උත්සහ කරන්න පුළුවන්"

Sunday, 9 November 2008

සමහර බැඳීම් හරි ප්‍රබලයි. - මිනිස්සු...

සසරට ආසාවක් නොමැති වීම නිසා, තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති වීම නිසා, හොඳ රස්සාවක්, ගෙවල් දොරවල් යාන වාහන ඕනෑ නොවීම නිසා, ජීවත් වීම ගැන අවට අයගෙන්නොයෙක් ප්‍රශ්ණ පැන නැගෙනවා. පෘතඃජන ලෝකයකින් ඉන් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද කියලා හිත හදාගැනීම හොඳ බව අගිසා මට නැවත මතක් කරලා දුන්නා ! අගිසා අපූර්ව මිත්‍රයෙක්, ලෝකෙ කොයි අත පෙරලුනත් වගේ වගක් නෑ. ඔබාමා දිනපු බවත් දවස් දෙකක් යනකම් දැනගෙන හිටියෙ නෑ, මම කියනකම්ම. "ඉතින් ?" එච්චරයි අගිසාගේ ප්‍රතිචාරය. ලී මාලයක් කරේ එල්ලගත් , කොණ්ඩෙයි රැවුලයි ඔහේ වවාගත්ත මේ සොඳුරු මිනිසාට, භාවනාව තරම් වැදගත් දෙයක් තවත් නෑ. එක දිගට මාස ගණන් වනගතව වෙසෙන එවැන්නවුන්ගේ ජීවිත කොයිතරම් නිදහස්ද කියා සිතෙන්නේ නොයෙක් ඇලීම් ගැලීම් සහ බැඳීම් අතර ජීවත්වෙන , විඳවන සහ විඳින අපේ ජීවිත දැක්කමයි. "ඒකට පින තියෙන්න ඕනේ"

රස්සාව කරන තැන, ඉගෙන ගන්නා තැන, ජීවත් වෙන නිවස, සහ ඒ අවට මේ කොහෙදිත් එකම එක දෙයක් මැනැවින් පසක් වෙනවා,
"ප්‍රිය විප්පයෝග දුක්ඛෝ අප්‍රිය සම්පයෝග දුක්ඛෝ" කියන මේ සනාථන දහම , නිරතුරුව හිතට කාවදිනවා.
ඒ අතර බොහෝමයක් බැඳීම් බිඳ වැටීම් දිහා උපේක්ෂා සහගතව බලන්න උත්සහ කරන එක තමයි වැදගත් බවත් හැඟෙනවා.
කවි නොලියන්නේ මන්ද කියා එළිපිටම කරන විමසීම් නොතකා සිටින්නේ කොහොමද ?

සංසාරයෙන් එහා තිබෙන්නේ සැනසුමද - කොයිදාක කොයි ලෙසක හමුවේද ?

වරෙක මම ලියා තැබුවා මතකයි. සංසාර ගමනේ විවිධ වූ ලැඟුම්හල් වල ගිමන් හරිමින් අප යනෙන මේ මාවත කෙළවර කුමක්ද ? සංසාර මන්දිර පොත ගැන නැවත මතකය අලුත් වුනා, මම එය නැවත කියවිය යුතුයැයි සිතුනා.අපට නිතර හමුවන පිරිස් , සමහර විට කොහේදී හෝ හමු වී තියෙන්නට ඇති, ඒ නිසා මේ භවයෙත් එසේ හමුවෙන්නට ඇති.
එහෙම හමුවූ අය අතුරෙන්,
අපේ සිත සදන, සනහන, ලඟින් ඇවිදින, අතැර නොමයන අය නිසා ජීවිතය ගොඩාක් පහසු වෙනවා, ලෞකිකමය මෙන්ම ලෝකෝත්තර වටිනාකමක් එකතූ වෙනවා.

වැඩිපුර මේවගේ දේවල් ලිවීම ගැන සමාවෙන්න. ඒත් දැනට නිතරම වැටහෙන දේ මෙයයි. ජීවිතයේ සැබෑ අර්ථය සොයා ගැනීම අපහසු නෑ.

කවි ලියුවත් ජාලය තුල පල කිරීමට සිත් නොදෙයි.
ලෝකය කොයිතරම් දුක්ඛදායීද කියලාමයි නිරතුරුවම සිතෙන්නේ, ඒ අපි නිතරම දකින්නේ සමාජයේ දුක් විඳින පිරිසක් විතරම නිසාය කියලා අන්තිමට මට හිතුනා. ලෝකයේ 10 000 කට 1 අයෙකුට වැළදිය හැකි රෝග නිරන්තරයෙන් දකින නිසාවෙනි. රෝගී වුනු පිරිස්ම පමණක් මුණ ගැසෙන නිසාවෙනි.
නිතර සිත හදමින්, ලොව තතු පහදමින් නොවෙනස්ව සිටින, ඇබිති හුළඟ අක්කා මේ කව ඔබේ ඉල්ලීම වෙනුවෙනි. (ඇතැම් බැඳීම් හරි ප්‍රබලයි. බැඳීම් වල ස්වායක්ත බව ඔස්සේ, රුදුරු රත් පොළව මත දිනෙක මනුදම් වැසි වසිනු ඇතැයි මට වටහා දුන්නී ඇයයි.)

මිනිස්සු

උපන් පිනට ලොව සදන මිනිස්සු
උපන් පවට ලොව නසන මිනිස්සු
උපන් නිසා පිං පුරන මිනිස්සු
උපන් ගතිය අත්නොහළ මිනිස්සු

අනුන් උනුන් ගැන සොයන මිනිස්සු
වදෙන් පොරෙන් දිවි ගෙවන මිනිස්සු
අනුන් සොයා වින කරන මිනිස්සු
තමන් කිළුට නොම දකින මිනිස්සු

අනුන් බලා සෙත සදන මිනිස්සු
සිතින් පවා පව් නොකල මිනිස්සු
දනින් පිනින් මග දකින මිනිස්සු
පහන් සිතින් කල් හරින මිනිස්සු


බෝ © 2008

- නිතර ලියන්න වෙලාව ලැබුනානම්.... නැත්තෙත් ඒකමයි. මැසිවිලි, මැසිවිලි, ඔන්න ආයෙත් මැසිවිලි.....
පිංතූරය අහුලා ගත්තේ අන්තර්ජාලයෙන්

Monday, 3 November 2008

ඊයේ හවස ... කසුරිගේ සංකල්පනා



ඊයේ හවස ඉර බහිනා හෝරාවේ
තරුමල් දෙකක් අහසේ පිපිලා තිබුනා
ඒ තරු එළිය යට ගී පද ලියනකොට
වලා පෙළක් විත් අහසම වට කෙරුවා

තනි තරුවක් ඉඳහිට අඳුරේ පෙනුනා......

~ කසුරි








ගත්කරු, කාව්‍ය රචක, ප්‍රවීන මාධ්‍ය වේදී කරුණාදාස සූරියාරච්චි මහතා විසින් ඉරිදා නිම්නයට ලියූ, කුඩා කවි සංකල්පනා මම එකතු කරන්න පුරුදු වුනේ බොහෝ කුඩා කාලයේ සිට, පස්සෙ කාලෙක පාසැල් මැහුම් පොතේ අලවලා තිබ්බ මැහුම් ටික ඉවත් කරලා, කවි ටික කපලා ඇලෙව්වා. ඒ කවි සියල්ල ලියැවී තිබුනේ ජායාරූපයක් ඇසුරු කොටගෙන, ඒ පොත නිතර කියවන එක හරිම ආශ්වාදජනකයි. හිතන්නට හිත යොමු කරවන අපූර්ව කවි සංකල්පනා රැසක් ඒ අතර තියෙනවා

මේ එයින් එකතු කරගත් තවත් කවි සංකල්පනාවක්


එගොඩ ගොඩේ ඉස්කෝලෙට යන කලට
වතූර කඩිත්තක් හමුවුනි අප සැමට
එගොඩ වෙන්ඩ වෙන මගකුත් නැති කලට
වතුර මැදින් පියමං කෙරුවයි ගොඩට

අකුරු උගෙන් පාසල හැර එන කලට
ගලන ගඟක් හමුවනු ඇත අපෙ පවට
සහතික මිටි ගණන් ඇති මුත් අප සැමට
තරණය කළ හැකිද ඒ ගඟ කිසිම විට

බලවන්තයෝ දත් පෙන්වති එගොඩ සිට
මැට්ටෝ පීන පීනා යති මෙගොඩ සිට
කිසිවිට නොහැක කඳුලැල්ලක පාවෙන්ට
ඒ දණ්ඩක් තනමු අත්වැල් එකතු කොට

~ කසුරි..

මගේ මතක තුල නිරන්තරයෙන් රැඳී තිබෙන කවි පද අතර කරුණාදාස සූරියාරච්චි මහතාගේ මේ කවි සංකල්පනා කොළමේ කවි බොහෝමයක් වෙත්.
ඉරිදා නිම්නයේ වටරවුම, තුලින් එතුමා කළ සමාජ සාධනයද අමතක කර නොහැකිය.
“හදවතට මුවා වෙන මතකයක්” “නෝමා සහ සෝමා”, “වැහි කඳුළ”, “වටරවුම”, “කසුරිගෙ කොලම”, “අපේ කාලයේ කුමාරිකාවකගේ කතාවක්”, “කන්ද පාමුල” සහ “වෑකන්දේ ගීතය” එතුමා විසින් රචිත පොත් සමහරකි.

දරුවන් බඩ සයින් වැලපෙති පාර දිගේ
කඳුලින් උපන් සුසුමන් හැම දොරක නැගේ
නුදුරින් වෙඩි හඬට මළවුන් හඬන යුගේ
අඳුරුයි සාමිනේ මුලු ලෝකයම මගේ

~කසුරි

කසුරි නමින් සැම හඳුනන සොඳුරුගත් කතුවරයා ගැන පළවූ පුවත් පත් සටහනක් මෙතැනීන් කියවන්න ( කැමති අයට )
කසුරි අන්ධකාර තාරකාව සහ මහාචාර්‍යවරු දෙන්නෙක්
කන්ද පාමුල සිට පැතිරෙන වෑකන්දේ ගීතය

එක් පුවත්පත් සටහනක, කසුරිගේ පොතක සඳහන් වූ වැකියක් සඳහන් වී තිබූනි.
”ලියන්නා කොච්චර කීවත් කියවන්නා ඒ සියල්ල තේරුම් ගන්නේ නැහැ. ඒක ලියන්නාගේ හෝ කියවන්නා ගේ වරදක් නෙවෙයි. දෙන්නගෙම වරදකුත් නෙමෙයි.
හැම විස්තරයකින්ම පස්සෙ පොඩි පටලැවිල්ලක් මතුවෙනවා. එහෙම පටලැවිල්ලක් ඉතිරි නොකරන සටහනකින් හෝ විස්තරයකින් ඇති වැඩකුත් නැහැ”
~ කසුරි
කොයි තරම් නම් ඇත්තද ? :D

Sunday, 19 October 2008

සැදුනු සිත ඉවසයි දරයි.. මනස සියල්ලට පෙරටුවේ

සාමාන්‍යයෙන් ඕනේම සැත්කමකට පෙර එම සැත්කමේ ස්වභාවය සහ එහි , හොඳ සහ නරක ප්‍රතිඵල ගැන රෝගියා දැනුවත් කිරීම සිදුකරනවා. එහෙම කරලත් රෝගීන් ඇතැම්විට තමන්ට අවශ්‍ය ප්‍රතිඵල නොලැබුනු විට වෛද්‍යවරුන්ට දොස් කියනවා.
අපිට ඉගැන්වූ මහාචාර්‍යවරියක් තමන්ට සිදුවූ අකරතැබ්බයක් විස්තර කරමින් කියා සිටියේ, එක්තරා රෝගියෙක් ඇයට එරෙහිව නීති මාර්ගයට පිවිසීමට පවා තැත් කරමින් රෝහල් අධිකාරියට පැමිණිලි කර තිබුනේ, තමන්ව සැත්කමට භාජනය කරන විට වෛද්‍යතුමිය බොහෝ වෙහෙස මහන්සිව සිටිය බවක් කියමිනි. එනිසා සැත්කම අසාර්ථක වූ බවක් පවසමින් අවුරුදු ගාණක් මේ රෝගියා වන්දි ඉල්ලා නොයෙක් සංවිදාන ඔස්සේ පවා ඇයට කරදර කර තිබුනා. අවුරුදු ගණනාවක් තිස්සේ වරින් වර මෙලෙස තමන් පසු පස පන්නපු රෝගී කත අවසන මිය ගිහින් තිබුනා පිළිකාවකින්.

ඇය අවසානයේදී පැවසුවේ

" මේ රෝගියා නිසා මම අප්‍රමණ ලෙස කරදරකාරී අවස්ථාවන්ට මුහුණ දුන්නත්, මගේ රැකියාව පවා අහිමිවීමේ අවධානමට ලක් වුනත් අවසානයේ මගේ නිවැරදිබව සියලු අවස්ථාවල ඔප්පු වුනා.
මේ රෝගියා, පිළිකාවකින් පෙලෙන්නියක්. ඒවගේම ඉතා පහත් ආර්ථික මට්ටමක් හිමි තැනැත්තියක් , ජීවිතේ අපමණ දුක් ගැහැට විඳින ඇතැමුන් හට අනුන් පෙලීමෙන් සහනයක් ලැබෙනවා. තමන්ගේ කරදර අනුන් මත පැටවීමෙන්, තමන්ට සිදු වුන අකරතැබ්බ අනුන් නිසා සිදු වුන බව පැවසීමෙන් ඔවුන් ජීවිතයට සහනයක් ලබා ගන්නවා එනිසා ඇයට මෙවැනි දේවල් ඔස්සේ ජීවත් වෙන්න අරමුණක් ගොඩ නැගෙනවා. "


මහාචාර්‍යවරියගේ ඒ වචන සියල්ල මගේ සිත බොහෝ දුර සිතන්න යොමු කලා. එය කොයි තරම් ඇත්තක්ද කියලා මට හිතුනේ, හැම තිස්සෙම තමන්ට සිදු වුන දෑ, අනුන් නිසා සිදුවුන බව පෙන්වමින්, අනිත් අයට දෝස්මුර දමන අය මටත් නිතර මුණගැසී ඇති නිසාවෙනි. එදිනෙදා ජීවිත තුල අපටත් කොයි තරම් නම් මෙවැනි අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වෙනවාද ?

"ඔයා නිසයි / අරයා නිසයි/ මෙයා නිසයි - මට මෙහෙම උනේ..." කියලා අපි උනත් කියන අවස්ථා කොයිතරම් තියෙනවාද?

තමන්ට අවාසි සහගත යමක් සිදුවුන කල්හී බැණ වැදීමත්, එතෙක් මිතුරුව සිටි සියල්ලන් හට දොස් නැගීමටත් මිනිසුන් පෙළඹෙන්නේ කෙසේද කියා මට හිතා ගන්නවත් බෑ.
මම කිසිවෙක්ට එල්ල නොකරන තරම්, බොහොම ද්චේෂ සහගත චෝදනාවක් එල්ල වුනහම, ඉස්සරනම් එක පාර කලබල වෙන හිත දැන්නම් ටිකක් neutral.

මේ මධ්‍යස්ත ස්වභාවය ගැන මට වඩාත් හොඳින් වටහලා දුන්නේ මගේ දෙමාපියන් සහ වැඩිහිටි පිරිස. ඒ වගේම මම ඉහත සඳහන් කල කතාව සහ බුදු දහමේ අපට ඉගැන්වෙන මනා දහම් කරුණු ඇතුලත් බුද්ධ චරිතය ආශ්‍රිත පුවත් මේ හැම එකක්ම ජීවිතයට අපි ළං කරගත යුතු දෑ වශයෙන් මට වැටහෙනවා.

"මුළු ලොවටම සෙත සෑදූ අප බුදුරජාණන් වහන්සේ වෙතත්, ගල් මුල් එල්ල කරපු පිරිස් හිටියානම්. අපට මොනවා නොවෙයිද ?"

හේම ජයන්ත කොළඹගේ අයියා ලියූ සුනාපරන්ත වැසියෝ බ්ලොග් සටහන මට මේවෙලාවේ ආයෙත් මතක් වෙනවා


ඊළඟට මතක් වෙන්නේ රඩ්‍යාඩ් කිප්ලින්ග් ගේ IF නැමැති කාව්‍යයේ පළමු පද පෙල
"ඔබ අවට සියලු දෙන තමන්ගේ හිස අවුල් කරගෙන එහි දොස් ඔබට පවරද්දී ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකිනම්..."

"The body is a wisdom tree - the mind a standing mirror bright
At all times diligently wipe it - and let no dust alight " ~ Shen Hsiu (verses from zen Buddhism)

ඔව්, එල්ලවන බාධක මම දකින්නේ, මගේ සිත පරික්ශාවට ලක් කරන, අවස්ථාවන් හැටියටයි. වඩා දුෂ්කර අවස්ථාවන් වලදී සිත නිරවුල්ව තබාගෙන නොනැවතී ඉදිරියට යාමට අවැසි ශක්තිය නිරතුරුව ලැබෙන්නේ එහෙයිනි.

ගොරව ගොරවා වැසි වැටෙයි
ඒත් මගෙ හිත නිශ්චලයි
මහ තදින් සුළඟත් හමයි
නිශ්චලයි සිත නිශ්චලයි

රුදුරු වදනින් මට තලයි
නේක ගර්ජන මට එවයි
ඒ කිසිත් මා නොම දකියි
සැදුනු සිත ඉවසයි දරයි !

බෝ

Saturday, 18 October 2008

මාලබේදි කවි මඩුවක් පැවැත්වෙනා...

"මහ මංකඩ කවි මඩුවක් හෙට හවසට පැවැත්වෙනා
නම්දරාපු කවිකාරයො එහි එන බව කතා වුනා" (සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීයකිනි)

කවි මඩු පිළිබඳව මට මුලින්ම කියාවන්න ලැබෙන්නේ පැරණි රසවාහිණී සඟරා වලින්. ඒ වගේම හිටිවන කවි මඩු ගැන එකළ බොහෝ පිරිස් කතාවෙනු දැක ඇතිමුත් කවි මඩුවක් රසවින්ඳේ බොහෝ කුඩා කල නිසා ඒ ගැන සිතේ ඇති මතකයන් ඉතා අල්පය.
ඔක්තෝම්බර් මස 25 , 26 දෙදින තුල මාලබේදී පවත්වන කවි මඩුව ගැන ආරංචිය මට ලැබුනේ සිළුමිණ පත්‍රය කියවද්දී. එහි අන්තර්ජාල යොමුව සමග ඒ ගැන සටහනක් බ්ලොග් අඩවියට එකතු කරන්න සිතුනේ, කවියට හිතැති බොහෝ දෙනාගේ අවධානය පිණිසයි.

සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය හා සිංහල තරුණ කවි සමාජයේ ප්‍රධාන ලේකම් ජී ඇම් අජිත් මහතා විසින් ලියන ලද ඒ ලිපියෙන් උපුටා ගත් කොටසකි මේ

විසි හතර පැයේ කවි මඩුව මාලබේදී

මෙවර ඔක්. 25 – 26 දෙදින මාලබේ දී පවත්වනු ලබන්නේ 6 වැනි වතාවටයි.

මෙතෙක් 24 පැයක් එක දිගටම පැවැත්වුණු කවි මඩුවේ කිසියම් වෙනසක් ඇති කිරීමට සිදු වී ඇත. වර්තමානයේ බලපැවැත්වෙන ශබ්ද විකාශන යන්ත‍්‍ර නීතිරීති අනුව රාතී‍්‍ර කාලයේ කවි මඩුව පැවැත්වීමට අවසරය නැත.

පවතින නීතියට යටත්ව, ඔක්. 25 උදේ 10.00 සිට රාති‍්‍ර 10.00 දක්වාත් ඔක්. 26 උදේ 10.00 සිට රාතී‍්‍ර 10.00 දක්වාත් වශයෙන් 24 පැයක කවි මඬුවක් පැවැත්වේ. මූලාසන 10 කින් සමන්විත කවි මඩුව විවිධ සිරස්තල යටතේ නම් කර ඇත.

ප‍්‍රථම දිනයේ දී සමාරම්භක උත්සවය පවත්වනු ලබන්නේ ප‍්‍රවීණ කිවිවරයකු, විශ‍්‍රාමලත් අධ්‍යාපන විශේෂඥයකු වන පියසේන සමරසිංහ සූරීන් ය. සි.ත.ක.ස සභාපති පැල්පිට උබයවර්ධන කවියා දෙවැනි කවි මඩුවේ මුලසුන මෙහෙයවයි.

එය සාම්ප‍්‍රදායේ රිද්ම රටාව නමින් හැඳින්වේ. හිටිවනම කවි ලොවට අලුත් පරපුරක සංයෝගය අවශ්‍යම බැවින් තාරුණ්‍යයේ කාව්‍ය ජවය නමින් මාලබේ සුචිත‍්‍ර කොළඹගේ කවියා තුන් වැනි මූලාසනය මෙහෙයවයි.

ගජමන් පරපුරේ කිවිඳියෝ අදත් අප අතර වෙති. හිටිවනම කවියට උපන් හපන්කම් පාන ශ‍්‍රියා හිඳුරංගල කිවිඳිය කවි කරළියේ පෙරළිය නම් වූ කවි මඩුව මෙහෙයවන්නීය. සි.ත.ක. සේ සාභිමානය එහි ප‍්‍රධාන ලේකම් ජී.ඇම්. අජිත් කවියා විසින් මෙහෙයවනු ලබන අතර කොළඹ යුගයේ ප‍්‍රවීණ ම හිටිවනම කවියකු වන ගුණවංශ අල්ගම කවියාගෙන් දෙවැනි දිනයේ ප‍්‍රථම කවි මඩුවේ මුලසුන විචිත‍්‍රවත් කැරේ.

එය අත්දැකීමේ මිහිරි රාවය නමින් නම් කර තිබේ. ප‍්‍රාදේශීය කවීන් රාශියක් පිරිවරාගෙන මූලාසනය මෙහෙයවන්නේ කොස්ඇටදෙනියේ සිරිසේන කවියායි. එම කවි මඩුව කැළෑ මල් වල සුවඳ නම් වේ.

සබරගමු පළාතේ දීප්තිමත් කවියකු වන ගබ්බෙල පියදාස කවියා මැණික් මැවෙන හිටිවනම ඉල්ලම නම් වූ අට වැනි කවි මඩුවේ මුලසුන දරයි. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප‍්‍රධාන සභාපති, ප‍්‍රවීණ කිවි යතිවරයාණන් වහන්සේ නමක් වන දමුණුපොල සුමනසිරි හිමිපාණන් වහන්සේ 9 වැනි කවි මඩුවේ මුලසුන වැඩම කරවති.

එය නම් කෙරෙන්නේ බුද්ධ චීවරයේ කාව්‍ය ප‍්‍රභාව නමිනි. කවි මඩුවේ අවසානය ගෞරවණීය සමාප්තිය නම් වේ. එම කවි මඩුවේ මුලසුන ද ප‍්‍රධාන ලේකම් අජිත් කවියා විසින් මෙහෙයව යි.

මේ සඳහා කිවි ස්වාමීන් වහන්සේ ලා හා කවි කිවිඳියෝ 200 ට ආසන්න පිරිසක් සහභාගි වෙති.

මාලබේ ප‍්‍රදේශයේ බොහෝ තරුණ පිරිස් කවි මඩුව අවස්ථාවේ දන්සල් පැවැත්වීමට පෙළඹී සිටීම හිටිවන කවි රස විඳීමට තරුණ පිරිස් නැඹුරුව සිටීම මනාව පිළිබිඹු වන අවස්ථාවකි.

කොළඹ යුගයේ කවි මඩුවලට එල්ල වූ විශාලම චෝදනාව වූයේ මත්පැන් පානය කර කවි කීම නිසා මොනවා හෝ පද හතරක් කියා බොළඳ ආස්ථානයකට මෙම කලාව ඇද දැමුවා යන්නයි.

ඉතා අල්ප ප‍්‍රමාණයක් මෙය සත්‍ය වුවද එය ම ඊට හේතුවක් නොවුණු වග අපේ පිළිගැනීමයි.
යුගයේ ජාතික ප‍්‍රශ්න කොටි බලපෑම්, විද්‍යුත් මාධ්‍ය අභියෝග, බඩු මිල, සංස්කෘතිකසෝදා පාළුව, මත්පැන් හා මත් ද්‍රව්‍ය, ළමා අපචාර ආදී විවිධ සමාජ කථනයන් කවි මඩුවේ මාතෘකා සඳහා පාදක කොට ගැනේ.

ඒ නිසා එක් අතකින් සමාජයට යහපත් පණිවිඩයක් ගෙන දෙන දැවැන්ත වේදිකාවක් බවට මෙය පත්වේ.

කවි මඩුවල දී කියැවෙන්නේ හුදෙක් විනෝදය සඳහා ම යැයි පවතින බොළඳ මතය මෙ මගින් පුස්සක් බවට පත්වේ.

විච්චූරණ පහත් පෙළේ රසයට හුරු වි ඇති වත්මන් සමාජය විවේකී මනසකින් රස විඳීමේ ප‍්‍රවණතාවය ඇති කිරීම අපේ අරමුණයි. එය මෙතෙක් බොහෝ දුරට සාර්ථක වූ බව අභිමානයෙන් යුතුව සිහිපත් කරමු.

මෙම වෑයම සාර්ථක කරගැනීමෙහි ලා මාධ්‍යන්ට විශාල වගකීමක් පැවරී ඇත. අඩුම වශයෙන් විද්‍යුත් මාධ්‍යයන් තුළින් මසකට දෙතුන් වතාවක්වත් කවි මඩුවක් ප‍්‍රචාරය වන්නේ නම් අලුත් ළමා පරපුර අපේ පැරණි කලාංගයක සැබෑ මුහුණුවර හඳුනා ගන්නා බව අපේ විශ්වාසයයි.

දිවයිනේ ඕනෑ ම අයකුට මෙම කවි මඩුව නොමිලේ නැරඹීමේ අවස්ථාව උදාවී ඇත. එහෙයින් ඔක්. 25 - 26 දෙදින උදේ 10.00 සිට රාති‍්‍ර 10.00 දක්වා මාලබේ බස් නැවතුම්පොළට පැමිණෙන මෙන් රසික ජනතාවට ආරාධනා කරමු.

Sunday, 12 October 2008

සිහින බොහෝ දුරද ? ගීයක් ගැන කතාවක්

හීනයක හමුවන දොඩන වෙන්වෙන, සිහිනයෙන් හමුවන්නට පෙරුම් පුරන අප බොහෝ දෙනා සැබෑ ලෝකයේ දුක්ක දෝමනස්සයන් හිත් තුල හංඟාගෙන සිනහ නගනවා. හැබැහින් කර කියාගන්න බැරි බොහොම දේවල් හැබැහින් දැක බලාගන්න බැරි බොහොම දෙනා, අපට සිහින වලදී හමුවෙනවා. දවස පුරා හිත තුල මැවෙන නොයෙක් රූ දසුන් සිහින තුලින් සැබෑවක් වෙනවා. හීන තුල අපට ලබාගත නොහැකි බොහෝ දෑ ළං වෙනවා. හීන තුලින් විටෙක අප්‍රමාණ සුවයක් සතුටක් දැනෙනවා. ඒත් ඒවගේම අහිමි වීම් වැලපීම් වැනි නොයෙක් දුක් බර අවස්ථාවන්ද හීන තුල මැවෙනවා. ඉන් හිතට දුකක් එක් වෙනවා.
හිතට දුර බොහෝ දෑ හීන වලදී ළඟ වෙනවා. ඒ හීන වලට අප පෙම් බඳිනවා. හමුවීම් වෙන්වීම් , සිනහවීම් වැලපීම්, සියල්ල එකට සම්මිශ්‍රනය වෙනවා. ඒවා තුල අපට සජීවී බවක් දැනෙනවා. නින්දෙන් ඇහැරුණු විට ඒ සියල්ලෙන් මිදිනෙවා. අන්තිමට.... ඒවා හීන විතරමයි ! එහෙමත් හිතෙනවා.

සංවේදී පදවැලකට ඔබව හඩවන්න පුළුවන් ! මට එහෙම හිතුනේ හීන විල මල් පිපී ගීතය අහන්න ලැබුනහම. ගීතයේ වචන බොහෝ සංවේදීයි. ඒත් ඒ සංවේදීබව තව තවත් සිතට දැනෙන්නේ ගායනා කරන ගායකයන්ගේ ගැඹුරු කටහඩ නිසා කියලයි මට හිතෙන්නේ. මම හිතන විදිහට මේ ගීය ගායනා කරන්නේ තරුණයින් 3 දෙනෙක් විසින්. ඒ ගායනා කරන ශෛලිය හරිම ස්වභාවිකයි. ඒ කියන්නේ ඒක බොහොම හැඟීම් බර ගායනාවක්. සංගීතය ඊටම සරිලන ලෙස සැකසුනු, බොහොම ලයාන්විත, වැඩි කලබලයක් නොමැති ලෙස සකස්වූවක්. ඒ ගීය ගායනා කරන ශෛලියෙන්ම ඒ පද තුල කැටිවුනු දුක්බර බව මනාවට දැනෙනවා. ඒ හැම වචනයකින්ම මා අමතන අයුරක් මට හැඟෙනවා. ඒ නිසාම නිරන්තරයෙන් මේ ගීය මගේ දෙනෙත් අගට කඳුලක් එකතු කරනවා. මේ ගීය මසිතට සමීප වෙන්නේ ඔවැනි අදහස් කීපයක් හේතුකරගෙන , මේ ලියවීම් සියල්ල ගීය රසවිඳි මම මගේ හිතට ගීය දැනුනු අයුරු සටහන් කරන්න ගත්ත උත්සහයක් විතරයි.

මේ ගීය විඳින විට මගේ මනසේ මැවෙන්නේ, හමුනොවෙන්නට වෙන්වුනු සෙනෙහෙබර පෙම්වතෙක් තම පෙම්වතිය ගැන සිහිකරමින්,වැසි වැටෙන සැඳෑ කාලයේ, කවුළුවක් තුලින් ඈත පෙනෙන හිස් අහස දිහා බලාගෙන මේ පදවැල් මුමුණනවා වගේ දසුනක්. යලි එක් වතාවක් හෝ දැකගන්න පෙරුම් පුරුන තරුණයෙක්ගේ සිත තුල පැන නගින සිතුවිලි. ඇය ගැන මතකයන් අලුත් කරන සිතිවිලි තුලින් ඇතිවෙන නොයෙක් විඳීම් සහ දැනීම්, මේ සියල්ල මනසේ දසුන් ආකාරයට මැවෙනවා.

මේ ගීතය, එක් ගීයක් නිසා මුණගැසුනු මිත්‍රයෙක් නිසා අහන්න ලැබුනු ගීයක්

මෙන්න ඒ ගීය ගැන විස්තර.. මුලින්ම මෙන්න මෙතනින් අහලා බලන්න

ගායනය - Insith ගායන කණ්ඩායම.
සංගීතය - කසුන් කල්හාර
පද- වගීෂා රන්සිමාලි

හීන විල මල් පිපී මුදා හල සිරියාව
හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොරගාව
හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව

පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට
මගේ නෙතු පියාගෙන ඉඳින්නම් එනවාද
තවත් එක වතාවක් නුඹෙ සුවඳ විඳගන්න
හංසියේ එනවාද ගුරු පාරෙ ඇවිදින්න

තාරුකා නෙතු හරින නිහඩ රෑ මැදියමක
ඈතටම දිව ගිහින් හිත මවයි මල් හීන
නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ
දිග හරියි සෙනෙහසින් මගේ සමනළ මතක

(පිංතූරය - flickr.කොම් අඩවියෙන් හමුවූවක්)

Sunday, 5 October 2008

ඔබේ මිනිස් ගුණය හැඳින්නෙමි


ලෝකය වෙනස් වෙමින් පවතී. එකිනෙකා රුස්සන්නේ නැති සමාජයක් නිර්මාණය වී ඇත, තරහක් ආ විගස පළිගැනීමක් අත ළඟය. දොස්තර ලක්ෂ්මී ඉඳුනිල් මෙනවියගේ අකල් මරණය කියා පෑවේ මේ සියල්ලයි.
ඇයගෙන් සුවය ලැබූ රෝගීන් සිය දහස් ගණනක් සිටින්නට ඇති, එමෙන්ම ඇයව මරණයට පත් කල මිනීමරුවාටද ඇය බෙහෙත් දෙන්නට ඇති. එහෙත් කුරිරු කම් වලට ගුණ අගුණෙහි වෙනසක් වටහා ගන්නට බෑ.
ඇය ගැන බොහෝ දෑ කියවා දැන ගතිමි පුවත්පත් තුලින්, සැබවින්ම ජීවකවරියක් වූ ඈ අසරණ රෝගීන් හට නන් අයුරින් පිහිට වූ සැටි ලියා තිබිනි. ඇසට කාචයක් මිලදී ගැනීමට නොහැකි වූ රෝගී අසරණ අම්මා කෙනෙක් හට ඇයගේ මුදලින් කාචයක් අරන් දුන්න බවත්, ඇතැම් අසාද්‍ය රෝගීන්ට නිවසටම ගොස් ප්‍රතිකාර කල බවත්, එක්තරා ගර්බනී කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇතිවූ හදිසි තත්වය නිසා නිවසටම ගොස් මව සහ දරුවා බේරා ගත් බවත් දිවයින පුවත් පතේ ලිපියක සඳහන් විය.
වචන හුවමාරුවක් අවසානයේ මිනියක් මරන්න තරම් කේන්තියක් එනවානම් කෙනෙකුට ඒක ඇත්තටම සොයා බලා පිළියම් යෙදිය යුතු අවස්ථාවක්. මන්ද මගේ වැටහීම සහ මේ ගැන සාකච්ඡා කල අපි කිහිප දෙනෙකුගේම අදහස වන්නේ එය මානසික රෝගී තත්වයක් බවයි
දොස්තරවරිය සහ ඒ පුද්ගලයා අතර සිදුවූ වචන හුවමාරුව අවසානයේ රටට දක්ශ, කරුණාවන්ත ගුණ ගරුක දොස්තරවරියක් අහිමි විනි. තම දෙමාපියන් බලා කියාගෙන සිටි දියණිය ඔවුනට අහිමි විය.

"වෛරයෙන් වෛරය නොසන්සිඳේ අවයිරයෙන්ම එය සන්සිඳේ " නිතර ඇසෙන දහම් කරුණක්.

"රටේ ලෝකේ හරිම වෙනස් පුතේ වචනයක් එහා මෙහා උනොත් ඉවරයි. එනිසා පරිස්සමෙන් ඉන්න ඕනා අනෙක් අය සමග වචන හුවමාරුවට යන්න එපා. තමන් නිවැරදි නම් ඒක පිළිගන්න අය පිළිගනියි. වාද කරන්න යන්න එපා " අම්මා නිතර මට මෙසේ පවසයි.

"අම්මෝ අපි කොහොමද බය නැතුව කෙනෙක් එක්ක කතා කරන්නේ ? " මේ ගැන කතා බස් කරන අතර මගේ යාලුවෙක් පවසයි

"අපි දන්නේ නෑ මිනිස්සුන්ගේ හිත් වල මොනවා තියෙනවද කියලා ඒ නිස කතා කරද්දී හැකි පමණ මනා චරිත සංයමයකින් වැඩ කරන්න ඕනේ , කොතරම් තරහෙන් කතා කරන පුද්ගලයෙක් එක්ක උනත් තරහවක් වෛරයක් නැතුව වැඩ කරන්න ඕනා , ඒක මේ ක්ශේත්‍රයේ නියලෙන කෙනෙක්ගේ තිබිය යුතු ලක්ෂණයක්" ගුරුවරයෙක්, medical ethics ගැන සඳහන් කරමින් එසේ අපිට ඔවදන් දුන්නා.

මෙවන් විපතක් කිසි කෙනෙකුට කිසිම කලෙක නොවේවා කියා ප්‍රාර්ථනා කරනු හැරෙන්න කළ හැක්කේ කුමක්ද ?

දොස්තර ලක්ෂ්මී ඉඳුනිල් මෙනවියනි . ඔබව මම නොහඳුනන මුත්, දැක නැතිමුත්, ඔබේ මිනිස් ගුණය හැඳින්නෙමි. දැනුනා එය බොහෝ මිනිස් හදවත් පුරා පැතිර තිබූ බව
ඉඳින් ඔබට පතන්නෙමි නිවන් සුව !

බෝ දුකයී..... :( (image from flicr search )

Thursday, 2 October 2008

හොඳම දේ දරුවන්ට - Every child is special

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය යන සැමරුම් දිනය යෙදී ඇති අද වැනි දවසක උදේම පත්තරේ දකින්න කියවන්න ලැබුනේ පාසැල් බස් රථයේ තිබුන හිඩැසකින් වැටී මිය ගිය පොඩි දුවෙක් ගැනයි. අපේ රටේ වාහන සම්බන්ද තත්ව සහතිකයක් දෙනවා නම් මෙවැනි නුසුදුසු වාහන ඉතා ඉක්මනින් මාර්ග වලින් ඉවත් කරන්න හැකි වේවි. ඒත් වැඩේ තියෙන්නේ ඒවගේ දෙයක් කෙරෙන්නේ නැති එකයි. මට මතකයි අපී ඉස්කෝලේ ගිය බස් වල එහෙම මලකඩ බැඳිලා දුනු බැහැලා පැත්තක් ඇලවෙලා එහෙම තිබ්බේ, පිටගැස්මට එන්නත් ගන්න ඕනා ඒවයේ යන්න කලින්. කොහොම හරි කියලා ඒ දිනයත් හමාරයි. හැමදාම අනාගතයේ කළ යුතු දේවල්, කරන්න ඕනා දේවල් සහ අද තත්වය ගැන කතා බස් කරමින් ඉන්නවා මිසක අපි කිසි දිනක ප්‍රායෝගික යමක් නොකරනවා. බ්ලොග් හරහා එහෙම දෙයක් කරන්න බැරි බව ඇත්ත ඒත් සමහර අයට මේ ලියන දේවලුත් විහිළුවක් වගේ.
ළමයින්ගේ අයිතිවාසිකම්, ළමා ලෝකය සහ ළමයින්ට හිමි විය යුතු දෑ , අහිමි දෑ ගැන එක දිනක මෙහෙම හෝ ගාලා හැම මාධ්‍යයකින්ම විස්තර පළකරනවා. බොහෝ අයට එහෙම දේවල් මතක් වෙන්නෙත් මේ අද වගේ දවසකයි. ඉරිදා දිනයේ තාරේ සමීන් පර් චිත්‍රපටිය විකාශය කල පසු ඒ ගැනම කතා බස් වෙනු දුටුවා. මම මේ චිත්‍රපටය නැරඹූයේ පෙබරවාරි මාසයේ ඉතින් ඒ ගැන ලියපු විශේෂ ලිපියක් මෙන්න මෙතැන පළ කලා ඒකත් මතක් කරන ගමන්ම මගේ නංගී කුඩා කාලයේ ඇය විසින් ලියන ලද කවියක් සහ කූඹියා යන අනවර්ථ නමින් අන්තර්ජාලයේ ලියන තරංග ජයසේන අයියා විසින් එයට එකතු කරන ලද සටහනක් මෙලෙස මෙහි පල කරනවා. ඒ කුඩා දරුවෙකුගේ ඇසින්ම ලෝකය දෙස බලන්නටයි.
මන්ද පෝෂණය, අනාරක්ශිත බව සහ යුද්ධය ළමා ලොව විනාශ කර ඇත. මේ තත්වය තවම කිසිවෙක් හරි හැටි වටහාගෙන තිබේ දැයි කිව නොහැක. ඔබ මම සහ ඔවුන් සියලු දෙන තව දුරටත් කරනු ඇත්තේ ඒ මත තව බොහෝ විනාශකාරී දෑ ඉහ ගිනි තැබීමයි.
තාරේ සමීන් පර් වැනි චිත්‍රපටයක් ලංකාවේ පොදු මාධ්‍යයකින් පෙන්වීම ඉතා වැදගත් දෙයකැයි මට සිතේ. මන්ද බොහෝ මිනිසුන් හුරුවී ඇත්තේ ඒවා තුලින් ජීවිතයට පන්නර ලැබීමටයි.
5 වසරේ කුඩා දරුවන්ටත් අසීමිත බරක් පටවා ශිෂ්‍යත්ව පොර පිටියේ රේස් දුවන්න පුරුදු කරනු මම දැක ඇත්තෙමි. මම දන්න පවුලක අම්මා කෙනෙකු කුඩා දරුවාව 5 වසර ශිෂ්‍යත්වයට පාඩම් කරන්න පෙළඹුවේ ශිෂ්‍යත්වය පාස් නොවුනොත් ඒ අම්මා ගෙදරින් යන බව පවසමිනි.
සෑම දෙයකින් පළමුවැනියා වන්නට, විශිෂ්ඨතමයා වන්නට දෙමාපිය වැඩිහිටි සියලු දෙන දරුවාව පොළඹවයි. දරුවාගේ ළමා ලොව විනාශකර යාන්ත්‍රික, ගුණ ධර්ම කිසිවක් නොමැති අමනුස්සයෙක් බවට දරුවා පත්වෙන්නේ නිතැතිනි.

එම චිත්‍රපටයේ එන දෙබසකින් මා මේ සටහන අවසන් කරමි
(Ishan's teacher Nikumb to Ishan's parents : this is a translation of the hindi dialogs)
"there is a cold war out there , every one wants to grow toppers and rankers in their homes
every one wants number 1
Doctor engineer management, less than that is unacceptable
95.5% 95.6% , 95.7% less than that is uncountable
Isnt it ?
think about this,
every child has his own quality own expertise own desire
but no , every one is busy stretching the finger to make it long
keep doing that ! no matter u break the very own finger"

Tuesday, 30 September 2008

ගිනි තැබීම - living for others

බොහෝ අය උත්සහ කරන්නේ තමන්ට ඕනා විදිහට අනුන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමටයි, තමන්ට වාසි සහගතයි කියලා හිතන හැම දෙයක්ම ලංකරගැනීමේ අමිනිස් ගුණාංග ඇත්තවුන් නිසා පීඩා විඳින්නන් කොතෙකුත්ද?
ගින්න නිවා දැමිය හැක, එනමුත් ඒ ගිනි නිසා ගිනිගත් හිත් නිවා දැමිය නොහැක .. කියා දාර්ශනිකයෙක් කියා තිබුනා. අනුන්ගේ ජීවිත වලපල්ලට ගියත් ඒ මතින් තමන්ගේ ජීවිත ගොඩනගාගන්න හිතන අය දුටුවිට මට ඇතිවන්නේ පිළිකුලකි. අද වෙනසකටත් එක්ක එක බ්ලොග් සටහනක් ඉංග්‍රීසියෙන් ලියන්න හිතුනා.

Yesterday one of my friend came to see me with all her complains and troubles. Her boy friend left her and for that she wants to end her life, give up her carrier and so on (the usual drama). Everyone around her tried to calm her down by saying "dont think of such things, please think about your parents , think about your carrier. ending life is foolish" but she kept on saying that she would just end up her life.

I thought for awhile and told her "yeah ok dont listen to them, Ending up your own life for an idiot who doesn't think about u for a second ?... well I think thats a good idea go on with what ever u want" cause deep down in my heart I know that those who wants to suicide, never tell or boast that they are going to kill them selves.
She stopped her crying for a moment starred at me. wiped her tears and looked at me in a furious way and told me " No I will not end up my life for such a stupid idiotic person u are right" thinks for awhile and says " I'm hungry, lets eat some thing".
And thats it ! No more tears sister !

We all have problems.
All of us are struggling so hard to gain what ever we want or what ever others want us to achieve. Once upon a time in life education lessons, we learnt to replace problems with the word situations. When ever I heard or read about hard situations people face themselves in day to day life, I thought I'd not go on the same path as they did. But it doesn't always work out that way !
because all our life we live according to others measurements.

I explained my friend that if her boy friend had understood her and loved her he would never have left her in such a position. She wanted me to talk to her bf so that he would show his reasons for leaving her but I feel that there are times when its too hard to compromise everything even though communication is the only key which can unlock the hard situations and things going between all of us.From experience I know its always better to keep my silence and the distance, because for some people think they are always right.

(photo - taken by Me :D)

Sunday, 28 September 2008

සොඳිනා පතමි පැතුමන් - Happy Birthday my friend !

හොඳ යාළුවෝ හමුවෙන්නේ, පෙර පින් නිසා කියලයි මම හිතන්නේ, සියක් දෙසීයයක්, යාළු මිත්‍රයන් අතර, කලණ මිතුරන් සිටින්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩුවෙනි.

අපි එකට පාඩම් කෙරුවෙමු, මහජන පුස්ථකාලයට ගියෙමු, පාරවල් දිගේ රස්තියාදුවේ ගියෙමු. හින්දි චිත්‍රපටි සොයා එම් සී එකේ කරක් ගැසුවෙමු. ඇඳුම් හොයන්න ගිහින් පාරවල් වල හතිවැටෙන තුරු උඩට පල්ලෙහාට ඇවිද්දෙමු. තාමත් මතක් වෙද්දි හිනා යන්නේ, අර බුරියානි කන්න ගිහිං හොදි කප් එක ඇඟේ හලා ගත්ත සිද්දිය.

ලයිබ්‍රරි කැන්ටිමේ පොල් රොටී සමග ලුණු මිරිස්, ආ අර ඉඟුරු නැති ඉඟුරු ප්ලේන්ටිය , ආ හරිම කැමැත්තෙන් අපට පුටු පරිත්‍යාග කරන "රිකී මාටින්", එයාට මොනවා උනාද දන්නේ නෑ නේද .ලැජ්ජාව ෆයිල් කවරෙන් වහගන්න අපේ තරාව බයිට් කරන එක, අපි ඔක්කොමලා එක බත් මුල බෙදාගෙන කන හැටි ඔය වගේ සොඳුරු මතක රැසක් එක්ක එකතුවුන මිතුරන් සෙට් එක මතක් වෙද්දි ජීවිතේ ඇත්තටම සුන්දරයි කියලා හිතෙනවා.

දුකක් , සතුටක්, හිනාවක්, කඳුලක් ඒ හැම දේකදිම නොවෙනස්ව ඉන්න ශාලි, ඔන්න බ්ලොග් පෝස්ට් එකක්ම වෙන් කරා, මට මාර හැපී මචං මේ පාර උපන්දිනේ මිස් උනේ නැති එකට. (මේ සතියෙම මතක් කර කර හිටියේ, හප්පේ මේ අවුරුද්දෙවත් වෙලාවට wish කරන්න.)

මනුසත් ඉමේ හමුවූ පිනෙන්
බැඳුනේසදා සොහොයුරු දමින්

ලබැඳියි හිතත් අහසක් තරම්

සොඳුරුයි නුඹත් කවියක් තරම්


දකිනා ලෙසට නිති‍ සුබ දසුන්
විඳිනා ලෙසට සැනසුම් පවන්
හිඳිනා ලෙසට සතුටින් සැපෙන්

සොඳිනා පතමි පැතුමන් ඉතින්


ඉතින් මම සුභ පතන්නෙමි, හිතේ සැනසීමෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් වෙන්න කියලා, හැමදාම, අයියටයි ඔයාටයි, දෙන්නටම ( අයියටත් මේ එක්කම belated birthday wishes !)
Wish you a happy birthday !
බෝ

Wednesday, 24 September 2008

ඇතැම් යාළුවන්ගේ මහා කරුණාව

සාමාන්‍යයෙන් අපිට සමීප අපේ යාළුවන්ට අපිට කියන්න බැරි දෙයක් නෑ, ඕනෙම දෙයක් කියනවා, දුකක් උනත් සතුටක් උනත් කිසිම බයක් නැතුව අපි කියන්නේ, අපි දන්නවා ඒක එයාගෙන් පිට යන එකක් නෑ කියලා. යාළුවන් උනත් පෙන්වන්නේ, මම තරම් යාළුවෙක් නෑ මේ ලෝකේ කියලා. පණ දෙන්න කතාකරන්නේ.

ඒත් ඒ යාළුවම ඔවුන් අතරේ හිත් නොහොඳ වීමක් ඇතිවුන විගස තමන්ගේ මිතුරා හෝ මිතුරියගේ වැරදි සහ ජීවිතේ රහස් කියව කියව තැන තැන ඇවිදිනවානම්.... ඒකට මොකද කරන්නේ ?

"අරයා ඔයා ගැන අරෙහෙම කිව්වා "

"මෙයා මෙහෙමලූ අරයා කිව්වා "

"දන්නවද එයා එහෙම කෙනෙක්ලු "

මේ ටික නෙට් එකේ වගේම තත්‍ය ලෝකෙත් අපිට අහන්න දකින්න ලැබෙන සුලභ "ඕපා දූප" කියවීම් ටිකක්. තමන්ට අවාසි සහගත සියල්ල ඈත් කිරීමත්, එහෙම හිතෙන සියල්ල ගැන බොහොම නින්දිත විදිහට විවේචනය කිරීම පහත් මානසිකත්වයක් හිමි තිරිසන් ගති ලක්ෂණ විදහා පාන්නක් බව මොවුන්ට නොවැටහෙන එකයි පුදුමේ.

මේ සිදුවීම මගේ යහළුවෙක්ටත් සිදු වුනා. ඇගේ කලකට ඉහත යාළුවෙක් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සිත් නොහොඳ නෝක්කාඩුවක් නිසා විරසක වෙලා, ඒ මදිවට දැන් අර අනෙකාගේ ජීව දත්ත තොරතුරු සටහන හැමෝම එක්ක දිග ඇරගෙන කියවනවලු.
ඔන්න බලන්න හරියට යාළුවන් තෝරා බේරගෙන ආශ්‍රය නොකිරීමේ ඵල විපාක ඇස් පනාපිට පෙන්වන ලකුණු.

පුද්ගල ජීවිතයක් අඳුරෙන් අඳුරටම පත්කරන ප‍්‍රධානතම සාධකය පාපමිත‍්‍ර සේවනයයි කියලා බුදු දහමේ නොයෙක් තැන සඳහන් වෙනවා.
අඤ්ඤදත්ථුහර, වචීපරම, අනුප්පියභාණී, අපාය සහාය යනුවෙන් ඔවුන් නම්කර ඇත.
මේ ගැන හරි හැටි වැටහීමක් ලබාගන්න මම මෙන්න මේ ලිපිය උපයෝගී කරගත්තා... දිනමිණ පුවත් පතෙන්.

............"මිතුරා සතු දේ කපටි කමින් පැහැර ගැනීම , විපතකදී බොහෝ දේ බලාපොරොත්තු වීම, තම ආරක්ෂාව හා වාසිය සඳහාම ඇසුරු කිරීම අඤ්ඤදත්ථුහර පවිටු මිතුරා ගේ ස්වභාවයයි.

වචනයෙන් පමණක් උදව් කරන දොලොවටම හානි කරන තේරුමක් නැති වචන කථා කරන මිතුරාට උදව්කළ යුතු අවස්ථාවේ මග හැරයාම, නැති බැරි කම කියාපාන, ගති පැවතුම් ඔහු ගේ ලක්‍ෂණයි.

අනුප්පියභාණි මිතුරා ගේ සිරිත වන්නේ මිතුරා ගේ හොඳ කටයුතු අනුමත නොකිරීමත් නරක කටයුතු අනුමත කිරීමත් ය. මිතුරා ඉදිරියේ ඔහුගේ ගුණකීම, නැති තැන දොස්කීම ඔහුගේ සිරිතය.

මත්පැන්, දුම්වැටි වලට හුරු කීරීම හා අවේලාවේ ගමන්බිමන් යාමට සහාය වී නොයෙක් කරදර වලට විපත්වලට පත්කිරීම අපාය සහාය මිතුරා ගේ ගති පැවතුම්ය. මෙබඳු පාපී අසත්පුරුෂ ඇසුර අයහපතට මිස යහපතට හේතු නොවේ.

වත්මන් සමාජය තුළ ද මෙවැනි පවිටු පුද්ගලයන්ගෙන් හිඟයක් නොමැත. අඳුරෙන් අඳුරට යන මේ පුද්ගලයා ආගම දහමට පි‍්‍රය නොකරයි. දුර්ලබව ලබාගත් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ඔහුට හැඟීමක් නැත.

පාප මිත‍්‍ර සේවනය නිසා අනේකවිධ පාප කර්මයන් සිදු කොට අකාලයේ මිය ගොස් අවීචිය, පෙ‍්‍ර්ත ලෝකය වැනි මහ දුක් ඇති තැනක උපත ලබා කල්ප ගණන් අතරක් නැතිව මහත් දුක් ගොඩකට ගොදුරු වෙයි.

ඒ අඳුරු ජීවිතය ගත කරන පුද්ගලයාට කළ්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුර ලැබෙනවානම් ඒ ඇසුර නිසා තමන් කළ පාපකර්ම නිසා මෙවන් අඳුරු ජීවිතයකට පත් වූ බව ඔහු අවබෝධ කර ගනියි. එසේ අවබෝධ කර ගන්නා ඔහු පස් පව්, දස අකුසල් වලින් මිදී යහපත් කෙනෙකු බවට පත් වෙයි.. "........... (දිනමිණ පුවත් පතෙනි)

පසු සටහන : කෙනෙක්ට බැනලා , අවමන් කරලා කවදාවත් සිතේ සැනසිල්ලෙන් ඉන්න බැරි වග මේ මිනිස්සුන්ට ඔවූන්ගේ ජීවිතවලම තියෙන හැල හැප්පීම් සහ දුක් දෝමනස්ස තුලින් වැටහේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

මෙන්න අන්තිමට මේ ටිකත් කියවලා බලන්න.. උපුටා ගැනීම මම ලියපු "මගෙ පස්සෙන් එන්න" කථාවෙන්

~අප සමාජයේ ගැහැණු පිරිමි යහළුකම් ,පෙම් සබඳතා වලට පමණක් සීමා කොට සිතන කල් හි , මෙවැනි දේවල් ඇසීම අරුමයක් නොවන වග අබා හොඳින්ම දනී.

”මම එයාලගෙ සමාජ සේවා වැඩ වලට එහෙම උදව් වෙනවා. ආකල්ප සහ සමාජ දැකීම් අතින් අපි ගොඩක් එක සමානයි”
”ඒකත් එහෙමද, මට කිව්වෙ නම් ඔයාගෙ යාළුවෙක් අබා, කොයිකටත් ටිකක් පරිස්සමෙන්, නිකන් කතාවක් අහ ගන්න ඕනෙ නැහැනේ”

” නන්දි , එහෙම හිතුවොත් වනගත වෙලා ඉන්න තමයි වෙන්නේ, මේ රටේ වැඩක් කරන ඕනෙම කෙනෙක්ට කතාවක් හදනවා, ඒ තමයි අපෙ සමහරක් මිනිස්සුන්ගේ පහත් මානසිකත්වයෙ තරම, එහෙම කියලා එකට වැඩ කරන එක නතර කරන්න බැහැනෙ”

”ඔව් ඒකනම් ඇත්ත. ඔය කියන කවුරුත් සියයට සීයක් අති උත්තම පාරිශුද්ධ චරිත නෙමෙයිනේ, ඔහොම හැමෝටම කථා කියන්නේ, නින්දා කරන්නෙත් ජීවිතේ ලොකු අඩුවක් තියෙන අය, එ්ක මම අත් දැකීමෙන්ම දන්නවා”

”අන්න හරි නන්දි, එහෙම අය එයාලගේ ජීවිතෙත් අවුල් කරගෙන, ඒ අවුල් මදිවට, තවත් පව් පුරවගන්නවා අනුන්ට වින කරන්න ගිහින්, ඔයා හොඳට බලන්න, ගොඩක් ඔය අනිත් අයගෙ පුද්ගලික ජීවිත ගැන නොයෙක් දේවල් පතුරන්නෙ තමන්ගේ ජීවිත අවුල් වියවුල් වෙච්චි කට්ටිය” එසේ කී අබා නැවත අත් ඔරලෝසුව දෙස බැලූවාය.

”ඔව් ඔව් , ඔන්න හිතන්නකෝ, අරයා මෙහෙමයි, එයා නරකයී කියලා කියා ගන්න උදවිය තමයි ගිනි බෝම්බ, සමහර විට මගෙ යාළුවන්ටම මා ගැන වැරදි කියලා තියෙන අවස්ථා බොහොමයක් තියෙනවා අබා”

ඉතින් බලන්න මේ වගේ පාපී මිනිස්සු 1000 එක්ක ඉන්නවට වඩා සත්‍යවාදී මානවහිතකාමී එක මනුස්සයෙක්ගේ ඇසුර කොයි තරම්නම් සොඳුරු ද , හිතකර ද , ළඟ ද අපිට ?

Saturday, 20 September 2008

මගේ තැන මට පෙන්වන...

ජීවිතේ අපිට හමුවන බොහෝ දෙනා අපට නොදැනිම අපෙන් වෙන්වී ගිහිං ඒක වෙන්නේ ඉබේම හරි අපේ නොසැලකීම නිසා හරි, එහෙමත් නැත්නම් අනෙක් අයගේ නොසැලකීම් නිසා. හිත් බිඳින අයත්, හිත් හදන අයත් අතර ජීවත්වෙනකොට බොහෝ ප්‍රශ්ණ රාශියකට මුහුණ දෙන්න සිදුවීම අරුමයක් නොවෙන බව මට වැටහුනත්, ඒ නිසා ඇතිවන විරසකවීම්, හිත් රිදීම් , දුරස් වීම් වලට පැලස්තර දමන්න, විසඳුම් සොයන්න ඉස්සරනම් ගොඩාක් වෙහෙසුනා.

ඒත් යන ගමනේ තියෙන වෙහෙසකර බව නිසාම කාලය විසින් එවැනි දේවලට විසඳුම් ගෙනේවි කියලා මම නිහඩ වෙනවා. මම හිතන්නේ, අපට අවශ්‍ය , අපව අවශ්‍ය යම් කෙනෙක් ඉන්නවානම් ඒ අය අපෙන් දුරස් වෙන එකක් නෑ කොයි තරම් ගැටලුකාරී තත්වයන් ඇති වුනත්.


නේක බස් උන් දොඩන - මම ඈත යැයි පෙනෙන
හුදෙකලා හිස් අහස - නිතර හිත නෙත ගැටෙන
අතීතය මතකය - කවි පබැඳුමෙන් ගතවුන
මුලින් සිඳ අත් හල - නැවත ඒ දෙස නොබලන

නුඹ දෙදෙන සපැමිණ - යලිඳු මා කැඳවන
ඇවිද ගිය දුර දිග - මං කෙසේ විමසන
සහෝදර බැම්මෙන් - මිදී යන්නට නොම දෙන
සෙනේහය ඇයි තව - මට මගේ තැන පෙන්වන

දොඩන්නට රිස්සේ - හැකිද නොදනිමි තවම
කියන්නට බෝ දේ - හිතේ තෙරපෙන තරම

දකින්නට ඇත්තේ - නිමක් නැති භව දුකම

හිඳින්නම් මෙලෙසේ - යළිඳු අපි හමුවෙන තුරුම

© බෝ සමරතුංග


(ජායා රූපය ,සොයා ගත්තේ අන්තර්ජාලයෙනි ) මෙහි දැක්වෙන "ඔබ දෙදෙන .. අයියා කෙනෙක් සහ අක්කා කෙනෙකි.

Friday, 19 September 2008

කවි කථා - හිතක් නැති උනෙන්...


සංවාද ස්වරූපී කාව්‍ය රචනා මා හට කියවන්න ලැබුනේ කුඩා කල සිටමය. පළමුවෙන්ම කියවන්න ලැබූ කවි කතන්දර පොත, සාගර පළන්සූරිය මහතා විසින් රචිත සුදෝ සුදු කවි පොතයි. අකුරු කියවන්න බැරි බාල කාලෙ අම්මා තමයි මුලින්ම ඒ පොතේ කවි තාලෙට ගායනා කර ඒ කවි වල තේරුම කියලා දුන්නේ. කවියෙන් කථාවක්ම ලියන්න තවම මට බැරි උනත්, ජීවිත අත්දැකීම් අතරින් අත් දුටු සංසිද්ධියක් ඔස්සේ මෙසේ කවි පද ගොඩ නැගුනේ, පාඩම් අතර තුර ලද නිමේශයේ. (ලිව්වේ නම් ගිය අවුරුද්දේ , යුනිකේත පෙනෙන්නේ නැති අයට බලන්නත් එක්කම කවිය රූපමය ආකෘතියෙන් පළ කලා)

වෙද දියණී
දහවල උදේ එනවිට ලබැඳියන් රැස

නුඹ බල බලා හිටියා හිස් අහස දෙස
ගිලන් නුඹේ ඇඳ අසලට වෙදුන් මිස
වෙන කවුරුවත් නාවේ ඇයි කිසිම දින

රෝගී කත
සැමියා මලේ අලිමංකඩ සටන් වැද
දරුවන් නැතත් නොසිතුව අන් කෙනෙක් ගැන
හිමි පෙම සිහි කරන් සිටියා බැතින් තද
ආ මග දුකයි මරණය සැපතකී මට

වෙද දියණී :
යුද්ධය දුකක් කොයි කාටත් එය උරුම
අම්මේ නුඹේ දුක මට දැනෙනව බොහොම
රෝ දුක් මරණ හැම මැද නුඹෙ ඉවසීම
සිත සවි කරයි නිබඳව තව හැමදාම

රෝගී කත :
බෙහෙත් එපා මට මරණය දුර කරන
සෙනෙත් එපා අපුලයි හදවත් රකින
හිමියන් ගිය දිහා යන්නට ඉක්මණින
දියණිය නුඹේ ඔසු දිය මට නොදුන් මැන

වෙද දියණී
මේකත් වයසක්ද මිය පරලොව යන්ට
මරණය හිත හිතා දුක වැඩි කරගන්ට
අප මෙහි ඉන්නෙ නුඹ පන රඳවාගන්ට
වෙදකම් මොටද බැරිනම් නුඹ රැකගන්ට

රෝගී කත
හිතක් නැති උනෙන් තුරුලට උණුසුමට
ගිලන් හදවතින් මිදෙනට දෙන්න මට
දෙනෙත් කෙවෙණි තෙත් උනි කඳුලක රසට
නැකත් නොමැත නොහැකිය කල් බලන්නට

වෙද දියණී
විදුලි සැර දුනිමි හදවද ගැහෙන්නට
හැමම යුහුසුළුය නුඹ පණ දරන්නට
තව කල් නොවේ නුඹ මරණය දකින්නට
මම වැරදිදෝ අම්මේ යළි සිතුනි මට

බෝ සමරතුංග

Tuesday, 16 September 2008

මගේ සිත සහ අද ලක් මවගේ පුත්තු...S. Mahinda Thero

ජාතියක් සතු විය යුතු උදාර ලක්ෂන සිංහලයන් අතරින් ගිලිහී යමින් සිටි යුගයක, කවි පබැදුමට තමන් තුල වූ විශිෂ්ඨ හැකියාව තුලින්, දේශයක් අවදි කරන්නට තම නිර්මාණ ශක්තිය යොදාගත් කවියා ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ය.
උන්වහන් සේ ජාතික නිදහස පාදක කරගනිමින් ලියා ඇති කවි සිය ගණනක් මා හට කියවන්නට ලැබුනේ ඉතා කුඩා කල සිටයි. ඒ කවි කියවද්දී, නිරතුරුවම සිහිවුනේ මගේ රටට මා අතින් සිදුවිය යුතු සේවය, යුතුකම් මොනවාද යන්නයි. ඒවගේම ජාති මාමකත්වය, ජාති ආලය යනු කුමක්දැයි මැනැවින් වැටහිනි. පරාධීන නොවී සිටීමේ අගය සිත තුල කා වැදිනි. උන්වහන් සේගේ කවි වලින් ලද ආභාශයෙන් කවි ලිවිය යුතු අයුරු ඉගෙන ගතිමි.
අද විද්‍යුත් ලිපි කියවද්දී. රට කන නාලිකාවකට එරෙහිව ලියූ සටහනක් සමග මා කලකට ඉහතදී සිංහලයා ජාතික ෆෝරුමය වෙනුවෙන් සකස් කරන ලද ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් ලියූ කවි කිහිපයක් නෙත ගැටුනා. එනිසා උන් වහන්සේගේ එම කවි කිහිපය‍ පල කල ෆෝරුම ලින්ක් එකත් සමග උන් වහන්සේ ගැන මෙසේ සඳහන් කර තැබුමට සිත් වුනා.

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ " ජාතිය රන් විමනක් වේ " - දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශිත ග්‍රන්ථයේ පෙරවදනින් උපුටා ගන්නා ලද සටහන් සහ තවත් කවි රාශියක් මෙන්න මෙතැන පළ කොට ඇත. කියවන්න කැමති අය කියවන්න

ටිබෙට් ජාතික එස් මහින්ද හීමියන් ලියූ "අද ලක්මවගේ පුත්තු " කාව්‍යය කියවද්දී එදාටත් වඩා මෙය අදට ගැලපෙන්නේයැයි සිතුනා.
මේ උන්වහන්සේ ලියූ මා සිත්ගත් කවි පෙලකි.










Saturday, 13 September 2008

පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට


ආවේගයෙන් කිසිවක් කළ යුතු නොවේ, ටිකක් සැරට ලියෑවුනු කවි ටිකක් හම්බුනා, මගේ මතක කවි පොතේ තිබිලා. මේවා මම ලිව්වෙ කාටද මොනවටද කොහොම අවස්ථාවකදීද කියලා මතක නැහැ, අමතක වුනු බොහෝ දේ ගොන්නට එයත් එකතු වෙනු ඇත, ඒකට හේතුව දවසක් මට උගන්නපු ප්රොෆෙසර් කෙනෙක්ගෙනුත් ඇසුවා, එයා කිව්වෙනම් අමතක වෙන එක මතකයට සුභ දායකයි කියලා, මොකද අපේ මොළෙත් පරිගණක වල තියෙන හාර්ඩ් ඩිස්ක් එකක් වගේලු, මතකය පිරෙන්න පිරෙන්න අනවශ්ය දේවල් මකලා දමනවලු, අළුත් දේවල් ගබඩා කරගන්න. ඒත් අපිට ඕනෙ වෙලාවට, අනවශ්‍ය දේවල් සිතින් මකා අයින් කරගන්න පුළුවන්නම්. ඒ කියන්නේ හිත් රිදීම්, තැලීම් විරසක වීම්, අනුන්ගේ නුගුණ වගේ මතකෙට නැගෙන දේවල් අයින් කරන්න පුළුවන්නම්. මේ ලෝකේ මීටත් වඩා සුන්දර වෙනු ඇත.

පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට.... කවි

නැතිවාදම් බැණ අඩ ගා නෑ කිසි වැඩකට
පුරසාරම් දොඩ දොඩ කොතෙකුත් කෑගෑවට
හරිකම් කරනා මිනිසුන් ඉන්නා තැනකට
බොරුකම් පිරි හොර දෙටුවන් එන්නෑ කිසිවිට

නවතාපන් කරනා කෙනෙහිළි හැමෙකාහට
කරවාපන් හරි දේ මතු ලොව දියුණුවකට
දල්වාපන් හිත ඇතුලේ එළියක් අනෙකට
පුරවාපන් හුස්ම පොදක් ජීවත් වෙන්නට

දෙනවානම් දුන් දේ ගැන නොකියන් මැසිවිලි
හිත ඇතුලෙන් හිනහවෙයන් විසිකර කුණු කිලි
පොරවාගනු කරුණාවෙන් පෙඟවු සළු පිලි
මෙත් මග වේ හැමදාමත් දිවියට කල එළි

අනුන්ගේ නරක අල්ලා විසිකරනු
හොඳ හොය හොය එකතු කරල ලඟට ගනු
තියනා දේ හැම සමගින් බෙදා ගනු
අටලෝදම ලොව දැනගෙන කල් අරිනු

ආවේගශීලී වීම නම් එතරම් හොඳ නැහැ නමුත් කවි නම් ලියවෙනවා එතකොට...

බෝ සමරතුංග ©

Thursday, 11 September 2008

හද බිඳුම....


ජීවිතේ අපිට හමුවන බොහෝ දෙනා අතර අපි කතාබස් කරන ඇසුරු කරන කිහිප දෙනෙක් හැර අනෙක් සියලු දෙන අපට නොපෙනෙන තරම්‍ ය. අඩු තරමින් හැමදාම උදේ අපි පිටත් වෙන වෙලාවට නේවාසිකාගාරය පිටත අතුගාමින් සිටි වයසක ආච්චි අම්මා ඇඳගෙන හිටියෙ මොනපාට ඇඳුමක්ද කියලා කියන්නවත් නොදන්න තරමට අපේ හිත් බොහොම සීමිත වපසරියක සැරිසරන බවක් මට පෙනේ.
එහෙම හිතුන නිසාම වඩා කල්පනාකාරීව, මනෝ පාරවල් ගහගෙන වෙනදට යන එන මග මම අද ටිකක් සිහියෙන් ගියා. එතකොට බොහෝ දේවල් වඩා සවිස්තරව පෙනුනා. හිතන්න දේවල් අල්ප වෙන එකත් ලොකු සැනසීමක් කියලා හිතෙනවා. එතකොට තත්‍ය ලෝකේ වඩා ලොකුවට පෙනෙන්න ගන්නවා.
බලාපොරොත්තුවෙන් ඉන්න යමක් නැති වෙනකොට, අත්කරගන්න හෝ දිනාගන්න දෙයක් නැති කොට, දැනෙන සහනය කෙතරම්දැයි වැටහෙන්නේ බොහොම අල්ප දේ වලින් සැනහෙන්න ජීවත් වෙන්න පුරුදු පුහුණු වුන අය දුටු විටයි. සැප සම්පත් සොයමින් ඒවා පසු පස දුව දුවා ජීවිතේ අවුල් කරගන්න බොහෝ දෙනෙක් හිතන්නේ, ජීවිතේ විඳින්නේ ඔවුන් විතරක්මයි කියලා. ඒත්.... ටික කලකින් ආපසු හැරී බලා පසු තැවුල් විය හැකි බොහෝ දේ එහෙම අයට ඉතිරි වෙන බව ඔවුන් නොදනී.

Tuesday, 9 September 2008

අපබ්‍රංස.. නැවතත්

අපබ්‍රංස.. මීට අවුරුද්දකට පමණ පෙර ලියූවක්. මේ කවි දෙකට අපබ්‍රංස කියලා නම් කලේ මේක කියවපු ගමන්, මගේ කවි පිලිබඳ බොහොම දැනුමැති යහළුවෙක්... මොනවද මේ ලියන අපබ්‍රංස කියලා ඇහුව නිසාමයි.
ඒකාලෙත් බොහෝ අය බොහෝ නිර්වචන දුන්නා. ගොඩක් කවි කියවන විඳින , ඒ ගැන කතාකරන පිරිසක් බ්ලොග් අඩවි හරහා ඇතිවෙමින් තිබෙන නිසා මේ කව මෙහි පල කොට අදහස් විමසීමට සිත් විය.
පුද්ගලික අත්දැකීම් කවි නොකරන තරමට ජීවිතය ඒකාකාරී වෙලා. එනිසා මගේ කවි තුලින් මා නොකියවන්නේ නම් හොඳයි

එතකොට ආයෙත් මතක් වෙන්නේ, සේකරගේ, "මගෙ කවියෙන් මා නොසොයන් කව"

Saturday, 6 September 2008

Heart aches and heart breaks..කවි නොලියවේ...


අපි ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ, අපේ මුලු බැච් එකම "Life education week" කියලා සතියක් ගෙවල් වලින් පිට නිවාඩු නිකේතනයක් වැනි තැනක සමාජ සේවාවන් භාවනා කරමින්, ජීවිතය පිළිබඳ සංවාද ආදියෙහි යෙදෙමින් ගත කලා, ඒ කාලය තුලදී අපට, වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට ගොස් සේවයේ යෙදෙන්නත් සිදුවුනා. ටියුෂන් පන්ති හා පාසැල අතර ජීවිතය දෝලනය වෙමින් පැවති ඒ යුගයේ, අර සතියක කාලය අපිට ජීවිතය සම්බන්ද අත්දැකීම් රාශියක් ගෙන ආවා.

අද යහළුවෙක් හා කතාබස් කරමින් සිටි යමක් සිහිවෙලා මේ සියල්ල කුරුටු ගෑවේ. පාසැල් යන කාලේ අපි ගත කලේ හරිම නිදහසකින්. නිවාඩුවට ගමේ ගියහම නැවත ගෙදර එන්නේ පාසැල් පටන් ගන්න කාලෙදී. නමුත් අද දරුවන්ට නිවාඩු කාලෙත් ටියුෂන්. එනිසා දෙමාපියන්ටත් දරුවන්ටත්, විනෝද චාරිකාවක්වත් යන්න බැරි හැඩයි. පහ වසරේ පොඩි දරුවන් පවා නිවාඩු කාලෙත් ටියුෂන් දුවනවා. ඒ මදිවට සමහර 4 පන්ති වල දරුවන්ගේ අම්මලත් හෝ ගාලා පොඩි එවුන්ව දැම්ම ඉඳන්ම ටියුෂන් යවනවා. ශිෂ්‍යත්වය ඉහළින් සමත් කරවන්න.

අවුරුද්දේ මුල සිටම එක දිගට ලියන්නට යෙදුනු බ්ලොග් ලියමනත් එපාවුනු වෙලාවල් තිබුනා.
මුල් කාලේ සිංහල බ්ලොග් ලියන්න ගිහින්, යුනිකෝඩ් විරෝදීන්ගෙන් එල්ලවුනු විවේචන නිසා ඒවගේම , ඔවුන් බ්ලොග් පිටුවලට ඇවිත් ලියා යන ඇතැම් දෝෂාරෝපණ නිසා අදහස් ප්‍රකාශ accept කළ පසු ඒවා comment යටතේ ගොනු කරන්නට මට විතරක් නොවේ අපි බොහෝ දෙනෙක්ට සිදුවුනා. ඒක මම හිතන්නේ හරේශ් මගෙන් ඇසූ ප්‍රශ්ණයට පිළිතුරක් වෙනු ඇත. දැන්නම් පෙර මෙන් අපේ මේ බ්ලොග් පරිශීලනය කරන පිරිස් අඩු නිසා ඇතැමුන්ට මෙන් feed back නොලැබුනත් comment moderation ඒ විදිහටම තියන්න උත්සහ කරනවා. එතකොට අඩු තරමේ ඉඳහිට උනත් ලැබෙන ප්‍රතිචාර මොනවද කියලවත් බලාගන්න පුළුවන්නේ.
වෙලාවකට හිතෙනවා අපි මේ කරන හැම දෙයක්ම නිස්සාරී දේවල් කියලා. නමුත් මෙලොව පැවැත්ම ඇත්තේද එහිම නොවේද ? "සබ්බේ පෘතග්ජනා උන්මත්තකා" කියලත් කියනවනේ. එනිසා පුළුවන් තරම් හිත එක අරමුණක පිහිටුවාගෙන ඉන්න උත්සහ කිරීම වටී.

අපේ උන් සිතින් වෙන්වී ගිය මෙකල
සිහිනයක් වගේමැයි ඒ ගෙවුනු කල
දරාගත නොහැකි දුක නෙත් කඳුලු කර
සැනසෙම් කොහොම සතුටින් සිත පුබුදු කර

While going through some pages of an old diary I found this really lame essay (as I called it),which was written in my 4th year.
(I'm sorry its not a poem but just my experience)

I've held hearts , young and old..
with tearing eyes on first few days
some had scars..old and healed,
ruptured valves, calcified arteries
we measured the length the weight and valves
just to see how much,one's heart had survived

Its really hard to hear and know
is that a gallop, a murmur or an ejection click
We weep and cry and throw it all out,
Tiny pinch pain becomes hard to hold up
The heart gets a scar when it all ends up

listening through membranes right into my ears
All that miseries weeps and tears
lub dub lub dub Ends up with a scar !

its just a thought
"you know what they say about stopped clocks: They're always right twice a day."

Friday, 5 September 2008

ජීවිතේ මේ වගෙයි..hypocrite සහ මම

උදේට නැගිටින්නේ පහළ රූම් එකේ යාලුවාගෙන් ලැබෙන දුරකතන ඇමතුම නිසා, පුදුම තෙහෙට්ටුවක් දැනෙන්නේ, මොකද දවසට නිදා ගන්නේ පැය 5 වැනි සුළු කාලයක්,
ලෙඩ්ඩුන්ට උපදෙස් දෙනවා, පැය 7-8 නිදාගන්න නිදිමරන්න එපා, මනසට හොඳ නෑ කියලා. එහෙම කියන අපේ නින්ද පැය 5යි
බස් එකේ යන ගමන් පොඩ්ඩක් ඇස් පියා ගන්නවා. ඒත් ඔහොම නිදියලා මොකටද කියලා අම්මාගෙන් බැනුම් අහනවා.
ඊළඟට අපිම උපදෙස් දෙන්නේ, හොඳ සමබල ආහාර වේලක් කන්න , පෝෂණය හරීම වැදගත්,
ඒත් අපි, බස් වල යන ගමන්, ගිලින පාන් පෙත්ත, දවල්ට වැඩ වැඩිකමට වෙලා පහුවෙලා කන බත් ඩිංග, එතනිනුත් ඉතින් අපිටමයි අවැඩක් වෙන්නේ, ගැස්ට්‍රයිටිස් හැදිලා තමයි නවතින්නේ දවසක.
නිවාඩුවක් ලැබෙන තුරු ඉන්නවා, හොඳට නිදා ගන්න, හොඳට උයලා මිරිස් තුනපහ රහට කෑමක් කන්න

මීට වසරකට පමණ පෙර ---- රෝහලේ අපට කෙටි කාලීන පුහුණු වැඩ තියෙද්දී, බොහෝ වෙහෙස මහන්සි වුනු දවසක , එක්තරා මහළු සීයා කෙනෙක් වටේ අප සියල්ලම රොක් වෙලා ඔහුව පරීක්ශා කරමින් සිටියා. . "දූ කාලද දවල්ට, ඇපල් ගෙඩියක් දෙන්නද දුවේ" කියලා අහද්දී ඇත්තටම අපිට දැනුනේ පුදුමයක්, කාරුණිකව අපට කෑම අනවශ්‍ය බව ඔහුට පැවසුවද බඩුමිල අහස උසට නැග ඇති මෙවන් කලෙක රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ඒ සීයා ඇත්තටම ඒ වන විටත් දවල්ට ආහාරයක් නොගෙන එහෙ මෙහෙ දුවමින් සිටි අපිට අනුකම්පාවෙන් තමන්ගේ දරුවෙකුට සලකන ආකාරයේ ලෙංගතු කමකින්, බඩගින්නේ ඉන්න එපා යැයි පවසමින් අපට දැන මුතු කම් දුන්නා. සිරි සිරිමල් ට නම් එය මාව බයිට් එකට ගන්න අපූරු වචන ටිකක් උනත්, ඒ ඇසූ ඇසුමත් හිතට කියාගන්න බැරි අපූර්ව හැඟුමක් හිතට ලං කරා, මිනිස්සු අතරේ පවතින ලෙංගතුකම එයින් මහා විශාලෙට පෙනුනා. මේ ළඟදී දවසක අප හමුවූ විට සිරිමල් මේ සිද්දිය නැවත මතක් කළා.
අපි දෙන උපදෙස් අපිටවත් පිළිපදින්න වෙලාවක් නැහැ, සමහරක් විට.
අර තමන් දෙන උපදෙස් තමන්ම නොපිළිපදීන අයට ඉංග්‍රීසියෙන් කියනවා හිපොක්‍රිට් කනෙක් (hypocrite - a person who acts in contradiction to his or her stated beliefs or feelings) කියලා
ඔහොම බලාගෙන ගියහම හිපොක්‍රිට්ලා තමයි අපි ඔක්කොම.

කියන දේ නොකරයි
නොකරන දේ කියයි
නොවන දේ ගැන හිතයි
හිතන දේ නොවෙනකොට.... හරි දුකයි

Thursday, 4 September 2008

ඒ වෙනසට මං ආසයි...

වෙනස් වෙන හිතක නොවෙනස් යම් දෙයක් තියේද ඉතිරිව ?
ජීවිතේ නිරන්තරයෙන් වෙනස් වීම් වලට ලක් වෙනවා, සමහර වෙනස් වීම් අපිට දරාගන්ට බැරි තරම් දුක උනත්, අපි ඒවාට අකමැති උනත් ජීවිතේ කොහොම හරි ඉදිරියට ගමන් කරන්න අපි උත්සහ ගන්නවා , ඒක ලෝක ස්වභාවය.

කවි ලිව්වෙ නැද්ද ? දැන් ලියන්නේ නැද්ද? එක දිගටම ඇසෙන ප්‍රශ්ණ කිහිපයක්.
නව කතාව ගැන ලැබුනු ඊමේල් අතරේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් උනා

අපේ ඔරලෝසුවේ ඔයා පැය කට්ට අපි තත්පර කට්ට දන්නවද ඔයා එක පාරක් කැරකෙනකොට අපි ඔයා වටා 43200 වරක් කැරකෙනවා...

මගේ පමාව ගැන විමසා උපමා උපමේයයන් සමග ලියා එවූ ඒ සොයුරාටත් ස්තූතියි.
ඉතා අදික ලෙස නිදි වැරීම සහ මහන්සි වීම හේතු කොටගෙන ශරීර සෞඛ්‍ය ටිකක් විතර පිරිහුනා. අන්තර් ජාල පහසුකම් නැති නිසාත් වේලාවක් නැති නිසාත් ලියන්න බැරි උනා. හිතට නැගෙන සිතුවිලි හිත තුලම නැතිවෙලා ගියා. සිතේ එකලස් භාචය නැති උනා. ඒත් ඉතින් ජීවිතය ඒ වගෙයි.

ඒ අතර තවත් වෙබ් අඩවියක, ජාතිමාමකත්වය ගැන හුවා දක්වමින්, මගේ අනුදැනුමකින් තොරව මා ලියූ කවි පළ කර තිබුනා , මගේ වෙබ් අඩවියද මේ බ්ලොග් අඩවියට සම්බන්ද කර තිබුනා.
එසේ අන් අයගේ කැමැත්ත අකමැත්ත නොවිමසා, තමන්ට හිතෙන අරමුණකට හැමෝම ඈඳා ගැනීමට තවකෙකුට ඇති අයිතිය ගැන මීට වඩා විමසා බැලීම වටී.
අඩු තරමින් මින් පසු එසේ ලේබල් ඇලවීමට කලින්, ඊමේල් එකක්වත් එවා අදාල නිර්මාණකරුවන්ගෙන් ඒ සඳහා අවසරය ගන්නේ නම් වඩා හොඳ බව මට සිතේ.
මා දන්නා හඳුනන බ්ලොග් ලියන සහෝදර සහෝදරියන් මගින් මට මේ ගැන දැනගන්ට ලැබුනා. පැසසුම් ගුණ වර්ණනා ඇත්තෙන්ම අනවශ්‍යයි.
සේකරගේ සක්වාලිහිණි කාව්‍ය ග්‍රන්ථයේ එන මගෙ කවියෙන් මා නොසොයන් කවිය මතක් වුනේ අලුතින් එකතු වූ බ්ලොග් කිහිපයක් කියවන අතරතුරදී...

අපි හැමෝම නොදැනුවත්වම එකම අරමුණක් ඔස්සේ ගමන් ගන්නා අතර, මට කලියෙන් ඔබට ඒ අරමුණ සාක්ෂාත් කරගන්ට පුළුවන් වුනොත් ඔබේ නමින් පැසසුම් මල් පිපේවි. ඒ මල් තුල මා දකින්න.. යනුවෙන් නිරපේක්ශ සිතුවිල්ලක් කැටි කොට ලියවුනු මේ කාව්‍යය මසිත නිරන්තර නින්නාද දේ.
මතුවටත් එසේමැයි.

නැවත අන්තර්ජාල පහසුකම් ලැබුනු විගස සිංහල බ්ලොග්කරුවන්ගේ සමූහයට අළුතින් එකතු වූ අපූර්ව නිර්මාණකරුවන්ගේ බ්ලොග් අඩවි කියවන්ට ලැබුනා.. අපි කිහිප දෙනෙක් පමණක් බ්ලොග් කරණයේ යෙදෙනකොට, සිංහල බ්ලොග් මැරතන් පවා තියන කොට පැවති සිංහල බ්ලොග් ඉඩෝරය නිමවෙන සුභ ලකුණු හැම තැනම දකින්නට ලැබුනා. ඔක්කොම පුළු පුළුවන් විගස කියවන්නයි බලාපොරොත්තුව.

බෝමන් ( සහෝදරයා) ලියන ජීවිතයේ තවත් මොහොතක් කියවන්න, හිතන්න දොඩන්න හැකි බොහෝ දෑ හිතට කිට්ටු කරන අපූර්ව සිතුවිලි සංහිඳක්.

හරේෂ්ගේ ජීවත් වෙනකොට පිටුව මිහි මත පණ ගැහෙන හැම තත්පරයකම වටිනාකම සිතට ළංකරනවා කියලා දැනෙනවා. ගුණමකු කමින් නිරන්තරයෙන් බැටකන මිනිස් ගුණ දර්ම පිළිබඳ වඩා යතාර්ථයානුකූලව කියවීමක් ඒ ඔස්සේ මා දුටුවා.

ඇබ්නෝමල් දෙසිතක සිතුවිලි නමින් ලියවෙන මලීගේ සිතුවිලි පිටුව.. සමාජයානුකූලව සම්මත දෑ තුල පවතින කඩතොලු දකින, ඒ ගැන එදිනෙදා ලියන කියවන බසින් දොඩන මේ පිටුව මෙතෙක් දකින බ්ලොග් ආකෘතිවලට වෙනස් අයුරකින් ලියවෙන්නක් වුනත්. ඒ වෙනස හොඳයි කියලා කියන්න පුළුවන්. නියමයි.

Sunday, 3 August 2008

හැම තැනම සුභ මංගලම්

අද ඉතාම පැහැබර දවසක්, කොළඹ පැත්තෙ යන්න උවමනාවක් තිබුනේ නැති නිසා ගෙදරටම වෙලා හිටියා, ඒත් සැරින් සැරේ වහන අරින පාරවල් නිසා පසුගිය සතියෙම ගොඩාක් දුක් වින්දා, වෙලාවකට ඉන්න බස් රථයෙන් බැහැලා වෙනත් මං ඔස්සේ පයින් ඇවිදිමින්, ගෙදර එන්න සිදුවුනු අවස්ථාද නොමැත්තේ නෑ.
බොහෝ වෙලාවට අසල සිටින්නන් වුවත්, ඕගොල්ලොන්ගෙ ආණ්ඩුවේ වැඩ කියමින් අනික් අය වෙත දෝසාරෝපණ දැම්මේ ඔවුන් සහයෝගය දක්වන වෙනත් පක්ෂ වල වෙනත් නායකයන්ගේ උතුම් බව කියා පාමින්. කොහෙටවත් නැති මම නෑසූ කන්ව සිටියා. ඒත් මේ ආණ්ඩුව අපේ නොවේ කියලා සිදුවන සියල්ල විවේචනය කරන්න හෝ සාදාරණීකරනය කරන්න අපිට පුළුවන්ද ? තමන්ගේ ආරක්ෂාව වගේම රටේ මහජනතාවගේ පහසු අපහසු කම් ගැනත් හිතන නායකයන් සිටී නම් යෙහෙකියි සිතේ. හරියටම තම රාජකාරිය ඉටුකරන්නේ අපේ ත්‍රිවිද හමුදාව සහ පොලීසිය කියලා තමයි හැමෝම කතා වෙන්නේ, රටේ වත්මන් ආරක්ශක තත්වය ගැන හිතනකොට මටත් එහෙමයි හිතෙන්නේ.
මගේ හිත මිතුරු චාමික අයියගේ විවාහ මංගල්‍යයට සුභ පැතුම් එක් කරන ගමන්ම, ඔහුගේ සහ අතිනත ගන්නා සොයුරියගේ සියලු පැතුම් ඉටුවෙන, සාර්ථක දිවියක් ප්‍රාර්ථනා කරමි.
මේ මාසය මගුල් මාසයද කියලා හිතෙන තරම්ම මංගල උත්සව වලට ඇරයුම් ලැබුනා, විවාහ වෙන්නෙත්, නෑ හිත මිතුරු සොයුරු සොයුරියන් නිසා අපිටත් ඉතින්, වෙඩින් කේක් ඔතන්න, පෙට්ටි හදන්න, කාඩ් හදන්න එමට වැඩ. ඒ අස්සෙ submit කළ යුතු case reports ටිකකුත් තියෙනවා එනිසා ඒ වැඩ කටයුතු අහවර කරන්න දැන් බ්ලොග් ලියමන මෙතනින් සමාප්ත කරනවා

සුභ නැකැත් සපිරි දින
සිත් තොසින් පිරෙයි පෙම
මගේ ආසිරි තුටින
මගේ උන් වෙත ඉසිමි..
පෙම් පැතුම් ඉටුවෙලා
සිතේ මල් පිදිලා
සුභ පැතුම් පේවිලා
සසර බැමි තිර වෙලා


Monday, 28 July 2008

මන්දාරම් වැහි ...

මෙලොව එළිය දකින් හැම ජීවිතයකම අරමුණක් තිබෙනවා , ඒ හැම ජීවිතයකටම වටිනාකමක් තිබෙනවා, එහෙම වෙන්නේ අපි මිනිස්සු නිසයි.

ප්‍රසව හා නාරි වේද වාට්ටු වලදී, අළුත උපන් බිළිඳු දරුවන් තුරුලු කරගෙන සිනහ නගන මව්වරුන්ද, මෙළොච එලිය දකින්ට සිටි කිරිකැටියා අහිමිව හඩා වැලපෙන මව්වරුන්ද පියවරුන්ද දුටුවෙමි. උන්ගේ දුක බෙදාගැනීමට නොහැකිව වැලපීමි. එක පසෙක එක් අයෙකුට සතුට සැනසුම ඇතිකල්හි එනෙකෙකුට දුකක් කරදරයක් උරුමවේ, ලෝ දහම එයමය.

මුදල් වලට මනුස්සකම යටව ගිය යුගයක, මුදල් මත්තෙම නැහෙන ජීවිත අතර මනුස්සකමට පොරබදන එක මෝඩකමක්ද? හැම තැනම එක වගේ , කොහේ ගියත් හැම මුවකම තියෙන්නේ සෝ සුසුම්, හිනා කන්දක් කර පින්නගෙන, සිත් සතුටෙන් හිටියට, නැවත යන්න සිදුවෙන්නේ, හිත පුරා දුක් දෝමනස්සයන් පුරවගෙන, මහ මෙරක් තරම් ආදරේ අර ගව් සිය දුරින් ඇදෙන්න…. සුපර් ස්ටර් සින්දු වල ගයද්දී ආදරයට මිලක් නියම කරන්නන් අතරින් ජීවිතේට මුලින්ම අවශ්‍ය මුදල්මය යන්න කියවෙනවා. මුදල් මත්තේ ජීවිත ගොඩ නොනගන එක අපි වැන්නවුන්ගේ මෝඩකමය කියලා කියන එකත් අහගෙනම, හිතට එන සංවේදනා සියල්ල පෙර මෙන් කවි පද ගොන්නකට පෙරලන්න බැරි තරම් සිත, ගත , අත අප්‍රාණ වී හමාරයි. ඉදින් මේ ඒ සියල්ලේ අවසානයද ?

කියූ සියල් දෑ ගොලුව ගිය මොහොතක,
ආදරය මුදල් අභියස පැරදූනු කල්හි
පැතූ පැතුම් හැම දෙනෙත් අභියස
සුනු විසුනු වී ගිය මොහොතක
ඇයැදුමත් රිදුමකි මහත්
හිතේ හිතුමන් සියල් නැතිවුනු කල්හි
ඉතිරි වෙන යමක් ඇත්නම් …
ඒ සියල් නටබුන් මතක මත්තෙන්,
ඉරිතලා කේඩැරි වී ගිය මතකයන් පොඳිබැඳ
යලිත් හැරෙන්නට නොහැකි ගමනක අවසානය කරා යන්නේ කෙසේද?


රේඩියෝවෙන් දුක්මුසු ගීයක් ඇසේ…සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායම ගායනා කරන්නකි, අසා සිටින කල්හි දෙනෙත් අගට කඳුලක් ගෙන ආවා...

වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි
වියළි දෙතොල් මත වැටුනා

ගීය අවසානයේ මෙසේද ඇසේ

මැලැවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගන'යුරු මට කියා දී යන්න…

Thursday, 17 July 2008

නැවත එනතුරු

එහෙ මෙහෙ දිග දුර ගමන් කිහිපයක් නිසා එකදිගට බ්ලොග් සටහන් ලියන්නට බැරි වුනා
හැම තත්පරයෙම මොකක් හෝ වැඩක් ඉහමතට වැටෙන, එහෙ මෙහෙ දුවන ගමන් හිතට එන හිතිවිල්ලක්වත් ලියාගන්න බැරි තරමටම ජීවිතේ කාර්යබහුල උනේ මටත් නොදැනීමයි.

එ' අතරතුර ලද විවේකයේ සූ අක්කාගේ කොම්පියුටරයෙන් මෙසේ බ්ලොග් සටහනක් එකතුකරන්නට සිත් විය

යන එන දකින තැන තැන
මුහුණු වල ඇත්තේ නොරිස්සුමක්
කතා බස් කලත් වචන වල නැහැනෙ ලෙන්ගතුකමක්
කොයි වෙලේ බෝම්බයක් , කොහෙන් පිපිරේද
චකිතයෙන් කල් ගෙවන ජිවිත...

යලිත් සපැමිණ ලියන්නම් අන්තර්ජාල පහසුකම් ලැබුනු විගස

Friday, 13 June 2008

අත්තම්මා නිවන් ගිහින් අපට හුඟක් ඈතයි...Down the memory lane





අත්තම්මා නිවන් ගිහින් අපටගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති ගානයි
ඒ වුනාට කියා දුන්න කවි සීපද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්

හර්ෂණ දිසානායක පොඩි මල්ලී කියන මේ සිංදුව මට අහන්න ලැබුනේ, අපේ එහා ගෙදර පොඩි කෙලි පැටික්කී මේ සිංදුව කීව නිසා, පස්සෙ හොයලා බලලා, තියෙන තැනත් යාලුවෙක් හොයා දුන්නා
අහන්න කැමති අය මෙතැනින් අහන්න

මා වෙදදුරෙක් වෙනු දකින්නට වඩාත්ම ඕනෑ වූයේ මගේ අත්තම්මාට සහ ආච්චීටයි. හවසට තෙල් ගා අත්තම්මාගේ කකුල් දෙක සම්බාහනය කරද්දී, "දොස්තර කෙනෙක්ම වෙන්ට ඕනෑ මයෙ පුතේ" යැයි ආදරෙන් මට නිතර දෙවේලේ පැවසූ මගෙ අත්තම්මා, මා කැම්පස් යන්නටත් පෙර අප අතරීන් වෙන්වී ගියා.
ඊළඟට කොළඹ ආච්චී, පාසැල් ගොස් ගෙදර එන ගමන් හෑමදාම ආච්චීගේ ගෙට ගොඩ වෙනවා බඩ පුරවා ගන්න යමක් වැරදෙන්නේ නැහැ. නමුත් මම වෛද්‍ය විද්‍යාලේ පළමු වසරේ හිඳිනා විට ආච්චිත් අප අතරීන් වියෝ උනේ නොසිතූ අයුරින්. නිතර සිහිනෙන් මා වෙත ඇවිදින් සුව දුක් විමසන ආත්තම්මාද ආච්චීද මතක් වී මේ බ්ලොග් සටහන ලියවෙද්දී මගේ නෙතට කඳුලක් ආවේ මා නොදැනීමයි.

ඉස්සර මං පොඩි කාලෙ අත්තම්මා මට කියන්නේ කළ වැද්දා කියලා, ඇයි නිතරම ඉන්නේ ගස් උඩමනේ ,උදේ හිටන් හැම තැනම දුවලා දුවලා කැලෑ බඩවැටි අස්සේ් කරක් ගහලා, අපි පොඩි එවුන් හවසට ගෙදර එන්නෙ, නමිනං, අමු ගම්මිරිස් ඇට,ඔළිඳ ඇට හෝ මල් බෙරි වලින් සාක්කු පුරවගෙන. මහා විසාල අරලියා ගහ මුදුනේම තමයි ගොඩක් වෙලා ගත කරන්නේ.
ගහ මුදුනටම නඟින කෙනා ”රජ්ජුරුවෝ උඩයි උඩයි චූ කොල්ලෝ බිමයි බිමයි ” කියලා බිම ඉන්න අයට විහිළු කරනවා මට තවත් මතකයි
අවුරුද්දට අරලිය ගහේම ලොකු අත්තක ඔන්චිල්ලාවක් බැඳලා පදින්න අපි ඔක්කොම එකතු වෙන්නේ පුරුද්දට වගේ.
ඔන්න ඉතින් පොල් පිත්තක් කපලා තමයි කඹේ අතරට දමන්නේ ඔන්චිල්ලාවේ ඉඳගන්න බංකුවක් වගේ. මට ඉතින් හරි අමාරුයි පොල් පිත්තේ ඉඳන් ඉන්ට, මං කරන්නේ් කොට්ටයක් හොයන් ඇවිත් දානවා ඔන්චීල්ලාවේ, ඉතින් සැරයක් කොට්ටේ ගෙට ගන්න අමතක වෙලා වැස්සට තෙමිලා අත්තම්මාගෙන් බැනුම් ඇහුවා හොඳට. කඳුරේ ගල් උඩ දුව දූවා වැඩ පෙන්වන්න ගිහින් අන්තිමට ලෙස්සලා වැටිලා මඩ නාගෙන, දෙසරයක් නාපු අවස්තාත් නැත්තේ නෑ.

ගෙදරටම වතුර අරන් තිබ්බත් නාන්නනම් අපි ලොකු අක්ක එක්ක හරි පොඩි අක්ක එක්ක හරි කඳුරට හරි ඔයට හරි දුවනවාමයි. ඒ දෙන්නම නැත්නම් ඉතින් අත්තම්මා එක්ක පීල්ලට යනවා. අත්තම්මාට වතුර පයිප්ප අරහං
අත්තම්මා කියන්නේ ඇඟට දෙනෙන්නෙවත් නෑ කියලා වතුර මලෙන් නානකොට, ඉතින් ගෙදර උයන පිහින හෝදන වැඩ වලට විතරමයි දිය කඳුරෙන් ගෙදරට එන පයිප්ප වතුර පාවිච්චි කරන්නේ.
ගස් මුල් ගල් හෝදගෙන ගලා බහින සීතල කඳුරෙන් වතුර ටිකක් නෑවම තියෙන සනීපේ කවදාවත් නගරෙ අපිට වතුර පයිපයකින් වතුර මලකින් එන ක්ලෝරීන් වතුරෙන් ලැබෙන්නේ නැහැ.
අපිට කැස්සක් උණක් තිබ්බත් අත්තම්මා අපිව නාවනවා, මෙන්න එසැනින්ම කැස්ස උණ කොහේ ගියාද කියලා නැහැ. ගස් මුල් හෝදන් එන වතුරේ ඔසු ගුණයක් තියෙන බවයි අත්තම්මලා විශ්වාස කරන්නේ.
අද අපි කොණ්ඬේ වවා ගන්ට දිස්නේ දෙන්ට යැයි කිය කියා කොයි තරම් රසායනික දේ්වල් ඔළුවට හලා ගන්නවද.. ඒ කාලෙ නම් මට මතකයි, නාන දිය කඳුර අද්දරම වැවිලා තිබ්බ කෝමාරිකා පඳුරෙන් කෑල්ලක් කඩලා අත්තම්මා අපේ ඔළුවේ ඉඳන් ඇඟ පුරාම ගානවා.

නුවර මහ ගෙදර සොල්දරේ අපි පොඩි අයට තහනම් ප්‍රදේශයක්. ඒක උඩ කල වැද්දෝ ඉන්නවා කියලා ලොකු අම්මලා එහෙම අපිව බය කරලා තිබ්බේ, එනිසා අපිනම් කවුරුත් ඒක උඩට නඟිනවා තියා බලන්නවත් ගියේ නෑ. කළ වැද්දෝ කියන්නේ මුගටියෝ වගේ සත්තු ජාතියක් කියලා නොදත් අපි, කකුල් දෙකේ වැද්දෙක් සිටිනවා යැයි බියෙන් එහි නොගියෙමු. පසු කලෙක තමයි වැටහුනේ අපට සොල්දරේට නගින්න නුදුන්නු හේතුව. ලොකු අත්තා එකතු කරන ලද පැරණි පත පොත සේරම තිබුනේ සොල්දරේ හෙවත් ගෙදර උසම ස්තානයේ, බුදු පිළිමය සහ වන්දනා කටයුතු සිදු කරන තැනත් තිබුනේ එහිමයි. පසු කලෙක, මට මහා දැනුම් ආකරයක් උනේ මේ සොල්දර පුස්තකාලයයි.
මේ ලඟදී ආපහු නිවාඩුවට නුවර ගිය වෙලේ අරලිය ගහ මුලට ගියහම මේ සුන්දර මතකයන් හිත පුරා නේක රටා මවමින් සිතුවම් ලෙසින් දිග හැරුනා. අත්තම්මා අප අතරින් වෙන් වී ගියද ඇගෙ සුවඳ තවමත් ගේ පුරා රැඳී ඇතැයි මට සිතේ. ගොඩ දවසක් නුවර නවතින්නේ නැත්තේ අත්තම්මා නැති නිසාය කියලා ලොකු අම්මා එහෙම නෝක්කාඩු කියනවා. ඒක ඇත්ත, අත්තම්මා නොමැති ගෙදර වසන විට මහා පාළු හැඟීමක් මගේ සිතපුරා නැගෙන්නේ

ඉහත පද පේලි මා ලියූවේ අත්තම්මා අප අතරින් වියෝ වූනූ වේදනාවෙනි. එළිවැට එළිසමය නොගැලපීම ගැන සමාවෙන්න.

Sunday, 8 June 2008

nishmi's thoughts

ගොඩ කාලෙකින් කවියක් පල කරන්නට බැරිවීම ගැන කණගාටුයි, මරණය ගැනත් ජීවිතය ගැනත් මා ලියූ සටහනට සටහනක් එකතු කල සහන් ගේ අඩවිය ගැනත් සටහනක් තියන්නට හිතුවත් එකල විභාග භීතියෙන් සිටි හෙයින් ලියන්නට යමක් හිතාගන්නට බැරිවිය.
නුදුරු දිනකම තිබ්බතයේ මල පොත ඉල්ලාගෙන කියවන්න ලැබේවි, එතකොට ඒ පිළිබඳ වඩා සවිස්තරාත්‍මක යමක් ලියන්නට හැකිවේවියැයි සිතෙනවා.

මගේ මිතුරු ,නෙළුම් "lotus" ගේ අලුත්ම බ්ලොග් එකක් ගැනත් ආරංචිය මෙහි සටහන් කරනවා.

I am happy to announce that another good friend of mine joined the blogger. We were quite busy yesterday setting up her blog which consists of English poems of hers.

Nishmi's thoughts

nishimi කලක පටන් ලියා එකතු කල ඉංග්‍රීසි සහ සිංහල කවි එකතුවක් ඇගේ බ්ලොග් සටහන් තුලින් එලි දක්වන්නයි සූදානම ඉතින් හැකිනම් ඒවා කියවා බලා ඒ ගැන අදහස් කිහිපයක් එකතු කරන ලෙස සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටිනවා.
අලුත් කවි රැගෙන එන්නම් ඉක්මනින්...

Sunday, 1 June 2008

All exams are stressful..

Exams ..... arggggg,
where's my anti stress pill

"Exams may come , exams may go
but we stress for ever .... " a famous quote among students..

Just a small thought about the mini verse I've written - I know that homba is not an appropriate word to describe an anatomical region on human body. Its just a phrase of expression.
Hombata aninawa, means "a punch on the face"

Monday, 26 May 2008

the forgotten poem

Every thing's gonna end some day. Nothing will last forever and so is my poetry. No matter how hard we try to surround our selves with creature comforts one day we all have to depart from our loved ones.

The poem Tatyana was written for a friend of mine who's studying in Russia. Although my friend's parents dislike and disagree of his relationship, when it comes to love, religion or ethnicity don't matter at all.

සියලු දේ නිරපේකශව දකින්න උත්සහ කලද , සාපේක්ෂ දැකීම් කියවීම් වලින් ගහණ මිනිස් පුරයේ එලෙස සීතීම පවා කිසිඳු පල ප්‍රයෝජනයක් ඇති දෙයක් නොවේ.
සදාකාලික නොවන කිසි දෙයක් නොමැති කල්හි තාවකාලික සැනසීම පතා නොයෙක් අකැපා පාපී ක්‍රියාවන් වලට පෙළබෙන්නන් සිටින සමාජයක අද අපි ජීවිත ගෙවන්නේ.
මේ ලියන බ්ලොග් පවා මා මිය ගිය පසු යම් දිනක නවතීවී. එවිට බෝ නම් නාමය සහ මේ ලියූ කවි පද රචනා මිසක ස්ක්‍රීනයක් අභියස හිඳ මේ අකුරු යතුරු පුවරුව මතට ඇඟිලි තුඩු අගින් ලීයනයෙහි යෙදුනු මේ කය ඉතිරි නොවනු ඇත.
ගියා ආත්ම භවෙහි මා කුමන තැනක කුමෙක් වී සිටියේද යන්න මම නොදනිමි. එහෙත් මිනිස් ආත්ම භවයක් ලැබගන්ට පින් කළ හෙයින් මෙසේ ඉපදුනද අපේ කර්ම ඵල ශක්තීන් අනුව ඊළඟ භවයේ අපි කොහේ නම් උත්පත්තියක් ලබයිද?
සියලු දේ ගැන ශූන්‍ය සිතුවිලිම ලියන්නේ ඇයිද කියා යහළුවන් අසයි, එහෙත් සැබෑ යතාර්තය දකිද්දී ඊට වඩා යමක් ලියන්නත් බැහැ වගෙයි.

අමතකව ගිය කවක්..

බොහෝ පදරුත් මෙහි ලියම්
කිසි නොදිසි කරුමෙකි මහත්
අලුත් කවියක පාට සිතුවම්
සෙමින් විත් හදවත හරිත්

ලියූ කවි ඇත මහ ගොඩක්
දකින කිසි ඇස නැහැ වගක්
අමතකව ගිය සිතුම් එකිනෙක
පාරවයි සිත යලි ඇවිත්

නොවක් ගිනි මැද සිට මමත්
ලියා කුමටද කවි තවත්
අමතකව ගිය කවක් අතගෙන
තත්‍ය ලොව වෙත යලි හැරෙම්

බෝ සමරතුංග ©

Thursday, 22 May 2008

මතුපිටින් සිනා පුරවන - flowers of tears

කඳුලූ මල් මහා පෝලිම..

දකිනවා ඇසෙනවා, හැමෝගෙම දුක් කඳුලු ඒත් අපි ගොලු වෙලා අපේ හිත් වහගෙන අපිට පෙනෙන්නේ, අපිට දකින්න ඕනෑ ටික විතරයි.... තමන්ගේ චින්තන පාරාසයට අනුගත නොවන්නන් කපා කොටා ඉවත් කරන්න පොරා බදන මානවයන් පිරුනු ගෙන්දගම් පොළව පිට දකින්න ලැබෙන බොහෝ දේ අතර හිත දෝලනය වෙද්දී, ලියන්න හිතෙන දේවල් බොහෝමයක් මග ඇරෙනවා.

නොයෙක් අකටයුතුකම් මැරකම්, අසම්මත ව්‍යාපාර මගින් මුදල් හරී හම්බ කරන අතරම ඒ සල්ලි වලින් අත දිග හැර පිංකම් කාලෙට වියදම් කරන කපටි කුටිලයන් ඕනෑ තරම් දකින්න ලැබුනා පසුගිය වෙසක් කාලෙ. එදාට ඔවුන්පන්සල් වල ලවුඩ් ස්පීකරයෙන් පිංවතුන් වෙලා.
උදේ හවස අපි යනෙන පාරවල් වලමයි ඔවුන් යන්නෙත් එන්නෙත්, ඒත් අර ඉන්ටර් කූලර් වල කළු වීදුරුවලට ඔබ්බෙන් පෙනෙන මිනිස් ජීවිත දිහා බලන්න ඔවුනට හිතෙන්නේ ජන්දයක් ලංවුනහම විතරමද? මට දුකයි අපේ රට ගැන...

ඉඳලා හිටලා ලැබෙන විවේකයේ කවියක් ලිව්වත්, ඒවා ලිව්වා කියලත් අමතක වෙලා යනවා,
අහම්බෙන් ෆෝල්ඩර අතරේ සැරි සරද්දී කාලෙකට කලින් ලියූ කවියක් දුටුවා.

කඳුළු මල් මහා පෝලිම

අනන්තය පුරා විහිදෙන
කඳුලූ මල් මහා පෝලිම
දැක දැකත් නොදැක යන්නේ
ඇයිද පින්වතුන්

සී මැදුරු වලින් බැහැගෙන
සරන පුර සරා දෙ ඇසින
දැක දැකත් නොදැක යන එන
අරුම මට කියන්

මතුපිටින සිනා පුරවන
වෙස් මුහුණු හොයා බැඳගෙන
හිතේ කුණු කිළිටි සඟවන
අයුරු මට කියන්

සිල්වතුන් වෙලා දවසක
නිවන් පුර දොරටු දකිනට
සුදු බැනර් යටින් පුරවර
යනෙනු ඇත ඔවුන්

© බෝ සමරතුංග

Monday, 19 May 2008

ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ - Vesak Thoughts


මට මතකයි - අපේ වෙසක්

බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ

බෝසත් ගති ගුණ පිහිටන්නේ නැති ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදු බණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා

සිරිත් විරිත් යහ ගුණෙන් පිරී ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳයට හිනැහෙන දවසක් යලි කවදාවත් නේවිද මන්දා

එඞ්වඞ් ජයකොඩි මහතා සහ මාලිනී බුලත්සිංහල මහත්මිය ගායනා කරන මේ ගීතය රේඩියෝවෙන් ඇහැන්නට විය. ඒ ගීයෙන් කියනා ලෙසට ඇත්තටම තවමත් ගතිගුණ අතින් අපි අමනුස්සයන් වගේ. වෙසක් කාලෙට සිල් රෙදි පොරවගෙන අට සිල් ගත්තත් ඊට පස්සෙ ආයෙත් අර පුරුදු පිසාච දිවියටම හැරෙනවා.

මට මතකයි, පොඩි කාලෙනම් අපි වෙසක් එනකම් ඉන්නේ දන්සැල් වඳින්න යන්න. දන්සැල් පවත්වන පිරිස, මෙය කරන්නේ ශ්රද්ධා භක්තියෙන්, ඔවුන් මෙය කරන්නේ හුදෙක් පින් පිණිසමය , එනිසයි දන්සැල් වඳිනවා යන්න භාවිතා කරන්නේ.

වෙසක් බලන්න යන්න අපි ලක ලැහැස්ති වෙන්නේ හරිම ආසාවෙන්, සව් කැඳ , දුන්තෙල් බත් දන්සැල් මෙන්ම, කෝපි ප්ලේන්ටී දන්සැල් වඳිමින්. වෙසක් තොරණ් , වෙසක් කූඩු ඇතුලත් වෙසක් සැරසිලි නරඹමින් නගරය පුරා සැරිසරන්නේ හිත පිරි සතුටෙන්.
එ්ත් අද, වෙසක් බලන්න යමුය කිව්වොත් , වැඩිහිටි බොහෝ දෙනෙක් දක්වන්නේ නොකැමැත්තක්, වැඩිපුර සෙනග ගැවසෙන තැන් වලට යන්න බැහැ . රටේ තත්වය හොඳ මදි ඔය ආකාරයේ කරුණු කාරනා නිසා අද ගෙදරට වෙලා, රූපවාහිනියෙන් වෙසක් බලන්න බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නවා
මට මතකයි, වෙසක් දාට පන්සල් ගිහින් වැඳුම් පිදුම් කරාට පස්සේ, අප්පච්චී අපිව අගනුවර පුරා වෙසක් බලන්න එක්කගෙන යනවා, බොරැල්ල හංදියේ මහා තොරණ බලලා එතැනින් දෙමටගොඩ තොරණත් බලාගෙනම තොටලඟ තොරණ නරබන්න අපි යන්නේ අතරමග දන්සැල් වැඳගෙන ඉතින් ගෙදර එද්දී මධ්යම රාත්රියත් පසු වෙලා, ඒත් නගරය තාමත් අවදියෙන්.
සීදූව මහා වෙසක් කූඩු රාජයා, එක සැරයක් ඔරුගොඩවත්තේ ප්රදර්ශනය කළා, එයින් පෙන්වූවේ ඇසල මහා පෙරහැර, නැට්ටුවෝ අලි ඇතුන් නිලමෙළා පිරුනු මහ පෙරහැරක් කූඩුවත් එක්කම වටේට කැරකෙද්දි හැබෑම ලස්සනයි.
ඒ වගේම අගනුවර පිහිටි මහළු නිවාසයකට දානයක් දීම පාසැලේ බෞද්ධ ශිෂ්ය සමිතිය හැම වෙසක් කාලයේදීම කරන සද් කටයුත්තක්. හැම තිස්සෙම අපි ගෙදර එන්නේ හිත පුරා ලොකු දුකක් දරාගෙන, අනේ ඒ දෙමපියන්ව අර වගේ තැනකට දමන්න තරම් දරුවෝ කුරිරු උනේ කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බැහැ
සමහර වයසක සීයලා ආච්චිලා, අප එක්ක පැය ගනන් එක දිගට කතා කරමින් ඉන්නවා, ඇස් වලින් කඳුළු බේරෙද්දි එයාලගේ දරු මිණිපිරියො ගැන හරි උජාරුවෙන් කතා කරනවා, හුඟක් අයගේ දරුවෝ ඉහළට ඉගෙන ගත්ත ලොකු තානාන්තර දරන අය. ඒත් පොඞ්ඩක් හිතල බලන්න, කොයි තරම් ඉගෙන ගත්තත් ලොකු ලොක්කෙක් උනත් තමන්ගේ අම්මට තාත්තට සලකන්න බැරි නම් එ් ලොකු කම් වලින් ඇති ඵලය කිම. අම්මේ තාත්තේ ඔබේ දරුවාට පාසැල් විෂය දැනුම මෙන්ම අධ්යාත්මික ගුණ ධර්මත් කියා දෙන්න.

යාන්ත්රික මිනිස් සමාජය තුල එක දිගට වැඩ කරන, දහඩිය වගුරුවන අපේ සිත් හැම තිස්සෙම කලබලකාරීය, නොසන්සුන්ය. ඉතින් එහෙවි කලබලයෙන් මදකට හෝ මිදෙන්න වෙසක් පෝ දින කාල වකවානුවේදිවත් උත්සහ ගත යුතුයි. කොහේ හෝ ගොස් නිවාඩු ගත කරනවාට වඩා, තම ගමේ පන්සලට ගිහින් පුණ්ය කටයුතු වල යෙදෙන්න උත්සහ ගන්න. ඒකයි සැබෑ බෞද්දයෙකුගේ යුතුකම.
ඔබේ දරුවන්ට නිවැරදි දහම් දැනුම ලබා දෙන්න, එය පොතට පතට පමණක් සීමා නොකොට, ප්රායෝගික පුණ්ය කටයුතු සඳහාද ඔබේ දරුවන් යොමු කරන්න. නිවැරදි මග දුටු දරුවන් කවදාවත් තම දෙමාපියන් මහළු නිවාස වලට කොටු කරන්නේ නෑ. මන්ද පව් පින් මොනවාදැයි ඔවුන් දන්නා හඳුනන නිසාවෙනි.

අභිවාදන සීලිස්ස නිච්චං වද්දාප චායිනෝ
චත්තාරෝ ධම්මා වඞ්ඨන්ති
ආයුවණෝ සුඛං බලං

”තෙරුවන් කෙරෙහිත් එමෙන්ම මාපිය නෑදෑ සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිත් වැඳුම් පිදුම් ගරු කටයුතුකම් කරන තැනැත්තාහට මෙම අත් බව තුළදීම දීර්ඝායුෂ, ශරීර වර්ණය , කායික මානසික සැපත යන මෙකී මහඟු ගුණයන් සතරම හිමි වේ”

ඔබ සැමට මෙත් කරුණා පිරුණු සුභ වෙසක් මංගල්යයක් වේවා !

බෝ

Sunday, 18 May 2008

Vesak - Down the memory lane - අපේ වෙසක්


අපේ වෙසක්

රන් පාට රන් තැටිය පින් පාට පුරවගෙන
වෙසක් අසිරිය අරන් පෙරදිගින් නැගෙන සඳ
සිල් සුවඳ පින් සුවඳ මද සුළඟ හා වෙලී
මගෙ දෙරණ දස අතට වෙසඟ සිරි කියනවද

වෙසක් දා පිංකමට සඟරුවන පෙරහැරින්
සාදු නාදය මැදින් පන්සලට වඩිනවද
පෝයදා සිල් ගන්ට මං නැතත් යාළුවන්
සුදු වතින් සැරසිලා පන්සලට ඇදෙනවද

මං නැතත් මල්ලියා නංගි හා එකතුවී
වෙසක් දින සමරන්ට කූඩු හෙම හදනවද
ගමේ පන්සල අසල හැම දෙනම එකතුවී
සිසිල් පැන් දන්සැලක් මේ සැරෙත් කරනවද

අතු පතර පූදිනා සුවඳ මල් හැම බැතින
බුදු පුදට යනු පිණිස පාරමී දම් පුරන
සියල් සත වෙත සහන සැනසීම පතුරාන
වෙසක් සිරි ගෙන දසත බැබලේවි මගෙ දෙරණ

(කුඩා කල මා ලියූ කවි පන්තියකි - බෝ©)

වෙසක් එලඹෙත්ම අප හිත් පුරා නැගෙන්නේ එකම සිතිවිල්ලකි, ඒ මේ සැරේ වෙසක් කූඩුව කොහොම හදනවාද යන්නයි.
අටපට්ටමක්ද තරුවක්ද, පැටව් එක්ක කූඩුවක්ද, නෙළුම් මල්ද ?
කොයි තරම් ලොකු මහත් උනත් තවමත් වෙසක් ලබනකොට කූඩු හදන්න උණ බට හොයන්න යුහුසුළු වන්නේ කුඩා කල සිට අපි පුරුදු පුහුණු වූ එ් අසිරිමත් බුදු තෙමඟුල සිහි කරනු සඳහාමය
අපි කුඩා කාලෙනම් අප්පච්චි හරි ලොකු අයියා කෙනෙක් හරි අට පට්ටම් කූඩුවේ සැකිල්ල හදා දුන්නම අපි සව් කොල අලවනවා, ඔහොම බලන් ඉඳලා ටිකෙන් ටික අපිත් කූඩු හදන හැටි ඉගෙන ගත්තා. වෙසක් කූඩුවට සව් කොළ ගේන්න දහපාරක් උනත් කඬේ දුවනවා.
හැම සැරේම වගේ මෙවරත් පන්සලෙන් දහම් පාසලේ සිසු දරුවන්ට උණ බට නොමිලයේ බෙදා දෙන බවක අහන්නට ලැබුනා, පන්සලෙන් ලබා ගත් උණ බට වලින් ගෙවල් වලට වෙසක් කූඩු හදනවා වගේම වෙසක් දිනට පන්සල ඒකාලෝක කරන්නත් කූඩුවක් ගෙනෙන්න අමතක කරන්නේ නෑ
මට මතකයි එක සැරයක් අපි එකතු වෙලා, වෙසක් කූඩු 300 පමණ හැදුවා මුළු ප්රදේශයම ආලෝක කරන්නට. ඒක රූපවාහිනී නාලිකාවක පවා පෙන්නුවා මතකයී.
ඒත් අද වෙනකොට වෙසක් කූඩුවක් සල්ලි දීල කොහෙන් හරි මිලදී ගන්න, අපේ උදවිය පුරුදු වෙලා ඉන්නවා. මම මේ ලියන්න ටික මොහොතකට කලියෙන් මගෙ යෙහෙළියක් පැවසුවා ”අපි සැකිල්ල අරං සව් කොල ඇලෙව්වා කියලා” ටික කාලයක් යත්ම වෙසක් කූඩුවත් විකිණෙන භාණ්ඩයක් උනු හැටිනම් හරිම පුදුමයි.

වෙසක් දවසට ඉතිං අනිවාර්යෙන් සිල් ගන්නවමයි. අපි එදා වෙනතුරු ඉන්නෙ නො ඉවසිල්ලෙන් , සුදෝ සුදු සිල් රෙදි පෙරවගෙන උතුරු සළුව අත දරන් උදෑසනින්ම ශාන්ත දාන්තව පන්සල වෙත ඇදෙන දරුවන්ගේ ගමන බිමනත් බොහොම හෙමින්. ව්යංඡන රාශියක් සමග බෙදෙන දහවල් දානය වේලාව එනතුරු, ධර්ම සාකච්ජා, භාවනා සහ ධර්ම දේශනා ඇතුළු විවිධ පින් කටයුතුවල යෙදෙන්නේ හද පිරි සතුටෙනි.
දන්නා හදුනන කෙනෙක් පොඩි කාලේ සිල් සමාදන් වීමට ගිහින් උග්ර සේන අහසේ කරනම් ගසමින් රහත් වූ සැටි පන්සල් බුදු මැදුරෙහි ඇඳ තිබෙනු දැක මමත් උග්රසේන වගේ කරනම් ගසමින් රහත් වෙනවා කියමින් සිල් රෙදි පිටින්ම බුදු මැදුර අභියස කරණම් ගැසූ පුවතනම් හැම සැරේම සිල් ගනිද්දී මතකයට නැගෙනවා. පොඩි කාලෙ ඉතිං අපි කවුරුත් දඟයි නේ. එහෙම කියලා අදටත් අර කෙනා මූණ රතු කරගන්නවා.

තැන තැන බැඳුනු බොදු දජ නිබඳව සසල
අතු අග පිපුණු මල් ගොමු ඇත සුවඳ කල
පෙරදිග අහසෙ සුදු පැහැ සඳ නැගෙන කළ
වෙසෙඟහි සිරිය බල මැන මේ සමය තුල
(මා කුඩා කල ඉගෙන ගත් කවියක්)

හවස සිල් පවාරණය කර අපි නැවත ගෙවල් වලට ගොස් පන්සල් පැමිණෙන්නේ භක්ති ගී වැඩ සටහන සඳහාය.
එකළ දහම් පාසලේ භක්ති ගී කිහිපයක් මා විසින් ලියන ලද හෙයින්. දහම් පාසැල් කණ්ඩායම එ්වා ගයනු ඇසෙන විට දැනෙන සතුට අපමණය. සමහර විටක අවට පන්සල් කීපයක දහම් පාසැල් එක්වී භක්ති ගී සංදර්ශන පවා පැවැත්වූවා මතකයි. එහෙත් අද, දහම් පාසැල් වැසී ගොස්ය, ඒ සියලූ දරුවෝ ටියුෂන් පන්ති වලට ඇදෙන බැවිනි. දහම් අධ්යාපනයට වඩා ගණිත විද්යා විෂයයන්ගෙන් දරුවන් පෝෂණය කෙරුමට දෙමාපියන් යුහුසුළු වන හෙයිනි.
පොහොය දිනටත් ටියුෂන් පන්ති වැඩ පිරී ඇත, එහෙයින් වෙසක් කූඩුවක් හදා ගැන්මටවත් වෙලාවක් නැති තරමට දෙමාපියන්ද දරුවන්ද කාර්යබහුල වී ඇත.

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

බෝ ©

Saturday, 17 May 2008

ජීවිතං අනියතං මරණං නියතං

බොරැල්ලේ හරි ටවුන් හෝල් එකේ හරි දේශපාලන රැලියක්නම් එදාට රෝහලට යන්න එපා කියලා අම්මගෙන් ආයාචන බොහෝමයි. බෝම්බ කොයි වෙලාවෙ පිපිරෙනවද දන්නෙ නෑ. ජීවිතේ පුදුමාකාර අවිනිශ්චිත බවකි දැනෙන්නේ. එකිනෙක මරාගෙන ලැබෙන ව්මුක්තියක් නොමැති බව නොදන්නෝ, තවමත් ත්‍රස්තවාදයට උල්පන්දම් දෙති.
එහෙමයි කියලා ගෙවල් වලට වෙලා ඉන්නත් බෑනේ
මින්ස්සු ඔවුන්ගේ සුපූරුදු වැඩපලෙහි යෙදෙති,
කති බොති නටති ,
බෝම්බයක් පුපුරා ගිය විට දුක්වෙති .
තමන්ගේ පිරිවර පිරිස රැකී ඇද්දැයි සොයා බලති,
ඉන්පසු සැනසෙති.

අපි බස් එකකට නැග්ගත් ඉන්නේ වට පිටාව ගැන සෝදිසියෙන්. ටිකක් සැක සහිත පිරිස් ගැවසෙන කොට ඒ බස් එකෙන් බිමට බැහැලා වෙනත් එකක් ගන්න වෙන අවස්තාවලුත් නැත්තේ නෑ. එතකොට ඉතින් අපේ ගෘප් එකේ පිරිමි ළමයින්ගෙන්නම් බොහෝ වීට බැනුම් අහගන්ට සිද්ද වෙනවා. --- රෝහල අතර මංසන්දියේ දවසක් බසයට නගින්න පැමිණි අපට දකින්න ලැබුනේ, අහල පහල බස් සියල්ල පෙන්වමින් ඒ එකිනෙකෙහි ගමනාන්තය විමසන, පිරිසකි. බැලූ බැල්මට දිස්වූයේ ඔවුන් නම් මේ පලාතේ අය නොවන බවයි. ඔවුන් බසයට නැග්ග වේලාවේ ඉඳන් විමසුවේ අහල පහල සිටින අයගෙන් නූගේගොඩ ගිහින් දෙහිවල යන අයුරුයි.
"අනේ අපි වෙන බස් එකක යමු" අපි අතරින් කෙනෙකුට ඉබේම කියැවිනි. යුද්දය විසින් අපට අහිමි කල දේ බොහෝය, හිමි කල දේද බොහෝය. සමහර විටක, මාර්ග තද බදය අතරතුරදී ඊට මීටර කිහිපයක් දුරින් ඇති මංසන්දියේ බෝම්බ පිපිරී ගිය අවස්තා එමටය. නිතරම මතක් කරගන්නේ,
"ජීවිතං අනියතං මරණං නියතං"

අනුන් ගැන කුකුසෙන්
දවසරින සැකයෙන්
බියෙන් මේ නුවරුන්
ගැහේ හදවත් බොහෝ වේගෙන් !

බෝ©

Wednesday, 7 May 2008

My weird Novel with a weird name


Weird novel with a weird Name - Mage passen enna


Last year I got the chance to practise my writing skills thanx to Chamika Munasinghe aiya who's a journalist, and a program producer at ITN , we did a radio program about sinhala poetry at sinhalaya radio station. Meanwhile I got the chance to contribute to the book he was writing for the upcoming Anagarika dharmapala foundation awards ceremony. The book was about social workers in srilanka, along with biographies of those hidden social workers of our society.
Meanwhile I got the chance to publish my so called novel in www.sinhlaya.com and www.srilankansky.com.

Most of the incidents written here are true. I was Inspired by the heaps of goodness spread by These students frm campus (characters in my so called novel)
who are still living among the needy and poor .[ have lots of experience volunteering in all those projects , working hard in society, supporting them in anyway we can can. giving free tuition and also guiding them towards the right .(without any NGO's funding ).
Its easy to fall out of the society when you live in such places.

Jeewaka, or aba or any other charactor in this novel are not pure black or pure white , I think I would grade them as grey . They do have plus points in their lives as well as minuses. I will try my best to type more and update frequently. A little bit busy with studies and work these days
Thanx to all who criticize my writing, and to All who sent me messages
Very Happy

Its updated in a blog for all sinhala unicode readers Mage passen enna

මා සිංහලෙන් බ්ලොග් සටහන් ලියන්න පටන් ගත්තායින් පසු මට මුණගැසුනු යාලුවෝ බොහෝය, ඔවුන් සියලු දෙනා පරිගණක ශේස්ත්රයේ ඉගෙනීමහි යෙදෙන්නෝය, රැකියාවල නියෑලෙන්නෝය , එනිසා වැඩි පරිගණක දැනුමක් නැති මට ඔවුන් නිරතුරුවම උදව් වන්නෝය. මා විසින් පෙළ ගස්වන මගෙ පස්සෙන් එන්න නවකථාව සදහා වෙනම බ්ලොග් පිටුවක් ආරම්භ කලේ දසුන් මල්ලීගෙන් ලැබුනු යෝජනාවක් ඔස්සේය.

හැබැයි ඊට පස්සෙ එහෙම්පිටින්ම ඒ පිටුව ඉවත් කලා, මොකද මට හිතුනා, බ්ලොග් එකක් කොහොමද කතාවක් වෙන්නේ කියලා, මම හිතුවා බ්ලොග් පිටු තුලින් කතා ලියන්න බෑ කියලා.
ඒත් අපේ හිතවත් ආනන්දවර්දන අයියා පෙන්වා දුන්නා, ලෝකේ බොහෝ බ්ලොග් ලෙස ලියවුනූ නවකතා එහෙම, බලාගෙන යද්දී ඒකත් ඇත්ත නේද කියලා වැටහුනා
සිංහල යුනිකෝඩ් වෙනුවෙන් මම මේ කතාව නැවත මැරතන් ඉසව්ව දවසේ එක දිගට ඔක්කොම පුළුවන් තරමක් දැම්මා.
මේක කලින් කියවලා තියෙන අය සමාවෙන්න.

මා ලියන මේ කතාව ඔස්සේ මා ජීවිතය ගැන වෙනස් අයුරකින් දොඩමළු වීමට උත්සහ ගන්නවා. යතාර්ථවාදී සජීවී චරිත ගොඩනැගුමට උත්සහ කලද ඇතැම්විට මේ චරිත යථාර්තයෙන් ඔබ්බට ගිය , සමාජයේ අපට මුණ නොගැසෙන චරිත ලෙස ඇතැමුන් හදුන්වා දෙනවා විවේකය මධ කම නිසාවෙන් කොටසින් කොටස මා මෙය කතාවක් බ්ලොග් පිටුවේ ලියමි , ගුණ දොස් ඕනැම දෙයක් ලියන්න, මා ප්රවීනයෙකු නොවේ, සියල්ල දත්තෙකුද නොවේ එනිසා මා ලැබෙන විවේචන සියල්ල සම සිතින් බාරගනිමි.
මට වරදින්නට හැකි තැන් බොහෝ වෙත්, එනිසා යම් දොසක් දුටුවොත් පෙන්වා දෙන්න.

Sunday, 4 May 2008

ගෙවී ගිය දවසක අතරමග


දිගු නිහැඩියාවට කරුණු කාරනා අසා එවූ සහෘදයන් වෙත තුති පුදන අතරම නොලියා සිටීම ගැන සමාව ඉල්ලා සිටිනවා.
වැඩ වැඩි වීම සහ අසනීප වීම නිසා අන්තර්ජාල පරිහරනය සීමා වුවද යළිඳු පුළුවන් නිමේෂයේ ආයෙත් "ඔන්ලයින්" පැමිණියෙමි.
ගෙවී ගිය සතියේ විශේෂයක් කියලා කිසිම දෙයක් සිදුවුනේ නම් නෑ, මහ dull , boring සතියක් කිව්වත් නිවැරදියි. ඇහෙන්නේම සිත කම්පා කරවන පුවත්, දකින්නේම අනුන් තලන පෙලන පුරවර විත්ති. ඒත් ඒ සියල් මැදින් තවමත් මිනිස්සුන්ගේ හිත් වල මිනිස්කම ඉතිරි වී තිබෙනවා නම් එය අරුමයකි.

තමන්ව කුඩා කළ සිටන් හදා වඩා, ඕනෑකරන සියල්ල අපමණ දුක් විඳ සපයා උස්මහත් කල දෙමාපියන්ට අවැඩ කරන දරුවන් මටනම් අප්‍රියයි. තමන්ගේ දෙමාපියන්ව රවටන්න පුලුවන් කෙනෙක් බොහොම පරිස්සමෙන් ආස්‍රය කළ යුතුයි කියලයි මම නම් අහලා තියෙන්නේ, මොකද තමන්ගෙ අම්මා තාත්තට හොර මැරකම්, අකටයුතුකම් කරන කෙනෙක්ට වෙන ඕනෙ කෙනෙක්ට ඒවැනි දේ කරන එක සුළු වැඩක්. ඒත් අර කියමනක් තියෙන්නේ, තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියලා, ඒ වගේ එවැනි පිරිස් මැද උනත් හිස කඳ කෙලින් තබාගෙන වැඩ කටයුතු කරගන්න සිදුවෙනවා

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි, අප්‍රියයන් හා එක්වීම දුකකි, බුදු දහමේ එන සනාතන දහම් කරුණු සියල්ලෙන්ම වටහා දෙන්නට හදන්නේ මේ යතාර්තවාදී මිනිස් දහම නොවේද.
එහෙ මෙහෙ දුවන අතරතුර කුරුටු ගෑ පද පෙලක් මෙසේ සටහන් කර තබමි

නුඹ

අතීතයෙ නටබුන් මතක අග
ගෙවී ගිය දවසක අතරමග

සිහිවුනා නුඹ ඒත් නෑ හිත

මියැදිලා සිහිනයක අවසන


රෝහලත් නිවසත් අතරතුර

දෝලනය වේ සිතුම් පිරිවර

රෝග දුක් රජයනා පුරවර

මොටද සැනසුම් සුසුම් හරි බර


බෝ ©

Wednesday, 30 April 2008

බංකර් කුරුටු ගී...Life in a bunker


මුහාමලේ, සටන් බිමේ, බංකර් තුල කොටන් වල සටහන් වුනු , රණවිරු කුරුටු ගී සමූහයක් ඉරුදින පුවත් පතක අහම්බෙන් දකින්න ලැබුනේ, විශේෂ යාළුවෙක් නිසා.
ලියුම් කරු මුහාමලේ සටන්බිමේ කල සංචාරයකදී මේ බංකර් කුරුටු ගී සමූහය දකින්නට ලැබුනු බව ලියා තිබුනා මෙන්න මෙහි
තල් කොට වලින් සැදුම් ලත් බංකර් තුල රැය පහන් කරන, දින ගනන් කෑමක් හරි හමන් බීමක්, නෑමක් නැතිව, රුදුරු ත්‍රස්තවාදයට එරෙහිව යුද බිමේ,සටන් වදින අපේ වීරෝදාර රණ විරුවන්ගේ, සිත් සතන් වලින් එළිබහින හැඟුම් මෙලෙස කවි පද තුලට ගොනු වී, ඒ තල් කොට මත සනිටුහන් වී තිබෙනු මෙසේ දක්නට ලැබිනි.

"පෙරට තබන පය පස්සට ගන්නෙ නැහැ
උතුරේ සටන ජය ගෙන මිස එන්නෙ නැහැ"

"නිල් වන් අහස් කුස තරු කැට බබලනවා,
බංකර් තුලට ඒ සැමදේ දිස් වෙනවා
වෙසක් සඳින් මුළු පෙදෙසම නැහැවෙනවා
සිතින් මාත් පන්සල වෙත ඉගිලෙනවා "

"තරු පෙරුනු සඳ පිපුනු අහස යට, අමාවක දා වගේ මගේ සිත"


මරණය පෙනි පෙනී, සටන් බිම වැද සතුරු එඩි බල බිඳිමින් පෙරට ඇදෙන අපේ විරුවන් හට අප සදා ණය ගැති වෙමු, අප රැකෙන්නෙත් මව් බිම රැකෙන්නෙත් ඔවුන් නිසාවෙනි
අපේ රණ විරුවන්ටයි අද මගේ බ්ලොග් සටහන

Monday, 28 April 2008

හදවත වේගෙන් ගැහෙන්නට විය... Life over there...

ජීවිතයේ එක්තරා දවසක.... හදවත වේගෙන් ගැහෙන්නට විය

ගියා නේක තැන
තාර පාරවල් උඩින්, බොරළු පාරවල් දක්වා
කොළඹ අටේ උනත් මැදවච්චියෙ උනත්
හිටියෙ අපේ උන්, දුක්විඳින්නෙ අපේ උන්
දුවගෙන ආ පොඩි උන් ඉල්ලුවෙ නෑ ටොපි චොකලට්
"පෑනක් තියෙනවනම් පැන්සලක් පොතක් හෙම
අක්කේ දෙනවද අපිට"
ගැහුනා හදවත මහා හයියෙන්
අනේ අපෙ පොඩි උන්....කොහෙත් ඉන්නෙ අපෙ උන්

"ආවෙ කැලේ මැදින් කිලෝ මීටර 4 පහු කරන් , ඔයාල එනවා කිවි නිසා
රෑට අලි එනවා පාරට, ඒත් ආවා අපි.
දන්නවද ඉස්කෝලෙ පළවෙනියා මම හැමදාම
සිකුරාදා සති පොල එහෙත් යනවා අපි
එදාට ඉස්කෝලෙනම් යන්න වෙන්නෙ නෑ"

ජීවිතේ දුශ්කරයි එ'ත් හිනා වෙන්න අමතකත් නෑ

"වගා කරන ඉඩමට ඔප්පු නැහැ
වතුර ටිකක් එක්කාසු කර දෙන්න කෙනෙක් නෑ,
දන්නවද මෙහෙනුත් පත් වෙලා ඉන්නවා ඇමතිවරු වරියන්,
පෙනෙන්න නෑ මේ පැති වල ජන්දෙකට ඇරෙන්න..."

"පළාතටම එක මොන්ටිසෝරියයි,
ඒකෙත් වහලේ ටකරම් ගැලවිලා, අහස පේනවා
පොඩි එවුන් කොහොමද ඉගෙන ගන්නේ "

අපිත් තවම ඉගෙන ගන්න ඈයෝ, හරි හමන් රස්සාවක් නැති නිසා
ඒ කඳුළු , ඒ දුක් ගිනි හිත දරාගෙන,
ආවෙමු යළි නගරය වෙත,
කවදාහරි දවසක, පුළුවන් විදියකට
මීට වඩා යමක් කරන්නයි අපේ හිත් සපත කරගත්තේ...

ලොක්කන්ගෙ දරුවො, එංගලන්තෙ උපාදිලබද්දී හය හතර නොතේරෙන පොඩි එවුන්, කැලෑවල ගිනි අවි අරන් යුධ පුහුණුවේ, ලොක්කන්ගෙ මන දොල සපුරන්න
ජාතියක් වෙනුවෙන් හිලවු වෙන්නෙ, අනුන්ගෙ දරුවන්ගෙ ජීවිත,
ඇයි අනුන්ගෙ ජීවිත , වටින්නේ නැද්ද ? නැවතත් අසමි


ජීවිතේ අසාධාරණයි
තියෙන මිනිහට ඔක්කොම තියෙනව නැති එකාට මොකුත් නෑ
එහෙම කිය කිය, බණ දෙසුවට නිවෙයිද එක කුසකවත් ගින්නක්
එක්වෙමු, හදමු, නැගිටිමු, හැමෝම එකට
අපේ රට අපි ගොඩ නැගිය යුතුයි
අවැසි හිතීම පමණයි

ඒ අතරෙ සමහරු මෙහෙමත් කියනවා
"ඇයි නිකන් කාලය ශ්රමය ඕවට වියදම් කරගන්නේ, ඉන්නකො අපි වගේ ජොලියෙ,
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන, ඉන්නම බැරිද ඔයාලට"
ඔහොම කියන අයත් නැත්තෙම නෑ..
කොහෙද ඔය ඔක්කොම කරන්න වෙලාවක් ! එහෙමත් හිතනවා සමහරු..

බෝ,

බෙදා හදා ගන්න පුළුවන්නම් තියෙන දෙයක් නැති උන් එක්ක, ඒක මොන තරම් පිනක්ද ?

කැමතිනම් බලන්න,

videos and photos > http://sinhalaya.com/nimnaya/index.php/topic,6313.0.html